(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව පාඨක ඔබ කිහිපදෙනෙක් ම පවසා තිබෙන අන්දම මම දුටුවා.ඉතින් සුධාරක සුවකරගන්නට මා ගිය හැම තැනකටම  ඔබට දැන් මේ වසරක පමණ කල් සිට කියන එහෙත්  ඉවර කරගන්නට බැරි කතන්දරයක් විනාඩි කිහිපයකින් කෙසේ කියන්නද?

ඒ නිසාම සුධාරකගේ යුධ වික්‍රමයන් විදහා දක්වන ඡායාරූප,ඔහු ගිලන් වනවිට සිටි අයුරු දැක්වෙන ඡායාරූප,ඔහුගේ දැන් තත්ත්වය දැක්වෙන ඡායාරූප වගේම ඔහු හා මගේ විවාහ සහ දික්කසාද සහතිකය, දිල්හානිගේ සහ ඔහුගේ විවාහ සහතිකය වගේම දිල්හානි අපේ රට පාවාදෙමින් සරණාගත වීසා සඳහා ලබා දුන් ලිපි වැනි මේ කතාව සැකෙවින් කියන්නට අවශ්‍ය සියළු තොරතුරු යොදා විශාල ෆයිල් කවරයක් සකසා ගන්නට මම පියවර ගත්තා.

එහි කොළ අදටත් ඇල්ලීමෙන් තොරවත් නිරායාසයෙන් පෙරළෙනවා.එතරම් සිනිඳු මටසිළුටු වන්නට ඒ පිටු දසදහස් වාරයක් නොයෙක් තරාතිරම්වල තනතුරු වල මිනිසුන් අතර පෙරලෙන්නට ඇතිබව ඔබට එයින් සිතාගන්නට හැකි වේවි. අවශ්‍ය පරිදි ඒ ලිපිවල ඡායාපිටපත් නොයෙක් ආයතන හා පුද්ගලයන්ට ලබාදෙන්නට මට සිදු වුණා. ඒකාලයේ අඩුතරමේ ලක්ෂයකට නොඅඩු මුදලක් මට ඡායා පිටපත් සඳහාම වැය වුණා.එහෙත් මට ජීවිතයකට වඩා මුදලේ අගය ගැන තිබුණේ නොවටිනා හැඟීමක්.මුදල් අපට උපයාගත හැකියි.ආදරණීයයෙකුගේ ජීවිතයක් අපට යළි කිසිදා නැවත ගන්නට බැහැ.ඔබත් ඒ කතාවට දෑතම ඔසවා එකඟ වේවි.

නගර සභාවේ කුණු ලොරිය යනවිට ඔබ කීදෙනෙක් නහය හකුළුවාගන්නවාද? ඒ කුණුවෙමින්, පල්වෙමින් සහ පණුවන් ගසමින් තිබෙන්නේ අපේම කුණු යැයි මතක්වෙන්නේ කීයෙන් කී දෙනාටද? ඒක එහෙම තමයි.මේ ජීවිතය ද ගඳගසන කුණු ගොඩක් කරපින්නාගෙන යන ගමනක්.සමහරු ඒ කුණු වෙනත් කෙනෙකුගේ කරේ ගසා අතපිහදාගන්නට තැත්කරන අයුරු හැමතැනදීම දකින්නට ලැබෙනවා.

එහෙත් මා අතීත සංසිද්ධි නැමැති කුණු ගොඩ යන යන තැන අවුස්සමින් මගේ ප්‍රාණසරි ප්‍රේමවන්තයා සුව කරගන්නට කළ හැකි කුමක් හෝ දෙයක් ඇත් දැයි සොයන්නට වුණා.කළ හැකි දේ බොහෝ තිබුණත් විවාහ සහතිකයක් ඒ සියල්ල මැද්දට පැන සෑම දෙයක්ම  අවහිර කළා.

අපේ රටේ සහතිකයකට එතරම් බලයක් තිබෙනවාදැයි ඔබට සිතෙනවා ඇති. සහතිකයකට ඇති බලයකටත් වඩා නිවැරදි තීරණයක් ගන්නට බැරි කශේරුකාවක් නැති මිනිසුන්ට වගකිවයුතු තැන් වල රැකියා ලැබීම නිසා කර ගන්නට හැකි සර්වසාධාරණ දේවල් පවා අසාධාරණව විසඳෙන සැටි මම මේ කාලය පුරාවටම ඉගෙන ගනිමින් සිටියා.

මේ අතර සුධාරකගේ මව ඇතුලු පවුලේ සියලුදෙනාත් දිල්හානිත් මට ඇතිතරම් ගල්මුල් වලින් හා ඔවුන්ගේම ජීවිතවල ගඳ ගසමින් තිබූ කුණු වලින් දමාගසමින් හිටියා.ඒ මට සුධාරක සුවකරගන්නට වචනයකින් හෝ උපකාරවන කිසිවෙකුත් ඇත්නම් ඔවුන් මට ජෝඩුකිරීමේ අලුත්ම විනෝදාංශයෙන්.මිනිසෙකු හා යහන්ගත නොවී ගැහැනියකට යම් කටයුත්තක් කර ගන්නට බැරි බව සිතන ගැහැනු මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා.එසේම ඔබ පිළි ගත්තත් නැතත් එසේ යහන්ගත වී හෝ  තමාගේ කටයුත්ත කර ගැනීමට උත්සාහ දරන ගැහැනුන්ද එමටයි. එහෙත් මා ඒ දෙකටම එකඟ වන්නේ නැහැ.

මා ඔබට මේ කතාව පුරාවට කීවේ ගැහැනියක් ශක්තිමත් විය යුතු පැතිකඩ ගැනයි. අධ්‍යාපනය,ආර්ථිකය, පෞරුෂය, ආත්මශක්තිය සමාජාවබෝධය ඔබට තිබේ නම් තැනකට ගිය විට ඔබට මුළු ගැන්වෙන්නට සැඟවෙන්නට හෝ අඩන්තේට්ටම්වලට ලක්වෙන්නට සිදුවන්නේ නැහැ. කාන්තා සංවිධාන කොතෙකුත් ඇති ඒත් ඔබ වෙනුවෙන් සත්‍ය වශයෙන්ම පෙනීසිටින්නේ ඔබම පමණක් බව තරයේ මතකතබාගන්න.

මිනිසෙකු හා යහන්ගතනොවී හෝ අල්ලසක් නොදී කිසිවක් කරකියා ගන්නට නොහැකිවූ නිහීන මිනිසුන් සහ ගැහැනු අවශේෂ ගැහැනුන් ගැන සිතන්නේ ද ඒ ආකාරයෙන්මයි.ඔබත් මේ ජීවිතයේ කෙදිනක හෝ අභූතව නිකරුණේ එවැනි චෝදනාවකට ගොදුරු වී ඇත්නම් මා මේ කියන දෙය හොඳින් සිහියේ තබාගන්න. ඔබට මෙය ජීවිතයට කවදා හෝ වැදගත් වේවි.

සුධාරකගේ මවට නැගණියන්ට අනුව මට යන යන තැන ප්‍රේමවන්තයන් සිටිනවා.හැම පළාතකම දරුවන් දුසිම් ගණන් ද සිටිනවා.දිල්හානිට අනුව මා මුදලට විකිණෙන ගණිකාවක්. මා නොදන්නා මගේ මිල ගණන් පවා ඇය දැන සිටියා.තම වැරදි සාධාරණීකරණය කර ගන්නට උත්සාහ දරනා බොහෝ දෙනා ඇඟිලි සතරක් තමාට එල්ල වී ඇති බව නොදැන එක් ඇඟිල්ලක් අනුන්ට දිගුකරනවා.අවාසනාවකට ගැහැනියකගේ නැගී සිටීමට සහ ස්‌වාධීනත්වයට ගරහන්නේ ද බහුතරයක් ගැහැනුන් බව මම මගේ ජීවිත අත්දැකීම්වලින් තේරුම් ගත් පැහැදිලි සත්‍යයක්.

සුධාරකගේ මිනිසුන් සමඟ කතාකරන විට ඔවුන්ගෙන් මා ගැන අසා ගන්නා දේවල්වල ඇති පරස්පරය බොහෝ දෙනා මට පවසන්නේ මෙන්න මෙහෙමයි.

“බලන්නකෝ මේ මිනිස්සු ඔයා ගැන කියපු දේවල්.අයියෝ! ඔයා හරි පව්. ඔයා මෙච්චර ගාණකට යනවා කිව්වා.මෙච්චර දවස් ගාණකට යනවා කිව්වා” 

මේ අභූත කතාවලට මා කිසිදා කෝප ගත්තේ නෑ.මට ඔවුන්ට සිනාසී පවසන්නට තිබුනේ එක දෙයයි.

“මෙහෙමයි,ඔයා පොලේ යනවා නම් තමයි ඔයා දන්නේ අල පන්සීය කීයද? ළූණු කිලෝව කීයද ?හාල් මිටියක් කීයද කියලා.ඇරත් බඩු වික්ක කෙනාත් මිලට ගත් කෙනාත් ඇරෙන්න පොලේ නොයන අය මේවාගේ මිල ගණන් දන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු දන්නවා වුණාට ගෑනු අය විකිණෙන මිල ගණන් මං නම් ඇත්තටම දන්නේ නැහැ”

එය මට දෙන්නට හැකි හොඳම උත්තරයයි. ඔබත් මේ අත්දැකීමට මුහුණ දී ඇත්නම් හෝ දිනෙක මුහුණ දෙන්නට සිදු වුණොත් මා සිතූ ආකාරයට සිතා එය බැහැර කිරීමෙන් ඔබේ සිතට සහනයක් දැනේවි.එසේම ගැහැණියක ලෙස ඔබෙන් තව ඉල්ලීමක් ද කරන්නට මට හිතෙනවා.

මේ වනතුරු ඔබ කාට හෝ යම් තැනක අසාධාරණ ලෙස අඩන්තේට්ටම් සිදුවූවා නම් ඒ ඔබේ අසරණ කමට අහිංසක කමට හෝ බියට පත්වීම නිසා වන්නට පුලුවන්.දැන් සිදුවී ඇති දේ ඔබට නොවැළැක්විය හැකි වන්නටත් පුලුවන්.ඒත් තවමත් ඔබේ නැගී සිටීමට ඔබ ප්‍රමාද නැහැ.ඒ වගේම හයිය ගැහැනියක ලෙස සමාජයට යන්නට ඔබේ දියණියට කියා දෙන්න. වෛද්‍යවරියක,ඉංජිනේරුවරියක වැනි ඉහළ රැකියාවක නිරත වූවාට ශක්තිමත් පෞරුෂයක් සහිත ගැහැණියක නොවුණහොත් තම ජීවිතය බල්බ් නැති තොරණක් බව ඇයට මතක්කර දෙන්න.එවිට අද හෙට නැතත් මේ සමාජය කවදාහරි ශක්තිමත් ගැහැනුන්ගෙන් සමන්විත වන බව මා පෞද්ගලිකව විශ්වාස කරන්නක්. 

කලු,සුදු, මහත, හීන්දෑරි,කොන්ඩය දිග,කොන්ඩය කොට යනුවෙන් පමණක් ගැහැනුන් සුන්දරවන්නේ නැහැ.ගැහැනුන් සුන්දර වන්නේ ඔවුන්ගේ හදවත් සුන්දර වී පෞරුෂය ශක්තිමත් වූ විට පමණයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles