සුසුවඳ සූත්‍ර – 46

0
4792

යුගාත්ම පැමිණියේ බලාපොරොත්තු නොවූ මොහොතක ආ සුබ පණිවිඩයක් සේ ය. අන්තරා ට ඒ මොහොත උහලාගත නො හැකි තරම් වූයේත් කිසි සේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් වූ බැවිනි. විශේෂයෙන් ම යුගාත්ම දියණියන් දෙදෙනා සමග දවස ගතකරමින් සිටි බව දන්නා නිසා, මේ විදිහට ඔහු දවස නිම කරන්නට තීරණය කරතැයි ඇය සිතුවේ ම නැත.

“අපි ඉතිං මේ තේ බොන්න කියල ලෑස්ති වුණේ. ඉන්නකො පුතාටත් තේ එකක් හදං එන්න”

කියමින් කිශෝරි අසුනෙන් නැගී සිටින්නට ගියා ය. නමුත් අන්තරා ස්ව කැමැත්තෙන් ම ඒ අවස්ථාව ගත්තා ය.

“අම්මල කතා කරන්නකො. මං හදන්නං”

සැබවින් ඇයට ඕනෑ වූයේ එතැන මගහැර යන්නටයි. යුගාත්ම ගේ දෑස් පෙර කිසිදාක නොවූ ලෙස ඇය වටා හිතුවක්කාරකම් කරනා බවක් දැනෙන්නට වූ බැවිනි.

ජිතේන්ද්‍ර ට යුගාත්ම වෙතින් විමසා දැනගන්නට තිබූ කාරණා වලට ඔහු සරල ලෙස පිළිතුරු ලබා දුන්නේ ය. ගැටළු විසඳා දුන්නේ ය. තේ බොන ගමන් ඔහු දැනෙන නො දැනෙන සේ අලුත් යෝජනාවක් ද  කළේ ය.

“අප්පච්චි දවස් කීපයක්ම කිව්ව අංකල්ල එක්කම ගෙදර එන්න කියල. හැබැයි මං කිව්ව අංකල් මේ දවස්වල බැහැල සිම්ෆනි එකේ වැඩ කියල”

නමුත් සැබවින් යුගාත්ම ට ඕනෑ වූයේ ඒ ගමන ඉක්මන් කරගන්නටයි.

“හැබෑ නේන්නං එදා මාත් පොරොන්දු වුණානං තමයි එනව කියල”

“අංකල් ඉතිං එකක් ඉවර වෙනකොට තව වැඩක් දාගන්න කෙනානෙ පුතා. මන්නං හිතන්නෑ මෙයා ඔය ගමන යයි කියල”

කිශෝරි ගේ ඒ කතාව නම් නෝක්කාඩුවකි.

“මාත් ඉතිං මේ ගෙදරටම නාකි වුණා. ගමනක් බිමනක් යන්නවත් මෙයාට කිසී… උනන්දුවක් නෑනෙ. ඒ දවස්වල කිව්වෙ අපි දෙන්න විතරනෙ… දුවවත් හිටියනං කියල. දැන් ඉතිං දුවත් ඉන්නවනෙ. ඒත් අප්පච්චිව හොල්ලන්න බෑ”

“රටේ පොදු වස්තු වුණාම එහෙම තමයි… නේද අංකල්… ගෙදර ගමන් ගැන හිතන්න වෙලා නෑ”

“මේගොල්ලොන්ට ඕව තේරෙන්නෙ නෑ පුතා”

ජිතේන්ද්‍ර හඬ නගා සිනහ වූයේ ය. ඔහු අලුතෙන් තරුණ වී ඇති සැටියක් කිශෝරි ට දැනේ. අන්තරා යළි ගෙදර පැමිණීමත් සමග ජිතේන්ද්‍ර ගේ මුහුණේ සතුටු රේඛා තීව්‍ර වී තිබේ.

“මට දැං වෙලා තියෙන්නෙ ගමනක් බිමනක් යන්න වෙන කෙනෙක්ව හොයාගන්නයි”

එවර සිනහව උස්ව නැගුණේ යුගාත්ම ගේ ය.

“ඒකනං හොඳ අදහස ආන්ටි  කිසී අවුලක් නැතුව ආන්ටිට ශෝක් කොල්ලෙක්ව හොයාගන්න පුළුවන්”

අන්තරා යුගාත්ම වෙතට තරවටු බැල්මක් හෙළුවා ය.

“ඇයි අනේ පුතා අපි දැන් වැඩියෙන් ජීවත් වෙච්ච අයනෙ. තව කොයි කාලෙද ඉතුරු වෙලා තියෙන්නෙ කියන්න බෑනෙ. අතීතෙ කියන්නෙ ආපහු එන්නෙ නැති දෙයක්. ජීවිතේ කියන්නෙ මේ මොහොතට විතරනෙ. මන්නං කියන්නෙ අපි මේ මොහොත උපරිම සතුටෙන් ජීවත් වෙන්න ඕනෙ. ඊළඟ මොහොතෙ ජීවිතේ කොයි විදිහට තීරණය වෙයිද අපිට මොනා වෙයිද කියන්න බෑනෙ… දැන් ඉතින් අපිට තියෙන්නෙ ගමන් බිමන් ගිහින්… කැමතිම මිනිස්සු එක්ක සතුටෙන් ජීවත් වෙන එක තමයි”

“ඒක ඇත්ත ආන්ටි. හරි මෙහෙම කරමුකො. අංකල් එන්නැත්තං මං ආන්ටිව එක්කං යන්නංකො කැන්ඩි. කැන්ඩි නෙවෙයි ඕන දිහාවක් කියන්න. මං එක්කං යන්නං”

“මේ යුගාත්ම අම්මව අවුස්සනව අප්පච්චි”

“අවුස්සනව නෙවෙයි. මං කියන්නෙ සීරියස්ලි”

“හරි හරි අපි හෙටානිද්දම ගිහිං දවසක් දෙකක් ඉඳල ඇවිදල කාරිය එමුකො. දැං පුතාට කවද්ද නිවාඩු තියෙන්නෙ…”

“මට ඉතිං ඕන දවසක නිවාඩු ගන්න පුළුවන්නෙ අංකල්. ඇත්තටම අපි ගිහින් එමු ඉතිං”

එහෙම කියත්දී යුගාත්ම ගේ දෑස් අන්තරා මත නතර වෙන එක වැළකිය නො හැකි වූයේ ය.

“ජීවත් වෙනව කියල දැනෙන්න මොනාහරි තියෙන්නත් ඕනනෙ”

“අන්න හරි පුතා. මං කියන්නෙත් ඕක. සල්ලි හම්බකරන්න දුවන රේස් එක විතරක් නෙවෙයිනෙ ජීවිතේ කියන්නෙ”

“හරි හරී. ඔච්චර කෝක්කාඩු ඕන නෑ. අපි එහෙනං යමුකො. පුතාගෙ කාර් එකේම ගිහිං එන්න බැරියෑ…”

