ශරදාකාසේ -25

එවකට ශාරද අට නවය වසර වල කොලුවෙකි. දවසක් ඔහු ගේ පාසල් මිතුරෙකු සිය උපන් දින සාදයක පින්තූර රැගෙන ආවේ ය. ඒ පින්තූර වල සිය පියා සිටිනු දුටු ශාරද වික්ෂිප්ත වූයේ ය.

“මේ ඔයාගෙ කවුද…”

ඔහු සිය පියා ගේ පින්තූරය මත ඇඟිල්ල තබා මිතුරා විමසුවේ සැකයෙනි.

“ඒ මගෙ බාප්ප. අපේ අම්මයි තාත්තයි ඩිවෝස් වුණාට පස්සෙ එයා තමයි මගෙ ස්ටෙප් ෆාදර්”

ශාරද ගේ කුඩා හිත සංවේගයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද පිරී ගියේ ය. ඒ සිය පියා බව ඔහු මිතුරාට නො කියා හිටියේ, පෙර කී හැඟීම් ඔහු ගේ ළමා මනසට බරපතල ලෙස කරදර කළ නිසාවෙනි. ගෙදර යන තුරු ඒ පීඩනය දරා උන් ශාරද දරුවා, පාසල නිම වී ගෙදර ගිය වහා ම සිය මවට ඔහු දැන ගත් සියල්ල පැවසුවේ ය. අම්මා ශාරද ව තනි කොට ගෙන පසෙකට කැඳවා ගෙන ගියේ ඔහු අතින් මහා අපරාධයක් සිදු වූ කලෙක මෙනි.

“ඔයා ඔය ගැන මීට පස්සෙ කාත් එක්කවත් කොතනකවත් වචනයක්වක් කතා කරන්න බෑ. තේරුණා ද..”

අම්මා ගේ මුල් ම විධානය එය විය. ශාරද ට කිසිවක් වැටහුණේ නැත.

“ඉතිං අම්ම අපේ තාත්ත ඉන්දිකගෙ ස්ටෙප් ෆාදර් වෙන්නෙ කොහොමද…”

“ෂ්..”

අම්මා සිය දෙතොල් මත දබරැඟිල්ල තබා ශාරද නිහඬ කරවූවා ය.

“ඒ ඔයාලගෙ තාත්ත තමයි. එයා පුතාලට ගොඩක් ආදරෙයි. අපිට කිසි අඩුපාඩුවක් කරල නෑ. ගෙදර ඉන්න වෙලාවට අපිත් එක්ක සතුටෙන් ඉන්නව. අපිත් එක්ක ගමන් යනව. ට්‍රිප් යනව. කොටින්ම එයාගෙ පවුල වෙනුවෙන් එයා හැම වගකීමක් යුතුකමක් ම ඉටු කරනව. ලොකු පුතා. ඔයා මේක හොඳට මතක තියා ගන්න. තාත්ත එක්කවත් ඔයා මේ ගැන කිසි දවසක කතා කරන්න ඕන නෑ. එයා එළියෙදි මොනා කළත් අපිට වැඩක් නෑ. ගෙදර ගැන බලනවනං එච්චරයි. ඔය වගේ දේවල් වලට අපිට රණ්ඩු කර ගන්න බෑ පුතා. ගෙදරින් එළියට ගියාට පස්සේ පිරිමි මොන මොන ජීවිත ගත කරනවද කියල අපිට හොයන්න බෑ. ඒවට රණ්ඩු කරල මං කොහොමද ඔය දෙන්නව තනියම හදා ගන්නෙ…ඒ කිසි දෙයක් අපිට වැඩක් නෑ. අපි දන්නෙත් නෑ වගේ ඉමු. මේ අපේ තාත්ත. එච්චරයි”

අම්මා ගේ හිතේ තිබූ හැඟීම් ගැන ශාරද ට කිසිදු අදහසක් නැත. නමුත් ඇගේ  මුහුණේ  තිබූ බැල්ම දැඩි බව ඔහු ට මතක ය. එදා ශාරද ඒ තදින් හිතට ගත්තේ ය. ඉන්පසු අම්මා හෝ ආකාස හෝ ඉන්දික සමගින් වුව ඒ පිළිබඳව එක වචනයක් හෝ කතා නොකර ඔහු හද දොරගුලු ලා ගත්තේ ය. 

ගෙදරට යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කරනවා නම් තාත්තා ගේ භූමිකාව එපමණක් ය යන අදහස ඔහු ගෙ ළමා මනසෙහි කා වදින්නට ඇත්තේ එදා ය. ශාරද ගේ මවු මේ කාරණය අලලා සිය පියා සමගින් දබර කර ගනු ඔහු ට ඇසී නැත. බිරිඳක ගෙදර ට වී දරුවන් බලා ගෙන ගෙදර කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා මිල මුදල් ලබා දීමෙන් ද සිය නීත්‍යානුකූල වෛවාහක පවුල වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කිරීම ස්වාමියා ගේ කාර්ය භාරය බවත් ඔහු තීන්දු කර ගන්නට ඇත්තේ එදා ය. 

වැඩිහිටි වී විවාපත් වූ ශාරද තුළ, ළමා වියේ දී මනසේ තැන්පත් වූ අදහස ගැඹුරේ තැන්පත් වී තිබෙන්නට ඇත. පංචලී ට පෙර තවත් තරුණියන් දෙතුන් දෙනෙකු කෙරේ ද පංචලී කෙරේ ද හිත ඇදී යත්දී එය විවාහකයෙකු අතින් විය හැකි බරපතල වරදක් ය යන හැඟීම ලොකුවට ඔහු ට බලපෑම් නො කළේ එනිසාවෙනි. නිශාමනී ට කිසිදු වෙනස් කමක් සිදු නොවෙනවා නම් හා ගෙදර ට අඩුපාඩුවක් නො වෙනවා නම් එවන් සම්බන්ධයක ඇති වරදක් ගැන ඔහු ට හැඟුණේ නැත. 

“මේව ඇවිල්ල සමාජ සංස්කෘතික ගැටළු මචං”

චාමර තව දුරටත් ශාරද ගේ තත්වය ආකාස සමගින් විශ්ලේෂණය කරන්නට වූයේ ය. 

“අපි ජීවත් වෙන සමාජයෙ තියෙන සංස්කෘතිය තමයි සමාජ සත්වයෙක් ගොඩ නගන්නෙ. ඒ කියන්නෙ ඒ සමාජයට ඒ සමාජෙ සංස්කෘතියට ගැලපෙන මිනිහෙක්ව නිර්මාණය කරන්නෙ. උදාහරණ විදිහට එක සමාජෙක ඕකේ කියල කියන දෙයක් තව සමාජෙක මහ භයානක වරදක් විදිහට සලකනව. ඉස්සර ලංකා සමාජෙ කසාද බැඳිලි තිබුණෙ නෑ. කැමති දෙන්නෙක් එකට ජීවත් වෙන්න පටං ගන්නව. ළමයි හදනව. දෙන්නා දෙන්නාගෙ යුතුකං වගකීම් ඉටු කරනව. ඒ කාලෙ අපිට ඒව ප්‍රශ්න වුණෙ නෑ. ඒත් සුද්දො අවුරුදු සිය ගාණක් අපේ රටවල් පාලනය කරල උංගෙ කසාද නීති අඳුන්නල දුන්නට පස්සෙ ඒක තමයි අපිට ඕකේ..දැං වෙස්ටර්න් රට වල උන්ගෙ ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක අපේ උන්ට ඈයියා. අපේ සිංහල සමාජෙ එක ගෙයි කෑව. අයිය මලෝ දෙතුන් දෙනෙක්ට එක ගෑනියෙක් ගෙනාව. දැන් අපිට පිරිමියෙක්ට ගෑනු දෙතුන් දෙනෙක් ඉන්න එක ආනන්තරීය පාප කර්මයක්. රජවරුන්ට අන්තඃපුරයක් බිසෝවරු හිටිය. දැනුත් සමහර ආගම් වලට සංස්කෘති වලට අනුව ලෝකෙ සමහර තැන් වල එහෙම සමාජ තියෙනව. අන්න ඒ සංස්කෘතිය තමයි අපිව බිල්ඩපු කරන්නෙ. ශාරද කියන මනුස්සයව බිල්ඩප් කරල තියෙන්නෙත් එයා පොඩි කාලෙ එයාගෙ ඔළුවෙ තැන්පත් වෙච්ච සංස්කෘතිය”

ආකාස සිය නිකට හා කම්මුල් පිරිමදිමින් චාමර ගේ දේශනයට සවන් දී ගෙන සිටියේ කිසියම් කම්පනයකින් යුතුව ය. 

“නමුත් නිශාමනී බිල්ඩප් වුණ කල්චර් එකට අනුව ශාරද කියන්නෙ සමාවක් දෙන්න බැරි වරදක් කරපු කෙනෙක්. සිංහල සංස්කෘතිය සුද්දන්ගෙන් පස්සෙ තියෙන්නෙ එහෙම තැනක ආකාස. ගෑනු ළමයි බලාපොරොත්තු වෙන්නෙ තමන්ට විතරක් ආදරේ කරන තමන් එක්ක විතරක් සියලු දේවල් බෙදා හදා ගන්න පිරිමියෙක්. අපේ පුංචි ළමයෙක්වත් කැමති නෑ තමන්ගෙ අම්ම තාත්ත වෙන ළමයෙකුට ආදරේ කරනව දකින්න. අපි ඒ ඊර්ෂ්‍යාකාර පටු මානසිකත්වය ඉපදිච්ච දවසෙ ඉඳලම ළමයෙක් තුළත් ගොඩනගනව. පරම්පරා කීපෙකදි ඒවා දරුණු විදිහට අපේ සමාජ සංස්කෘතිය විදිහට ජාන වලම තැන්පත් වෙනව. නිශාමනීට වරදක් කියන්න බෑ. එයාට තව දුරටත් ශාරද එක්ක ඉන්න බැරිනං ඒ දෙන්න ඩිවෝස් එකකට ගිහිං ඒ අවුල ලිහා ගන්න කියලයි අපිට උපදෙස් දෙන්න පුළුවන්. මොකද අපේ වගකීම අපේ සේවා දායකයා බලාපොරොත්තු වෙන සැනසීම එයාට කොයි මාර්ගයෙන් හරි සලස්සල දෙන එක මිසක් සමාජ සංස්කෘතික වෙනස්කං ගැන බණ කියන එක නෙවෙයි. මං හිතන්නෙ ශාරද මං කියපු දේවල් හොඳට අවබෝධ කර ගත්තා. එයා තව දුරටක් නිශාමනී ව හිර කරන්න බලන එකක් නෑ. අනිත් අතට ශාරද පංචලීට වුණත් ආදරේ කළේ ඇත්තට නිසා…නිශාමනීගෙන් ඩිවෝස් වුණාට ශාරද ට ඔප්ශන් එකක් තියෙනව”

“මටනං පිස්සු වගේ බං”

ආකාස සිය නළල පිරිමදිමින් සුසුමක් පිට කළේ ය. චාමර සිනහවක් නගා ගත්තේ ය. 

“මේව නිසා මොළේ කචල් කරං උඹ මැරි කරන්නැතුව ඉන්න එපා. උඹ බැදහං හොඳ කෙල්ලෙක් හොයං. ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන මචං. මැරෙනකල් සතුටෙන් ජීවත් වෙන්න ඕන. අපේ මිනිස්සුන්ට මේ දූපතෙං එහාට හිතන්න බැරි නිසයි බං මේ ඔක්කොම අවුල්. මිනිස්සු සතුට කියන දේ ගැන ආදරේ කියන දේ ගැන දැ මාර බ්‍රෝඩ් විදිහට හිතනව. සමලිංගික විවාහ කියන ඒව ප්‍රසිද්ද උත්සව විදිහට ගන්න තරං ලෝකෙ මිනිස්සු බ්‍රෝඩ් මයින්ඩඩ් වෙලා. හැබැයි අපේ ගෑනු තමන්ගෙ මිනිහ වෙන ගෑනියෙක් දිහා බැලුවත් ගේ ඇතුළෙ වලි දාගන්නව. ලෝකෙ මිනිස්සු මැරෙන ටිකට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අවංක මාර්ග හොයා ගෙන යද්දි අපි තව තව නැරෝ මයින්ඩඩ් වෙනව. ඒකට ඉතිං කරන්න දෙයක් නෑ අපේ සංස්කෘතික සමාජ පරිසරේ නිසා”

කෙසේ වෙතත් ආකාස ගෙදර ගියේ තරමක සැහැල්ලුවකිනි. නිශාමනී වුව මෙපමණ විඳවිය යුතු නැත ය කියනා තැනට ඔහු ඇවිත් සිටියේ ය. ශරදාකාසය ට ඇය කෙතෙක් අවැසි වී ද ඈ කැමති ආකාරයකට ඇගේ සතුට සපයා ගත යුතු ය. ශාරද ව පිළිගන්නට ඇය දැන් සූදානම් නැත්නම් ඒ ඇගේ කැමැත්ත ය. ශාරද ඊට විවෘත මනිසකින් ගරු කළ යුතු ය. මන්ද යත් ඈ ඒ වගේ ගමනක් යාමේ වගකීම ඔහු ගේ ක්‍රියාවන් මත රඳා පැවතියා වූ බැවිනි.

“ඔයාට ඕන ඩිවෝස් එකනං මං ඒක දෙන්නං ශාමි. ඒත් ඇත්තටම මට ඔයා නැති කර ගන්න ඕන වුණේ නෑ කියල දිව්රල කියන්න පුළුවන්. දැන් ඒ කිසි දේකින් තේරුමක් නෑ. හැම කසාද බැඳපු පිරිමියෙක්ටම මේක පාඩමක් වෙයි”

ශාරද එදා රාත්‍රියේ නිශාමනී ට කතා කොට ඇය ගේ තීරණය වෙනුවෙන් ඔහු ගේ එකඟතාවය ලබා දුන්නේ ය.

“ඒත් ඔයා කැමතිනං සමාව දෙන්න…මගෙ ජීවිතේ වෙච්ච වැරදි හදා ගන්න මං කැමතියි”

“ඔයා වැරදි හදා ගත්තයි කියල මගෙ කැඩිච්ච හිත හදන්න බෑ ශාරද කවදාවත්”

නිශාමනී බිඳුණු හඬින් කෙඳිරුවා ය.

“ආයෙ කවදාවත් අපිට සාර්ථක පවුල් ජීවිතයක් හදා ගන්න බැරි වෙයි. සැකය හැම වෙලේම අපි අතරෙ එහෙ මෙහෙ ඇවිදියි. ආදරේ අපිව අතෑරල එහාට එහාට යන්න බලයි. කඩං වැටිච්ච අතීතෙක නටඹුන් උඩ අනාගතයක් ගොඩ නගන්න බෑ ශාරද. ඒ නිසා ඔයා පංචලී ගැන බලන්න. එයාගෙ දරුවට තාත්ත කෙනෙක් වෙන්න. එයාට ඇත්ත හස්බන් කෙනෙක් වෙන්න ශාරද”

නිශාමනී කතා කර ගත්තේ අමාරුවෙනි. දික්කසාදය එක හිතින් ඉල්ලා සිටියේ වී ද ඔහු එය ප්‍රතික්ෂේප කරත්දී නො දැනුණ විදිහේ සංකාවක් ඔහු ඊට එකඟතාවය පළ කරත්දී ඇය ට දැනේ. සැබවින් විවාහයක් යනු පහසුවෙන් කඩා දැමිය හැකි එකක් නොවේ. ඒ බිඳ වැටීමේ තුවාල, වේදනා හා කැළල් බෝ කාලයක් හදවත් වල ශෝකයක මතක ඉතිරි කොට තබනු ඇත. ආදරයෙන් හමු වූ මිනිසුන් යළි වෙන් නො විය යුතු ය. වෙන් වෙන්නට නම් ඔවුන් ආදරයෙන් හමු නො විය යුතු ය.

“මාත් ඔයාට චූටි දෙයක් කියන්නං ශාමි. පිරිමි වැරදි කරනව තමයි. ඒත් එතනට වැටෙන්න නොදී එයාව තමන් ළඟ තියා ගන්න වයිෆ් කෙනෙක් දැන ගන්න ඕන. සමහර විට ඔයා හිතුවෙ නැති තරං චූටි දේවල් අපේ බැඳීම බුරුල් කළා. විශේෂයෙන්ම දුව ආවට පස්සෙ ඔයා හරි ආදරණීය අම්ම කෙනෙක් වුණා. හැබැයි ඔයා දන්නෙත් නැතුව ඔයාට මං අමතක වෙලා ගියා. ආයෙ මැරි කළත්…ඔයාගෙ ඒ හස්බන් ගැන වුණත් මං ගැන හිතුවට වඩා ටිකක් හිතන්න ශාමි”

නිශාමනී ට දැනුණේ දරුණු අතුල් පහරක් සිය කම්මුලක් හරහා එල්ල වූවා මෙනි. ඇය වෙව්ලා ගිහින් යහන මත හිඳ ගත්තා ය. ඒ චෝදනාව සුළුවෙන් තැකිය නො හැකි එකක් බව ඇය ට දැනේ. සිදුවීම් සමුදායක් සිනමා පටයක් සේ ඇගේ මනසෙහි මැවෙන්නට විය. බිරිඳක වශයෙන් ලද හැකි විශාල ම පරාජය තමන් විසින් ලබා ඇති බව ඇය වේදනාවෙන් සිහිපත් කළා ය. බිරිඳක වශයෙන් ඔහු ට ඇය මගහැරුණු තැන් නො තිබුණා නොවේ. නමුත් ඒ මත ඉරණම මේ ආකාරයෙන් කණ පිට පෙරළෙතැයි ඇය සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත. මවක වීමත් සමග ගෘහණියක මත පැටවෙන්නා වූ වගකීම් සමුදාය හා වෙහෙස මත ඇය කී වතාවක් ඔහු ගේ ප්‍රේමාලිංගන ප්‍රතික්ෂේප කොට ඇත්දැයි නිශාමනී කම්පාවෙන් යුතුව සිහිපත් කළා ය. 

නිශාමනී යහනේ වැතිර ගෙන සිවිලිම දෙස බලා ගත්තා ය. මුළු ජීවිතය ම ඉරි තලා ගිය බවක් ඇය ට දැනිණ. වෙහෙසකර දවස අවසානයේ ආකාස ගේ කරුණාවන්ත බැල්මක් ඇය ට සුවය සැදු බවත්  සිහි කර ගත හැකි විය. ඇතැම් විට ගැහැනියකට එවැන්නකින් සිය හැඟීම් තෘප්ත කර ගත හැකි වී ද පිරිමි ශරීරයක් එසේ නො වන බව මේ මොහොතේ ඇය බර වූ හදින් ඒත්තු ගන්වා ගත්තා ය.

දික්කසාදය යන විසඳුම තෝරා ගනු ලැබුණේ නිශාමනී විසින් වී ද ඒ විසඳුම ම අර්බුදයක් ව ඇය ඔත්පල කොට දැමුවේ ය. ඊළඟ දවස ම ඇය අප්‍රාණික ව යහනේ වැතිර සිටියා ය. පිලපිටිය යුවළ සිය දියණිය ගේ නිදහසට කිසිදු බාධාවක් නො කොට ඇයට ඇගේ මාවත තෝරා ගන්නට හැර බලා සිටියහ. ඔවුන්ට එය පහසු වූයේ ඔවුන් ශාරද කෙරේ දැක්වූ අපැහැදීම නිසා වන්නට පුළුවන. 

ඒ පරාජයත් සමග පොර බදමින් සිටියදී ය එසඳි විත් නිශාමනී ගේ ගෙල වැළඳ ගෙන ‘අම්මි බාප්ප ඇවිත්’ කියා කීවේ. නිශාමනී හෙමිහිට නැගී සිටියා ය. කැඩපතින් ඇය දුටුවේ ඇය ව ම තිගැස්සවූ රුවකි. ඒ ඇය කියා ඈ කොහොම විශ්වාස කරන්නද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles