පිණි මුතු පලසක් – 01

0
2845

සමුධ්‍යාත් සත්සරාත් උන්නේ කවුරුත්ම උන්නේ නැති හිස් පංතිකාමරයක කෙලවරක අසුන් ගෙනය. සත්සරා මේ මොහොතේ ඇඬුවේ නැතත් මීට පොඩි වෙලාවකට පෙර සත්සරාගේ දෙනෙත් වලින් ගලා ආ කඳුලු වල නටඹුන් තවමත් ඒ සුහුඹූල් කම්මුල් වල රැඳී ඇත.

“ඒකද එහෙම දෙයක් වෙච්ච පළවෙනි වතාව?” කියා සමුධ්‍යා ඇසුවේ ඒ කතාව අහගෙන ඉන්නට කොපමණ අපහසු, හිත බර කරවන කතන්දරයක් උනත් තමන් එය නොඅසා සිටින එකම මේ දරුවාට කරන අසාධාරණයක් බව දන්න හන්දාමය.

මේ තවම පිපෙන්නට හිතුවේවත් නැති පුංචි මල් පොහොට්ටුය. ඒ මල් පොහොට්ටු බලෙන් පුබුදුවන්නට හදන නපුරු රාස්සයින්ගෙන් මල් පොහොට්ටු පරිස්සම් කරගන්න වගකීම ගුරුවරියක් උන තමන් අතේ තියෙන බව දැන දැනම එය මගහරින්න පුලුවන්කමක් නැත.

“ඔව්” කියා සත්සරා කදුලු අස්සෙන්ම ඔලුව වනද්දි ඊළඟ ප්‍රශ්නය අහන්නෙ නැතුව ඉන්න පුලුවන්කමක් සමුධ්‍යාට තිබ්බේ නැත.

“දැන් මගෙ පුතේ මේ කතාව කියන්න ඔයාට අමාරු විත්තිය මම නොදන්නවා නෙවෙයි. ඒ උනාට ඔයා මට වෙච්ච හැමදේම හරියට කිව්වොත් තමයි මට ඔයාට සීයට සීයක්ම වගේ උදව් කරන්න පුලුවන් වෙන්නෙ හොඳද? ඒ හන්දා හොඳ පුතා වගේ මට ඇත්ත කතාව වෙච්ච හැමදේම කියන්න. ඔය කියන ලකී මහත්තයා ඊටපස්සෙත් ඔයාව අල්ලන්න කරන්න ආවද?” කියා සමුධ්‍යා ටීච අහද්දි සත්සරා තප්පර ගාණකට ඇස් උස්සා සමුධ්‍යා ටීච දිහා බැලුවේ මේ කතාව තව ඉස්සරහට කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලබාගන්නට මෙනි.

“එදා පළවෙනි දවසෙ ලකී මහත්තයා තේක මේසෙන් තියන්න කියලා කාමරේ ඇතුළට එන්න කියලා දොර වැහුවම මං හොඳටම බය වුනා. ඒ උනාට මට කෑගහන්නත් බය හිතුනා. මං ඒ උනාට ලකී මහත්තයට හිමින් කිව්වා මට යන්න දොර ඇරලා දෙන්න මන්ත්‍රී නෝන හරි ආච්චි අම්මා හරි ආවොතින් බැණුම් අහන්න වෙයි කියලා”

“එතකොට එයා මොකද කිව්වේ?” කියා සමුධ්‍යා අහද්දී සත්සරාට ආයෙමත් වතාවක් එදා ඒ වෙච්ච දේ මතක් වුණාය.

“අනේ මහත්තයා ඕන් නැති විහිලු කරන්න එපා ඉතින්, මට යන්න දොර ඇරලා දෙන්නකො” කියා සත්සරා තේ බන්දේසිය පපුවට තුරුලු කරගෙන වගෙ කියද්දීත් ලකී කරේ දොර වසා දමා හීන් සැරේ අඩිය ඉස්සරහට තබා සත්සරාට ලංවෙච්ච එකය. 

“මොකද්ද ඉතින් දැන් මං කරපු ඕන්නැති විහිලුව?” කියන අතරවාරයෙත් ලකී උන්නේ උඩ තට්ටුවට නගින ලී පඩිපෙල දිගේ කවුරුහරි උඩට නැග එනවද කියා සද්දවලට කන් දෙමින් ය.

“අනේ දොර අරින්න මහත්තයා. කවුරුහරි ආවොත් හොඳ නැනෙ” කියා සත්සරා පිණ්සේන්ඩු වුවද ලක්ෂිත උන්නේ ඒ පිණ්සේන්ඩුවීම් වලට කන් දෙන අදහසක නොවේ. 

