පිණි මුතු පලසක් – 07

0
1695

සමුධ්‍යා මද සිනාවක් සමගම අවසරයක් අරගෙන ගෙට ගියේ දහදියෙන් පෙඟුණු ඇඳුම් පැළඳුම් මාරු කරගැනීමේ අවශ්‍යතාවයක් පවසා වුවද එහි ඇත්තටම තිබුණේ ඒ රශ්මියක් විහිදුණ දෙනෙත් බැල්මෙන් මිදීම බව දැන උන්නේ සමුධ්‍යාම පමණකි.ඒ වනාහි සද්ධානන්ද මහත්තයා විසින් හොඳින් දන්න පවුලක් වුණත් තමන් ඔවුන්ව නොදන්නා එක එයට හේතු වන්නට හැකි බව හිතා සමුධ්‍යා මුහුණ කට සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඟ ලා ගෙන ගෙට ඇතුලුවෙද්දී ඒ අම්මාත් පුතාත් පිට වී ගොස් උන්නහ.

“දූට කලින් ඒ කට්ටියව අඳුන්නනල දෙන්න මට අමතක වුනානෙ” කියාගෙන සද්ධානන්ද මහත්තයා කෑම මේසෙට වාඩි වී කියද්දි සමුධ්‍යා පුටුවක් ඇදගෙන වාඩිවෙන ගමන්ම “මට කලින් හම්බුවෙලා දැකල පුරුද්දකුත් නෑ ලොකු සර් ඒ අයව “ කිව්වාය.

“ඒ ආව අනෝමා නෝන තමයි අපේ ගමේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමාගෙ නෝනා මහත්තය. ඔය ආවෙ පොඩි පුතා. පුතාලා දෙන්නම ගියේ අපේ ඉස්කෝලෙට තමයි. ලොකු පුතා නම් දැන් කොළඹ ඉන්නෙ” කියා සද්ධානන්ද මහත්තයා කියද්දී මේ කියන්නේ සත්සරාට කරදර කරන්නට ආ රාස්සයාගේ අම්මාත්, සහෝදරායත් බව සමුධ්‍යා සිතුවාය.

“ආහ් එහෙමද? පොඩි පුතා මොනවා කරන එක්කෙනෙක්ද?” කියා සමුධ්‍යා ඇසුවේ තමන්ගේ සැකය එයාකාරමද කියා ස්ථිර කරගනු පිණිසය.

“පොඩි පුතා මෙච්චර කාලයක් ඉගෙන ගත්තෙ කොළඹ. ඉඳලා හිටලා තමා ගමේ ආවෙ. ඔය අද අම්මා එක්ක ආව හන්දා මීය වගේ උන්නට ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා ඉතින් පොඩ්ඩක් නාහෙට නාහන පුතයා. කොල්ලොනෙ ඉතින්.

ලොකු පුතා ප්‍රභාත්. මල්ලිගෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කිව්වොතින් හරි. පෙනුමද, ගතිගුණද ඒ දරුවගෙ ඔය අනෝමා නෝනා වගේමයි. කොටින්ම කිව්වොත් ඉස්සර ඉස්කෝලේ ළමයි එහෙම ප්‍රභාත්ට කිව්වෙ සිරිමත් කියලා” කතාව මදකට නතර කරමින් සද්ධානන්ද මහත්තයා තේ උගුරක් බොද්දී ලොකු පුතාගේ නම ප්‍රභාත් නම් අද තමන්ට මුණ ගැහුනේ සත්සරා විසින් කියන්නට යෙදුන ලකී විය හැකි බව සමුධ්‍යා සිතුවාය.

“පොඩි පුතා මොනවද කරන්නෙ සර්?” කියා සමුධ්‍යා ආයෙම වතාවක් ඒ ප්‍රශ්නෙ ඇසුවේ ඇත්තටම මේ කියන ලකී වනාහී කුමනාකාරයේ මනුස්සයෙක්ද කියා දැනගනු පිණිසය.

“ලක්ෂිත ළමයා ඔය කොළඹ සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් තැනක මොනවහරි ඉංජිනේරු අංසෙ උපාධියක් තමයි කරේ. මමත් හරියට ඒවයි නම් ගම් එහෙම දන්නෙ නෑ දූ. කාලෙකට පස්සෙ තමයි ඒ ළමයත් ඔය ගමේ ආවෙ. අද ආහමත් මං ඒත් ඇහුවා මොනවද ඉතින් අනාගත බලාපොරොත්තු කියලා. තාත්තගෙ වැඩවලට උදව් වෙන එක තමයිලු බලාපොරොත්තුව කියල කිව්වේ. අනේ මන්දා ඒ උනාට?” කියා සද්ධානන්ද මහත්තයා කතාව අතරමග නතර කරද්දි කතාව් ඉතිරිය දිග්ගැස්සුවේ සද්ධානන්ද නෝනා මහත්තයාය.

