පිණි මුතු පලසක් – 18

0
659

“සත්සරාගේ ස්ටේට්මන්ට් එක, එයා කිව්ව කතාව තමයි සමුධ්‍යා මේ කේස් එකේදි අපිට තියන ලොකුම පෘෆ් එක” කියා දිලානිත් දෙව්නිත් කිව්වේ සත්සරා දෙස බලා අස්වසන සිනාවක් පාමිනි.

“දරුවන්ට කරදර වෙලා දරුවො එන එන ගොඩක් අම්මලා තාත්තලට ඔය ප්‍රශ්නෙ තියෙනවා. එයාලා හිතන්නෙ අර අතට අල්ලන්න බැරි සාක්කි මුකුත් නැතුව මේ දරුවන් වෙනුවෙන් මුකුත් කරන්න අපේ නීතියෙන් ඉඩක් නෑ කියලා. හැබැයි එහෙම නෑ ගොඩ්ක දේවල් තියෙනවා.

සාක්කි කාරයෙක්, රෙකෝඩ් වෙච්ච මොකක් හරි සාක්කියක් වගේ දෙයක් නැතුව උනත් මේ වගේ දේවල් වලදි අපිට උදව්වට ගන්න පුලුවන් දේවල් කීපයක්ම තියෙනවා. 

ශ්‍රී ලංකා නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ 286A, 365B වගන්ති සහ NCPA මාර්ගෝපදේශ මත පදනම්වෙලා ගත්තම පොලිසියට, උපදේශකයෙකුට හෝ වෛද්‍යවරයෙකුට ලබා දීලා තිබෙන වින්දිතයාගේ ප්‍රකාශය, වෛද්‍ය පරීක්ෂණ වාර්තාව, ශාරීරික තුවාලයක් තිබුණෙ නැතත්, එේකෙන් දරුවගෙ මානසික තත්ත්වය වගේ දේවල් කියන නිසා, ගුරුවරු, වෙන වැඩිහිටියෙක් වගේ කෙනෙක් දරුවන්ගෙ මොකක් හරි හැසිරිමේ වෙනසක් දැකපු එකක්, දරුවා එකම දේ නැවත නැවත කියන්න පෙළඹෙනව නම් ඒක, අපයෝජනයට හරි කම්පනයට හරි පත්වෙල කියල පෙන්නන මානසික ලක්ෂණ, තියෙනවනම් ඩිජිටල් සාක්කි වගේ දේවල් පවා මෙතනදි අපිට භාරදෙන්න පුලුවන්කම තියෙනවා. ශාරීරික තුවාල නැති උනත් විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365B වගන්තිය යටතේ, දරුවාගේ විශ්වාසදායක සහ ස්ථාවර සාක්ෂියක් වුණත් කෙනෙක්ව වරදකරු කිරීමට ප්‍රමාණවත් කියලා ශ්‍රී ලංකාවෙ අධිකරණය තීන්දු කරලා තියෙනවා”  කියා දෙව්නි ඒ කතාවට වැඩි දුරටත් එකතු කරන්නට යෙදුණාය.

“ඊළඟට අපිට කරන්න තියෙන්නෙ මෙන්න මේක” කියමින් දිලානි තමන් අතේ තිබුන ලිපි ගොනුවේ ඊලඟ පිටුව පෙරලන්නට වුණාය.

“නිල ප්‍රකාශය ගත්තට පස්සෙ සැකකරුට චෝදනා විදියට එල්ල කරන්න පුලුවන් කරුණු ටික අපි තීරණය කරනවා. සත්සරාගෙ කේස් එකේදි එයාව වැරදි විදියට අතපත ගාපු එක, ලිංගික හැසිරීමකට බල කරපු එක වගේ දේවල්, පෙනෙට්‍රටේශන් එකක් උනේ නැති උනත් අපිට මෙතනදි චෝදනා විදියට ගොනු කරන්න පුළුවන්කම තියෙනවා. 

365B වගන්තිය (බරපතල ලිංගික අපයෝජනය) – විනිවිද යාමකින් තොරව දරුවෙකුට එරෙහි ඕනෑම ලිංගික ක්‍රියාවක්, 286A වගන්තිය (ළමා හිංසනය) – දරුවෙකුට මානසික හෝ ශාරීරික හානියක් සිදු කිරීම,1998 අංක 50 දරන NCPA පනත – සූරාකෑම සහ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා කියන වගන්ති පමෙතනදි අපිට පාවිච්චියට ගන්න පුලුවන් වෙනවා. 

මේ හැම එකක්ම ඇප දෙන්න බැරි වැරදි.ඒ කියන්නේ විනිසුරුතුමා අපේ මූලික වාර්තාව ෆගැන සෑහීමකට පත් උනොත් අපරාදකාරයාව වහාම රිමාන්ඩ් භාරයට ගන්න පුලුවන්”

“ඒ මනුස්සයගෙ පැත්තෙ තියෙන දේශපාලන බලෙයි සල්ලි බලෙයි එක්ක ඒ මනුස්සය ආයෙ එලියට ඇවිල්ලා මේ දරුවට තව කරදරයක් කරන එකක් නෑ කියලා අපිට විශ්වාස කරන්න පුලුවන්ද මැඩම්?”

“නැහැ. දරුවා වෙනුවෙන් අපි කරන්න පුලුවන් හැමදේම කරනවා. දරුවගෙ ආරක්ෂාව වෙනුවෙන් අපි අනිවාර්‍යෙන්ම එහෙම උනොත් තහනම් නියෝගයක් ඉල්ලනවා. ඒ කියන්නෙ මේ දරුවගෙ ගෙදරවත් ඉස්කෝලෙවත් ඇතුලත ප්‍රදේශයේ මීටර් 500ක් ඇතුලට ඒ මනුස්සයට එන්න බෑ කියන එක අපි පොරොන්දු වෙනවා”

ළමා හා කාන්තා කාර්‍යංශය සත්සරාගේත් ඇගේ පවුලේත් ආරක්ෂාව තහවුරු කරන්නට කටයුතු කරන බවත්, සත්සරාගේ චිත්තවේගීය සුවතාවය පිළිබඳව සොයා බලන බවත්, එමෙන්ම උසාවියේදී අපේක්ෂා කළ යුතු දේ සඳහා ඇයව සූදානම් කිරීමත් සිදුකරන බව දෙව්නි සමුධ්‍යාටත් සත්සරාටත් ගුණවතීටත් වඩා හොඳින් පැහැදිළි කර දුන්නාය.පෞද්ගලික නීතිඥයෙකු නොමැති නම්, ළමා අපයෝජන නඩු සම්බන්ධයෙන් පළපුරුදු කෙනෙකු නොමිලේ පත් කිරීමට ඔවුන් නීති ආධාර කොමිසම සමඟ සම්බන්ධීකරණය කිරීමටද සහය පළ කල හැකි බවට දෙව්නි වැඩිදුරටත් කිව්වාය.

සත්සරා බාල වයස්කරුවෙකු වූ නිසා, ඇගේ නඩුව සාමාන්‍ය අධිකරණ මාර්ග හරහා ඉදිරියට නොයන බවත් ඒ වෙනුවට, එය ළමුන් සඳහා වූ විශේෂ මහාධිකරණයේදී විභාග කරනු ලබන අතර, එහිදී දරුවාගේ පෞද්ගලිකත්වය සහ චිත්තවේගීය ආරක්ෂාව සහතික කරමින් – මහජනතාව නොමැතිව, මාධ්‍ය නොමැතිව – කටයුතු සිදු වෙන බව පැහැදිළි කලේ දිලානියා. මෙම අධිකරණ විශේෂයෙන් ළමයින් වෙනුවෙන් සංවේදී වීමට නිර්මාණය කර ඇති අතර, විනිසුරුවරයා, නීති උපදේශකයින්, ආරක්ෂක නිලධාරීන් සහ සමාජ සේවකයින් වැනි අත්‍යවශ්‍ය පාර්ශවයන් පමණක් සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන ඒවා බවත් දෙව්නි විස්තර කරාය.

දිලානි ඇගේ මේසයට සම්බන්ධ කර තිබූ ලාච්චුවෙන් කුඩා ශ්‍රව්‍ය පටිගත කිරීමේ යන්ත්‍රයක් එළියට ඇද ගත්තේ අනතුරුවය. ඇය එය මෘදු ලෙස මේසය මත තබා සත්සරාත් ගුණවතීත් දෙස බැලුවාය.

“පුතාට පුලුවන් නේද ආයෙමත් අපිට වෙච්ච දේ මුල ඉඳලම කියන්න” කියා ඒ කාන්තාව අහද්දි සත්සරා මාරුවෙන් මාරුවට දෙව්නිත්, සමුධ්‍යාත්, ආච්චි අම්මාත් වෙත නෙත් යොමු කරාය.

“බයවෙන්න එපා පුතේ මේ හැමදේම ඔයාව බේරගන්නනෙ අපි කරන්නෙ” කියා සමුධ්‍යා ටීච හීන් සීරුවේ තමන්ගේ අත මුදුව අතගාද්දී සත්සරා මදක් සිනාසී හිස වැනුවාය.

මල්ලී විසින් කරන්නට යෙදුන අකටයුතුකමක් වෙනුවෙන් නීතිය මේ වෙද්දි ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබෙන බව තේරෙද්දි හිත සන්සුන් කරගෙන හිඳින්නට හැකියාවක් අරුණට තිබුනේ නැත. අරුණගේ දුරකතනය ඔස්සේ අනෝමා ගේ දුරකතන වෙත ඇමතුමක් ගලා ආවේ ඒ නොසංසුන් හිත නිසාවෙන්මය.

අනෝමා කොහොමත් උන්නේ අරුණ සමග ඔහුගේ අනාගතය ගැන කතාකරන බලාපොරොත්තුවකය. අරුණ දැනටම ඉන්නේ විසි ගණන්වල අග තිස් ගණන් වලට ආයුබෝවන් කියා පිළිගන්න වයසකය. විශ්ව විද්‍යාලයෙදි අරුණට පෙම්වතියක හමු වුනත් පසුව ඒ සබඳතාවය බිඳ වැටුණයින් පස්සෙ අරුණ එවන් මාතෘකා ගැන උනන්දු නොවුන බවත් අනෝමාට නොරහසකි. “බාගදා ඒ සම්බන්ධෙ කැඩිච්ච එක තාම කොල්ලගෙ හිතේ ඇති” කියා කොපමණ හිතුණද අම්මා කෙනෙකු විදියට ඒ ගැන නොසිතා ඉන්නට හැකියාවක් අනෝමාට තිබුනේ නැත.

“අද මොකෝ ඔයාට මේ හදිස්සියෙ කෝල් එකක ගන්න හිතුනෙ?” කියා අනෝමා අරුණගෙන් ඇසුවේ මේ කාරණාව කියන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරන ගමන් ය.

“නිකන් ගත්තෙ අම්මෙ” කියා අරුණ කියද්දි ඒ කටහඬ පිටුපස්සෙ කුමක් හෝ වචන නොකර වේදනාවක් තිබෙන බව තේරුම්ගන්න අනෝමාට අපහසු වුනේ නැත.

“ප්‍රශ්නයක්ද පුතේ? ඔයාගෙ කටහඬ නිකන් මැලවිලා වගේ” කියා අම්මා අහද්දි මේ හිත් වේදනාවට තුඩු දුන් කාරණාව වෙනත් අයුරකින් අම්මාගේ කණට එන්නට පෙර තමන් විසින් කියන එක හොඳද නරකද කියන කාරණාව අරුණ ආයෙ ආයෙ හිතුවේය. ඒ වනාහී එක් පුතෙකුට අම්මා කෙනෙකුට තවත් පුතෙකු ගැන කියන්නට හැකි අන්දමේ කතාවක් නොවන බව දන්නා නමුත් තමන් කියනවට වඩා වේදනාබර අයුරකින් අම්මාට එය අහන්නට වීම වඩා දුකක් විය හැකි බව අරුණ ආයෙ සිතුවේය.

“මල්ලි ගෙදර ද අම්මේ?” කියා අරුණ අහද්දී අනෝමා පුදුම වුයේ කවදාවත් නැතුව අරුණ ලක්ෂිත ගැන ඇසූ එකය.

“ඇයි පුතේ එහෙම ඇහුවෙ? ගෙදර කියන්නෙ බයික් එක අරගෙන අනෙ මන්දා කොහෙද ගියා. යන තැනක් කියලා යනවා කියලය. ඇයි එහෙම ඇහුවෙ?”

අම්මා ඇසූ ඒ ප්‍රශ්නයට දිය යුතු පිළිතුර කුමක්ද කියන එක හිත අස්සේ පෙරළි කරමින් ඉද්දී අරුණ උන්නේ වඩ වඩාත් හිත දිරිගන්වමිනි.

“මල්ලිව ඔහොම හැමදාම ගෙදර තියාගෙන ඉඳලා හරියන්නෙ නෑ අම්මෙ” කියා අරුණ කියද්දී අනෝමාට තිබුන එකම ප්‍රශ්නෙ ඇය ඇසුවාය.

“ඇයි පුතා එකපාර එහෙම කිව්වේ?”

(මේ සියලුම නීති කරුණු අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඒවා නිසාවෙන් නිරවද්‍යතාවයේ කුමක් හෝ ගැටලුවක් තිබේනම් එය නිවැරදිකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here