ධීර හිතට ධෛර්ය ගත්තේ ආයාසයෙනි. කෝපයට පත් වී සිටින පියා පසු පසින් සිට ගෙන මුවත්තියක සේ බියෙන් බලා හිඳින මව ගැන ධීර ට දැනුනෙ අප්‍රමාණ අනුකම්පාවකි. වසර ගණනාවක් මුළුල්ලේ ඇය කරබාගෙන සිටියා සේ සිටියහොත් තමාට අහිමිව යන්නේ තම ජීවිතයම බව අවබෝධ කරගෙන හුන් ධීර අඩියක් ඉදිරියට තැබුවේ ය.
” මං නැටිච්චියක් කරේ එල්ල ගෙන ඉන්නවා කියලා තාත්තාට කිව්ව මිෂෙල් කිව්වේ නැද්ද එයා අවුරුදු ගානක් කැනඩාවට වෙලා මොකද කලේ කියලා ? ”
ධීර ඇසුවේ වෙනදාට තම පියාට කතා කරනා ස්වරයෙන් නොවේ. වසන්ත මදක් පසුබෑවේද ඒ ස්වරය හමුවේය.
” මොකක්ද දැන් තමුන් කියන්න හදන්නේ ? ”
ජයමිණි සිටියේ පුදුමයෙනි.තමාටවත් නොකියූ කතාවක් ධීර ට දැන් කියන්නට ඇත. එකත් එකටම මිෂෙල් පිළිබඳව කිසිවෙකුත් නොදන්නා කතාවක් කුමන හෝ අයුරකින් ධීර දැන ගෙන ඇති බව ජයමිණි සිතුවිල්ලේම අනුමාන කළාය. එය කුමක් වුවත් මේ කතාවේ අවසානය සුභදායී එකක් වේවා යැයි ඇය හදවතින්ම ප්‍රාර්ථනා කරමින් උන්නා ය.
උදෑසන තමා නිවසින් පිටවීමට පෙර තමා මුණගැසෙන්නට පැමිණි තම පැරණි මිතුරා ආදිත්‍ය මිෂෙල්ව දුටු පසුව ඇය පිළිබඳව පැවසූ සියල්ල ධීර අකුරක් නෑර වසන්ත ඉදිරියේ දිග හැරියේය. වසන්ත මෙන්ම ජයමිණි ද ඒ සියල්ල අසා උන්නේ පුදුමයෙන් මුව අයා ගෙනය.
” මං කීයටවත් විශ්වාස කරන්නේ නෑ මිෂෙල් එහෙම ළමයෙක් කියලා. අනිත් එක තමුසෙට පිස්සුද මේ එක එකා ඇවිල්ල කියන ඒවා විශ්වාස කරන්න ? ”
වසන්ත කිසිසේත්ම පරාජය භාර ගන්නට සූදානම් වූයේ නැත.
” එතකොට තාත්තා තාමත් හිතන්නේ මේ සේරම බොරු කියලද ? ”
ධීර ආයෙම ඇසුවේය.
” ඔව් “
ගජනායක දුන්නේ සෘජු පිළිතුරකි.
” තාත්තා ඒක පිළිගන්නේ නැති උනාට මිෂෙල් පිළි ගත්තා. මට තාත්තා ට කියන්න තියෙන්නෙ එච්චරයි. මං කැමති නෑ මිෂෙල් ව බඳින්න ”
ධීර යන්නට හැරුනේය. ඔහු තුළ වූ ධෛර්යවන්ත කම ගැන ජයමිණි උන්නේ පුදුමයෙනි.
” ඔහොම ඉන්නවා ධීර ”
වසන්ත කෑගැසුවේය. ධීර තරප්පුව නගින්නට ගොස් නැවත පය ආපස්සට තැබුවේ ඒ හඬට ය.
” එතකොට දැන් තමුසෙට කෙල්ලෙක් ඉන්නවා කිව්ව කතාවට මොකද්ද දෙන්න තියෙන උත්තරේ ? ”
ජයමිණි ගේ හදවත තවත් වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ එවිටය. වසන්ත පිළිතුරක් බලාපොරොත්තුවෙන් ධීර ඉන්නා දෙසට පියවර තබද්දී ජයමිණි ඒ පසුපස ඇදුනේද බියෙනි
” ඔව් ඉන්නවා ”
ධීර ඒ වදන් පිටකර අවසාන වෙද්දීම වසන්ත ඉදිරියට පැන ධීර කම්මුල් පහරක් ගැසුවේ ය. ධීර පහර වැදුණු කම්මුල අල්ලා ගෙන කෝපයත් දුකත් මුසු වූ හැඟීමකින් වසන්ත දෙස බලද්දී ජයමිණි කෑ ගැසුවාය.
