මිෂෙල් කැබ් රියක් ගෙන නිවසට යාමට පිටත් වූයේ කෝපයෙනි. ධීර අවසාන තීරණය දී ගියත් එය පිළිගැනීමට මිෂෙල් සූදානම් වූයේ නැත.
” මේ හැමදේම අර ගර්ල් නිසාද ? එදා ඔයත් එක්ක පොලිසියට ගිහින් තිබ්බේ ? ”
මිෂෙල් අවසානයේදී එසේ ඇසුවේ ධීර පිට වරද පැටවීමට සිතා ගෙනය.
” මං කලිනුත් කිව්වනේ මිෂෙල්. ඒක මෙතනට අදාළ කාරණාවක් නෙමෙයි ”
ධීර සෘජුව කියා අසුනෙන් නැගිට්ටේ ය. මිෂෙල් ඔහු යන දෙස බලා සිටියේ පරාජිත වූ හැඟීමකිනි. එහෙත් මෙතනින් මෙය අවසන් වීමට ඉඩ දිය නොහැක. මිෂෙල් නිවසට යාමට පිටත් වූයේ ඒ සිතුවිල්ලෙනි. කුමක් කෙසේ වූවත් දෙමාපියන් තමන්ගේ පැත්ත ගන්නා බව අත්දැකීමෙන් දන්නා නිසා කෙසේ හෝ ධීර ට පාඩමක් ඉගැන්විය යුතු යැයි මිෂෙල් සිතා ගත්තාය.
” ඔය කර ගෙන තියෙන්නේ.උඹ දුර දිග බලන්නේ නැතුව කර ගත්ත මෝඩකම් නිසා තමයි මේ ප්‍රශ්න සේරම.මෙච්චර හොඳ කොල්ලෙක් ලඟටම ගෙනල්ලා දීලත් උඹට ඒක හරියට කර ගන්න බැරි උනානේ ”
මිෂෙල් සුපුරුදු පරිදි හඬා ගෙන නිවසට විත් විස්තරය පැහැදිලි කළත් රූපසිංහ කතා කළේ කෝපයෙනි.
” මං දන්නෙ නෑ තාත්තා එයා කොහොම ඒවා දැනගත්තද කියලා. මට හිතාගන්න බැරි වුණා හැම විස්තරයක්ම හරියටම එයා කියනකොට ”
” ශික්. දැන් ඉතින් මූ ගිහින් ඕවා වසන්තට කිව්වොත් එහෙම මට රෙද්දක් ඇඳගෙන ඒ මනුස්සයට මුහුණ දෙන්න බැරි වෙනවා.පුදුම ලැජ්ජාවක් තමයි වෙන්නේ ”
රූපසිංහ කෝපයෙන් නිවස තුළ එහා මෙහා ගියේ ය. තමන්ගේ ආත්ම ගරුත්වයට හානි වීමට යාම ඉවසිය නොහැක.යමක් සිදු වීමට පෙර කුමක් හෝ කළ යුතු වුවත් ඒ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව රූපසිංහ තැවුණේය.
” ඔයා මොකටද දුව ඒවා ඇත්ත කියලා පිළිගන්න ගියේ? ඔයාට තිබ්බනේ ඒවා කවුරුහරි ඉරිසියාවට කියන කතා කියලා කියන්න ? ”
” මං කොහොමද අම්මා එහෙම කියන්නේ මූණ බලාගෙන. මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා ඒ වෙලාවේ කරන්නේ මොකක්ද කියලා.”
” දැන් ඉතින් හරිනේ කර ගත්තා.කොයි වෙලාවේ හරි මට දැන් වසන්ත ගෙන් කෝල් එකක් එයි. මොනාද මං කියන්නෙ ? ”
” මං හිතන්නේ නෑ තාත්තා ධීර මේ විස්තරේ ගිහින් වසන්ත අංකල්ට කියයි කියලා. ඕන්නං එයා කියයි අපි ගැලපෙන්නෙ නෑ කියලා ”
” හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා ”
රූපසිංහ එසේ කිව්වත් ඔහුගේ හිතට සැනසීමක් තිබුණේ නැත. වසන්තව රැවැටුවා වැනි හැඟීමක් ඔහුට දැනුනු නමුත් ඔහුට ඇත්තටම අවශ්‍ය වී තිබුණේ දියණිය ගේ ජීවිතය එකලාසයක් කිරීමට ය.සියල්ල කණපිට හැරී ඇති මොහොතේ බලා සිටිනවා හැර වෙන කිරීමට දෙයක් නැත.
ධීර උන්නේ සැනසීමෙනි. කියන්නට අවශ්‍ය වූ දෙය මිෂෙල් ඉදිරියේ කියා ගැනීමට හැකි වූ සතුට ඔහු විඳිමින් සිටියේ ය. ඔහු ඒ සතුට රැගෙන ගියේ තාදී ව මුණගැසීමට ය.
” ඒ කරදරෙත් මං ඔන්න ඉවර කරා ”
ධීර කීවේ සැහැල්ලු වෙනි. පසුගිය දින කීපය පුරාවටම ඔහු තුළ දකින්නට නොවූ කුමක්දෝ සතුටක් තාදී මේ මොහොතේ ඔහු තුළින් දුටුවා ය.
” එහෙම කියන්න එපා අනේ. මොනා උනත් මිෂෙල් ඔයා ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්න ඇති නේ. මට පව් කියලත් හිතෙනවා. “
තාදී කීවේ ඇත්තටම මිෂෙල් කෙරෙහි උපන් අනුකම්පාවෙනි.
” එතකොට එයා මට හංගලා තියෙන දේවල් ? ඒක හරිද? ආදිත්‍යය ඔය ටික මට උදේ ඇවිල්ලා කිව්වේ නැත්නම් මං හිතාගෙන ඉන්නේ මිෂෙල් හරි හොඳයි කියලා.කමක් නෑ ඉතින් කොහොමත් මට එයාව මැරි කරන්න උවමනාවක් තිබුනේ නෑනේ ”
ධීර කියා ගෙන ගියේ ය.
” එහෙම බැලුවහම අපි මේ කරන්නෙත් මිෂෙල්ව රවට්ටන එක නෙමෙයිද ධීර ? ”
ඕනෑම කෙනෙකුට අනුකම්පා කිරීම තාදී ගේ ස්වභාවය ය. මිෂෙල් කෙරෙහි ඇය තුළ ඇත්තේ ද එවැනි හැඟීමකි.
” අපි ගැලපෙන්නෙ නෑ කියලා මං එයාට කිව්වේ එයා මට හංගපු දේවල් නිසා නෙමෙයිනෙ තාදී. මං දැනටමත් තීරණයක් අරගෙන ඉන්න නිසා. එයා කොහොමටත් ඔලුව කන ටයිප් එකේ පාර්ට්නර් කෙනෙක්. ඔයා දන්නවනේ කොහොමත් මට එහෙම කෙනෙක් හරියන්නෙ නෑ කියලා.”
තාදී නිහඬව බලා උන්නාය. මිෂෙල් ගේ මීළඟ පියවර කුමක් විය හැකිදැයි තාදී සිතමින් හුන් අතර ධීර ඒ පිළිබඳව කුඩා හෝ තැකීමක් කළේ නැත. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ සූදානමින් ඔහු බලා සිටියේ ය.
මිෂෙල් ධීර ගේ නිවසේ ඇති වාහනය රැගෙන ඒමට යන බව පවසා නිවසින් පිටවූ අතර සිතට දැනෙමින් තිබූ පරාජිත හැඟීම ඇයව දැඩි ලෙස පීඩනයට පත් කරමින් සිටියේ ය. ධීර ගෙන් පළිගැනීමට තරම් සිතුවිල්ලක් ඇයගේ සිත තුළ ඒ මොහොතේ තිබූ අතර එය කළ යුතු වන්නේ කෙසේදැයි කල්පනා කරමින් මිෂෙල් දෙගිඩියාවෙන් පසු වූවාය.
මිෂෙල් අසුනට හිස බර කර ගෙන දෑස් වසා ගෙන කල්පනා කළා ය. තමාගේ වරද සඟවා ධීර මත වරද පටවා මේ ප්රශ්නය විසඳා ගන්නේ කෙසේ දැයි මිෂෙල් කල්පනා කළ අතර කළ යුතු යමක් ඉතා ඉක්මනින් කළ යුතු යැයි ඇය තීරණය කළා ය.
මේ මොහොතේ ධීර සිටිය යුත්තේ හෝටලයේ නිසා හොඳම දෙය ඔහු ගේ නිවසට ගොස් වසන්ත ගජසිංහව මුණගැසීම බව සිතූ මිෂෙල් ධීර ගේ නිවස දෙසට වාහනය හැරවීමට කැබ් රථයේ රියදුරාට උපදෙස් දුන්නා ය.තමා මේ කරන්නට යන දෙය පිළිබඳව තම පියාවත් දැනුවත් නැති නමුත් තමා විසින් ඇති කරගත් ප්රශ්නය තමා විසින්ම විසඳිය යුතුය යන්න සිතමින් මිෂෙල් විනාඩි කිහිපයක් ඇතුළත ධීර ගේ නිවසට පැමිණියා ය.
වාසනාවකට මෙන් වසන්ත ගජසිංහ දුරකථන ඇමතුමක නිරත වී මිදුලේ සිටි අතර මිෂෙල් දුක් මුසු මුහුණක් මවා ගෙන ඔහු ඉදිරියට ගොස් සිට ගත්තා ය.
