නුරාන් ගෙන් සෝමා නැන්දාගේ ඇමතුම පිළිබඳව දැනගත් ධනුක ඉසිනි ට බැන වැදුනේ නරි නාවන්නට සූදානම් නොවෙන්නට යැයි පවසමිනි. සෝමා නැන්දාගේ අතීතය ඉසිනි ට කෙතරම් හොඳින් සැලකුවා වුවද දැන් ඇය තම දියණිය වෙනුවෙන් පෙනී සිටිනවා මිසෙක අන් යමක් නොකරන බව වටහා ගන්නට යැයි ධනුක අවධාරණය කලේය.
ඉසිනි පසුදින කාර්යාලයට පිටත් වූයේ පැහැසරා සහ ධනුක ද සමඟිනි. සංජීව සහ සරණි ඕ කැබින් එකට ඇතුලු වන්නට පෙරම ඉසිනි දෙසට ඇවිද ආවෝය.
” ඒ ඩි මිස් කිසි දෙයකට බයවෙන්න එපා… අපට සමහර වෙලාවට ජීවිතේ ප්‍රශ්න එන්නේ කලින් සැලසුම් කරලා නෙවෙයි
ඇත්තටම අපි මෙහෙම කතා කරන එක් ගැන ඒඩි මිස් කොහොම හිතාවිද දන්නේ නෑ… මම මේ ටික මෙහෙම කියන්නේ නුරාන් නිසා… මිස් පුදුමාකාර තරමේ තිගැස්මකින් කියලා ඊයෙත් ඌ මට කිව්ව නිසා…
අපට අනිත් කෙනෙක්ගේ ජීවිත එහෙම ජජ් කරන්න අයිතියක් නැහැ ඒඩි මිස් …. එදා ඒඩී මිස් ගැන කියලා ඒ ආපු ලියුම්වලින් පස්සේ අපිත් ටිකක් කලබල උනා තමයි … ඒත් ඒක තේරුමක් නැති කලබලයක් කියලා අපි දන්නවා….
ජීවිතය එක වතාවක් වැරදුනාට පැටලුනාට ඒ මත්තේම නැහිලා ඉන්න වුවමනා නැහැ. අපි මූව් වෙන්නම ඕනි..
ඒඩී මිස් අපට ජොබ් එක ඇතුලෙ මාරම සපෝටින් කැරට් එකක්… අපිට ඕනි ඒක… ඒඩී මිස් ගේ අපිට වැදගත් ඒක… අපි වැඩ කරමු….”
ඉසිනි සංජීව සහ සරණණි දෙස බලා හිතවත් සිනහවක් පෑවාය. සරණි ඉසිනිගේ අතින් අල්ලා ගත්තාය.
” ඇත්තමයි නුරාන් අය්යා ඒඩී මිස්ට හොඳටම ගැලපෙනව… නුරාන් අයියා පස්සේන් සෑහෙන්නම කට්ටිය ට්‍රයි කර කර යද්දී, එය සින්ගල් උන්න හේතුව දැන් පැහැදීලියි…..
අතීතය අතීතය ඒඩී මිස්…මගේ අක්කත් එයාගේ අවුරුදු හයක ලව් අෆෙයාර් එකක් , අවුරුදු දෙකක මැරේජ් එකක් , ඉවර කරලා අයින් වෙලා දැන් ආයෙ එයාගේ ජීවිතය හොයාගන්න යන ගමන් ඉන්නේ…. එයා ඊයේ රට ගියා…
මං දන්නවා ජීවිතයේ වැරදි සම්බන්ධතාවලින් අයින් වෙලා ආයේ හරි සම්බන්ධතාවයකට එන එක කොච්චර සැනසීමක්ද කියලා. අපි ඒඩී මිස් එක්ක ඉන්නවා…. මින් පස්සේ ඒ ඩී මිස්ට කතා කරන්න ඕන කියලා හිතෙන ඕනම වෙලාවක මට හරි අපි ඕන කෙනෙක්ට හරි කතා කරන්න…. “
ඉසිනි සරණි අල්ලා උන් අත මතින් තම අනෙක් අත තැබුවාය. දිනයට පුදුමාකාර ශක්තිමත් බවක් එක් වූ බව ඉසිනි ට දැනේ. සරසවි කාලයෙන් පසු මිතුරෙකු මිතුරියක නොවුන් ජීවිතයට එක්වරම ඉතා දයාබර මිතුරන් පිරිසක් කඩා වැටෙන්නට යන බව ඇයට හැඟේ.