” වසන්ත. ගහලා බැනලා හදන්න පුළුවන් වයසක ද මේ ළමයා ඉන්නේ ”
තම එකම පුතු වෙනුවෙන් කිසිවක් කරකියා ගත නොහැකිවීමේ වේදනාවෙන් ජයමිණි හඬා වැටුනා ය.
” තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා. මූ හදන්නේ කොහේවත් යන එකියක් කරෙත් එල්ල ගෙන මගෙයි රූපසිංහ ගෙයි යාළුකමත් නැති කරලා දාන්න. ඒ විතරක් නෙමෙයි මූ හදන්නේ මගේ නම්බුවත් නැති කරලා දාන්න ”
වසන්ත එසේ කියද්දී ධීර ගේ කට කොනකට නැගුනේ සිනහවකි. වසන්ත එය හොඳාකාරවම දුටුවේ ය. එයින් වසන්තගේ සිතෙහි වූ කෝපය තව තවත් උත්සන්න වූවා මිස බිඳක් හෝ අඩු වූයේ නැත
” වැරැද්ද කරලා තමුසෙ හිනා වෙන්නේ මටද ? ”
” තාත්තාගේ නම්බුව නැති කර ගන්නේ තාත්තම මිසක් මම නෙමෙයි ”
ධීර මේ ආකාරයෙන් තමා ඉදිරියේ සෘජුව කතා කරන්නේ ප්‍රථම වතාවට ය. වසන්ත ට දරා ගත නොහැකි වූයේ ඒ හැඟීමය. මෙතුවක් කල් තමාගේ අණසක පතුරා ගෙන සිටි මේ වහල යට තම පුතු විසින්ම ඔහුගේ තීරණ ගෙන ඇත යන හැඟීම වසන්තව ඒ මොහොතේ දැඩි ලෙස පෙළා දමමින් තිබුණේය.
” ධීර මේ. මං ඒවා ගැන බලා ගන්නම්. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නෙ. මගෙන් කකා බිබී ඉඳගෙන තමුසේ තමුසෙට ඕන දේවල් කරන එක ”
වසන්ත ඒ මොහොතේ කීවේ පියකු විසින් තම පුතුට කිව යුතු ආකාරයේ කතාවක් නොවේ. එහෙත් වසන්ත උන්නේද තම කෝපය පාලනය කරගත හැකි තත්ත්වයක ද නොවේ.
” මට කියනවා අච්චර හොඳ කෙල්ලෙක් තමුසෙට හොයල දීල තියෙද්දිත් තමුසෙ මොන ජාතියේ කෙල්ලෙක් එක්කද පැටලිලා ඉන්නේ කියලා ? ”
” මං පැටලිලා ඉන්නේ තාත්තා ජීවිත කාලෙටම හෙව්වත් මට හොයලා දෙන්න බැරි ජාතියේ කෙල්ලෙක් එක්ක. අම්මා තාත්තට බයේ ඉන්නවා වගේ ඉන්නෙ නැතුව හිතේ නිදහසේ මට ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් එක්ක. අම්මල ගේ තාත්තල ගෙ සල්ලි වලින් සැප විඳින්න නැතුව තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරලා පොළොවෙ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක් එක්ක ”
වසන්ත ගොළු වූයේය. මෙය කිසිසේත්ම අදහා ගත නොහැකි දෙයකි. ධීර අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව තම හිත මිතුරන් සමගින් විනෝද වෙමින් විනෝදකාමී එහෙත් සාමකාමී ජීවිතයක් ගෙව්වේ ය. ඔහු කිසි දිනකත් තමාගේ වචනයට පිටින් කිසිවක් කළේ නැත. ව්‍යාපාර භාර ගන්නා ලෙසට තමා පැවසූ පසුව එයටද කිසිවක් නොකියා හිස නැමුවේය. එහෙත් මේ තරම් වර්ණනා කළ හැකි ආකාරයේ පෙම්වතියක් ධීර සොයා ගත්තේ ඒ කුමන කාලයේදැයි ගලපා ගත නොහැකිව වසන්ත ඇත්තටම ගොළු වී උන්නේ ය.
” දැන් අර තාත්තා කිව්වේ මං තාත්ත ගෙන් කකා බිබී ඉන්නවා කියලා , තාත්තට ඒක මදිපුංචි කමක් වගේ නම් , එහෙම නැත්නම් මං මේ ගෙදර ඉන්නවට තාත්තා අකමැති නම් ඒකත් මට කියන්න ”
” පුතා ”
හැඬු කඳුලෙන් පපුවට අත තබා ගෙන ළඟ තිබූ පුටුවකට ජයමිණි වාරු වූවා ය. මේ කතා බහ කෙරුණු ආකාරයට ධීර මීළඟ තත්පරයේම නිවසෙන් පිටව යනු ඇතැයි ජයමිණි බිය වූවා ය. එසේ වුවහොත් තමාට අහිමි වන්නේ විවාහ ජීවිතය තුළ සහ මේ වහල යට තමාට සැනසීමට තිබූ එකම හේතුවය.