වසන්ත දුරකථන ඇමතුම අවසන් කර මිෂෙල් දෙස බැලුවේ පුදුමයෙනි. තම පුතු මිෂෙල් සමග උදෑසන පිටව ගිය බව ජයමිණි පැවසුවේ පැය දෙකකට පමණ පෙර ය. මිෂෙල් මේ මොහොතේ තමා ඉදිරිපිට සිටින්නේ කුමක් හෝ දෙයක් සිදුවී ඇති නිසා බව වසන්ත ඉවෙන් මෙන් තේරුම් ගත්තේ ය
” ඇයි දුව ? ”
” මං ආවෙ මගේ වාහනේ අරන් යන්න අංකල් ”
මිෂෙල් රංගනය පටන් ගත්තාය. ධීර කොයි මොහොතේ හෝ නිවසට පැමිණීමට පෙර පිටවිය යුතුය. එහෙත් ඊට පෙර තමා පැමිණි කාර්යය කෙසේ හෝ අවසන් කළ යුතු බව සිතමින් මිෂෙල් බොරු සුසුමක් පිට කළාය.
” මොකක් හරි ප්‍රශ්නයක්ද දුව ? ”
වසන්ත ඇසුවේ කුතුහලයෙනි.
” මං ආවෙ අංකල් එක්ක ටිකක් කතා කරන්නත් එක්ක ”
” වාඩි වෙන්න දුව ”
වසන්ත මිදුලෙහි වූ බංකුව වෙත අත දිගු කර පෙන්වීය. මිෂෙල් එහි වාඩි වූයේ ඉතා අහිංසක ලෙසිනි.
” දුව උදේ අපේ පුතා එක්ක නේද එලියට ගියේ? ”
” ඔව් අංකල්. එයාට මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වා ”
” හැමදේම හොඳින් නේද ? ”
වසන්ත ඇසුවේ තම පුතුට වත් නොපෙන්වන තරමේ කරුණාවකිනි.
” ඇත්තටම නෑ අංකල්. කිසිම දෙයක් හොඳින් නෙමෙයි ”
වසන්ත ගේ සිතට ධීර කෙරෙහි කෝපයක් දැනුනත් ඔහු එය සඟවා ගත්තේය.
” ඒ කිව්වේ ?”
මිෂෙල් නැවතත් දුක් මුසු මුහුණකින් ඉවත බලාගෙන මොහොතක් සිටියේ විශාල අසාධාරණයකට ලක් වී ඇති ආකාරයටය.
” මං මේ ප්‍රපෝසල් එකට කැමති වුණේ අංකල් සෑහෙන කාලෙක ඉඳලා අපේ තාත්ත ගෙ යාලුවෙක් නිසා. මං ධීර ව දැකලවත් නෙමෙයි මේකට හා කිව්වේ. අංකල් දන්නවනේ කැනඩා වලදි උනත් මගේ පස්සෙන් ආපු ලොකු බිස්නස්මන්ලා හිටියා. ඒත් මං ඒ එකකටවත් කැමති වුණේ නෑ.මං කැමති වෙලා හිටියෙ මෙහේ සෙට්ල් වෙන්න. ”
වසන්ත ඉවසීමෙන් අසා උන්නේය. කුමක් වුවත් සිදුවී ඇත්තේ එතරම් හොඳ දෙයක් නොවන බව ඔහු අනුමාන කළේ ය.
” මං අද ධීර එක්ක එළියට ගියේ ඇත්තටම එයා මට පොසිටිව් උත්තරයක් දෙයි කියලා හිතා ගෙන.ඒත්… ”
මිෂෙල් බොරුවට දෑස් පිස දමා නාසය උඩට ඇද්දාය. වසන්ත උන්නෙ මේ රංගනයට සම්පූර්ණයෙන්ම රැවටී ගෙනය.
” ධීර මට කැමති නෑ අංකල් ”
මිෂෙල් කියා දැම්මා ය. වසන්ත ගෙ සිතේ තිබූ කෝපය පිට පැන්න නමුත් ඔහු එය ආයාසයෙන් දරා ගෙන සිටියේය.
” ධීර එහෙම කිව්වද ? ”
වසන්ත ආයෙම ඇසුවේ සිදුවී ඇති දෙය පැහැදිලිව දැන ගැනීමටය.
” ඔව්.අනික…”
මිෂෙල් මොහොතක් නතර වූවාය. හොඳම තුරුම්පුවෙන් දමා ගැසීමට මෙය හොඳම වේලාව බව ඇය සිතුවාය.
” මොකක්ද අනික ? ”
වසන්ත උන්නෙ කුතුහලයෙනි.මිෂෙල් නැවතත් දෑස් පිස දැම්මාය.
” ධීර ට ගර්ල් කෙනෙක් ඉන්නවා අංකල් ”
ReplyForwardAdd reaction |