රෝහල් කාමරය ඇතුලේ සත්සරාට ඇහුනේ වහලයේ එල්ලා තිබූ පංකාවෙන් ඇගෙඅ හුලං කපාගෙන යන හඬ පමණකි. ඈතින් මිනිසුන් කියන විවිධාකාර දේ එකට එක්වී එක ඝෝසාවක් සේ ඇහුනද ඒ හඬ පරයා කාමරයේ ඇතුලේ පිරී තිබුණේ පංකාවෙන් ආ නාදයයි. සත්සරා වාඩි වී උන්නේ කාමරයේ පනවා තිබූ ඇඳ උඩය. ආච්චි අම්මාත්, සමුධ්‍යා ටීචත් ඒ කාමරයේම වාඩිගෙන උන්නද එකිනෙකා අතර කිසිත් කතාබහක් ඇතිඋනේ නැති තරම් ය. තුන්දෙනාම උන්නේ තුන්දෙනාගේ ලෝකවල හිරවී එක එක දේවල් ගැන කල්පනා කරන ගමන් ය.
සමුධ්‍යාගේ මිතුරිය වන දම්මි විසින් කතාකරනු ලැබූ වෛද්‍ය ශාරධා ඒ කාමරයට ආවේ මෙතෙක් වෙලා ඒ කාමරය වෙලා ගෙන උන් නිහඬතාවය වගේම මෙතෙක් වෙලා තුන්දෙනාගේම හිත් අස්සේ පිරී තිබුන බයත් සැකයත් මුසු වුණ සිතුවිලි දහරාවක් වේ නම් එය පළවා හරිනු පිණිස සිනාවන් සලමිනි.
“හායි සමුධ්‍යා නේද? මට දම්මි කතා කරා. අනේ සොරි ඊයෙ මට තව වැඩකට කලම්බු යන්න උනා. ඒකයි අද චුට්ටක් එන්න ලේට් උනේ. සොරි” කියා වෛද්‍ය ශාරධා කියද්දි සමුධ්‍යා සිනාවක් එක්කම “අනේ කමක් නෑ ඩොක්ටර්” කියා කිව්වාය. වෛද්‍ය ශාරධාගේ දෙනෙත සත්සරා වෙත යොමුවුනේ ඉන්පසුවය. දින දෙකකට පමණ පෙර දම්මි විසින් කෝල් එකකින් කියන්නට යෙදුණ කතන්දරය ඔස්සේ මේ ඉන්නේ වින්දිතයා යැයි සිතාගන්න ශාරධාට අපහසු උනේ නැත. අනෙක් අතට මේ ශාරධා විසින් මෙහෙයවන ලබන පළවෙනි මෙයාකාර සිදුවීමද නොවේ. ශාරධාට ළමා අපයෝජන සම්බන්ධව තිබුණේ විසල් දැනුවත් විමකි. ලංකාව තුළ සිදුවන මෙවන් සිදුවීම් මැඩපවත්වීම උදෙසා ශාරධා, ළමා හා කාන්තා කාර්යංශය සමග එක්ව කරන වැඩසටහනකට සමබ්න්ධ වී උන් නිසාවෙන්ම දම්මි කෝල් කර “මෙහෙම දෙයක් තියෙනවා” කිව් මොහොතේම ශාරධා මේ කටයුත්තට උදව් දීමට කැමැත්ත පල කරාය.
“ඔයාද සත්සරා?” කියා වෛද්‍යතුමිය තමන්ගෙ මුහුණ වෙත නැඹුරු වී සිනාවක් එක්ක අහද්දී මෙතෙක් වෙලා හිත අස්සේ පිරී තිබුණ අඳුරු වලාකුල කෙමෙන් කෙමෙන් පහව යන බව සත්සරාට දැනුනාය. පිළිතුරු සිනාවක් දෙතොල් මත ඇඳුණේ ඒ අනුවය.
“බයෙන්ද ඉන්නේ?” කියා ශාරධා අහද්දී සත්සරා ඔව් කියන්නට මෙන් හිස වැනුවාය.
“බයවෙන්න එපා. මෙතනදි ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයාට තියෙන්නෙ මාත් එක්ක වෙච්ච දේවල් ආයෙ කියන එක විතරයි. ආච්චි අම්මටයි ඔයාගෙ ටීචයි දෙන්නටත් මම එළියට යන්න කියල කියනවා. ඔයයි මමයි විතරයි කතාකරන්නෙ හොඳේ” කියා ශාරධා කියද්දි සත්සරා ආයෙ වතාවක් එකඟතාවය පළ කරන්නට මෙන් හිස වැනුවාය.
ගෙදරින් පිටවෙන්නට කළින් සමුධ්‍යා ටීච කිව්ව දේ ඒ මොහොතේත් සත්සරාගේ හිත අස්සේ කැරකි කැරකි තිබුණි.
“අද ඩොක්‍ට අහන දේවල් වලට පුතා හරියට ඔක්කොම මතක විදියට කියන්න හොඳේ. කිසිම දෙයක් අමතක කරන්න එපා. ඒ වගේම පුතා බය හන්ද බොරු කියන්නවත් මුකුත් හංගන්නවත් එපා. ආයෙ ආයෙ එකම දේ කියන එක පුතාගෙ හිතට බර බව මම දන්නව උනාට පුතේ ආයෙ පුතාටවත් වෙන ළමේක්ටවත් කරදරයක් නොවෙන්න නම් පුතා මේ දේ කරන්නම ඕන කියන එක අමතක කරන්න එපා” කියා සමුධ්‍යා ටීච කිව වචන නිසාවෙන්ම තමන් දන්න, තමන්ට මතක හැමදේම අද මේ වෛද්‍යවරියට කියන්න සත්සරා සිතාගත්තාය.
ගුණවතීත් සමුධ්‍යාත් එළියට ගියේ ඒ අනුඅය. වෛද්‍ය ශාරධා වෛද්‍ය පරීක්ෂණය සිදු කරන කාමරයේ දොර වසා දමන තුරුත් සත්සරාගේ දෑස් වෙතම යා වී තිබුන තමන්ගේ දෙනෙත් දොර වැසුවයින් පස්සේ සමුධ්‍යා ටීචගේ දෙනෙත් වෙත අලවාගත් ගුණවතීට සමුධ්‍යාගෙන් අහන්න තිබුණේ එකම එක දෙයක් පමණකි.
“අපිට අපේ කෙල්ලව බේරගන්න පුලුහන් වෙයිද නෝනා?”
“බයවෙන්න එපා ආච්චියෙ. අපිට මුකුත් කරදරයක් එන්නෙ නෑ. සත්සරාට මුකුත් කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෙත් නෑ”
වෛද්‍ය ශාරදා විසින් සත්සරාව පරීක්ෂා කරන්නට ගත් කාලය පුරාවටම ගුණවතීත් සමුධ්‍යාත් වෛද්‍ය කාමරයෙන් පිටත රැඳී උන්නේ ඒ ගැනම රැඳුණු සිතුවිලි එක්කය. දම්මි විසින් වෛද්‍ය ශාරදා ගැන විස්තර කිව් නිසාවෙන්ම මේ කටයුත්තට වඩාත්ම ගැලපෙන කෙනා වන්නේ ඇය බවට සැකයක් සමුධ්‍යාට තිබ්බේ නැත.
“ශාරධාට සෑහෙන කන්ටැක්ට්ස් තියෙනව ඔය වගේ කේසස් හැන්ඩ්ල් කරන ලෝයර්ස්ලා එක්ක පවා. අනික ඒ සමහර මිනිස්සු ඕවට සල්ලි ගන්නෙ නෑ. අර සෝශල් වර්ක් එකක් විදියට අරගෙන නිකන් ඔය වගේ දේවල්වලට කතා කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ නිසා මෙඩිකල් එක්සැමිනේශන් එකෙන් පස්සෙ ඉතිරි විස්තර ටිකත් ඔයා ඩොක්ටර් එක්කම කතා කරන්න සමුධ්‍යා මම ඒත් ශාරධාට කිව්වා ඔය කියන ගර්ල්ගෙ සයිකොලොජිකල් පැත්තෙ මෙඩිකට් ට්‍ර්‍රිට්මන්ට් එකකට සපෝට් එක ඕන නම් මම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් කියල. මගෙ සුපීරියර් මදුරාවල මැඩම් කොහොමත් ඔය වගේ දේවල් වලට සපෝට් කරනවනෙ.
