තාදී – 38

0
2624

ධීර සහ තාදී බලාපොරොත්තු වූ පරිදි මිෂෙල් ගජසිංහ නිවසට ගියේ නැත. එහෙත් මිෂෙල් ආපිට නිවසට ආවේ පරාජය භාර නොගන්නා බවට තමාගේම සිතට පොරොන්දු දෙමිනි.

” කොහෙද දුව ඔයා ගිහින් හිටියේ ? “

මිෂෙල් ගේ මව ඉදිරියට ආවේ මිෂෙල් ගේ වාහනයේ හඬ ඇසීය. මිෂෙල් නිදන කාමරයේ නැති බව දැක ඇයට කිහිප වරක්ම දුරකථන ඇමතුම් ගත්තද ඇය ඒ එක ඇමතුමකට වත් පිළිතුරු දුන්නේ නැත. ස්වභාවයෙන්ම මිෂෙල් යනු හිතුවක්කාර තරුණියක් නිසා ඇගේ මව ඕනෑවට වඩා ඒ ගැන සොයන්නට ගියේ නැත.ඇරත් වසර ගණනාවක් තිස්සේ විදෙස් රටක තනිව ජීවත් වුණු තම දියණියව දැන් නීති දමා හිර කළ නොහැකි බව ඇය තේරුම් ගෙන උන්නාය.

” මං ගියා ධීර ව හම්බ වෙන්න ” 

මිෂෙල් ගෙට ගොඩ වූයේ එසේ කියමිනි. ඇගේ මුහුණේ වූ වෙහෙසකර බව හඳුනා ගන්නට ඇගේ මවට අසීරු වූයේ නැත.

” ඔයාට මහන්සි පාටයි ? ” 

” ඔව් අම්මා ටිකක් මහන්සියි. මං යනව ටිකක් නිදා ගන්න.මට ඩිස්ටර්බ් කරන්න එපා  ” 

මිෂෙල් කාමරයට පැමිණ දොර වසා ගත්තාය. අනතුරුව දුරකථනය අතැතිව කල්පනා කරමින් කාමරයේ එහා මෙහා ගියාය. ඇය කල්පනා කළේ තාදී පිළිබඳවය.මිෂෙල් උන්නේ ධීර මේ අපූරු තරුණියව කෙසේ සොයා ගත්තා දැයි විශ්මයෙනි. තමා හැසිරුණු ආකාරය සහ ඇය ඉතා ඉවසිලිවන්තව එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය සිතා ගත නොහැකිය. ධීර පවා සෑම මොහොතකදීම ඇයව ආරක්ෂා කරන්නට ඇත්තේ දෙදෙනා අතර බිඳිය නොහැකි තරමේ ශක්තිමත් බැඳීමක් ඇති නිසාය. මිෂෙල් ට දරා ගත නොහැකි ඉරිසියාවක් සහ දරා ගත නොහැකි හැඟීමක් දැනුනේ ඒ ගැනය. ඉතා පහසුවෙන් ඔහු වැන්නකු විවාහ කර ගැනීමට මඟ සැලසී තිබියදීත් තාදී මැදට පැන ඒ සැලසුම් සියල්ල විනාශ කලා වැනි හැඟීමක් මිෂෙල් ගේ සිත දැඩි ලෙස පෙළමින් තිබුණි. මිෂෙල්ට පළිගැනීමට සිතිවිල්ලක් ඇති වූයේ ධීර ගෙන් නොව, තාදී ගෙනි. මිෂෙල් තවත් විනාඩි දහයක් පමණ කල්පනා කරමින් සිට දුරකථනයේ අංක ලැයිස්තුව එහා මෙහා කර අංකයක් සොයා ගෙන එය ඇමතුවාය.

” හෙලෝ මිෂෙල් ” 

” හෙලෝ නාලක ” 

” කියපන් කියපන්. උඹ ලංකාවට ආව කියලා ආරංචි වුණා ” 

” ඔව් දැන් ටික දවසක් වෙනවා ඇවිල්ලා. මං කතා කළේ පොඩි හදිස්සියකට ” 

” කොහෙද ඉතින් උඹ දැන් ක්ලබ් එකක් පැත්තෙවත් එන්නෙ නෑනේ ” 

නාලක යනු මිෂෙල්ට ගියවර ලංකාවට පැමිණි මොහොතේදී රාත්‍රී සමාජ ශාලාවකදී හමු වූ මිතුරෙකි. දින කිහිපයක් හමුවී ඇති වූ මිතුදම මිෂෙල් කැනඩාවට ගිය පසුව පවත්වා ගෙන ගියේ ඉඳහිට ගන්නා ඇමතුමකින් හෝ හුවමාරු වන කෙටි පණිවිඩයකිනි.

” මට එන්න වෙලාවක් තිබ්බේ නෑ නාලක. අපි හම්බ වෙමුකෝ ඉක්මනට ” 

” හරි දැන් මොකක්ද හදිසියක් කියලා කිව්වේ ? ” 

” මට පොඩි උදව්වක් ඕනේ නාලක” 

” මොකද්ද  ? ” 

මිෂෙල් තම පියා විසින් ගෙන එන ලද විවාහ යෝජනාව පිළිබඳවත් , ධීර සහ දැන් ඇතිවී තිබෙන ප්‍රශ්නය පිළිබඳවත් නාලකට විස්තර කළාය. ඉන් අනතුරුව මේ මොහොතේ තමාගේ අවශ්‍යතාවයද මිෂෙල් නාලක වෙත පැවසුවේ කිසිදු චකිතයකින් තොරව ය.

” සල්ලි කීයක් ගියත් කමක් නෑ නාලක. මට මේ වැඩේ කොහොම හරි වෙන්න ඕනේ ” 

” රයිට්. මං ප්ලෑන් එකක් ගහගෙන ඔයාට කෝල් එකක් දෙන්නං මිෂෙල් ” 

මිෂෙල් දුරකථන ඇමතුම අවසන් කළේ සැනසීමෙනි. මෙතැන් පටන් මේ ප්‍රශ්නය විසඳන්නට යන්නේ නාලකය. තමාට ඇත්තේ මුදල් වියදම් කර සිදුවන දෙය බලා සිටීමට පමණි. 

” තමුසෙට සෑහෙන්න විඳවන්න වෙයි තාදී ” 

මිෂෙල් ඇඳට වැටුනේ එසේ සිතමිනි.

ධීර නිවසට ආවේ කුමක් හෝ විශාල යමක් සිදු වෙතැයි බලාපොරොත්තු වෙනි. එසේත් නැත්තම් මිෂෙල් නිවසේ රැඳී ඉන්නවා යයි බලාපොරොත්තු වෙනි.ඒ කිසිවක් සිදු වූයේ නැත. ධීර ගෙට ගොඩ වන විට වසන්ත සාලයේ රැඳී සිටි අතර ජයමිණි ඒ මොහොතේ පෙනෙන්නට සිටියේ නැත.

” ධීර ” 

වසන්ත දෙස නොබලා තරප්පුව නගින්නට සූදානම් වුවත් එයට පෙර වසන්ත හඬ අවදි කළේය. ධීර ආපසු හැරුනේ ඒ හඬට ය.

” මං අද අර කෙල්ලව හම්බ වෙන්න ගියා. ආරංචි ඇතිනේ ” 

ධීර කිසිවක් කීවේ නැත. අසා සිටියා පමණි. ඇත්තටම ධීර මේ මොහොතේ උන්නේ වෙහෙසට පත් වීය. බැඳීම් ගැන තැකීමක් නැති ඒවාට වටිනාකමක් නොදෙන තම පියා වැන්නවුන්ට ඒවා තේරුම් කර දීමට නොහැකි තරමේ වෙහෙසකිනි.

” ඔයා හිතනවද අනාථ නිවාසෙක හැදිච්ච කාත් කවුරුවත් නැති කෙල්ලෙක් මං මේ ගෙදර ලේලි කර ගනී කියලා ? ඊට වඩා මට මගේ නම්බුව වටිනවා. මට බෑ මගේ නෑදෑයන්ට උත්තර දෙන්න ” 

” මං තාදීට පොරොන්දුවක් දීලා ඉවරයි ” 

ධීර කීවේ ස්ථීර හඬිනි. ඒ හඬ වෙනදාටත් වඩා සෘජුය. එහි බියක් ගෑවී ඇත්තේවත් නැත.

” මං රූපසිංහට පොරොන්දුවක් දීලානේ තියෙන්නේ. ඒක කඩන්න මට බෑ. රූපසිංහ එක්ක කතා කරලා ළඟම තියෙන දවසක වෙඩින් එක දා ගන්නයි මං හිතාගෙන ඉන්නේ”

වසන්ත එසේ කීවේ එයින් ධීර තරමක හෝ පසුබෑමකට ලක් වෙතැයි සිතාා වුවත් ධීර ගේ මුහුණේ වූ එකදු හැඟීමක් හෝ වෙනස් වූයේ නැත.

” තාත්තා ඔය පොරොන්දුව වෙන්න කලින් තමයි මන් තාදීට පොරොන්දු උනේ. කොහොමත් කිසිම හේතුවක් නිසාවත් ඒක වෙනස් වෙන්නෙ නැහැ. මිෂෙල් වගේ තමන් ආදරය කරන මනුස්සයාට වංචා කරන කෙල්ලෙක් කසාද බඳින්න තරම් පිස්සුවක් තාම මට නැහැ තාත්තේ. ඔයා මගේ ජීවිතේ මෙච්චර කල් තීරණ අර ගත්තා. මගේ ජීවිතේ විතරක් නෙමෙයි අම්මගේ ජීවිතෙත්. හැබැයි මගේ ජීවිතේ මේ වැදගත්ම තීරණය ගන්න මං ඔයාට ඉඩ තියන්නේ නැහැ. මට මේ ගැන පොඩ්ඩක් හරි හිතන්න තිබ්බා ඔයා අරන් තියෙන්නෙ හරි තීරණයක් නම්. ඒත් මේක වැරදියි කියලා ඔයා තේරුම් ගන්නේ නැත්තං ඇත්තටම මට කරන්න දෙයක් නැහැ.දැන දැන අමාරුවේ වැටෙන්න මට බැහැ. මිෂෙල්ව බැන්දොත් මට වෙන්නේ ජීවිත කාලෙම දුක් විඳින්න ” 