ජිතේන්ද්‍ර ගේ තීන්දුවත් සමගින් අලුත් බලාපොරොත්තුවක් හා උද්‍යෝගයක් ඇති වූයේ ය. ගමන ගැන කතිකා කරමින් ම රෑ කෑමටත් හිඳ යන ලෙස කිශෝරි යුගාත්ම ට පෙරැත්ත කළා ය. අම්මා හා දුව කෑම පිසිත්දී ජිතේන්ද්‍ර හා යුගාත්ම ද මුළුතැන්ගෙට වී කතාව ඉදිරියට ගෙන ගියහ. ඒ කතා අතරේ මුහු වී තිබුණේ විහිළු හා සිනහා ය. ආදරය හා බැඳීම් ය. පවුලක් කියනා හැඟීම වෙනස් හැඩයකින් අන්තරා අත්විඳිමින් සිටියා ය. දක්ෂිණ වෙතට යනතුරු ම ඇය දෙමාපියන් සෙවනේ සුරක්ෂිත පවුලක් තුළ සිටියා ය. ඊට පස්සේ ඒ පවුල අහිමි විය. නමුත් දක්ෂිණ හා නූපුර සමගින් ද කෙටි කලකට වුව ඇය මිහිරැති පවුලක් අත්වින්දා ය. මව් පියන් ද පසෙකින් හිටියා නම් කොයි තරම් හොඳද කියා ඒ කාලේ අනේක වාරයක් ඇයට සිතී තිබේ. ජිතේන්ද්‍ර කෙතරම් තදින් දක්ෂිණ ව ප්‍රතික්ෂේප කළේ ද යත් අන්තරා සමග හෝ කිසිදු ඇසුරක් පැවැත්වූයේ නැත. ඉඳහිට මග තොටක දී අම්මා දුව හමු වූවා ය. නූපුරට සීයාගේ හා ආච්චිගේ ආදරය කරුණාව හා ඇසුර හිමි නොවීම ගැන අන්තරා ගේ පපුව කියාගත නො හැකි සංවේගයක ගිලී තිබිණ. මහා පවුලක් කියන දේ ඇයට අහිමි වී ගියේ නූපුර ද ක්ෂුද්‍ර පවුලක් තුළ හුදෙකලා කරමිනි.

දක්ෂිණ ව ප්‍රතික්ශේප කළා වී ද අප්පච්චී යුගාත්ම සමග ගනුදෙනු කරන්නේ කෙතරම් ආදරණීය ලෙස දැයි අන්තරා ට සිතේ. ඔහු ට ම කියා පුතෙකු නැති අඩුව මගහැරගන්නට මුල සිට ම ජිතේන්ද්‍ර බලාපොරොත්තු තබාගෙන සිටියේ යුගාත්ම ගැනයි. ළමා වියේදීත් ගැටවර කාලයේදීත් ඔහු හුරුබුහුටි කොල්ලෙකි. ඔහු වන් ඉලන්දාරියෙකු පවුලට එකතු වූ කල ඇති විය හැකි පිරිපුන් බව ගැන ජිතේන්ද්‍ර සිහින මවාගෙන හිටියේ ය. නමුත් දක්ෂිණ විතානගේ ඒ සිහින හොරකම් කළේ ය.

ජිතේන්ද්‍ර ට යළිත් ඒ අවස්ථාව හිමි වී තිබේ. කට පුරා පුතා කියා යුගාත්ම අමතත්දී ඔහු ට දැනෙනුයේ සැබවින් ම ඔහු සිය පුතෙකු සේ ය. නිදහස් සරින් කරනා විහිළු කතා හා උස් සිනහවන් අස දැනෙනුයේ ඔහු මිතුරෙකු සේ ය. කාලයක් පාළුවට ගොස් තිබූ ගෙදර අන්තරා ගේ කිකිණි සිනහ හා මෘදු කතා හඬින් ද යුගාත්ම ගේ ගැඹුරු පිරිමි හඬින් ද පිළිරැව් නැගෙත්දී, මුළු ගෙදර ම පිරී ඇති සෙයක් දැනේ.

නූපුර ඒ ප්‍රීතිමත් හෝරාවේ අන්තරා ට ඇමතුමක් ගත්තේ ය.

“අම්ම සතුටෙන් වගේ”

ඔහු ඒ කීවේ සිනහ වෙවී ය.

“ඇයි අනේ එහෙම කියන්නෙ… විශේෂ සතුටක් මොකද්ද ඉතිං…”

“ඔයාගෙ වොයිස් එකෙන් කියන්න පුළුවන් සතුටෙන්ද දුකෙන්ද ඉන්නෙ කියල”

“අනේ මන්දා ඉතිං. ඔයා කියනවනං සතුටෙන් වෙන්නැති. සතුටක් කොහොම වුණත් අර ඔළුවෙ තිබුණ බර දැන් නෑ”

“මට තේරෙනව අම්ම”

“අනික මං ගොඩාක් සතුටෙන් ඔයා වගේ රත්තරං පුතෙක් ඉන්න නිසා”

“ඔන්න ඔන්න බටර් ගානව ඉතිං”

“බටර් නෙවේ… ඇත්ත…”

ජිතේන්ද්‍ර ද දුරකතනය අන්තරාගෙන් ඉල්ලාගෙන නූපුර සමග ටික වෙලාවක් කතා කළේ ය. දැන් දැන් හැමදාමත් ඔහු එහෙම කරයි. අන්තරා පුතෙකු බිහි කළ බව දැනගත් මුල් කාලයේ පවා ඔහු හිත හිර කරගෙන සිටියේ දක්ෂිණ ගේ සෙවනැල්ලක්වත් දකින්නට හිතේ වූ නො කැමැත්ත නිසාවෙනි. පුතෙක් හිමි නොවූ ඔහු ට දැන් ඇතෙක් වාගේ මුණුපුරෙකු සිටී. නූපුර ද සීයා ට ළෙංගතු වූයේ ය. භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි සිය සීයා වීම ගැන ආඩම්බර වූයේ ය.

රෑ කෑමෙන් පස්සේ ජිතේන්ද්‍ර මඳකට කාමරයට ගියේ ප්‍රෙශර් පෙත්ත බොන මුවාවෙනි. ඒ යන ගමන් ඔහු කිශෝරි ට හිසෙන් කතාකළේ ය.

“පොඩ්ඩක් දෙන්නට තනියම කතා කරන්නත් පොඩි වෙලාවක් දෙමු. ඔයා පොලිස් හාමිනේ වගේ මුරට ඉන්නෙපා”

ඔහු එය කීවේ රහසින් මෙනි.

“මේ බලන්නකො මෙයා. මං මොකටද මුර කරන්නෙ… අනික ඒ ළමයින්ට ඕන්නං එළියෙදිත් හම්බවෙලා තනියම කතාකරන්න බැරියෑ. ඔය දෙන්නත් එක්ක ගමන් බිමන් එහෙමත් ගියේ…”

“ඒ ඉතිං අර වැඩේටනෙ. එහෙම නෙවෙයි. කොල්ලනං දැන් මේකට හොඳටම කැමතියි කියල ඔයාට හිතෙන්නැද්ද…”

“මොකද නැත්තෙ… හැබැයි අපේ ධාරාගෙන් වචනයක් ගන්න වෙන්නෙ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නව වගේ හොඳේ”

“අම්ම වගේම නැතෑ දෝණියන්දැත්”

අතීතය සිහි කරමින් ජිතේන්ද්‍ර හඬ නගා සිනහ වූයේ ය. කිශෝරි ආඩම්බර සිනහවක් දෙතොල් අතරේ හිර කරගෙන සිටියා ය.

වැරැන්ඩාව රාත්‍රී සුවඳින් පිරී පැවතිණ. එක දෙක පිපී ඇති විහාර ඉද්ද මල්, රාත්‍රියට සරාගී සුගන්ධයක් මුහු කොට තිබේ. අන්තරා බරාඳ කුළුණකට පිට දී හිටගෙන ඒ සුවඳින් පෙනහලු පුරවාගනිමින් සිටියා ය.

ඇගේ දකුණුපස වායු අංශු වල උෂ්ණත්වය ඉහළ ගියා වාගේ දැනුණෙන් අන්තරා හිස යන්තම් හරවා බැලුවා ය. යුගාත්ම ඇයට කිට්ටුව මඳක් පිටුපසින්, දෑත් පපුව මත බැඳගෙන සිටියේ ය.

“මං ගොඩක් සතුටෙන්”

ඒ මන්ද්‍ර ස්වරය ඇයට ඇසුණේ මේ ළඟ පාතින් නොව දුර ඈත මන්දාකිණියක කෙළවර ම තරුවකින් සේ ය. හිත ඇතුළේ විදුලි ආරෝපණයක් සිදු විය.

“ඇයි…”

ඇය වඩාත් මෘදු ලෙස දෑස් එසවූවා ය.

“කෙල්ලො දෙන්න හිතාගන්න බැරි තරං වෙනස් වෙලා. ඒක අංක එක”

“එතකොට දෙක…”

සිව්නෙත් අතර අවකාශයේ අකුණක් පුපුරා ගියේ ය.

“දෙක… ඒ දෙන්න ඔයාට මාර ආදරෙයි”

අන්තරා ට සිය උගුර ස්පර්ශ කෙරිණ. එහි මැද හරියේ හිර වී ඇත්තේ සෙම ගුලියක් ද? නැත්නම් ගිනියම් යකඩ ගුලියක් ද?

“පිරිමියෙක් ජීවිතෙන් නිවනක් කියල දෙයක් බලාපොරොත්තු වෙනවනං… මට හිතෙනව මං දැන් විඳින්නෙ ඒ නිදහස් සනීපෙ කියල. වෙන මොකද්ද නිවන කියන්නෙ…”

“ආයෙ කවදාවත්… මොන හේතුවක් නිසාවත් ඒ සතුට නැති වෙන්නෙපා. ඔයා හැමදාම සතුටෙන් සැනසීමෙන් ඉන්නයි ඕනෙ”

වචන පිට වූයේ අන්තරා ගේ උගුර යටිනි.

“ඒකට ඔයත් මෙහෙම ඉන්න වෙනව. ඔයා නැතුව ඒ හැඟීම දැනෙන්න විදිහක් නෑ”

යුගාත්ම වචන තෝරා බේරාගත්තේ පුදුම පරිස්සමකිනි. ඇය සමගින් මේ මාතෘකාව ගැන කතා කරන්නට හිතනවා කියන්නේත් දැළි පිහියෙන් කිරි කන්නට සූදානම් වෙනවා වාගේ වැඩකි. අන්තරා ගේ වත වහා ඔහු දෙසට හැරවෙත්දී යුගාත්ම දෙගිඩියාවට පත් වූයේත් එබැවිනි. නමුත් ඔහු සිය බැල්ම වෙනස් නොකොට සිටියේ ය. ඈ විසින් ඈ වටා ඉදිකොටගෙන ඇති ආරක්ෂක කවචය බිඳ දමන්නට ශක්තිය එකතු කරමින් සිටියේ ය. තමන් විසින් එය කොයියම් මොහොතක හෝ සිදු කරනු ඇති බවට ආත්ම විශ්වාසයකින් ද සිටියේ ය.

“දක්ෂිණ ඔප්පු කරල පෙන්නුව සැරයක්… මං පිරිමියෙක්ට නිර්වාණ හැඟීමක් දෙන්න පුළුවං ගෑනියෙක් නෙවෙයි කියල…”

අන්තරා බිඳී ගියා ය. ඇගේ හඬ වෙව්ලා ගියේ ය. ආත්මය දෙදරා ඉරිතලා ගියේ ය. ඕ යටි තොල්පට සපාගෙන බිම බලාගත්තේ දෑස් කකියමින් උණු කඳුළක් පිරෙත්දී ය. කිසිවෙකු පේන මානයක නොවන බව සැක හැර දැනගත් පිරිමිකමේ හිතුවක්කාරයා, ඇය වෙතට නැඹුරු වී කොපුලක් තදින් සිපගත්තේ ය. අන්තරා ට හුස්ම හෙළන්නට අමතක විණි. ඇගේ මුව මඳක් විවර වූයේ ය. පපු කුහරය පුරා ම හුස්මක් හිර වී තිබිණ.  

සිනිඳු කොපුල් තලාව මත කටුවන් රැවුල් කොට ඇනුණු මිහිරි රිදුම දැනෙන්නට ගත්තේ ඉනික්බිති ය. යුගාත්ම කාශ්මීර අමුණුගම විසින් ඈ සිපගන්නා ලද බව අන්තරා ඉඳුරා පසක් කොට ගත්තේ ඊටත් පස්සේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here