තාදී – 45

0
2419

තාදී ධීර සමඟ පොලිසියට යන විට මිෂෙල් ව සිර මැදිරියට දමා තිබූ අතර ඇය උන්නේ හැඬූ කඳුලෙනි. රූපසිංහ , වසන්ත සහ රූපසිංහ ගේ නීතිඥවරයා වූ මුදුන්කොටුව මිෂෙල් ට ඇප ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි අතර එය තරමක් අසීරු වූයේ සිද්ධිය සිදුවූ මොහොතේ ඔවුන් ඔවුන් තාදීට අනතුරක් කිරීමට ද උත්සාහ දරන අයුරු කැමරා දර්ශන වල සටහන් වී තිබූ බැවිනි. 

මේ තත්ත්වය තරමක් දුරට හෝ වෙනස් කළ හැක්කේ තාදීට බව පොලිස් පරීක්ෂක දේවපුර ධීර ට පවසා තිබූ නිසා තාදී පොලිසියට පැමිණීම එක අතකින් රූපසිංහට සහනයක් ගෙන දුන්නේ ය.

තමාට කිසිදු අනතුරක් නොවූ නිසා මිෂෙල්ට හැකි ඉක්මනින් ඇප ලබා දීමට කටයුතු කරන්නැයි තාදී ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තාදී සූදානම් වූවාය. ඒ අනුව මිෂෙල්ට පමණක් ඇප ලබා ගැනීමට නීතිඥයාගේ සහාය ඇතිව රූපසිංහ ට හැකි වූ අතර ඒ ගැන තාදී ට ඇති වූයේ අප්‍රමාණ සතුටකි.

සියලු කටයුතු අවසානයේදී සිර මැදිරියෙන් පිටතට පැමිණි මිෂෙල් මුලින්ම පැමිණියේ රූපසිංහ ලඟටය.

” තාත්තා ” 

මිෂෙල් ගේ මුහුණෙහි සටහන්ව තිබුණේ පසුතැවීමකි. 

” දැන් ඉතින් හරි නේ. ගෙදර යං ” 

” මං ධීරට කතා කරලා එන්නම් ” 

මිෂෙල් යන්නට හැරුනාය.

” අර කෙල්ලටත් මොනවා හරි කියලා එන්න.මොනා වුනත් ඔයාට උදව් කරානේ ” 

රූපසිංහ ඇහෙන නෑහෙන හඬින් කීවේය. වසන්ත කිසිවක් නොකියා බලා සිටි අතර නීතිඥයාද පිටව ගියේය.

” තෑන්ක් යූ ධීර ” 

මිෂෙල් ධීර අසලට පැමිණ කීවාය. ධීර උන්නේ කෝපයෙනි. මේ මොහොතේ සිටින්නේ පොලිස් ස්ථානයේ නිසාත් රූපසිංහ සහ වසන්ත යන දෙපළම පෙනෙන මානයේ සිටින නිසාත් ධීර කෝපය පාලනය කර ගන්නට උත්සාහ කළේය.

” ඔයා තෑන්ක්ස් කරන්න ඕනේ මට නෙමෙයි.තාදි ට. ඔයා මෙච්චර ලොකු වැරැද්දක් එයාට කරලත් එයාට ඕන වුණේ ඔයාව මෙතනින් එළියට ගන්න. එයාට තිබුණා පාඩුවේ ගෙදරට වෙලා ඉන්න.ඒත් එයා එහෙම කළේ නෑ. අන්න ඒකයි එයා ගෙයි ඔයා ගෙයි වෙනස ” 

ධීර දත්මිටි කමින් , හඬ පාලනය කර ගනිමින් පිළිතුරු දුන්නේය. මිෂෙල් ඉන් පසුව හැරුනේ තාදී වෙතටය.

” තෑන්ක්ස් ” 

තාදී මදහසක් පෑවා පමණි. මිෂෙල් තවත් යමක් කියන්නට සූදානම් වූවාය.

” හැබැයි ඔයා මාව බේර ගත්තා කියලා මං කිසි දෙයක් අමතක කරයි කියල හිතන්න එපා තාදී. අනික ඔයා මට එලියට එන්න උදව් කරලා හොඳ මනුස්සයා වෙන්න හැදුවට අපි ඒවට අහු වෙන්නෙත් නැහැ. මං එහෙම ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ. අනික, කොහොමත් අන්තිමට මේ කසාදේ කෙරෙනවා ” 

ධීර කෝපයෙන් ඉදිරියට අඩියක් තබද්දී තාදී ඔහු ගේ අතින් ඇද ඔහුව නතර කළාය. මිෂෙල්  රූපසිංහ සහ වසන්ත සිටි දෙසට ගියේ සමච්චල් සහගත සිනහවක් පාන අතරේය.