“කවුද එන්නේ කියන්නකො? අපේ අම්මාත් නෑ. ගෙදර වෙන කවුරුවත් ඇත්තෙත් නෑ. මම දැක්කා ඔයාගෙ ආච්චි අම්මත් පොල් අතු වල පැත්තට යනවා. ඉතින් කවුද කියන්නකො එන්නේ. කවුරුත් එන්නෙ නෑ. ඔයා බයවෙන්න එපා” කියා ලක්ශිත මහත්තයා ළඟටම ඇවිත් පපුවට තුරුලු කරගත් බන්දේසිය තදින් අල්ලාගෙන උන්නු අත් දෙකෙන් එකක් බලහත්කාරයෙන් වගේ මුදවාගෙන තමන්ගේ අතඟිලි අතර පටලවගත්තේය.

සත්සරා කොච්චර උත්සහ කරත් අත මුදවාගන්න උනේ නැත්තේ සත්සරා හිතුවාටත් වඩා තදින් ලකී මහත්තයා අත අල්ලාගෙන උන් නිසා මෙන්ම සත්සරා හිතුවාට වඩා ශක්තියක් ලක්ශිත එවෙලේ මුදාහරිමින් උන් නිසාවෙන් ය. 

“අනේ අතාරින්න මහත්තයා” කියා සත්සරා ඇඬුම් බර හඬකින් කිව්වත් ලක්ශිත උන්නේ ඒ කතාවට සවන් දෙන මානසිකත්වයක නොවන බව ඒ වෙද්දී හයේ පංතියේ උන්නු සත්සරා දැන උන්නේ නැත. 

“මොකද ළමයො බයවෙලා? මං ඔයාව ගිලීවි කියලා හිතුවද?” 

“අනේ නෑ මහත්තයා, ඒ උනාට මට බයයි. අනික ආච්චි අම්මා මාව හොයනව ඇති ඇයි පරක්කු කියලා”

“ඉතින් ආච්චි අම්මා ඇහුවොත් කියන්න මේ ඔයා මට කාමරේ අස්පස් කරගන්න උදව් කරා කියලා”

“ඒ උනාට ආච්චි අම්මා බණීවි මහත්තයා තනියෙන් එහෙම මහත්තයා එක්ක කාමරේ ඉඳියා කියලා. අනේ මට යන්න දෙන්න මහත්තයා. මගේ අත අතාරින්නකො”

“අයියෝ හරි පිස්සු ළමයෙක්නෙ. මං ඔයාව කන්නෙ නෑ කෙල්ලෙ. බයවෙන්න එපා. කෝ ඉන්නකො. මං ඔයාට හරි ආදරෙයි. මට නංගිලා නෑනෙ. ඒකයි මං මේ ඔයා එක්ක කතාකරන්නෙ” කියා ලක්ශිත ළඟ උන්නු සත්සරාව තදින් අල්ලා උකුල උඩ වාඩි කරගත්තේය. සත්සරා උන්නේ දියෙන් ගොඩගත් මාලුවෙක් ලෙස ගැහෙමිනි. ඉස්කෝලේදී හොඳ සහ නරක ස්පර්ශයන් ගැන කියා දුන්නේ හයේ පංතියෙය. එහෙත් ඒ පාඩම් අස්සේ කවුරුන් හෝ තමන්ව ස්පර්ශ කරයින් පස්සේ තමන් කරන්න ඕන මොකද්ද කියන එක කියා නුදුන්න බව සත්සරාට මතකය

“ලොකු ළමයෙක් උනාට පස්සෙ තාත්තා ලඟවත් නිදාගන්න හොඳ නෑ ගෑණු ළමයි. ඒ වගේම තමයි ගෑණු ලමයි එහෙම නෑ වෙන මාමලා, අයියලා වගේ අයගෙ උකුල් උඩ වාඩිවෙන්නෙත් නෑ.  මොකද ගෑණු ළමයි උනාම පරිස්සම් වෙන්න ඕන. ගෑණූ ලමයි කියන්නෙ හරියට ලස්සන මල් වගේ. ඔයාලා හිතන්නකො ඔයාලා ආස මලක මල් පෙත්තක් දෙකක් ගැලවුනාම ඒ මලේ ලස්සන වගෙම වටිනකම අඩු වෙනවනෙ. අපි කවුරුවත් පෙති ගැලවිච්ච මල් පූජ කරන්න ගන්නෙ නෑනෙ. අන්න ඒ වගේම තමයි ගෑණු ළමයිනුත් ලස්සනට පරිස්සමට ජීවත්වෙන්න ඕන” කියා දුන්න වචනත්, හොඳ සහ නරක ස්පර්ශයන් අතර වෙනස අඳුරගන්නෙ කෙසේද කියා දුන්නත් ලකී මහත්තයා තමන්ව උකුල උඩ වාඩිකරගත්ත එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියා වටහාගන්නට බැරි තරමට සත්සරා උන්නේ බය වීය. 

“එදා… කවුරුහරි පඩිපෙල දිගේ උඩට නැග ගෙන එන සද්දෙ ඇහුණයින් පස්සෙ තමයි ලකී මහත්තයා මට යන්න දුන්නෙ. මං එදා හොඳටම බය වුණා. ඒ උනාට ලකී මහත්තය මාව එහෙම අල්ලපු එක හරිද වැරදිද කියල මට හිතාගන්න බැරිඋනා” කියා සත්සරා කියද්දී සමුධ්‍යා ආයෙම වතාවක් සත්සරා විමසන්න වදන් ගැළපුවාය.

“ඊටපස්සෙත් ලකී මහත්තයා කියන කෙනා ඔයාව එහෙම අල්ලන්න හැදුවද?”

“එදා ඒ සිද්දිය උනාට පස්සෙ මං දුවලා ගියා. ඊටපස්සෙත් මං ආච්චි එක්ක එහෙ මෙහෙ ගියාම ලකී මහත්තය කවුරුවත් ළඟ නැති වෙලාවට කතා කරන්න ආව. මුලින් මං බය වුනා එදා වගේ එයා මගේ අත හයියෙන් අල්ලගනීවි කියල. මට හොඳටම රිදුණා එදා. ඒ උනාට ඉන්පස්සෙ දවසක ආයෙ කතාකරද්දි ලකී මහත්තය ඇහුවා තරහා උනාද කියලා එදා එහෙම අතෙන් අල්ලගත්තට?”

“එතකොට ඔයා මොකද කිව්වේ පුතේ?”

“මං කිව්වා තරහා නෑ ඒ උනාට බයවුනා කියලා”

“ඊටපස්සෙ?”

“ඊටපස්සෙ එයා ඇහුවා මං ඒ විස්තර ගැන මොනවහරි කාත් එක්කහරි කිව්වද කියලා?”

“ඔයා ඒ විත්තිය කාත් එක්ක හරි ඒ වෙද්දි කියලද තිබ්බේ? ආච්චි අම්මා එක්ක හරි”

“නෑ”

“ඇයි ඒ? ඔයාට හිතුනෙ නැද්ද ලකී මහත්තයා එහෙම ඔයාට රිදෙන්න අල්ලපු එක එහෙම ඔයාව උකුලෙ වාඩිකරගත්ත එක එහෙම වැරදි කියලා”  කියා සමුධ්‍යා ටීච ඇසිය හැකි උපරිම කරුණාවෙන් අහද්දී දෙනෙත් වල ගල්වී තිබුන කඳුලු ආයෙ වතාවක් උණුවට වැගිරෙන බව සත්සරාට දැනුණාය. සත්සරා නෑ කියා උත්තර දුන්නේ ඔලුව වනමිනි.

“ඇයි මගෙ පුතා ආච්චිට ඒක කිව්වෙ නැත්තෙ?”

“එහෙම උනොත් ආච්චිටයි මටයි එහෙට එන්න එපා කියලා මන්ත්‍රී නෝනා කියල අපිට කන්න නැතිවෙයි කියල මං බයවුනා ටීච.”

“පුතා දැනන් ඉඳියද ලකී මහත්තයා එහෙම අල්ලපු එක වැරදි කියලා?”

“දන්නෙ නෑ ඒ උනාට මට හරියට බය හිතුනා. බය හිතුනෙ ඒක වැරදි හන්දා නේද ටීච?” කියා සත්සරා අඬද්දී මේ කතාව මෙතනින් නතර කර දමන්න කොච්චර හිතුණත් කතාව මෙතනින් නතර කරන එකම සත්සරාගේ බාලිකා දිවිය නතර වෙන්න හේතුවක් වෙන්නට හැකි බව සමුධ්‍යා දැන උන්නාය.

ඊටත් වඩා සමුධ්‍යා බයවුන තවත් කාරණයක් එතන තිබුණාය. ඒ “දැනටමත් අර නරුමයා මේ අසරණ කෙල්ලට මොනවා කරලා ඇද්ද?” කියන එකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here