(අ)හිමි සිහින -128

එවැනි උසස්වීමක් ලැබුණාම කිසිම කෙනෙක් රාජකාරියට යෑම ප්‍රමාද කරන්නෙ නෑ.නමුත් සුදාරක සතියක් තිස්සේ නව පත්වීමට ගියේ නැහැ.ඒ වෙත යාම ප්‍රමාද කිරීම ගැන මම දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කරා.

“ඔයා මෙහෙ ඉන්නවට කැමති අයත් ඉන්නවා අකැමති අයත් ඉන්නවා.මේ මනුස්සයා මාරුවීමක් ලැබිලත් යන්නේ නෑ නේ කියලා ඒ මිනිස්සු බණිනව ඇති.”

මම එහෙම කියලා ඔහුට ටිකක් තදින් කතා කළා.නමුත් ඔහු ඔහුගේ සුපුරුදු සිනාවෙන් මං  දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

“මැනිකෙ මේ සුදාරකට ලංකාවේ කොහෙත් එකයි.මේ සුදාරක කියන්නේ මේ ලංකාවේ ඕන තැනක ඕන ගහක් ගලක් යට හිටපු මිනිහෙක්.මට මේ ලංකාවේ ඕන තැනකට පත්වීමක් දුන්නම මම යනවා මට ඕනේ තැනක් එකයි.ඒ උනාට මම දැන් ගියොත් මේ බුදු පිළිමේ මෙතන තියයිද කියන එක ගැන මට අවිශ්වාසයක් තියෙනව.ඔය වැඩේ ඔතනින්ම නවතිනවා ඕක ආපහු තියයි කියන එක ගැන මට විශ්වාසයක් නෑ.ඒ නිසා මම බුදු පිළිම වඩම්මලාම තමා මෙතනින් යන්නේ.”

ඉතින් ඔහු බුදු පිලිමය සම්බන්ධ වැඩ ඉවර වෙනතුරු කල් ඉල්ලමින් රැඳී සිටියා.අනතුරුව බුදු පිලිමය වඩම්මවා ඊට පසුවදා ම ඔහු නව රාජකාරිය සඳහා පිටත් ව ගියා.නමුත් සුදාරක ඒ බුදු පිලිමය අතහැර දැමුවේ නැහැ.කොළඹ පැමිණි හැම අවස්ථාවකම ඔහු ඒ වෙත ගියා.එක්තරා අවස්ථාවක අපි යනවිට විහාර මන්දිරයට විදුලි බලය ඇණහිට තිබුණා.ඒ සුදාරක ට විශාල වේදනාවක් වුණා.

“මේ බුදු පිළිමයක්.ඒකෙ ලයිට් ඕෆ් කරන්න එපා.රෑටත් ලයිට් දාල තියෙන්න.ඔතනට ගිලන්පස ටිකක් හෙම තියන්න.උදේ හවස මල් එහෙම පූජා කරන්න.අපේ කොල්ලන්ට වඳින්න කියලා තැනකට තියෙන්නෙ මෙතැනනෙ.ඒ නිසා මෙතන ලස්සනට තියාගන්න.කොල්ලන්ට මෙතැනට වඳින්නේ කියන්නේ උන්ගේ තියෙන පව් ගෙවෙන්නත් එක්ක.”

ඉන් පසුව බුදු පිළිමයට වතාවත් කිරීම කිසිම කෙනෙකු පැහැර හැරියේ නැහැ.මේ වෙද්දී එතන ශීල ව්‍යාපාර පවා පැවැත්වෙන බව මම ඔබට කියන්නේ ඉතාම සතුටින්.සුදාරක කරගත්තේ ඉතා උතුම් පුණ්‍ය කර්මයක් බව මම විශ්වාස කරනවා.බෞද්ධ ආගම අදහන්නෙකු ලෙස වැඳුම් පිදුම් කිරීමට ස්ථානයක් සකසන්න ඔහුට තිබූ ඒ උනන්දුව මම මගේ දෑසින්ම දුටුවා.ඒ පින සුදාරකට ආත්ම ගණනාවක් පුරා උපකාර වන බව මට විශ්වාසයි.

“ඔයා කරගත්තේ මොනතරම් පිනක්ද?”

එය බුදු මැදුර දකින හැම වාරයක් පාසාම මම හිතින් සුදාරක ට පින් දෙමින් එහෙම කියනවා.ඔහු එවැනි දේ කරන්නට ඉතාම රුචියක් දැක්වූ මිනිසෙක්.විශ්‍රාම වැටුප් අහිමි සේවකයන්ට ඒවා සකස් කර දෙන්නට ඔහු ඉතාම කැපවී කටයුතු කළා.ඒ අය ඔහුට අදටත් පිං දෙනවා.

“අපි අදටත් කාලා ඇඳලා ඉන්නේ සර් නිසා”

ඔහු ගැන කවුරුන් හෝ එහෙම ආදරෙන් කතා කරද්දි මට දැනෙන්නෙ දරාගත නොහැකි සතුටක් වගේම ආඩම්බරයක්.මගේ සුදාරක මොන තරම් උතුම් මිනිසෙක් ද? ඔහු රට වෙනුවෙන් කැප වූ වීරෝධාර මිනිසෙක් විතරක් නෙමෙයි.උතුම් හදවතක් සහ උතුම් මනුෂ්‍යත්වයක් දරා ගත් මිනිසෙක්.ඒ මිනිසාගේ පාදපරිචාරිකාව වීමට ලැබීම මම මගේ ජීවිතයේ ලැබූ ඉහළම ජයග්‍රහණය සහ වාසනාව කියලා මම හිතනවා වගේම විශ්වාස කරනවා.”මහා පුරුෂයෙකුට බිරිඳක් වීම” මගේ වාසනාවට ලැබුණු දෙයක් වෙන්න ඇති.

ජීවිතේ මේ අයුරින් ගලා යමින් තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles