තාදී – 39

0
1673

රාත්‍රී දොළහ පමණ වනතුරු තාදී ඇඳුම් නිර්මාණ කිහිපයකට අදාළ කටු සටහන් කිහිපයක් අඳිමින් කාලය ගත කළාය.ඒ සෑම මොහොතකම ධීර ඇගේ සිත පුරාම ලැගුම් ගෙන හුන් අතර ඔහුගේ පියාගේ අකටයුතුකම් නිසා පීඩාවට ලක් වී සිටින ඔහු කෙරෙහි තාදී ට දැනෙමින් තිබුණේ ශෝකයකි. මිෂෙල් ගේ පියාට වූ පොරොන්දුව හැරුණු කොට වසන්තට මේ මොහොතේ තිබෙන ලොකුම ගැටලුව තමා අනාත නිවාසයක හැදී වැඩීම බව සිහිවූ තාදී ට තමන් පිළිබඳවම ආත්මානුකම්පාවක් නොදැනුනා නොවේ. එවැනි හැඟීමක් දැනෙන සෑම මොහොතකම එය ආයාසයෙන් යටපත් කර ගැනීමට තාදී හුරුව උන්නේ ශක්තිමත්ව ජීවිතයට මුහුණ දීම යනු ඇයට ඇති එකම තේරීම වන නිසාය.

ඔරලෝසුවේ රාත්‍රී දොළහයි තිහ සටහන් වන විට තාදී අසුනින් නැගී සිටියේ තවත් පැයක් එකහමාරක් පමණ වනතුරු කිරීමට වැඩ කිහිපයක් ඉතිරිව ඇති නිසාය. කුසගින්නක් නොදැනුනද කෝපි කෝප්පයක අවශ්‍යතාවය දැනුණු නිසා තාදී කාර්යාල කාමරයෙන් පිටවී ලොබිය හරහා කුඩා මුළුතැන්ගෙය දෙසට යමින් උන්නාය.

යතුරු පැදි දෙකක් පැමිණ Clothez හී වාහන නැවැත්වීමේ අංගනයේ නැවැත්වූයේ තාදී ලොබිය පසු කරමින් සිටින විටය. අහම්බෙන් එය දුටු තාදී මොහොතකට නැවතුනාය. සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හිස් ආවරණ පැළඳ සිටි සිව් දෙනෙකු යතුරුපැදි දෙකෙන් බැස Clothez හී වීදුරු දොරවල් කිහිපය ඉදිරි පිටට පැමිණ නැවතුණේ යකඩ පොලු කිහිපයක්ද අතැතිවය. 

මංගල ඇඳුමක් ඇන්දවූ ඩමියකට මදක් නුදුරින් සිටි තාදී මෙය බලා සිටියේ වෙව්ලන දෙපා වලින් සහ ගැහෙන හදවතකින් යුතුවය.ඉදිරියට යනවාදැයි නැතහොත් නැවතී සිටිනවා දැයි සිතා ගත නොහැකිව තාදී බලා සිටියදීම යතුරු පැදි වලින් පැමිණි සිව් දෙනා ඔවුන් අත තිබූ යකඩ පොලු වලින් Clothez හී වීදුරු දොර වල් වලට නොනවත්වා පහර දුන්හ. තත්පර ගණනාවකදී Clothez හී ඉදිරිපස වීදුරු දොරවල් දෙක සහ අනෙක් වීදුරු දෙකද කෑලි කැඩී බිම විසිරී යන විට තාදී ඉදිරියට දුවගෙන පැමිණියේ හැකි තාක් වෙර යොදා කෑගසමිනි.

” දෙයියනේ ඇයි මේ ? ” 

තාදී ආයතනය ඇතුලේ සිටින බව පැමිණ සිටින අය දුටුවේ එවිටය. එක් අයෙකු වේගයෙන් ඉදිරියට පැමිණ තාදී ගේ ගෙල මිරිකාගෙන අසල වූ බිත්තියට හේත්තු කළේ තාදී ට හුස්ම ගැනීමට පවා අමතක කරමිනි. අනෙක් තිදෙනා Clothez වෙත ඇතුලු වී මංගල ඇඳුම් ඇන්ද වූ ඩමි කිහිපයද බිම පෙරළා අසල වූ බිත්තියේ එල්ලා තිබූ සහතික පත්‍ර සහ ඡායාරූපද බිම හෙලමින් අනෙක් භාණ්ඩ වලටද පහර දෙන ආකාරය තාදී දුටුවේ අඩ අඳුරේය.