” ධීර. තමුසෙ මේ කරලා තියෙන්නේ කොහෙත්ම ගැලපෙන වැඩක් නෙමෙයි ”
නිහඬතාවය බිඳිමින් වසන්ත කීවේ ය.නමුත් ඔහුගේ කෝපය මඳක් පහව ගොස් ඇති බව පෙනෙන්නටද තිබුණේ ය.
” තමන්ට ජීවත් වෙන්න සුදුසු කෙනාව තෝර ගන්න එකේ නොගැළපෙන වැඩේ මොකක්ද තාත්තේ ? ”
” හහ් තමුසෙට මොනාද ජීවිතේ ගැන තේරෙන්නේ ? හැම අතින්ම හැමදේම තියෙන කෙල්ලෙක්ව හොයලා දුන්නම ඒ කසාද කරගෙන පැත්තකට වෙන්නේ නැතුව ඕන ඕන නාඩගං නටන්න ලෑස්ති වෙන්න එපා ධීර. මං කීයටවත් ඒ වගේ දේකට මේ ගේ ඇතුළෙ ඉඩ දෙන්නෙ නෑ ”
” හැම අතින්ම හැමදේම තිබ්බට වැඩක් තියෙනවද තාත්තේ ඒ කෙල්ලට චාරයක් , හැදියාවක් නැත්නම් ?”
” අනේ මේ ධීර. තමුසෙ මගෙන් මුකුත් අහගන්න හදන්න එපා තව. දැන් ඔය හොයාගෙන ඉන්න කෙල්ලට චාරයක් තියෙනව කියලද තමුසේ හිතා ගෙන ඉන්නේ එතකොට ? හහ්. ශුවර් එකටම තමුසෙගේ වාහනේටයි සල්ලි වලටයි තමා එල්ලෙන්න ඇත්තේ ”
ධීර අසා සිටිය නොහැක්කේ මේ අසාධාරණ සහ අපහාසාත්මක කථාය. තම පියා වුවත් වැරැද්දක් කියනවා නම් හෝ වැරැද්දක් කරනවා නම් තමා එයට එරෙහි විය යුතුය. තාදී යනු කවර ආකාරයේ තරුණියක දැයි හොඳින්ම දැන උන් ජයමිණි පවා ඒ මොහොතේ සිටියේ කිසිවක් කියා ගත නොහැකි අසරණ තත්ත්වයකය.
” තාත්තා හිතන්න එපා හැම කෙල්ලම මිෂෙල් වගේ කියලා ”
ධීර ඒ මොහොතේ සිටියේ ඇත්තටම කෝපයට පත් වෙමිනි. තාදී වූ කලී මිෂෙල් අසලින්වත් තැබිය නොහැකි තරමේ සුන්දර ගතිගුණ ඇත්තියකි. තාදී ගැන බිඳක් හෝ නොදැන තම පියා ඇයට අපහාස කරන ආකාරය දරා ගත නොහැකි තත්ත්වයකට ධීර පත් වෙමින් උන්නේය.
” රූපසිංහට වෙච්ච පොරොන්දුව අහක දාලා බොරුකාරයෙක් වෙන්න මට බෑ. මිෂෙල්ගෙ මොන වැරැද්ද තිබුණත් මං හිතන්නේ නෑ ඒ කෙල්ල නරක කෙල්ලෙක් කියලා. තමුසෙ ඔය මනස්ගාත අත ඇරලා දාලා ඒ ළමයාව කසාද බඳින්න ලෑස්ති වෙනවා. මම දැන් යනවා රූපසිංහ ලගේ ගෙදර. මං තමුසෙට හොඳින් කියන්නේ ධීර. මගේ වචනෙට පිටින් මේ ගෙදර කිසිම දෙයක් වෙන්න බෑ ”
තරයේම එසේ කියූ වසන්ත ගජසිංහ බිත්තියේ එල්ලා තිබූ යතුරු රඳවනයේ තිබූ වාහනයේ යතුර ගෙන නිවසින් පිටවූයේ ය. ධීර තරප්පුව පාමුල සිට සුසුමක් හෙළද්දී ජයමිණි හුන් තැනින් නැගිට ධීර වෙත ආවා ය.
ReplyForwardAdd reaction |