ඒ නිසා බයවෙන්න එපා”
“මට ඒ දේවල් ගැන නම් බයවෙන්න කිසිම හේතුවක් නෑ. මට ඇත්තටම බය තියෙන්නෙ දම්මි මොක උනත් සද්ධානන්ද සර් කිව්ව වගේ අර මනුස්සය එයාගෙ සල්ලි බලය පාවිච්චි කරල මොන කරදර කරන්න පටන් ගනීවිද කියන එක ගැන”
“සල්ලියි පවර් එකයි යූස් කරලා තාම ලංකාවෙ ඕන දෙයක් කරන්න පුලුවන් බව ඇත්ත. හැබැයි ඇත්තටම ඔය ගර්ල්ට එහෙම ප්‍රශ්නයක් වෙලා නම් මං හිතන්නෙ ඒ වගේ දේකට සපෝට් කරන්න. බලයට, පොලිටික්ස් වලට වගේම සල්ලිවලට ඔලුව නමන්නෙ නැති මිනිස්සු තාම මේ රටේ ඉතුරුවෙලා ඉන්නවා සමූ. ඒ හන්දා විල් සී. අපිට දැනට තියෙන ලොකුම ටාගට් එක ඔය ගර්ල්ට වෙලා තියෙන ඩැමේජ් එක කොච්චරද කියලා දැනගන්න එකනෙ.
අපි ඉස්සෙල්ලා ඒක බලමු”
සත්සරාත් ශාරදාත් රැඳී උන් කාමරයේ දොර විවර වුණේ ඒ අනුවය. සත්සරාට කාමරයෙන් එලියට ආවේත්, හෙදවරියක විත් සත්සරාව එහා පැත්තෙ පොත් පත් තියා තිබුණ කාමරයකට රැගෙන ගියේත්, ශාරධා සමුධ්‍යාට සහ ගුණවතීට වෛද්‍ය කාමරය ඇතුලට අඬ ගැසුවේත් තප්පර කිහිපයක පරතරයන් සමගින් ය. සමුධ්‍යා කැළඹුනේ ශාරධාගේ දෙනෙත් වල රැඳී තිබුණ බැල්මට ය. ගුණවති උන්නේ වෛද්‍යතුමිය කියන්නට යන්නේ කුමනාකාරයේ බය හිතෙන කතාවක්ද කියා කල්පනා කරන ගමන් ය.
ශාරධා තමන්ට පිරිනමන්නට සිහිල් බීම වීදුරු දෙකක් ගෙනවිත් තැබුවේ කියන්නට යන කතාව එතරම්ම භයානක වන්නට හැකි නිසාද කියා සැකයක් හිත අස්සෙ තිබුනත් සමුධ්‍යා මුණිවතම රැකුවේ හිතට එන ප්‍රශ්න මුවින් පිටකරන්නට තරම් හයියක් හිතේ නොතිබුන නිසාය.
“අපි හිතනවට වඩා ලොකු බලපෑමක් මේ දරුවට වෙලා තියෙනවා” කියා වෛද්‍යතුමිය කියද්දි ගුණවතී මෙච්චර වෙලා හිත අස්සේ හිරකරගෙන උන්නු වේදනාව දෙනෙත් වලින් පිටකරන්නට කටයුතු කරාය. ශාරධා මදක් ඉදිරියට නැමී ගුණවතීගේ අත් දෙක අල්ලගත්තේ ඒ වේදනාව බෙදාගන්නට මෙන් බව සමුධ්‍යා සිතුවාය.
“නෑ අම්මේ අඬන්න එපා. මං දන්නවා හිතට වේදනා බව. ඒ උනාට මේ බලපෑම වෙලා තියෙන්නෙ ඇත්තටම අපි හිතන විදියට නෙවෙයි. සත්සරාට ලොකුම බලපැම වෙලා තියෙන්නෙ ඔලුවට. මානසිකව. සාමාන්‍යයෙන් දරුවෙක්ට කරදරයක් වෙලා කිව්වම ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වැඩිහිටියෙක් බයවෙනවා ඒ කරදරේ වෙලා තියෙන්නේ ඒ දරුවගෙ ඇඟට කියලා. අපි දකින්න ඒක මකන්න බැරි කැළලක්, හොඳ කරන්න බැරි තුවාලයක් විදියටනෙ.
ඇඟට වෙන තුවාල තරම්ම ලොකුයි ඔලුවට වෙන තුවාලත්. විශේෂයෙන්ම මේ වගේ තාම ලෝකෙ හරියට දැක්කෙ නැති දරුවෙක්ගෙ ඔලුවට වෙන තුවාලයක්. සත්සරාව චෙක් කරද්දි වගේම එයා කිව්ව කතාවලින් එයාගෙ ඇඟට අපි බයවෙච්ච විදියෙ කරදරයක් වෙලා නැති බව ඇත්ත. හැබැයි සත්සරා ඉන්නෙ හිත ඇතුලෙන් ගොඩක් බය වෙලා. ඒක ඉක්මනට විසඳගත්තෙ නැත්තෙ සත්සරාට ජීවිතේ ඉස්සරහට යන්න වෙන්නෙ ඒ ප්‍රශ්නෙ දිගටම ඔලුව ඇතුලෙ තියාගෙන”