” පාඩුවේ හිටපන් ” 

එපමණක් කියා ගෙල මිරිකූ පුද්ගලයා තාදීව අත හැරි අතර තවත් තත්පර කිහිපයක් ඇතුළතදී ඔහු අනෙක් තිදෙනා සමග යතුරු පැදිවල නැගී පිටව පලා ගියෝය.

තාදී කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් පොළොව මතට ඇද වැටී දණ ගසාගෙන බලා උන්නේ දැඩි ලෙස අලාභ හානි සිදු වූ තම දෑස මෙන් රැකගත් ආයතනය දෙසය. සියල්ල තම දෑස ඉදිරියේම විනාශ වී තිබියදී තාදී ගේ දෑස් වලින් නොනවත්වාම කඳුළු කඩා හැලෙන්නට විය. වසර ගණනාවක් පුරාවටම පියවරෙන් පියවර මේ සියල්ල ගොඩනැගීමට ගත් වෙහෙස මහන්සිය තාදී ට සිහි වූ අතර විනාඩි ගණනාවක් ඇතුළතදී ඒ සියල්ල විනාශ වී ඇති ආකාරය තාදී වේදනාවෙන් බලා උන්නාය. හදවත ගැඹුරෙන් සියුම් වේදනාවක් ඇරඹීගෙන එද්දි තාදී පපුවට අත තබා ගත්තාය. 

මාර්ගයේ ගමන් කරමින් හුන් එකා දෙන්නා Clothez වෙත ඇදී එද්දී තාදී පියවි සිහියට පැමිණියාය. සිදුවී ඇති අලාභ හානිය සහ තාදීගේ හැඬුම දුටු විට මෙය කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව තේරුම් ගන්නට පැමිණ සිටියවුන්ට අපහසු වූයේ නැත.

ශෝකයෙන් බර වූ හදවතට රිදෙන්නට හැර , නිරායාසයෙන් කඩා වැටෙන කඳුළු වලට වැටෙන්නට හැර තාදී වාඩි වී හුන් තැනින් නැගිට්ටාය. ඇය හෙමින් සීරුවට දෙපා තබා සිහිනයෙන් මෙන් ඇවිද ගියේ කාර්‍යාල කාමරයටය. මේසට මත වූ දුරකතනය අතට ගත් තාදි වෙව්ලන ඇඟිලි තුඩු වලින් ධීර ගේ අංකය සොයා ගෙන එය ඇමතුවාය.

ධීර උන්නේ නින්දත් නොනින්දත් අතරේ ය. තාදී ගේ දුරකථන ඇමතුම පැමිණියේ ඒ මොහොතේය. Clothez හී නතර වී අතපසු වූ වැඩ කිහිපයක් නිමා කරන්නට තිබෙන බව පැවසූ තාදී මේ තමා අමතන්නේ නිවසට ගොස් බව ධීර සිතුවේය. ඒ සිතුවිල්ලෙන් ධීර ඇමතුම ක්‍රියාත්මක දුරකථනය කනේ තබා ගත්තේය.

” තාදී ” 

” ධීර ” 

තාදී ගේ හඬ හැඬුම්බරය. පසුබිමින් විවිධාකාර හඬවල්ද ඇසේ. එය ඇසුනු ධීර විදුලි සැරයක් වැදුනාක් මෙන් නැගිට ඇඳ මතින් වාඩි වූයේ ය.

” තාදී? ඇයි මේ ? “

” අ.. අනෙ ධීර. බලන්න වෙච්ච දේ ” 

තාදී හඬන්නට පටන් ගත්තාය. ඇය මෙලෙස හඬා වැටෙනවා ධීර මින් පෙර අසා හෝ දැක නැත. ඇත්තටම ධීරට සිතුනෙ තාදී නිවසට යන අතරමග හදිසි අනතුරකට ලක්වී ඇති බවය.

” තාදී කතා කරන්න ? ඔයා කොහෙද ඉන්නේ ? ” 

” මං.. මං ශොප් එකේ ධීර.. අනේ පොඩි කරදරයක් ” 

තාදී ට කියා ගත හැකි වූයේ  එපමණක් වූ අතර ඇගේ හැඬුම නැවතත් ඉස්සර විය.

” බය වෙන්නෙ නැතුව ඉන්න මං එනවා ” 

සිදු වී ඇති දෙය පිළිබඳව අදහසක්වත් නොමැතිව ධීර ඇඳෙන් පැන අල්මාරිය ඇරියේය. විනාඩි කිහිපයක් ඇතුළත සූදානම් වූ ධීර වාහනයට නැඟ නිවසින් පිට වූයේ ජයමිණි ට වත් කියා යන්නට ප්‍රමාද නොවෙමිනි.

Clothez වෙත ඒ මොහොතේ පැමිණි කවුරුන් විසින් හෝ සිදුවී ඇති සිදුවීම පොලිසියට දැනුම් දී තිබූ අතර තවත් විනාඩි දහයක් පමණ ගත වන විට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ තිබුණි. කම්පනයට පත්වී සිටි තාදී ලොබියේ තිබූ සෝෆාව මත වාඩි වී හඬමින් සිටි අතර ඇගේ සිත ශෝකයට පත් කර තිබුණේ ජීවිතයේ කිසිම දිනයක නොදැනුණු තරමේ අසරණකමකින් සහ වේදනාවකිනි.

ධීර පැමිණියේ පොලිසිය පැමිණ  CCTV දර්ශන පරීක්ෂා කරන අතරේය. සෝෆාව මතට වී අසරණ ලීලාවෙන් හඬා වැටෙන තාදී ධීර ගේ වාහනය පැමින නවත්වනවා දුටු සැනින් නැගී සිටියාය. වාහනයෙන් බැස ගත් ධීර දිව ආවේත් තාදී ඉදිරියට ගොස් ඔහුව වැළඳ ගත්තෙත් එකවරය. තාදී ගේ හැඬුම තවත් වැඩි වූ අතර ධීර පුදුමයෙන් මහත් වූ දෑස් වලින් වටපිට බැලුවේ සිදු වී ඇති විනාශය සිතා ගන්නටවත් නොහැකිවය. 

සිදුවූ ව්‍යසනය හමුවේ කඩා වැටුනු තාදී ගේ සිතට මඳ හෝ අස්වැසිල්ලක් දැනුනේ ධීර ගේ ආගමනයෙන් පසුය. ධීර ගේ දෑත් මැද තාදී ට දැනුනේ ආදරණීය රැකවරණයකි. සැනසීමකි. ඇය සිත්සේ හඬා වැටෙමින් දිය කර හරිමින් සිටියේ සිතේ තිබුණු වේදනාව සහ බිය මුසු වූ හැඟීම් ය.

” මේ මහත්තයගේ නෝනද ? ” 

පොලිසියේ අයෙක් ඉදිරියට පැමිණියේ එසේ අසමිනි.නමුත් ධීර කිසිවක් කීමට ඉක්මන් වූයේ නැත.

” මේක හතර දෙනෙක් ඇවිල්ල කරපු ඇටෑක් එකක්. හැමදේම පැහැදිලිව කැමරාස් වල තියෙනවා. උන් මිස් තාදී ට අනතුරක් නොකර ගිය එකම ලොකු දෙයක් ” 

” මට ඒ ටික බලන්න ඕනේ ” 

ධීර උන්නේ සිදුවී ඇති සිදුවීම ගලපා ගන්නට උත්සාහ කරමිනි. තාදී ගේ අතින් අල්ලා ගත් ධීර ඇය කැටුව පොලිස් නිලධාරියා පසු පසින් කාර්යාල කාමරය වෙත ගියේය.

සිව් දෙනෙකු විසින් විනාඩි ගණනාවක් තුළ  හිතක් පපුවක් නැති ආකාරයෙන් සිදු කළ මහා විනාශය ධීර කැමරා දර්ශන ඔස්සේ නැරඹුවේ මහත් වූ වේදනාවකිනි. තාදී ඒ දර්ශන දෙස හැරී හෝ බැලුවේ නැත. පැමිණි පුද්ගලයෙකු තාදීගේ ගෙල මිරිකන දර්ශනය පවා එහි සටහන් වී තිබූ අතර තාදී අතපසු වූ වැඩ සම්පූර්ණ කිරීමට Clothez හී නතර වනවා යැයි කී විට ඇයව නිවසට නොයැවීම පිළිබඳව ධීර ට දැනුනේ මහා පසුතැවිල්ලකි. ධීර ඒ හැඟීමෙන්ම තාදී ව තවත් තදින් ළයට තද කර ගත් අතර තාදී නිදහසේ තම කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here