තාදී – 41

0
2905

” ඇයි ? ” 

වසන්ත කෑම සාලයේ සිට ඉදිරියට ආවේ ධිර ගේ හඬ ඇසීය. ඔහුගේ මුහුණේ වූ වෙහෙසකර බවත් එය පරදා නැගෙමින් තිබෙන කෝපයත් හඳුනා ගන්නට වසන්තට අපහසු වූයේ නැත. කුමක් හෝ සිදුවී ඇති බව ඉවෙන් මෙන් හඳුනා ගත්තත් වසන්ත බලා සිටියේ ධීර යමක් කියන තුරුය

” මං හිතුවේ නෑ තාත්තා මේ වගේ පහත් වැඩ කරන ජරා මනුස්සයෙක් කියලා ” 

ධීර දත් මිටි කෑවේය. ජයමිණි ද බලා උන්නේ පුදුමයෙනි. ධීර කොහේ සිට පැමිණියාදැයි අදහසක්වත් නැති තැන වසන්ත ද උන්නේ තුෂ්නිම්භූත වීය.

” මොනවද මිනිහෝ කියවන්නේ ? පිස්සුද ? ” 

” පිස්සු මට නෙමෙයි තාත්තට. අර අහිංසක කෙල්ලගේ හැමදේම විනාස කරලා දාලා තාත්තා හිතෙනවද තාත්තට හොඳින් ඉන්න පුළුවන් කියලා ? තාත්තට ආපහු පොලිස් කූඩුවේ ළඟින්න තමයි දැන් තියෙන්නේ. බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා  ” 

ධීර කෝපයෙන් ඉවත බලා ගත්තේය. මෙසේ කෑකෝ ගසා පුරුද්දක් මින් පෙර නොතිබුණත් දැන් දැන් සිදුවන දේවල් හමුවේ තමාට තමාව පාලනය කරගත නොහැකි බවක් ධීරට දැනෙමින් තිබුණි.

” මොනාද ජයමිණි මූට වෙලා තියෙන්නෙ? ” 

කිසිවක් සිතා ගත නොහැකි වූ වසන්ත එවර බැලුවේ තම බිරිඳ දෙසය.

” මොකක්ද පුතා වෙලා තියෙන්නේ ? ඔයා කියන කිසි දෙයක් අපිට තේරෙන්නේ නැහැ ? ඔයා කොහේ ගිහින්ද මේ එන්නේ? ” 

” දැන් තාත්තා කියන්නේ සිද්ධ වෙච්ච කිසි දෙයක් තාත්තා දන්නේ නෑ කියලද ? තාත්තා මේ කිසි දේකට සම්බන්ධ නෑ කියලද දැන් මේ කියන්න හදන්නේ ? “

ධීර අඩියක් දෙකක් ඉදිරියට පැමිණියේය. ජයමිණි ද ඒ සමගම ධීර ආසන්නයට පැමිණ නැවතුනාය.

” මට කියන්නකෝ මොකක්ද වෙලා තියෙන්නේ කියලා ? ආ පුතා ? ” 

ධීර ජයමිණි දෙසට හැරුනේය. ඒ වසන්ත දෙස බලන විට පවා කෝපය උත්සන්න වන නිසාය.

” ඊයෙ රෑ කවුරුහරි හතර දෙනෙක් බයික් දෙකකින් ඇවිල්ලා තාදී ගේ ශොප් එක කුඩු කරලා” 

” දෙයියනේ ” 

ජයමිණි පුදුමයෙන් මුවට අත තබා ගත් අතර වසන්තද ඇත්තටම පුදුමම වූයේය.

” ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ වගයක් ඉවර කරන්න හිතාගෙන තාදීත් එවලෙ ෂොප් එක ඇතුලෙ ඉඳලා තියෙන්නේ. ඒ ආපු එකෙක් තාදී ගේ බෙල්ලත් මිරිකල ගිහින්  “

” දෙයියනේ. ඒ ළමය කෝ දැන් ? ” 

” එයාට ප්‍රශ්නයක් නෑ අම්මා. ඒත් එයා ඉන්න ලොකු ෂොක් එකක. මං තාදිව එයා ගේ ෂොප් එකේ වැඩ කරන ළමයෙක් එක්ක ගෙදරට බැස්සුවා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ අම්මා ” 

ධීර ආයෙම වතාවක් වසන්ත දෙස බලා නැවත ජයමිණි දෙස බැලුවේ ය. 

” මොකද්ද ? ” 

” කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙච්ච , කිසිම හතුරෙක් නැති තාදීට මේ වගේ දෙයක් කලේ කවුද කියන එක  “

” දැන් තමුන් මේ මගේ ඇඟට කඩාගෙන පනින්නේ මේක මම කළා කියලා හිතාගෙනද ? ” 

වසන්ත නිහඬතාවය බින්දේ ඒ මොහොතේය. ධීර නැවතත් ඔහු දෙස බැලුවේ නොසන්සිඳුණු කෝපයෙනි. ධීර ට ඔහු ගැන දැනුනේ මේ තම පියා බව පවා අමතක කරන්නට හිතෙන තරමේ හැඟීමකි.

” මේ වෙනකන් තාදී ට මේ වගේ දෙයක් කරන්න කිසිම තරහකාරයෙක් හිටියේ නැහැ. මොකද එයා එහෙම මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න, එක එක තැන්වල කේලං කියන ජාතියේ කෙල්ලෙක් නෙමෙයි. අනික තාත්තා එයාගෙ ෂොප් එකට ගිය දවසෙම මේ දේ උනේ කොහොමද ? ” 

” ධීර මේ. මං ඒ ළමයාව හම්බ වෙන්න ගියා තමයි. හැබැයි මේ වගේ දෙයක් කරන්න තරම් ජරා මිනිහෙක් නෙමෙයි මම. කියන්න තියෙන දේවල් මං ඒ ළමයගේ මූණටම කියලා ආවේ. ඒ නැතුව මේ හැංගි හොරා වැඩ මගේ ළඟ නැහැ “

” හහ්. තාත්තාගේ තියෙන හැංගි හොරා වැඩ අපි පහුගිය දවස් ටිකේ දැක්කනේ ” 

ධීර එවර පෑවේ සමච්චල් සහගත සිනහවකි. තමා අතින් වරදක් සිදුවූ බව ඇත්තය. එහෙත් මේ සිදු වී ඇති දෙය තමා අතින් සිදුවූ බව පිළිගත නොහැක. තාදීව දුටු පළමු මොහොතේම ඇය ගැන විශාල පැහැදීමක් හිත තුළ ඇතිවුවත් ඇයව තම පවුලට නොගැලපීමත් , තමා රූපසිංහට දී ඇති පොරොන්දුවත් නිසා හැරුණු කොට ඇත්තටම තාදී කෙරෙහි තරහවක් වසන්ත ගේ සිත තුළ තිබුණේ නැත. 

” හරි මං වැරැද්දක් කළා තමයි.හැබැයි මේ දේට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. අනිත් එක එහෙම දෙයක් කරන්න තරම් තරහක් මට ඒ ළමයත් එක්ක නැහැ. නැට්ට පාගගෙන දඟලන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලලා කතා කරනවා “

ජයමිණි උන්නේ මේ කතාව දෙස බලා ගෙන සිටිය නොහැකි තත්ත්වයකය. ඇයට අසන්නට දේවල් බොහොමයක් තිබුනත් මේ මොහොතේ පිය පුතු දෙපළම එකිනෙකා කෙරෙහි කෝපයෙන් සිටින නිසා කුමක් සිදු වේදැයි බියෙන් ජයමිණි බලා උන්නාය.

” කොහොමත් හොයන ගමන් තමයි ඉන්නේ. කොයි වෙලාවේ හරි පොලිසිය මෙහෙටත් එන්න බැරි කමක් නැහැ. මේක කරපු එවුන්ට හොඳ පාඩමක් උගන්නලා තමයි මං පස්ස බලන්නේ. “

” පොලිසියට බැරි නම් ඕන එකෙකුට එන්න කියනවා ධීර. මම දන්නවා මම කළේ මොනාද නැත්තේ මොනාද කියලා. අනිත් එක කවුරුහරි කෙනෙක් දුක් මහන්සියෙන් හම්බ කරපු බිස්නස් එකක් එහෙම කුඩු පට්ටම් කරලා දාන්න තරම් නරුමයෙක් නෙමෙයි මම ” 

වසන්තගේ ස්වරය බාල වෙමින් තිබුණි. තාදී කුඩා වයසක තරුණියක ලෙස ගොඩනගා තිබුණේ එසේ මෙසේ ව්‍යාපාරයක් නොවේ. එය කවුරුන් හෝ විසින් විනාශ කර දමා ඇත්නම් එය සුළුපටු වරදක් ද නොවේ. වසන්ත නිහඬව තරප්පුව නැග්ගේය. පසුගිය දිනවල තමා හැසිරුණු ආකාරය නිසා ධීර මේ සිදුවීමට තමාව සැක කිරීම අරුමයක් නොවේ යැයි වසන්ත සිතුවේය. 

” තාදී ට කොහොමද පුතා ? ” 

ධීර අසල වූ කවිච්චියෙ වාඩී වූ අතර වසන්ත නොපෙනී ගිය සැනින් ජයමිණි ධීර අසලට පැමිණ ඇසුවාය. 

” පව් අම්මා. මං පළවෙනි පාරට දැක්කේ තාදී ඔය වගේ ඉන්නවා. කවදාවත් අඬපු නැති තාදී නවත්තන්නෙ නැතුව අඬනවා අම්මා. එයා කොහොම ඉවසනවා ඇතිද අවුරුදු ගානක් හරි හම්බ කරපු දේවල් ඇස් දෙක ඉස්සරහ විනාස වෙලා යද්දී “

ධීර කතා කලේ ශෝකයෙනි. තම පියා කියනා ආකාරයට ඔහු මේ කිසිවකට සම්බන්ධ නැත. එහෙත් එය විශ්වාස කරන්නට නොහැක. වසන්ත උන්නේ ඒ තරමටම තාදී සමග තරහෙනී. 

” ඔයා හිතනවද ඇත්තටම තාත්තා මේක කළා කියලා ? ” 

” වෙන කවුරු කරන්න ද අම්මා ? තාදී ට කිසිම තරහකාරයෙක් නැහැ . අම්මා දන්නවනේ එයා කොච්චර අහිංසක ළමයෙක්ද කියලා ” 

ජයමිණි ධීර අසලින් වාඩිවී කල්පනා කරන්නට පටන් ගත්තාය. යමක් සිතට දැනෙමින් තිබුනත් ජයමිණි එය වචන වලට පෙරලන්නට ගියේ නැත. මේ සිදුවීමට මේ මොහොතේ පොලිසිය සම්බන්ධ වී සිටිනවා නම් ඔවුන් ඉතා ඉක්මනින් වැරදිකරුවන් නීතිය රැහැනට හසුකර ගනු ඇත. එතෙක් තම සිතැඟි නොපවසා සිටින්නට ජයමිණි තීරණය කලාය.

” මට තාදී ගැන හරි දුකයි අම්මා. මේ දේ මට වුණා නම් මට මොනා වෙයිද කියලා මට හිතා ගන්න බෑ. අඩුම ගානේ මට ඔයා හරි ඉන්නවා. ඒත් ඒ අහිංසක කෙල්ලට කවුද ඉන්නේ? ” 

” මේක කළේ කවුද කියලා පොලිසිය හරියටම හොයාගන්නකම් ඉමු පුතා. මං හිතන්නෙ නෑ තාත්තා මේක කළා කියලා. මොකද තාත්තා shop එකට ගියෙත් මාත් එක්ක. ඊට පස්සේ තාත්තා හිටියේ ගෙදරනේ. ඔය වගේ දෙයක් ප්ලෑන් කරන්නවත් තාත්තට වෙලාවක් තිබ්බා කියලා මං හිතන්නේ නෑ ” 

” අම්මා හිතන්නේ එහෙමද ? ” 

” තාත්තා ඒ ළමයගේ හිත රිදෙන විදියට කතා කළා කියලා මං පිළිගන්නවා. ඒත් මෙහෙම දෙයක් කරයි කියලා නම් මට හිතන්න බැහැ ” 

ආයුෂ් ගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ ඒ මොහොතේය. ධීර ඉක්මනින් එයට සම්බන්ධ වූයේ මේ මොහොතේ Clothez හී රැඳී සිටින්නේ ඔහු නිසාය.

” කියපං මචං ” 

” ධීර. උඹ කොහෙද ඉන්නේ? ” 

” ගෙදර ආව විතරයි බං ” 

” පොඩි ආරංචියක් තියෙනවා ” 

ආයුශ් එසේ කී සැණින් ධීර වාඩිවී හුන් තැනින්  නැගී සිටියේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here