” තෑන්ක් යූ සංජීව… මහත්තයා … තැන්ක් යූ සරණි මිස්…ඇත්තටම මං ගිය සතිය ගෙවලා දැම්මේ කොහොමද කියලා මට මතක නැහැ…. නැහැ. ඒ වගේමයි පහුගිය අවුරුදු ගානක මගේ ජීවිතේ ඇතුලේ තිබිච්ච ගින්න මම දරාගෙන හිටියේ කොහොමද කියලත් මට දැන් විශ්වාස නෑ…හැබැයි ඔය දෙන්නම දැන් මේ කියපු කතාවෙන් පස්සේ, අරගොල්ලෝ එලියේ ඉදන් මේ මගේ දිහා බලාගෙන ඉන්න විදියෙන් පස්සේ මට හිතෙනවා, මට ජොබ් එකයි , මගේ ජීවිතයි දෙකම මම බලාපොරොත්තු වුණාට වඩා ලස්සන පාරක අරගෙන යන්න පුළුවන් වෙයි කියලා…බොහොම .ස්තූතියි … බොහොම පින්… ඔයාලා හරි… අපි වැඩ කරමු…. “
ධනුක සහ පැහැසරා පසෙකට වී සිනා සෙමින් බළා උන්නෝය. ඇතැම් වෙලාවට කාලය ගතවන්නට ඉඩ හැරීම ඇතැම් ප්‍රශ්න සඳහා හොඳම විසඳ ලබාදෙන බව පැහැසරා කල්පනා කලේ ධනුක ඉසිනි කෙරෙහි දක්වමින් තිබූ දැඩි පිළිවෙත ක්‍රමයෙන් ලිහිල්ව ගොස් ඇති ආකාරය කල්පනා කරමිනි.
ඉසින දිනය පුරාම අතිශය කාර්යබහුල වූවාය. සොයා බලා කරන්නට තිබූ රාජකාරී සියල්ලම ඇය පිළිවෙලකට සඳහන් කර ගනිමින් එකින් එක කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කළාය. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා අමතා කිහිප වතාවක්ම කළ යුතු කාර්යයන් කිහිපයක් වෙනුවෙන් උපදෙස් ලබා ගත්තාය.
දහවල් නුරාන් ට ඇමතුමක් ගෙන ඔහු පිළිබඳව සොයා බලා සවස රාජකාරි අවසන් කළ වහාම ඔහු දකින්නට එන බව පැවසූවාය.
” පාලුයි තාරා ඉක්මනට එනවාකෝ…”
” ඉතින් ඔයාමනේ කිව්වේ ඔෆිස් යන්නේ කියලා. නැත්නම් මං අදත් ඉන්නවා…”
” හොඳයි එහෙම ….එතකොට අම්පාර කෘෂි කර්මාන්තය නගා සිටුවන්නේ කවුද..?”
” ඔයාට පිස්සු නුරාන් … නඟා සිටුවන්න මේක කුළුණක්ද මොකෝ..? තව පැය දෙක තුනයි නේ ඔයා නින්දක් දාගෙන ඉන්න අම්මත් ඉන්නවනේ..”
” ගානට හැදිලා දැන් ඔයත් නෝනා…. ම්ම්ම්ම්…නින්දක් දාන්න වෙන්නේ නෑ අප්පා… ඔෆිස් එකේ එවුන් සැරින් සැරේ, සැරින් සැරේ රූම් එකට පාත් වෙනවා. මං ඒත් මුන්ගෙන් ඇහුවේ මුළු කම්පැනි එකයි , ෆැක්ට්‍රි එකයි ඔහොම එන්න ගත්තහම අද දවසේ ප්‍රඩක්ෂන් එකක් වෙන්නෙම නැතුව ඇති කියලා…”
” මට හිතුණ අස කට්ටිය එන්න ගනීව් කියලා..”
” එන එක නම් කමක් නෑ කියමුකෝ ….අර මාව දැක්කා විතරයි අඬා වැළපෙන්න ගන්න එකනේ වැඩේ…”
“ඒගොල්ලන්ට දුක ඇති …ඔයා එ මිනිස්සුන්ගේ ජීවිත වලට කොච්චර ආලෝකයක් වෙලාද ?”
” ඔව් ඔව් ආලෝකයේ තරම වැඩි වෙලා තමයි දෙපිටින් ගියේ…”
“එහෙම කියන්න එපා නුරාන් .. ඒම තමා හැඟීම්..”
” ශෝක් වැඩේ කියන්නේ දැන් ගමේ අයටත් ආරංචිය ගිහිල්ලා, ගමේ කට්ටියත් එන්න පටන් අරගෙන….. දැන් ටිකට කලින් පහලවක් විතර ඇවිල්ලා ඇවිල්ලා ගියේ…”
” ජීවිතේ ඔයා ඇත්තට මිනිස්සු හම්බ කරගෙන තියෙන එක ගැන මට මාරම ආඩම්බරයි නුරාන් … ඔෆිස් එකෙත් කට්ටිය ඔයා ගැන සෑහෙන විස්තර අහනවා. දැන් ඕෆ් වෙලා කට්ටියම මාත් එක්ක ඔයාව බලන්න එන්නයි ලෑස්තිය…”
” හයියෝ සංසාරේ ඒ කියන්නේ මගේ ගෑනි බඳම් ඉබින්න තව පැය කීයක් මට බලන් ඉන්න වෙනවාද ? “
ඉසිනි ගේ මුව මත මනමාල සිනහවක් වැටුණාය. ඕ කිසිවෙකු තමා ගැන විමසිල්ලෙන් ඉන්නවාදැයි කැබිනෙන් පිටතට දෑස් යොමා බැලුවාය. මේ රාජකාරි වෙලාව බව මොහොතකට ඇයට අමතකව ගොස් තිබිණි..
” එහෙනම් මං හවසට එන්නම්. වැඩ ගොඩාක් තියෙනවා ඉවර කරගන්න.ඇත්තම කිව්වොත් මට මං කරන්න ඕනේ වැඩ ඔක්කොම අමතකයි වගේ. මට දැනෙන්නේ මං නිකං මහා ලොකු යුද්දකට මැදි වෙලා ඉඳලා ඒ යුද්දේ ඉවර කරගෙන ඇවිල්ලා වගේ.. “
” මහ ලොකු යුද්දකට මැදිවෙලා ඉඳලා වගේ නෙමෙයි. මහා ලොකු යුද්දකට මැදිවෙලා හිටියා තමයි. …..හැබැයි ඒ යුද්දෙ තාම ඉවර නෑ, ඔයාගේ ඇතුලේ ඒ යුද්ධෙ තාම ඇවිලෙනවා . ඔයා ඒක නිවා ගන්නම ඕනේ..තාරා…”
ඉසිනි ඇමතුම විසන්ධි කලාය. නුරාන් ජීවිතය එතරම් ධනාත්මක බවකින් දරා ගැනීම සැනසීමක් දැනේ. එක් පාදයක දණහිසට පහළින් කොටසක් අහිමිවීම තුළ ඔහු මානසිකව ඇද වැටෙමින් ජීවිතය ගැන වන බලාපොරොත්තු අතැරෙන උත්සාහයන් දරුවා නම් සියල්ල මීට වඩා වෙනස් ආකාරයෙන් සිදුවන්නට තිබුණි. වයස අවුරුදු හතළිහක් වන්නට ප්‍රථම, ජීවිතය යන්තම් ඔහුට රිසි පරිද්දෙන් , පටන් ගන්නට සූදානම් වද්දී සිදු වූ ඒ අහිමිවීම දරා ගැනීම පහසු නැත.
එහෙත්, දෛවය ඇතැම් විට ලියන කතන්දරවල මෙවන් සිදුවීම් දරා ගැනීමේ සවියදද මවන්නේය.
ReplyForwardAdd reaction |