“ඒ ළමයා ලොකු පුතා වගෙ නෙවෙයි. ලොකු පුතා මොනව උනත් අම්මා වගේ. සීදේවි දරුවා. මිනිස්සුන්ට උනත් උදව් පදව් කරගෙන ඉන්නව මිසක ඔය තාත්තගෙ දේසපාලන හයිය ඕනවට වඩා ඔලුවට අරගත්ත දරුවෙක් නෙවි. පොඩි පුතා ඊට සහමුලින්ම වෙනස්. ඉස්කෝලේ යන කාලෙ පවා මට මතකයි අපෙ මහත්තයට ඒ ළමය ඔය දාගන්න රණ්ඩු සරුවල් එහෙම බේරන්න හරියට මැදිහත් වෙන්න උනානෙ. ගමේ නතර වෙලා තාත්තාගෙ වැඩවලට උදව් වෙනවා කියල ඔය ළමයා මොන විනාසයක් කරගනීවිද දන්නෙ නෑ” කියා සද්ධානන්ද නෝනා මහත්තයා කියද්දිත් ලක්ශිත නොහොත් ලකී වනාහී කුඩා අවදියේ සිටම වෙනස් හැසිරීම් රටාවක් පෙන්නුව මනුස්සයෙක් බව තේරුම්ගන්නට සමුධ්‍යාට අපහසු උනේ නැත.  එවන් මනුස්සයෙන් සත්සරා වන් පොඩි දරුවන්ව අපයෝජනයට ලක් කරන්න කටයුතු කරන බව බාගදා සද්ධානන්ද මහත්තයාලා නොදන්නවා වෙන්නට හැකි වුණත් තමන් දැන් එය බොහෝ දුරට දන්න නිසාවෙන් නිහඬව සිටීම වැරදි බව සමුධ්‍යා ආයෙ වතාවක් හිතට කිව්වාය. 

සත්සරාගේ ආච්චි අම්මා හමු වී මේ ගැන කතා බහ කරන්න ඕන බව සමුධ්‍යා හිතුවේ ඒ අනුවය.සමුධ්‍යා පස්සෙන්දා පාසල් ගියේත් සත්සරා සමගින් ඒ ගැන කතා කරන අදහසක් හිතේ රඳවාගෙනය. පාසලේ අධ්‍යාපනය කටයුතු අස්සේදිත් සත්සරා පංතියේ හිඳින අනෙක් දරුවන්ට වඩා නිහඬ, නිශ්ශබ්ධ, බියගුලු පිලිවෙතක් අනුගමනය කරන බව සමුධ්‍යා දැක්කේ ඇය දෙස වඩා පරික්ෂා කාරීව බලද්දීය. ඒකට හේතුව මේ පංතියේ සිටින අනෙක් දරුවන්ට කුමක් හෝ වාසනාවක් හන්දා අත්දකින්නට නොවූ අන්දමේ බියගුලු අත්දැකීමකට මුහුණ දෙන්නට සත්සරාට සිදු වීම බව සමුධ්‍යා හිතුවේ ඇය දෙස බලාගෙනය. 

“සත්සරා පුතේ, මං ඔයා එක්ක දෙයක් කතා කරන්න හිටියෙ. ඔයාට වෙච්ච දේ ඔයා මට ඇවිත් කිව්ව එක හොඳම හොඳයි. හැබැයි අපි දැන් කරන්න ඕන සද්ද නැතුව කටවහගෙන ඉන්න එක නෙවෙයි, ඔයාට කරදර කරන්න හදපු මනුස්සයව පොලිසියට අල්ලල දෙන එක.

හැබැයි ඒක මට තනියම කරන්න බෑ. ඔයාගෙ උදව්වත් මට ඕන” කියා සමුධ්‍යා කියද්දී සත්සරා සමුධ්‍යා ටීච දෙස බැලුවේ ඇස් දෙක බයෙන් පුරවාගෙනය. ඒ ඇස් අස්සේ ලියවී තිබුනේ බය මිශ්‍රිත ප්‍රශ්නාර්තයක් බව සමුධ්‍යාට තේරුම්ගන්න අපහසු උනේ නැත.

“මට බයයි මිස්”

“බයවෙන්න එපා පුතේ. බයවෙන්න ඔයා කිසිම වැරැද්දක් කරලා නෑනෙ. ඔයාට බයවෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි ඔයා බයවෙලා කාටවත් මේ වෙච්ච දේ කියන්නෙ නැතුව ඉන්න එක ඔයාට කරදර කරන්න එන මනුස්සයෙක්ට හිතෙන්න පුලුවන් ඔයා කැමති නිසා තමයි එහෙම සද්ද නොකර ඉන්නෙ කියලා. ඒක ඊට වඩා බය වෙන දෙයක්. මොකෝ ඔයත් නොකිය ඉඳලා වෙන කවුරුහරි ඕක දැනගත්තොත් ඔයාත් ඒකට කැමැත්තෙන් හිටියා කියලා ඒ මිනිස්සු හිතන්න පුලුවන්”

“ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නැත්තම් කාටවත් කියන්නෙ නැතුව අපිට ඉන්න බැරිද මිස්?” කියා සත්සරා අහද්දී තමන් හිතනවට වඩා මෙතන තියෙන කතාව වෙනස් බව තේරුම්ගන්න සමුධ්‍යාට අපහසු උනේ නැත. මේ හිඳින්නේ තවමත් මනසින් නොඉඳුල් දරුවන් ය. ලෝකය කොච්චර නම් විසකුරු ද සහ විසකුරු විය හැකිද කියා නොදන්න දරුවන් ය. 

“මේ අහන්නකො, දැන් ඔන්න හිතන්න පුතේ ඔයා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන පාරෙ ඉන්නවා නපුරු බල්ලෙක්. ඔයාලා පස්සෙන් දුවගෙන ඇවිත් ඔයාලව කන්න හපන්න හදන බල්ලෙක්. එහෙම බල්ලෙක් ඉන්නව කියල දැනගත්තම පුතා මොකද කරන්නෙ?”

“අනිත් අයට ගිහින් කියනවා”

“මොකද්ද කියන්නේ?”

“මෙහෙම ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන පාරෙ හපන බල්ලෙක් ඉන්නවා කියලා”

“හරි ඔයා ගිහින් කිව්වෙ නැත්තම් මොකද වෙන්නේ?”

“එතකොට ඒක දන්නෙ නැති අය ඒ පාරෙන් ගිහිල්ලා ඒ බල්ලා කන්න පුලුවන් නේ”

“අන්න හරි. ඒ වගෙම තමයි පුතේ මේ කතාවත් හොඳේ. ඔයා ඔයාට රිදෙයි, කරදර වෙයි, ප්‍රශ්නයක් වෙයි කියල හිතලා, ඒ බයට කාටවත් මේ කතාව කියන්නෙ නැතුව ඉඳියොත් ඒ නපුරු මනුස්සයා ගැන නොදන්න කෙනෙක්ට ඉස්සරහට උනත් කරදරයක් වෙන්න පුලුවන්, ඒ හන්දා තමයි ඔයා ඔයාගෙ වගේම තව පොඩි ගෑණු ළමයිව බේරගන්න නම් මේ වෙච්ච දේ ගැන ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක්ට කියන්න ඕන පුතේ” කියා සමුධ්‍යා ටීච කිව්ව කතාව සත්සරා එදා ගෙදර යද්දිත් කල්පනා කරාය.

සමුධ්‍යා ගුරු පාර දිගේ ඇවිද විත් ඉස්කෝලෙ මහත්තයාගෙ ගෙදරට යන පාර දිගේ යද්දී ආපසු හැරී බැලුවේ සාමාන්‍යයෙන් මේ පාරේ ඇසෙන්නේ නැති විදියෙ මෝටර් බයිසිකලයක සද්දෙ ඇහෙන්න ගත් නිසාවෙනි.

සමුධ්‍යා හැරුණේත් ඒ මෝට බයිසිකල් හඬ සමුධ්‍යා ළඟ නතර වුණේත් තප්පර ගාණක වෙනසකිනි. දාගෙන උන් ෆුල් ෆේස් හෙල්මට් එකේ කලු පැහැ වීදුරුවෙන් උනත් ඒ පැළඳගෙන සිටින්නේ එදා හමු වූ දරාගන්න අපහසු රශ්මියක් දෙනෙත්වල අලවාගෙන උන් තැනැත්තා බව සමුධ්‍යා දුටුවාය.

වටපිටක කවුරුවත් නැත.

පාර දෙපසින්ම වැසී තිබුණේ විසල් ගස් වල අන්ධකාර සෙවණැලි වලිනි.

හිත ගැස්සුණේ ඒ නිසාවෙන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here