ජපන් සංස්කෘතිය ඇසුරෙන් ශ්‍රී ලාංකීය අපට ඉගෙන ගත හැකි බොහෝ දේවල් තිබෙනවා.ඔවුන් තුළ ඇති සරල බව , සමබරතාවය සහ හොඳ මනෝභාවයක් පවත්වාගෙන යාමේ ජීවන රටා ක්‍රම මේ වන විට ලෝකයේ බොහෝ දෙනා වැළඳ ගෙන තිබෙන්නේ එදිනෙදා ජීවිතයට සන්සුන් බවක් ගෙන දෙන මෘදු ජීවන රටාවන් ලෙසයි. ඔබ එදිනෙදා ජීවිතයට ප්‍රවේශ වන ආකාරයෙහි කුඩා වෙනස්කම් මගින් ජපන් සංස්කෘතියෙහි එන සාමකාමී ජීවන රිද්මයන් ඔබේ ජීවන රටාවට එකතු කරගත හැකි වෙනවා.අද අපි කියන්නට සූදානම් වන්නේ ඒ ගැනයි.
කුඩා දේවල් රස විඳින්න

ජපන් ජාතිකයන් තේ වක්කිරීම , මල් සැකසීම සහ ආහාර පිසීම වැනි ක්‍රියාවන් බොහෝ විට සිදු කරනු ලබන්නේ චේතනාන්විතවය. එවැනි ක්‍රියාවන් සිදුකිරීම කිසිවිටක වේගවත් නොවන අතර කලබලකාරී බවින් තොර වනවා. උදාහරණයක් ලෙස ඔබ එළවළු කැපීම සිදු කරනවා නම් එය ඔබ සාමාන්‍යයෙන් පුරුදු වී ඇති පරිදි වේගවත් ලෙස නොකර ඉතා සෙමෙන් ,මෘදු ලෙස , එම හඩවල් වලට සවන් දෙමින්, වර්ණ සහ චලනයන් කෙරෙහි අවධානය යොමු කරමින් එය සිහිකල්පනාවෙන් පිරුණු මොහොතක් බවට පත් කර ගන්න.
ගෘහස්ථව පවා සොබාදහම සමග සම්බන්ධ වන්න
ජපන් සංස්කෘතිය බොහෝ විට සොබා දහම සමඟ ඇලී පවතින්නක්. සොබා දහම ඔබේ මනස සුවපත් කරනවා වගේම ඔබේ ජීවිතය කලබලකාරී බවින් තොර එකක් බවට පත් පත් කරනවා. මේ සඳහා ඔබට කළ යුතු වන්නේ ඉතාම සරල දේවල් කිහිපයක් පමණයි. ගෘහස්ථව තැබිය හැකි , තැබීමට සුදුසු ඉතා කුඩා පැළ කිහිපයක් ගෙන ලා පැහැයෙන් යුතු මල් බඳුන්වල තබා ඔබේ නිවස අලංකරණය කර ගන්න. සුවඳැති ඉටිපන්දම් කිහිපයක් පත්තු කරන්න. ඔබේ මනස සන්සුන් වන ආකාරය ඔබටම දැනේවි.
ඔබේ අවකාශයට ගරු කරන්න
ජපන් සංස්කෘතිය තුළ පිරිසිදුකම ඉතා ඉහළින් අගය කරනවා. ඔවුන් එය සලකන්නේ චාරිත්‍රයක් ලෙසයි. පිරිසිදු කිරීම හුදෙක් පිරිසුදු කිරීමක් පමණක් නොව ඔබ ජීවත් වන අවකාශයට සහ ඔබට ගරු කිරීමක් ලෙස සැලකෙනවා. මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිහි කල්පනාවෙන් සිදු කරන චාරිත්‍රයක් ලෙස සිදු කරන්න. කලබලකාරී බවකින් තොරව , අනවශ්‍ය වෙහෙස මහන්සි වීමකින් තොරව ඔබ කරන කාර්ය රසවිඳිමින් පිරිසිදු කිරීමෙහි නියැලෙන්න.
ආහාර රස විඳින්න

ජපන් ජාතිකයන් ඔවුන් ගන්නා සෑම ආහාර වේලක්ම ඉතා හොඳින් රස විඳිනවා. ඒ වගේම ඔවුන් එය පිළිගන්වන්නේ ඉතා සිත් ගන්නා සුළු ලෙසයි. ඔවුන් සකස් කරන ඉතා කුඩා කෑම වේලක් පවා ඇසට ප්‍රියවන ආකාරයට ඔවුන් පිළිගන්වනවා. මොනතරම් සරල ආහාර වේලක් වුවත් එය රස විඳින්නාට ආහාර වේල පිළිබඳව ආශාවක් සහ ගරුත්වයක් ඇතිවන ආකාරයෙන් පිළිගන්වන්නට ඔවුන් නිතරම වෙහෙසෙනවා. ඔබ පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරනවා නම් එය ඉතා සිත් ගන්නා සුළු ලෙස පිළිගන්වන්න. කුඩා කෑම වේලක් සඳහා වුවත් මේ ක්‍රමය අත්හදා බලන්න. රූපවාහිනිය නැරඹීම හෝ ජංගම දුරකථනය භාවිතා කිරීමකින් තොරව ඔබේ ආහාරය ගැන පමණක් අවධානය යොමු කරමින් ආහාරය රස විඳින්න.
අසම්පූර්ණ බව තුළ සුන්දරත්වය සොයා ගන්න
ජපන් ජාතිකයන් යනු ඉතාම නිර්මාණශීලී සහ නිර්මාණාත්මක දේවල් ඇතුලත් සංස්කෘතියක් හිමි අයයි. ඔවුන් තමා සතු සෑම දෙයක් තුළම සුන්දරත්වයක් සොයා ගන්නවා. උදාහරණයක් ලෙස කැඩුණු කෝප්පයක් ගන්න. එය ඉවත ලනවාට වැඩිය එය මත කුමක් හෝ පින්තාරු කර ඔබේ නිවස අලංකාර කර ගැනීම සඳහා යොදා ගන්නට ඔබට පුළුවන්. ජපන් ජාතිකයන් බොහෝ වේලාවට මෙවැනි අත්කම් නිර්මාණ සහ විසිතුරු දේවල් තුලින් සුන්දර නිර්මාණ බිහි කරනවා.
චේතනාවෙන් ආරම්භ කර අවසන් කරන්න
ජපන් සංස්කෘතිය තුළ ජපන් ජාතිකයන් ඔවුන් සතු දේවල් වලට, ඔවුන්ට ලැබෙන දේවල් වලට , අවට ඇති ගහකොළ වලට පවා ස්තුති කිරීම , ගරු කිරීම සහ ආදරය කිරීම චේතනාන්විතව සිදු කරනවා. මෙයින් මනෝභාවය වැඩි දියුණු වීම සහ , ධනාත්මක දේවල් ඔබ වෙතට ආකර්ෂණය වීම , ඔබේ ජීවිතය ධනාත්මක ආකාරයට වෙනස් වීම සහ ඵලදායි ජීවිතයක් ගත කිරීමට මං පෙත් විවරවීම සිදුවනවා. ජපන් ජාතිකයන් බොහෝ වේලාවට උදෑසන දී සහ රාත්‍රී කාලයේදී සුවඳ දුම් දැල්වීම, දේවල් මෙනෙහි කිරීම සහ ස්තූතිවන්ත වීම සිදු කරනවා. මෙවැනි පුරුද්දක් ඇතිකර ගැනීම මගින් ඔබේ ජීවිතයට මොනතරම් ධනාත්මක ආකාරයේ බලපෑමක් ඇති වනවා දැයි ඔබටම අත්දකින්නට හැකියාව තියෙනවා.
ජපන් සංස්කෘතිය තුළින් අපේ ජීවිතයට එකතු කර ගත හැකි වගේම අපේ ජීවිතය සහමුලින්ම වෙනස් කළ හැකි බොහෝ පුරුදු තියෙනවා. මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ එයින් කිහිපයක් පමණයි.