ඉඳුදුන්න -47

දුලනි තරු මාවතෙන් සමු ගත් දා ඉඳුවර සමාජ ජාලාවල බොහෝ අපහාසයන්ට ලක් විණි.කුඩා දැරියකගේ දුප්පත්කම ඇයට ඉදිරියට යන්නට තිබු එකම බාධාවයැයි ලියැවෙන සටහන් දෙස ඉඳුවර බලා සිටියේ සිනාවක් සහිතව ය. ඇය ජරාජීර්ණ මඩ ගොහොරුවකින් මුදා ගත් සතුටින් ඔහු සැනසීමට පත් විණි.

“දුලනි කැපුවට උඹට ගහන සෝෂල් මීඩියා කැම්පේන් එක රන් කරන්නෙ සහස් කියලත් හිතෙනව ඉඳුවර..”

සිතිජ පැවසුවේ ඔහුට සිතුණු සැකයකි.

“කියලත් හිතෙනව නෙවෙයි, සහස් තමයි.මේ පාර පොපියුලර් ඇක්ටර් වෙන්න මිනිහට ඕන.ඉතින් මිනිහා හිතන්නෙ මඩ තමා හොඳම කැම්පේන් එක කියලා.”

සැබෑවටම සහස් එවගක් සිතී ය.ඔහු නිරූපණය අතරමැද අහම්බයකින් නළුවෙකු වූ තැනැත්තෙකි.රවීෂා දිනා ගැනීමට ලැබීමත් සමඟ සහස් ජනප්‍රිය බවේ හිනි පෙත්තටම ළඟා විණි.ඒ ජනප්‍රිය බව සදාකල් පවත්වා ගන්නට ඔහුට උවමනා විය.

“මගෙ මේ කැරැක්ටර් එකට මිනිස්සු පිස්සුවෙන් වගේ ආසා කරද්දි තමා ඉඳුවරයා කේසර වුණේ.මගෙ හිට්ම කාලේ උදුරා ගත්තෙ මිනිහා.නැත්නම් ඔය කිඩ්ස්ස්ටාර් ප්‍රසන්ටර් වුණත් වෙන්නෙ මම..”

සහස් සිටියේ ඊර්ෂ්‍යාවෙන් පුපුරා යමිනි.තරිඳිට පවා ආදරයකින් තොරව ළං වී ඈ දිනා ගන්නට ඔහුට තිබූ එකම සාධකය ඉඳුවර කෙරෙහි තිබූ ඊර්ෂ්‍යාව ය.

“මං මගේ පාරක මගේ පාඩුවෙ යන මිනිහෙක්.මට නොතේරෙන දේ මම නිසා තමන් යට ගියා කිය කියා සහස් මාත් එක්ක වෛරෙන් ඉන්න එක..”

ඉඳුවර සිතිජ හා පැවසුවේ කලකිරීමෙනි.සහස් හා වෛර බැඳ ගත යුත්තේ තමන්‍ ය.ඔහු හදිසියේ ප්‍රේම කරන්නට වූයේ ඉඳුවරගේ පෙම්වතියට ය.නමුත් වෛරය වපුරවන්නේ ම සහස් ය.

“දක්ෂ නොවන මිනිස්සුන්ගෙ වැඩ.තමන්ට වැඩක් කරන්න බෑ අනිත් අයගෙ අවධානයට ලක් වෙන්න.ඊට පස්සෙ කිය කියා යනවා මගේ වැඩේ එක්කම අහවලාගෙ වැඩෙත් ආවා.ඒ හින්දා මාව යට ගියා කියලා.ඒත් දක්ෂයා උඩට ඇවිල්ල අදක්ෂයා යට යනව කියලා හිතන්න මොලයක් නෑ.දක්ෂයට මඩ ගහන්න ක්‍රම හොය හොයා තමන් සවුත්තු වෙනවා.”

සිතිජට දැනුණේ කලකිරීමකි.ඉඳුවර දක්ෂයෙකු වීමම සහස්ලාට ඔහුට එලව එලවා පහර දෙන්නට හේතුවක් වීම අභාග්‍යයක් බව සිතිජ සිතුවේ ය.

“බොරුවක් උනත් ආයෙ ආයෙ ආයෙ කියන්න ගියාම ඇත්ත වෙනව.සහස්ල කරන්නෙ ඒක.දුලනිගෙ අනාගතේ විනාස කරා කියල ඔය කරන කැම්පේන් එක උඹට එච්චර හොඳක් කරන එකක් නෙවේ..”

නමුත් ඉඳුවර සියල්ල දරා ගත්තේ ය.එලීනා දිනවීමට ඉඳුවර ඇපකැපව හිඳින බවට චෝදනා අසමින් සිටි ඔහු ඉතිරි දරුවන්ට තමන්ගේ මාවත ඔවුන්ට ගැලපෙන අන්දමින් තෝරා දුන්නේ ය.

සිතිජගේ කණ්ඩායමේ බිඟුන් ළමා තරු කිරුළට හිමිකම් කීවේ ය.බිඟුන් දහසය වැනි වියට ආසන්න වෙමින් සිටි යෞවනයෙකි.ඔහුට තාරකා මාවතේ ප්‍රවේසමෙන් ගමන් කළ හැකි බවට ඉඳුවරට මෙන්ම වික්‍රමබාහු මහතාට ද විශ්වාසයක් විණි.

“රටම හොල්ලලා වෙඩින් එකක් ගන්න සූදානම් වන තරු යුවළ..”

ඊළඟ තරු ඕපාදූපය සමාජ ජාලා වලද ටැබ්ලොයිඩ අතිරේක වල ද ලියැවෙන්නට පටන් ගත් අතර තරිඳි මොනරියක මෙන් උදම් වූවා ය.ඇගේ දරු ගැබ තෙමස පසු කරමින් තිබූ අතර තව කාලයක් යන්නට පෙර විවාහ වන්නට ඔවුහු තීරණය කළේ එනිසා ය.

“මිනිස්සු වෙඩින් එක ගත්තු දවසයි බබාගේ බර්ත්ඩේ එකයි ගනිනවා..අපි කියමු කාලයක් ලිවින් ටුගෙද ඉඳලා මැරි කරන්න තීරණේ කළා කියලා..”

තරිඳි සහස්ගෙන් ඇසී ය.නමුත් ඔහු එයට එතරම් සතුටු වූයේ නැත.

“අපි එන විදියක් බලමු..”

ඔහු එසේ කීවේ ය.ඔහුට උවමනා වූයේ මේ මංගලෝත්සවයේ ප්‍රසිද්ධියෙන් ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා වන්නට ය.සමාජ ජාලා වල කතාබහට ලක් වන ඡායාරූප, ඇඳුම් විලාසිතා සහ ඕපාදූප සමඟ සහස්-තරිඳි මංගලෝත්සවය කරලියට ආවේ එහෙම ය.

“සහස් ලොකු වෙඩින් එකක් අරන් බැන්දා.රවීෂා තාම තනියම..”

ඊළඟ වෙඩි මුරය ඇවිලිණ.සහස් එය එසේ වේයැයි සිතුවේ නැත.රවීෂා මෙහි කොනක හෝ සිටීදැයි සොයන්නට ඔහුගේ මධුසමයෙන් වැඩි කාලයක් ගත විණ.

අහම්බ තාරකාවක වූ තරිඳි ජන අප්‍රසාදයට දැඩිව ලක් වීම ඇරඹිණ.ඈ සහ සහස් ප්‍රකට ප්‍රසව සහ නාරිවේද වෛද්‍යවරයෙකුගේ රෝගීන් අතර හිඳින අන්දම සමාජ මාධ්‍ය දෙදරවන්නට පටන් ගත්තේ ය.

“ඔයාට ඔය කෙහෙම්මල් ස්ටාර් ප්‍රෝග්‍රෑම් හරියන්නෑ ඉඳුවර.නිකං විකාර නොකර ඉන්න..”

සිවු වසකටත් එහා දවසක අමන්දීගේ තර්ජිත ස්වරය ඉඳුවරගේ සවන් මත දෝංකාර දෙන්නේ මේවා නරඹද්දී ය.මේ මඩ ගොහොරුවක් නොව ජරාජීර්ණ කුණු වලක් බව සිතෙද්දී කාලය ආපස්සට කරකවා සැහැල්ලු සරසවි සිසුවා වන්නට ඉඳුවරට ඕනෑ විය.

නමුත් සිදුවීම්වල ප්‍රතිඵල විඳගනු විනා ඒවා වෙනස් කිරීමට හැකියාවක් කිසිවෙකුට නොවන බව ඔහු දැන සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles