රෝහල් කොරිඩෝවේ වූ ලෑලි අසුනකට වැටුණු ඉසිනි හඬා වැටුණාය. ආපස්සට නිවැරදි කර නොහැකි යමක් සිදුව ඇති බව ඇයට තවමත් විශ්වාස නැත. එහෙත් වෛද්‍යවරයා සියල්ල තහවුරු කල බව ඇය යළි යළි සිහිපත් කලාය.
” ඔයා පේශන්ගේ වයිෆ්ද ?”
“ඔව් ඩොක්ටර්…”
” අයිම් සොරි…කකුල එතනින් අයින් කරන්නම වුණා… අපි පුලුවන් තරම උත්සාහ කලා… නමුත් හැමදේම ෆේල් වෙන පැත්තට තිබුණේ…. “
“එයා.. එයා… දන්නවාද ?”
“ඔව්… හොස්පිට්ල් එකට එනකොට සිහියෙන් හිටියේ.. එයාට ඒක තේරෙන්න ඇති… එයා නර්සස්ලාගෙන් අහලා තිබුණා…ඒ නිසා එයා අවබෝධෙන් ඇත්තේ…! “
යළි යළිත් ඒ කතාබහ සිහිපත් කරමින් ඉසිනි කඳුළු සැලුවාය. නුරාන් දැන් සිටින්නේ නින්දෙහි වුවද ඔහු සිහියට පිවිසි වහාම මේ පිළිබඳව විමසනු ඇත. ඔහුට දිය යුතු පිළිතුරු කුමක්දැයි ඇයට වැටහුනේ නැත. ධනුකද සිටින්නේ කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව බව ඉසිනිට පෙනේ. තමාද ඔහුට බැණ වැදුණු නිසා ඔහු ඇත්තේ නුරාන් ට සිදුවූ මෙම අනතුරට තමා වගකිවයුතුයි යැයි සිතමින් බවද ඉසිනි සිතුවාය.
නුරාන් ගේ අම්මාගේ හැඬුම් නැවතී තිබුණේම නැත. එහෙත් නුරාන් ගේ පියා උපේක්ෂාවෙන් රෝහල් කොරිඩෝවේ අනන්තය දෙස බලා උන්නේය. පැහැසරා උන්නේ ධනුකගේ උරිස්ස මත අත තබාගෙන ඔහු අස්වසමිනි.
ජීවිතය එක් දිනකින් මෙතරම් වෙනස් වන්නේ කෙලෙසින්දැයි ඉසිනි ට වැටහුනේ නැත. සියලු බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා උඩ සුළඟේ ගසාගෙන ගොස් ඇති බව දැනේ. නුරාන් ජීවිතයට මුහුණ දීම කොය ලෙසකින් බාර ගනීවිදැයි සිතන්නට නොහැක. ඔහු කෙතරම් ශක්තිමත් වුවද , කන්දක් ලෙසින් නැගී සිටිනවා වුවද මේ සිදුවීම ඔහු පාර්වමින් ඔහු තුළ අභ්‍යන්තර නාය යෑම් හටගන්නට හේතු විය හැකි බව ඉසිනි කල්පනා කළේ හිස පුපුරා යන්නට තරම් රිදුම් දෙන අතරේය.
එක්වරම වත්සලාද ඇගේ සිහියට නැඟුණි. ඇය සතු වීඩියෝව ඇය මේ වන විට කිනම් ආකාරයක දේවල් සඳහා භාවිතා කර ඇතිදැයි සිතා ගන්නට නොහැක. නුරාන් ගේ සැලසුම වූයේ වත්සලාගේ සැලසුම පිළිබඳව සොයා බලා මෙම ප්‍රශ්නය විසඳාගන්නටය. ඒත් දැන් ඔහු රෝහල් රෝහල් සයනයක් මතටට කොටුවී ඇත.
මේවා චිත්‍රපට දසුන් ලෙස දැනෙන්නේය. යථාර්ථය ඉක්මවූ සිදුවීම් බව සිතෙන්නේය. එහෙත්, මේ සියල්ල සිදුවී ඇත. සිදුවෙමින් පවතින්නේය.