ජයමිණි සාලයට ආවේ ඔය අතරතුරය. වසන්ත උන්නේ හිත තුළ නැගෙන කෝපය ඉතා අසීරුවෙන් පාලනය කර ගෙනය. රූපසිංහට වූ පොරොන්දුව ඉටු කරන්නට බැරි වුවහොත් සිදුවන්නේ අතිශය ලැජ්ජාවකි. අනෙක් අතට මේ විවාහය සිදු නොකෙරුණහොත් තම බලාපොරොත්තු කිසිවක් ඉටුවන්නේ ද නැත. 

” උඹ මගේ පුතා නිසා තමයි මම මෙහෙම හරි ඉවසන්නේ. හැබැයි මතක තියා ගනින් ධීර , ඔය ආතක් පාතක් නැති කෙල්ලට උඹව කසාද බඳින්න මං ඉඩ තියන්නේ නැහැ. එහෙම වෙනවනම් උඹට මගෙන් සත පහක දෙයක් හම්බවෙන්නෙත් නෑ ” 

වසන්ත අවසාන තුරුම්පුවෙන් දමා ගැසුවේය. මෙයින් හෝ ධීර මෙල්ල වෙතැයි වසන්ත බලාපොරොත්තු වූ නමුත් ඒ මොහොතේ වත් ධීර වෙනස් වූයේ නැත.

” තාත්තාගේ කීමට මං හොටෙල් එක බාර ගත්තාට , තාත්තා හිතන්නේ මට රස්සාවක් කරන්න බෑ කියලද ? මට මගේ දෙපයින් හිටගන්න බෑ කියලද ? තාත්තා මේ මෙච්චර දේවල් මට කියන්නේ මේ කසාදයක් හින්ද නේ. දෙමව්පියෝ උනහම දරුවන්ගේ ජීවිත වල තීරණ ගන්න ඕනේ තමයි.හැබැයි ඒ තීරණ ඇතුළෙ දරුවෝ සතුටින් ඉන්නවද කියලත් දෙමව්පියෝ  හිතන්න ඕනේ. තාත්තා මේ අද කරන කියන දේවල් ගැන තාත්තටම පසුතැවෙන්න දවසක් අනිවාර්යෙන් ළඟදිම එනවා. එදාට මං අද මේ කියන දේවල් තාත්තා මතක් කර ගන්න ” 

ධීර වසන්ත දෙස හැරී වත් නොබලා තරප්පුව නැග්ගේය. ජයමිණි සුසුමක් හෙලා නැවත මුළුතැන් ගෙය දෙසට ගිය අතර වසන්ත සාලයේ වාඩි වී කල්පනාවට වැටුණේ උමතුවෙන් මෙනි. හෙට උදෑසන දී හෝ බලෙන් හෝ මේ විවාහය කරදී නිදහස් වන්නට වුවමනාවක් වසන්තට ඒ මොහොතේ දැනෙමින් තිබුණි.

දවස පුරාම සිදුවූ අනපේක්ෂිත සිදුවීම් නිසා සැලසුම් කල පරිදි වැඩ නිමා කර ගැනීමට නොහැකි වූ නිසා තාදී Clothez හී නතර වූයේ සේවිකාවන් සියලු දෙනාවම නිවෙස් වලට පිටත් කර හරිමිනි.

” අනේ මිස් මේ රෑ වෙලා මිස් තනියමනේ. අපි ඔය වැඩ ටික හෙට උදේ කරමුකෝ.අනිද්දට දෙන්න තියෙන ඒවනේ” 

අනෙක් සියලු දෙනාම පිටව යද්දී ගයාත්‍රී උන්නේ පිටව යාමට නොහැකිව දෙගිඩියාවෙනි.

” මං දවස් කීයක් මෙතන නතර වෙලා තනියම වැඩ කරල තියනවද ළමයෝ? විකාර නැතුව ගෙදර යන්න දැන් රෑ වෙලා ” 

” අනේ මිස් ඒ උනාට ? අපි හෙට වෙනදට වඩා ටිකක් කලින් ඇවිල්ල වැඩ පටන් ගමු. ගෙදර යන්නකෝ මිස් දැන් ” 

” මං පැයක් දෙකක් ඉඳලා ගෙදර යන්නම්.  මොකෝ මං බස් එකේ ගෙදර යනවා කියලද? ” 

ගයත්‍රිව නිවසට පිටත් කර හැර ප්‍රධාන වීදුරු  දොරෙහි අගුල දැමූ තාදී යතුරද ගෙන කාර්යාල කාමරයට පැමිණ වාඩි වූයේ කටු සටහන් කිහිපයක්ම ඇඳීමට තිබූ නිසාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here