” ශික්. කිසිම ලැජ්ජාවක් නැති ගෑනියෙක්. පොලිසියේ නෙමෙයි නම් දන්නවා මං කරන දේ.. ” 

ධීර දත් මිටි කෑවේය.මිෂෙල් රූපසිංහ සහ වසන්ත සමඟ මොනවදෝ කතා කරමින් හුන් අතර වසන්ත වරින් වර තාදී දෙස බලන ආකාරය ධීර දුටුවේය.

” කෑකෝ ගහලා ප්‍රශ්න විසඳන්න බැහැ ධීර. අපි එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරානේ. ඊළඟට මොකක්ද කරන්නේ කියලා එයාලා බලා ගනියි. අපි යමුද? ” 

තාදී කීවේ සංසුන්වය. එහෙත් ධීර උන්නෙ සන්සුන් විය හැකි සිතිවිල්ලක නොවේ. මේ තරම් දෙයක් සිදුව තිබියදීත් මිෂෙල් හැසිරෙන ආකාරය ඔහුට අදහා ගත නොහැක. ඇය තවමත් සිටින්නේ තමාව විවාහ කර ගැනීමේ අදහසේ එල්ලී ගෙනය. 

” තාත්තා අපි යනවා ” 

ධීර වසන්ත අසලට විත් කීවේය. රූපසිංහ ද සිටින නිසා වසන්තට කරකියා ගන්නට දෙයක් නොමැති විය.වසන්ත රූපසිංහ දෙස බලා නැවත ධීර දෙස බැලුවේය.

” ගෙදර එන්න ” 

වසන්ත කීවේ එපමණකි.තාදී හැඟීම් විරහිතව වසන්ත දෙස බලා උන්නාය.ඒ , වසන්ත කුමක් හෝ කීවොත් එයට පිළිතුරු දෙන්නටද සූදානමිනි. නමුත් ධීර වසන්තට පිළිතුරක් දෙන්නට නොනැවතී තාදී සමඟ පොලිසියෙන් එළියට ආවේය.

” පේනවද අර කෙල්ලත් එක්ක ඉන්න කොට එයා ගේ තියෙන ලොකුකම ” 

මිෂෙල් කීවේ ධීර සහ තාදී පිටව යන දෙස බලමිනි. 

” අනේ මේ. ඒ දෙන්නට ඕන දෙයක් කර ගන්න ඇරලා ගෙදර යං මිෂෙල්. මදැයි හිර කූඩුවේ ළඟින්නම වැඩ සිද්ධ කර ගත්තා ” 

” රූපේ මාත් එක්ක තරහින්ද ඉන්නේ ? “

වසන්ත බැරිම තැන නිහඬතාවය බින්දේය. තම දියණියට සිදුවූ දෙය නිසා රූපසිංහ මේ විවාහය නතර කරන්නට සූදානම් වනවා වැනි හැඟීමක් වසන්තට දැනෙමින් තිබුනි.

” මේ ළමයා කර ගත්ත දේ ගැන මට හිතට අමාරුයි වසන්ත. මේකට ඔයාගේ පුතත් වග කියන්න ඕනේ. ඒත් ඉතිං ඔයාට කරන්න දෙයක් නැහැනේ මේකට. ඔයා කියලා පටලගත්ත සම්බන්ධයක් නෙමෙයිනේ ඕක ” 

වසන්ත ගේ හිතට සැනසීමක් දැනුනේ රූපසිංහ එසේ පිළිතුරු දුන් පසුවය. මේ සිදුවීමෙහි සැර බාල වෙන්නට හැර ඉදිරියට කළ යුතු දේවල් පිළිබඳව කතා බහ කර ගත යුතුය. ඒ වන තෙක් රූපසිංහව යාප්පුවෙන් තබා ගන්නට වසන්ත සිතුවේය. 

නිවසට එනතුරුම මිෂෙල් වචනයක් හෝ කතා කළේ නැත. රමණී පුරුදු පරිදිම හැඬූ කඳුලෙන් ජයමිණි සමග මිෂෙල් නිවසට පැමිණෙන තුරු බලා උන්නාය. මිෂෙල් නිවසට ගොඩ වැදුනේ ලැජ්ජාවෙනි. ඒ ජයමිණි ද සිටින නිසාය.

” අනේ මගේ කෙල්ල ” 

රමණී ඉදිරියට දිව ඇවිත් මිෂෙල්ව වැළඳ ගත්තාය.

” ඔයා මෙච්චර මෝඩ වෙයි කියලා මං හිතුවේ නෑ මිෂෙල් ” 

රමණි හැඬුම් අතරේ කීවා ය. මිෂෙල් ද දෑස් වලට නැගුණු කඳුළු පිස දැම්මාය. සිත තුළ පසුතැවීමක හැඟීමක් තිබුනද පරාජය බාර ගන්නට මිෂෙල් ඒ මොහොතේදීත් සූදානම් වූයේ නැත. තම පියාගේ තීරණය කුමක් වුවත් පෞද්ගලිකව හෝ වසන්ත සමග කතා බහ කර මේ සඳහා විසඳුමක් ලබා ගන්නට මිෂෙල් සිතුවාය.

” අපි එහෙනම් යන්නම් රූපසිංහ. දැන් ගොඩක් රෑ වුණානේ. අපි හෙමින් සීරුවේ කතා කරමු ” 

වසන්ත ජයමිණි සමඟ නිවසට යන්නට සූදානම් වූයේය. ජයමිණි ද සිටියේ කොයි මොහොතේ නිවසට යා හැකිදැයි කල් බලමිනි.

” හොඳයි වසන්ත. අපි හෙමින් සැරේ මේ හැම දෙයක් ගැනම කතා කරමු. බොහොම ස්තූතියි අද දවසේ මට කරපු උදව් ටිකට.මං කෝල් එකක් දෙන්නම්කෝ ” 

වසන්ත සහ ජයමිණි නිවසට එන්නට පිටත් වූ අතර රූපසිංහ ගේට්ටුව වසා දමා ආපසු නිවසට ඇතුළු වූයේ කෝපාවිෂ්ට වීගෙනය. ඒ වන විටත් රමණී සිටියේ හැඬූ කඳුළෙන්ය. මිෂෙල් ඇය අසල වාඩි වී හැඟීමකින් තොරව බලා උන්නාය.

” අනේ මේ නවත්ත ගන්නවා රමණි තමුසෙගේ ඇඩිල්ල.ළමයාව හරියට හැදුවනම් මේක වෙන්නෙ නෑනේ ” 

රමණී හැඬුම නවත්වා රූපසිංහ දෙස බැලුවේය. රූපසිංහ අනතුරුව බැලුවේ මිෂෙල් දෙසය.මිෂෙල් තම පියාගේ බැල්ම දරා ගත නොහැකිව බිම බලා ගත්තාය.

” උඹ මාව කෑවා මිෂෙල්. රට රටවල යවල සල්ලි වියදම් කරලා උගන්නලා උඹට හොඳ කසාදයක් කරලා දෙන්න හැදුවේ උඹ හිරේ විලංගුවේ වැටෙනවා බලන්නද ? පුදුම ලැජ්ජාවක් මට වුණේ. ශිහ් ” 

” මං ඒක එච්චර හිතුවේ නැහැ තාත්තා. මට ඕන වුනේ අර කෙල්ලට පාඩමක් උගන්වන්න. උන් දෙන්නම එකතු වෙලා මාව රැවැට්ටුවා. “

” උඹට හිතන්න මොලයක් තිබ්බේ නැද්ද මිෂෙල් මේක කොතනින් හරි අහු වෙයි කියලා ? අපූරුයි උඹට ඉන්න යාළුවෝ. ඌ හරිම ලේසියෙන් උඹව පාවලා දීල තිබ්බා. මට තාම හිතා ගන්න බෑ උඹ මේ වගේ ගොන් වැඩක් කලේ කොහොමද කියලා. මේ කසාදයක් හින්ද උඹ කර ගත්ත දෙයක් ඇත්තට ” 

” දැන් එතකොට මේක කෙරෙන්නේ නැද්ද ? “

” උඹ මේ වගේ වැඩ කරන එකියෙක් කියලා දැන ගත්තහම මොන මිනිහද කැමති වෙන්නේ උඹව කසාද බඳින්න ? ධීර ගේ හිතේ පොඩි හරි දෙයක් උඹ ගැන තිබුනනම් දැන් ඒකත් නැතුව ඇති. දැක්කනේ අර ඇවිල්ලා හිටපු කෙල්ල “

” මං ඒක ධීර එක්ක බලා ගන්නම්කෝ  ” 

” උඹ දැන් මොනවා බලා ගන්නද ? ධීර ට දැන් ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන් හේතුවක් උඹම හදල දුන්නනේ. අනික වසන්තලා උනත් දැන් මොනවා හිතනවා ඇතිද ? ” 

රූපසිංහ එසේ කී විට මිෂෙල්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව තරමක් දුරට බිඳ වැටුණු අතර සියල්ල මෙතනින් අවසන් වේ දැයි බියක් ඇගේ සිත තුළ පැන නැඟුණි. ඉදිරියට කුමක් වුවත් තමා ආරම්භ කළ සටන නවත්වන්නේ නැතැයි මිෂෙල් දැඩිව සිතා ගත්තාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here