” මමත් වසන්තට වචනයක් දුන්න නිසා තමයි සද්ද නොකර බලාගෙන හිටියේ. මොනා වුනත් අපේ කෙල්ල නං ඉන්නෙ හොඳටම හිත රිදිලා ”
රූපසිංහ කතා කලේ මිෂෙල් අතින් කිසිදු වරදක් නොවී ඇති ආකාරයටය. වසන්තට වුවමනා වූයේ කෙසේ හෝ තීන්දු කරගත් විවාහය සිදුකර ගැනීමටය. ධීර කෙරෙහි උපන් කෝපය සිත යට සඟවාගෙන රූපසිංහ මුණගැසීමට වසන්ත ඒ රාත්‍රියේදීම රූපසිංහ නිවසට පැමිණියේ ඒ අපේක්ෂාවෙනි. එහෙත් දෙගිඩියාවෙනි.
” මං පිළිගන්නවා අපේ ළමයා අතින් වැරැද්දක් උනා කියලා. හැබැයි ඉතින් එයාට ඕන ඕන දේවල් කරන්න මම ඉඩ තියන්නේ නෑ. මිෂෙල් කියන්නේ නරක ළමයෙක් නෙමෙයි කියලා මම දන්නවනේ රූපසිංහ ”
වසන්ත අවසන් වාක්‍ය කීවේ බොරු සිනහවක් මුහුණේ රඳවා ගෙනය. තමාගේ ආත්ම ගරුත්වයට පවා හානි වී ඇති මේ මොහොතේ ඒ ගෞරවය පවා උපයා ගත හැක්කේ මේ විවාහයෙන් ය. අනෙක් අතට මිෂෙල් ව සහ ධීර ව එකතු කිරීමෙන් වසර ගණනාවක ව්‍යාපාර ජීවිතය තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ ද වසන්ත ගේ යටි සිත තුළවූයේය. ඒ නිසා ධීර මේ වන විට කුමන තීරණයක් ගෙන සිටියත් රූපසිංහට වූ පොරොන්දුව ඉටු කරන්නට වසන්ත තරයේම සිතාගෙන උන්නේ ය.
” අපේ ළමයා අතිනුත් වැරැද්දක් උනා තමයි වසන්ත. එයා කැනඩාවෙ ඉන්න කාලෙ එයාට සම්බන්ධයක් තිබ්බ බව අපි දැනගෙන හිටියා. හැබැයි ඔය අනිත් කතා නම් බොරු ඒවා. ඕව ඉතින් එයා ධීර එක්ක ඉස්සරහට කතා කර ගනීනේ කියලා අපි හිටියේ.ඒවා ඉතින් එයාලා එයාලා කතා කරලා අවබෝධ කරගන්න ඕන ඒවා මිසක් අපි මැදිහත් වෙන්න ඕන ඒවා නෙමෙයි නේ ”
රූපසිංහ හොරහින් බිරිඳ දෙසද බලමින් ඇඟට පතට නොදනී කියාා දැම්මේය. වසන්ත උන්නේ මේ මොහොතේ රූපසිංහ කියලා ඕනෑම දෙයක් පිළිගන්නා තත්වයක ය.
” ඕවා ඉතින් අද කාලේ සාමාන්‍ය දේවල් නේ රූපසිංහ. ධීර මට ඕවා කියද්දිත් මං කෙල්ල ගැන කිසිම අහිතක් හිතුවේ නැහැ. මං අපේ ධීර ට උනත් කිව්වේ ඒකයි ”
වසන්ත ඉතා දරු සෙනෙහස ඇති පියෙකුගේ වෙස් ගෙන කතා කලේ ය.කෑම සාලයේ සිට සාලයේ වන කතාවට ඇහුම්කන් දීගෙන හුන් මිෂෙල් ඒ මොහොතේ සාලයට ආවේ මවා ගත් ශෝකයක් මුහුණේ රඳවා ගෙනය. වසන්ත දෙස මොහොතක් බලා සිට මිෂෙල් හෙමින් සීරුවේ රූපසිංහ ලඟින් වාඩි වූයේ කතාවට අඩු වැඩිය එකතු කරන්නටය.
” දුව ධීර එක්ක තරහද ? ”
වසන්ත ඇසුවේ කවදාවත් නැති තරමේ කරුණාවකිනි. මිෂෙල් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානමින් සිටියාය.
” නෑ අංකල්. ඒත්, මගේ හිත හොඳටම රිදුනා. එයා මං කියපු කිසි දෙයක් ඇහුවේ නෑ. අනික , එයාට ගර්ල් කෙනෙක් ඉන්නවනං කලින් කියන්න තිබුණනේ අංකල්. එහෙනම් අපේ තාත්තා වුනත් මේ ප්‍රපෝසල් එක ගේන්නෙ නෑනේ ”
මිෂෙල් දෑස් පිස දමමින් වේගයෙන් ඇසිපිය සැලුවාය. ඒ දුකෙන් බව පෙන්වීමටය. එය රූපසිංහ සහ බිරිඳ දැන උන්නත් වසන්ත සිතුවේ මිෂෙල් සිටින්නේ ධීර නිසා ඇත්තටම ශෝකයෙන් බවය.
” අනේ මට තේරෙනව දුව. කොහොම වුනත් මේ කසාදෙ සිද්ධ වෙනවා ඔයා ඒ ගැන බයවෙන්න එපා. ධීර ට ඕන දේවල් කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. අනිත් එක මං දන්නවා එයාට ඔයා වගේ ගුණ යහපත් ළමයෙක් හොයා ගන්න වෙන්නෙ නෑ කියලා ”
” ඒ වුනාට අංකල් එයා අකමැති නම් මේ වෙඩින් එක කරන්න විදියක් නෑනේ ”
මිෂෙල් ආයෙම කීවේ වසන්ත කෙසේ හෝ මේ විවාහය සිදුකර දෙන බව දැනගෙනමය. තමා දැන් මොනවා කීවත් ඔහු තීරණය වෙනස් නොකරන බව මිෂෙල් සක්සුදක් සේ දැන උන්නාය. දමා ගැසිය හැකි සියලු තුරුම්පු වලින් දමා ගසන්නට මිෂෙල් සිතුවේ ඒ නිසාය.
” එයා තාමත් ජීවත් වෙන්නේ මගේ සල්ලි වලින් මගේ ගෙදර.ඒ නිසා එයාට කොහොමත් මං කියන දේ කරන්න වෙනවා. ඒ ඇරත් එයාට බැහැ මම තීරණය කරපු දෙයකට පිටින් යන්න.දුව බයවෙන්න එපා මං මේ ප්‍රශ්න සේරම විසඳලා දෙන්නම් ”
වසන්ත අන්තිම තීරණය දුන්නේය.මිෂෙල් හිත යටින් සැනසුම් සුසුමක් හෙළුවේ තමා සැඟවූ සියල්ල දැනගෙනත් වසන්ත මෙසේ හැසිරීම ගැනය.
” අනිත් එක ධීර ඔය කවුද කියපු කේළං වගයක් විශ්වාස කරාට මම ඕව විශ්වාස කරන්නේ නැහැ දුව.තරුණ කාලෙ ඔය වගේ සම්බන්ධකම් තියෙන එක හරිම සාමාන්‍ය දෙයක් නේ. ඒක ඒ හැටි කලබල වෙන්න දෙයක් නෙමෙයි. දෙයක් තිබුණ නැතිවුණා එතනින් එහාට ඒක ඉවරයි. ”
වසන්ත අඩු වැඩිය පිරෙව්වේය.මිෂෙල් බලා උන්නේ ද වසන්ත මෙවැනි කතාවක් කියන තුරුය.
” ඒකනේ අංකල් මං කොච්චර කියන්න ට්‍රයි කරත් එයා මට ඉඩ දුන්නේ නැහැ. අනිත් එක අපි දෙන්නටත් නිදහසේ කතා කරන්න වෙලාවක් තිබුනේ නැහැ නේ ගිය දවස් ටිකේ. ඉතින් එහෙම එකේ මේ වගේ දෙයක් දැනගත්ත ගමන් මේ වෙඩින් එක කෙරෙන්නෙ නෑ කියලා නෙමෙයිනේ එයා කියන්න ඕනේ.මගෙන් අහලා ඇත්ත දැන ගන්න එකනේ. මට පස්සේ තමයි තේරුනේ එයා එහෙම කරන්න ගියේ අර ගර්ල් නිසා කියලා ”
මිෂෙල් නාසය උඩට ඇද්දාය. රූපසිංහ සහ බිරිඳ පුදුම වී උන්නේද මිෂෙල් ගේ මේ රංගනය දැකය. එහෙත් ඒ රංගනය වසන්තව මෙල්ල කරන්නට හොඳටම ප්‍රමාණවත් බව ඒ වන විටත් ඔවුන් දෙදෙනාම තේරුම් ගෙන සිටියහ.
” මං දුවට පොරොන්දු වෙනව ඒ ප්‍රශ්නේ මම විසඳනවා කියලා. මම මේ මහ රෑ තකහනියක් මෙහෙ ආවෙත් ඒ ටික කියන්නමයි ”
” ධීර මොකද්ද දැන් කියන්නේ වසන්ත ? ”
රූපසිංහ ඇසුවේ ඊළඟට සිදුවන දෙය ස්තීර වශයෙන්ම දැන ගනු පිණිසය. මේ විවාහය සිදුකෙරුණහොත් වාසිය සිදුවන්නේ දෙපාර්ශ්වයටම නිසා මේ මොහොතේ දෙපාර්ශ්වයම උන්නේ එකිනෙකාගේ සිත් රවට්ටා ගනිමිනි.
” ළමයි ඔය නොතේරුම්කමට සම්බන්ධකම් පටන් ගත්තට ඒවා කසාදෙකින් කෙළවරක් වෙන්න ඕනේ කියලා එකක් නෑනේ රූපසිංහ.අපි ඉතින් දැනුම් තේරුම් තියෙන කමට මේවා මෙහෙම පිළිවෙලක් කරලා දෙන්න ගියාට එයාලට මේවයේ අගයක් නැහැ. ඒ උනාට ඔයා බය වෙන්න එපා මේ කසාදෙ කෙරෙනවා “
වසන්ත ගජසිංහ තම පැරණි මිතුරා වන රූපසිංහ හට යළි යළිත් පොරොන්දු දුන්නේ ඔවුන් ගේ යටි හිත් වල ද වෙනත් අපේක්ෂා ඇති බව නොදැනය. තම එකම පුතු ගේ සතුට ගැන සිතනවා වෙනුවට ධනය සහ නම්බුව ගැන පමණක් සිතමින් වසන්ත රූපසිංහ නිවසින් පිටවූයේ ඇතිවන්නට ගිය විශාල ගැටලුවක් විසඳ ගත්තා යැයි සිතමින් සැනසුම් සුසුම් හෙළමිනි.
” මදැයි ඔයින් ගියා ”
වසන්ත පිටව ගියාට පසුව රූපසිංහ ද සැනසුම් සුසුම් හෙළුවේය.
” මිෂෙල් මේ.ආයෙ නම් මේවා අවුල් කර ගන්න ලෑස්ති වෙන්න එපා. තේරුනාද ? දැන්වත් හරියට ඉන්න බලන්න. නැත්තං ජීවිතේට මේ වගේ තැනකින් කසාදයක් නම් කර ගන්න වෙන්නේ නැහැ “
රූපසිංහ මිෂල් දෙස බලා කීවේ තරමක් තදිනි. ධීර ගේ තීරණය කුමක් වුවත් ඔහුට වසන්තට එපිටින් යා නොහැකි නිසා මේ ප්‍රශ්නය මෙතනින් කෙළවර වූවා යැයි රූපසිංහ මෙන්ම මිෂෙල් ද හිත හදා ගන්නට උත්සාහ කළෝය.
” දැන් මං ඊළඟට කරන්න ඕන මොකද්ද තාත්තා ? ”
මිෂෙල් ඇසුවේ වසන්ත මොනවා කීවත් , මොනවා පොරොන්දු වූවත් ධීර ඔහුට වඩා හාත්පසින්ම වෙනස් බව මේ දින කීපයට තේරුම් අරන් හුන් නිසාය.
” ධීර එක්ක ලේසි වෙන්නෑ තාත්තා. වසන්ත අංකල් මොනා කිව්වත් ධීර එයාට ඕන දේවල් කර ගනියි ”
” ධීර ට එයාට ඕන දේවල් කරගන්න හම්බවෙන්නේ නෑ වසන්ත ඉන්නකන්. එයා දැන් පොරොන්දුවක් දීලානේ ගියේ.ඔයා බය නැතුව මේවා අවුල් කර ගන්නේ නැතුව ඉන්න. ඔය ආරංචි වෙච්ච දේවල් බොරු කියලාම කියන්න ”
මිෂෙල් කාමරයට ආවේ සියල්ල අමතක කර ධීර ට දුරකථන ඇමතුමක් ගැනීමට වුවත් ඒ මොහොතේ ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබුණි. තමා ඇසුරු කළ සියලු තරුණයන්ට වඩා තරුණියන් ආකර්ෂණය කර ගැනීමට හැකි කුමක්දෝ ආකර්ශනීය බවක් ධීර සතුව ඇති බව මිෂෙල් සිතුවාය. නැතිනම් මෙවන් තත්ත්වයකට වෙනත් තරුණයකු තමාව පත් කළා නම් දෙවරක් නොසිතා ඔහුව අතහැර දමන්නට තිබුනත් ධීර ට එසේ කළ නොහැකි බව මිෂෙල් හට දැනෙමින් තිබුණි.
” බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොකද වෙන්නේ කියලා ”
ReplyForwardAdd reaction |