ඉසිනි අක්කාට පණිවිඩයක් තැබුවාය. මේ ඒ පණිවිඩය වෙනුවෙන් සුදුසුම වෙලාවදැයි ඇය දැන සිටියේ නැත. එහෙත් දැන් තමා මෙම තීරණය අනිවාර්යයෙන්ම ගන්නා බව ඕ දැන උන්නාය.
” අක්කේ….මට නුරාන් ව මුණ ගැහුණා. මම එයාව මැරි කරනවා… අම්මලාට කියන්න…”
ඉන් පසුව ඇය ජංගම දුරකථනය විසන්ධි කර දැම්මාය. ගැඹුරු සුසුම් කිහිපයකින් සිත සැහැල්ලු කරගන්නට උත්සාහ කළාය.
ඉන් පසුව ඇය නැගිට පැහැසරා සහ ධනුක හිඳ උන් රෝහල් අසුන් වෙතට ඇවිද ගියාය. ඔවුන් අසලින් සිට ගත්තාය.
” අපි නුරාන් ව කොළඹ ගෙනියමුද?”
ධනුක හිස ඔසවා ඉසිනි ලෙස නිදස බැලුවේ අසුනෙන් සිට ගන්නේ නැතිවය. පැහැසරා සුසුමක් හෙළුවාය.
” මෙහෙ ඩොක්ටර් එක්ක කතා කරලා කොළඹට ට්‍රාන්සර් එකක් දාගම්මුද ධනුක මහත්තයා…!
ඉසිනි ඇයට දැනුන දුරස්ථ බව ඉක්මවා ගියේ නැත.
“හරි….”
ධනුක පිළිතුරු දුන්නේය. ඔහුගේ හඬ බිඳීම ඉසිනි ට සේම පැහැසරා ටද ඉතා හොඳින් වැටහුණෝය.
” සමාවෙන්න ධනුක මහත්තයා මම කියපු මොකක් හරි දෙයක් නිසා හිත රිදුනානම්…. මම මොනවද කිව්වේ කියලා මට මතක නැහැ…. මේක සිද්ධ වෙන්න තිබිච්ච දෙයක්…. මෙහෙම නැතත් වෙන මොකක් හරි ක්‍රමයකින් හරි මේ නපුර නුරාන්ගේ පිටින් යනවා. මේ සිද්ධ වෙන්න ඇත්තේ හොඳම විදිය….. හොඳම දේ… මේ සිද්ධිය ගැන කරදර වෙනවා වගේම , අර වත්සලා කියන කෙනා ළඟ තියෙන වීඩියෝ එක එයා ඩිස්ට්‍රිබියුට් කරන්න කලින් මොකක් හරි කරන්න බලන්න ධනූක මහත්තයා.. මට විශ්වාසයි…… එතන ඉන්න නුරාන් ම තමයි තමයි…… ඒත්….. ඒ ඉන්නේ නුරාන් නෙවෙයි….”
ධනුක යළි තිගැස්සීමෙන් ඉසිනි දෙස හිස ඔසවා බැලුවාය.
” සමහර විට නුරාන් එතන ඉනනේ සිහියෙන් නෙවෙයි වෙන්න පුළුවන් ධනුක මහත්තයා.. ඇතුළේ සීසීටීවී ඕෆ් කරලා කියලා න්රාන් කිව්වා. ඒ කියන්නේ මේ ගෑණු ළමයා මොකක් හරි සැලැස්මට වැඩ කරලා ඇති….”
ගිනි ගනිමින් තිබූ ගිනි ගොඩක් මැද වුවද සිහියෙන් හැසිරෙන්නට උත්සාහ කරමින් ඉසිනි කීවාය. තමා විසින් ගිනි තබා ගිය තමාගේත් නුරාන්ගේත් ජීවිත නුරාන් කෙලෙසකින් හෝ පරිස්සමෙන් බලාගත්තේය.මේ තමන්ගේ වාරය බව කිසිම කල්පනා කළේ තව තවත් ශක්තිමත් වෙමිනි.
“නැති උනේ දණහිසෙන් පහළ කකුලෙන් කොටසක් විතරයි ධනුක මහත්තයා…… එයාට අපි හැමෝම ඉන්නවා ….ඔයා, පැහැසරා මිස්, අම්මා, තාත්තා, බබා….. ඒ වගේම මමත් ……මොන දේ සිද්ධ වුනත් මුළු ලෝකෙම විරුද්ධ උනත් මම නුරාන් අතඅරින්නේ නැහැ… මෙහෙම කලේ ඇයි කියන වත්සලාගේ ප්‍රශ්නය ඉක්මනට විසඳුනහම හැමදේම හරියයි…”
ඇය එලෙසින්ද පවසා යළි ගොස් කලින් හිඳවුන් අසුනින්ම හිඳගත්තාය.
පසුදිනට පහන් වන විට නුරාන් ට සිහිය ලැබී තිබුණි. අම්මාද, තාත්තාද, ධනුකද පැහැසරා ද නුරාන් ගේ සයනය වෙතට ඇවිද ගියද ඉසිනි අසුනේම හිඳ උන්නාය.
ධනුක නිරාන්ගේ හිස පිරිමැද්දේ කිසිවක් නොපවසමින්ය. ඔහුට පෙනෙන්නට හඬන්නට එපායැයි ඔහු අම්මාට මෙන්ම පැහැසරා ටද අවධාරණය කර තිබුණි.
“මගේ කකුල් දෙකම නැද්ද ඕයි ?”
නුරාන් න් එක්වරම ධනුකගෙන් විමසුවේ ය. පැහැසරාටද නුරාන් ගේ අම්මාටද ඉන් එහාට හඬන්නේ නැතිව සිටින්නට හැකි වූයේ නැත.
ධනුක ඔවුන් දෙදෙනාටම කෝපයෙන් බැණ වැදුණේය.
” එහෙම මඟුලක් නෑ තමුසෙ ඉස්සෙල්ලා සනීප වෙනවාකෝ…. ගෙදර ගිහින් ඉමුකෝ..”
“”වෙලා තියෙන්නේ මොකද්ද කියනවා අයියේ… බයවෙන්න එපා. මං උඹලව අත් අරින්නේ නැහැ…”
“එහෙම මොකුත් නෑ කිව්වනේ… අද කොළඹට ට්‍රාන්සර් එකක් ඉල්ලගමු.. උඹව ආසිරි අරන් එන්න කියලා යාලුවෝ කීපදෙනකුම කතා කරා…
“හරි…”
නුරාන් උන්නේ ගතින් දැනෙන වේදනාව සිතට වැටෙන්නට ඉඩ නොදෙමින් ශක්තිමත් වෙමිනි. සිතුවේ මිය යාවීම කියාය. වාහනයේ පාලනය තමාගෙන් මිදී යද්දී ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අත්හැරිණි. එහෙත් වාහනය ගැටී අවසන් වූ පසු තමා තවදුරටත් සිහියේ සිටින බවට වටහා ගත් තමා , එම මොහොතෙන් පසු එළඹෙන හැම මොහොතක්ම වඩා ශක්තිමත්ව ජීවත් වන්නට ඉටා ගත්තේ ඇයිදැයි කල්පනා වූයේ නැත.
” කෝ නුරාධ්‍යා.. ?”
ඔහු එයින් පසුව එක්වරම ඇසුවේය
” මෙහෙ මගේ යාලුවෙක් ඉන්නවා .උගේ ක්වාර්ටස් එකේ දරුවා තියලා ආවේ…..”
ධනුක එයට පිළිතුරු දුන්නේ ඉසිනි පිළිබඳව කිසිවක් නො පවසමිනි.
නුරාන් ද කිසිවක් නොවිමසාම , තවත් විමසිලිමත්ව අනෙක් රෝහල් සයන ලෙසද පිවිසුම් දොරටුව දෙස ද එබී බැලුවේය.
“කෝ තාරා ?”
විනාඩි කිහිපයකට පසු /නුරාන් එලෙසින් විමසුවේ කිසිවෙකු කිසිවක් නොපවසා සිටි නිසාය . ඇය නොපෙනෙන්නට සිටීමේ වේදනාව මහත් බව වැටහෙද්දීය.
එයටද කිසිවෙක් පිළිතුරු දුන්නේ නැත.
| ReplyForwardAdd reaction |












