පිණි මුතු පලසක් – 08

0
2069

“මං මේ ඔයා යනවා දැකලා ආවෙ” කියාගෙන ලක්ශිත ෆුල් ෆේස් හෙල්මට් එක ගලවමින් නුපුරුදු හිතමිතුරු ලීලාවකින් කියද්දි උනත් සමුධ්‍යා උන්නේ හිත අස්සෙන් ගැහෙමිනි. ලක්ශිතගේ කටහඬේ තැවරී තිබුණ නුපුරුදු සුපුරුදු බව සමුධ්‍යාව වඩා බියටපත් කරන්නට හේතු වුණාය.

සමුධ්‍යා උන්නේ ඇත්තටම දෙන්නට ඕන උත්තරේ කුමක්ද කියා සිතාගන්න බැරුවය. ඒ නිසාම ඇගේ මුවෙන් පිටවුණේ “ම්ම්ම්” කියා ප්‍රශ්නාර්තයක් සහිත වදනකි.

“මාව මතක නැද්ද?” කියා ලක්ශිත ආයෙ අහද්දි පවා සමුධ්‍යා උන්නේ කරකියා ගන්නට දෙයක් හිතා ගන්න බැරුවය.

“ඊයේ ලොකු සර්ලා ගෙදරදි හම්බුනේ අපේ අම්මයි මායි. මං හිතුව මතක ඇති කියලා. ඔච්චර ඉක්මනට මනුස්සයෙක්ව අමතක වෙනවනම් ළමයින්ට උගන්නන ඒව මතක තියාගෙන ඉන්නෙ කොහොමද?” කියා ලක්ෂිත හිත මිතුරු ලීලාවකින් සිනා සලද්දි වුනත් සමුධ්‍යාට ඒ හිත මිතුරු ලීලාව අස්සේ විස කටු නොපෙනුණා නොවේ. සිනාවන් දෙතොල් අස්සෙන් එලියට නොආවේ ඒ හේතුව නිසාවෙනි.

“අහ් ඔව් මේ” කියා සමුධ්‍යා වචන පෙළගස්සන්නට කටයුතු කරද්දී ලක්ෂිත ආයාසයෙන් ඇස් අස්සේ ඇඳගත්ත මද මුදු සිනාවකින් සමුධ්‍යා දෙස බැලුවේ එළියේ හිඳ ඒ දෙස බලන ඕනම අයෙකුට “ඒ අක්කගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එයා දිහා මාර ආදරෙන් බලන්නෙ” කියා හිතෙන අන්දමේ ආදරබර බැල්මකිනි.

“ඉස්කෝලේ ඉවරවෙලා මේ දවාලේ අව්වෙම ගෙදර යන්න අමාරු නැද්ද?” කියා ලක්ශිත අහද්දී සමුධ්‍යා උන්නේ එයට දෙන්නට ඕන උත්තරේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.එහෙත් හිත අස්සෙන් මොනවා කිව්වද මේ සර්පයෙකු බව දැන දැනම භූමිතෙල් හෝ ගල් පහරක් දී සර්පයාව කුලප්පු කිරීම තමාට කරදරයක් වන්නට හැකි බව දන්න නිසාවෙන්ම සමුධ්‍යා සිතුවිලි ආයාසයෙන් හංගගෙන ලක්ශිතට පිළිතුරු දෙන්නට හිතුවාය.

“නෑ, ලොකු අව්වක් නෑනෙ ලක්ශිත. අනික කුඩෙත් තියෙනවනෙ. පුරුදුවෙන්නත් ඕනනෙ”

“ආහ් මගේ නමත් දන්නවා නේද එහෙනම් ළමයා? ඔය ළමයා මගේ නම දන්නවා උනාට මම ඉතින් ඔයා ගැන මුකුත්ම දන්නෙ නෑනෙ. මාත් ආසයි ඔයා ගැන විස්තර ටිකක් එහෙම දැනගන්න” කියා ලක්ශිත මෙච්චර වෙලා අතේ එල්ලාගෙන උන්නු හෙල්මට් එක බයිසිකල් හැඬ්ල් එකේ එල්ලද්දී ඔහුගේ බලාපොරොත්තුව තමන් එක්ක මේ කතාව තවත් දිග්ගස්සාගන්න බව සමුධ්‍යා තේරුම්ගත්තාය. ඒ වගේම දැන් තමා විසින් කළ යුත්තේ ඒ අවස්තාව මගහරවාගනු පිණිස වචන වලින් ආරක්ෂාව සඳහා පළිහක් හදා ගැනීම බවත් සමුධ්‍යා සිතුවාය.

“මගේ නම දැනගත්තා කියලා ලක්ෂිතට ඒකෙන් තේරුමක් තියෙයි කියලා මම හිතන්නෙ නෑ. මම දැන් යන්නම්. කවුරුහරි දැක්කොත් හොඳ නෑනෙ නේද අපි මෙහෙම කතා කර කර ඉන්නවා” කියා සමුධ්‍යා යන්නට ඉස්සරහට කකුල තිබ්බට ලක්ශිත බයිසිකලයෙන් වෙට්ටුවක් දමා ඒ ගමන තව මිනිත්තු කිහිපයකට නතර කරන්නට හේතු වුණි.

“ඇයි මේ කලබලේ? මහන්සිද? එහෙම නැත්තම් බඩගිනිද? තව ටිකක් දුර යන්නත් තියෙනවනෙ. නගින්න මං ගිහින් ඩ්‍රොප් කරන්නම්. අනික කවුරුවත් ඔයා මාත් එක්ක කතාකරා කියල මුකුත් කියන්න එන්නෙ නෑ. මේ ගමේ මිනිස්සු මට සලකනවා” කියා ලක්ෂිත ලොකුකමට කියද්දි දෙතොල් අස්සෙන් එලියට මතුවෙන්නට වෙර දැරූ සමච්චල් සහගත හිනාව සමුධ්‍යා නතර කරගත්තේ දැඩි ආයාසයෙනි. 

“අනේ කරදර වෙන්න එපා. මම යන්නම් හොඳේ. දවල් වෙලාවෙ. ඉස්කෝලෙ නෝන බලන් ඇති දැනටමත් මං ඇයි පරක්කු කියලා” සමුධ්‍යා මවාගත් කලබලයකින්, ඉක්මන් පියවර තබා තමන්ගෙන් ඈතට පියවර තබද්දීත්, එක තප්පරේකටවත් ආපසු හැරී නොබලද්දීත් ලක්ෂිත එය දරාගත්තේ තවත් සුහුඹුල් කෙල්ලකගේ ආදරබර මුරණ්ඩුකමක් මෙනි.

සමුධ්‍යාව පෙරදා ඉස්කෝලෙ ගෙදරදී දකිද්දී, ඉස්කෝලේ මහත්තයා අඳුන්වාදුන්නේ නැති නම් ඒ කීයටවත් ඉස්කෝලෙ ගුරුවරියක් ලෙස තමන් විශ්වාස කරන්නෙ නැති තරම් ඇයට තිබුණේ කුඩා කෙල්ලකගේ පෙනුම බව ලක්ෂිත ඊයේ ඇයව දුටු මොහොතේ සිට අද වෙනතුරුත් කල්පනා කරේය. ඊයේ ඉස්කෝලේ මහත්තයගෙ ගෙදර සිට ආපසු එද්දී අම්මා පවා බොහෝ වෙලාවක් යනතුරු කියෙව්වේ ඒ කෙල්ලගේ සිරියාවන්තකම ගැනය.

“දැක්කම ආස හිතෙනවා ඒ දරුවව. ඉස්කෝලේ මහත්තය අඳුන්වලා දුන්නෙ නැත්තම් මං හිතන්නෙ ඇත්තටම බෝඩ් වෙලා ඉස්කෝලෙ යන දරුවෙක් කියලා. මිස් කෙනෙක්ගෙ පාටක් ගැවිලාවත් නෑනෙ” කියා අම්මා කියද්දී ඒ කතාවට දිය පොහොර එක්කරන්න ලක්ශිත කටයුතු නොකරද එදා රැයේ ඇයව මතක් කරගෙන තමන්ව සනසාගන්නටත් සමුධ්‍යා සතුව තිබුන ඒ “පුංචි කෙල්ලෙක්ගෙ පෙනුම” හේතුවක් වුණු බව ලක්ෂිත දැන උන්නේය.

සත්සරා උන්නේ එදා සමුධ්‍යා ටීච කිව්ව දේ ගැන කල්පනා කරන ගමන් ය. ටීච කිව්ව දේ කොයිතරම් ඇත්තක් වුණත් තමන් එහෙම පියවරක් ගන්න එක කවදා හෝ තමන්ට පාරා වලල්ලක් වී රිද්දන්නට හේතුවන බව නොහිත ඉන්නට කුඩා වුණත් සත්සරාට පුලුවන් උනේ නැත. 

“මිස් කවදහරි යන්න යාවි ගමෙන්. වෙන දේකට මූණ දෙන්න වෙන්නෙ මට නේද?” කියා සිත කිවූ කතාවම “ලක්ෂිත මහත්තයව හම්බුවෙන්නෙ නැතුව හිටියනම් ආයෙ කරදරයක් වෙන්නෙ නෑනෙ. අනික මං ඇරෙන්න වෙන ගෑණු ලමයි එහෙ වැඩට යන්නෙත් නෑනෙ” කියන තැනට සත්සරාව රැගෙන එන්නට සමත් විය. ඒ දින කිහිපය එයාකාරයෙන් ගෙවී ගියේත්, සමුධ්‍යා මිස් ආයෙ තමන්ව දකින වෙලාවක ඔය කතාව අහන්න ගනීවි යැයි කියා හිතුන නිසාම සත්සරා උන්නේ සමුධ්‍යාව හැකිතාක් මගහරිමිනි.

“අනේ මන්දා දම්මි, ඒ ළමයා මට හරියට මූණ දෙන්නෙත් නෑ. මට එකපාරටම ඒ ළමයගෙ ගෙදර ගිහින් ඒ ළමයගෙ ආච්චි එක්ක මේ විත්තිය කතාකරන්න පුලුවන්කමක් නෑනෙ. අපි දන්නෙ නෑනෙ මොනව උනත් ඒ ළමයගෙ ගෙවල් වල මොන වගේ ප්‍රශ්න තියෙනවද කියන එක. එහෙම එකේ මේ ළමයා මාව මගාරින්නෙ ඇයිද කියල මට හිතාගන්න බෑ” කියා සමුධ්‍යා කියද්දි දම්මි එයට කිව්වේ “මට හිතෙන්නෙ එක්කො ඔය ළමයා කියන්නෙ බොරුවක්, ඔයා ඒ ගෙදරට ඇවිල්ල ආච්චි අම්මා එක්ක ඔය ගැන කතාකරනවට අකමැති වෙන්නෙ ඒ ළමයා බොරුවක් කියන හන්දා වෙන්න බැරිද?” කියන එකය.

“බොරුවක් කියන්නෙ මොකටද අනේ?” 

“සමූ, ඔයා හිතනවට වඩා දැන් ඉන්න ළමයි හරි වෙනස්. ඔය ළමයි අයිති අපිට වඩා සෑහෙන වෙනස් ජෙනරේශන් එකකට. අපිම කොච්චර කතා වෙලා තියෙනවද කොළඹ ඉන්න ඔය ජෙනරේශන් එකේ ළමයි ඇටෙන්ශන් එක වෙනුවෙන් ඕන දෙයක් කරනවා නේද කියලා? සෝශල් මීඩියා වල එන පෝස්ට්, වීඩියෝ ඒව මේව දකිද්දි අපි කොච්චර කියල තියෙනවා නේද අපේ කාලෙට වඩා මේ කාලෙ ඉන්න ළමයි හරි වෙනස් කියලා”

“ඒක හරි ඒ වුණාට දම්මි ඒ කොළඹ වගේ පැතිවල ඉන්න ළමයින්ට ඇටෙන්ශන් එක අරගන්න ඕන තරම් ඩිවයිසස් තියෙනවා. මේ ගම්වල ඉන්න සමහර ළමයි මම හිතෙන්නෙ ටච් ෆෝන් එකක්වත් දැකලා නැතුව ඇති. එහෙම එකේ ඇටෙන්ශන් එක…”

“අන්න ඒක තමයි මං කියන්නෙ, ටච් ෆෝන්, ලැප්ටොප්, ටික්ටොක් වගේ දේවල්වලට එක්ස්පෝස් වෙච්ච ළමයි ඒව යූස් කරලා ඇටෙන්ශන් එක ගනිද්දි එහෙම දේවල් නැති ළමයි කරන්නෙ බොරු කියලා හරි, නැති ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක ඔස්සේ අනුකම්පාව වගේ දේවල් ලබාගන්න. මං මෙහෙම කියද්දි ඔයාට නිකන් මාව හාට්ලස් මනුස්සයෙක් වගේ හිතුනට ටෙක්නොලොජි එහෙම අතින් දැන් ඉන්න ළමයි කොච්චර එක්ස්පර්ට්ස්ල උනත් ඉමෝශන්ස් වගේ දේවල් පැත්තෙන් ඒ ළමයි තාම ඉන්නෙ අයිස් ඒජ් එකේ”

“ඔය කතාව ඇත්තක්මයි කියමුකො. ඒ උනාට ඒ ළමයා හරියටම ඔහොම දෙයක් වෙච්ච වික්ටිම් කෙනෙක් වගේ හැසිරිලා, ඉන් ඩීටේල් කතාවක් කියන්න තරම් බොරුවක් ගොතාගත්තෙ කොහොමද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here