Pizza කියන්නෙ වයස් බේදයක් නැතුව අපි බොහෝදෙනෙක් කන්න කැමති රසම රස කෑමක්නෙ.
ඉතාලිය කේන්ද්‍ර කරගෙන බිහිවුනත් අද වෙද්දි විවිධ රටවලට ආවේණික විවිධ රසවලින් pizza ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා තියන්නෙත් ඒ හේතුව නිසාමයි.
පීසා කියන්නෙ අද වෙද්දි සාමාන්‍යයෙන් මිල ටිකක් වැඩි කෑමක් නිසා අපි බොහෝදෙනෙක් එළියට ගිහින් පීසා කාල එන පුරුද්ද සීමා කරගෙන වගේම අපේ දරුවන්ට පීසා අරන් දෙන පුරුද්දත් සීමා කරල තියෙනව.
ඒත් පිටි අනන්න වැඩි වෙලාවක් අරගන්නෙ නැතුව රසම රස පීසා එකක් ගෙදරදීම හදාගන්න පුළුවන් විදිහක් ඔබ දන්නව නම් ඒ ගැටළුව විසඳෙන නිසයි ඔන්න අපි අද පිටි අනන්නෙ නැතුව ඉක්මණින් පහසුවෙන් පීසා හදාගන්න පුළුවන් ක්‍රමයක් ඔබට කියල දෙන්න තීරණය කරේ.
එහෙනම් එන්නකෝ අවශ්‍ය දේවල් මුලින්ම ලෑස්ති කරගෙන ඉමු.
අවශ්‍ය ද්‍රව්‍ය
වතුර කෝප්ප ½ ක්
ඊස්ට් තේ හැඳි ½ ක්
ලුණු කුඩු තේ හැඳි ½ ක්
ඔලිව් තෙල් මේස හැඳි ½ ක් (පොල්තෙල් වුනත් භාවිතා කරන්න පුළුවන්)
පාන් පිටි කෝප්ප 01 ½ ක්
පීසා සෝස් හෝ තක්කාලි සෝස්
ගාගත් මොසරැල්ලා චීස් කෝප්ප 01 ½ ක් 02 ක්
තම්බා තීරු වලට ඉරාගත් කුකුළු මස්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
කෑලි මිරිස්
මීට අමතරව වැඩිපුර තෙල්, පාන් පිටි වගේම වතුර ටිකකුත් අපිට ඕන වෙනව.
සාදාගන්නා ආකාරය
මුලින්ම, ටිකක් ලොකු භාජනයක් අරන් ඒ භාජනයට පිළිවෙලින් වතුර, ඊස්ට්, ලුණු කුඩු සහ ඔලිව් ඔයිල් එකතු කරල ගෑරුප්පුවකින් හොඳින් කලවම් කරගන්න ඕන.
ඊට පස්සෙ ඒ මිශ්‍රණයට පාන් පිටි ටිකත් එකතු කරල ගෑරුප්පුවෙන්ම කලවම් කරගෙන භාජනයේ මැදට පිටි ගුලියක් එන විදිහට හදාගන්න ඕන.
දැන් මේ පිටි ගුලිය හුළං නොවැදෙන විදිහට වහල විනාඩි 30 ක් තියාගන්න ඕන.
විනාඩි 30 කට පස්සෙ අතේ ඇඟිලි වල හොඳින් වතුර ගාගෙන පිටි ගුලියේ වටේටම තියන පිටි ටික පිටි ගුලියෙ මැදට අරන් ඇවිල්ල ආයෙමත් පිටි ගුලියක් හදාගන්න ඕන.
දැන් ආයෙත් කලින් වගේම හුළං වැදෙන්නෙ නැතිවෙන්න වහල තියල තව විනාඩි 30 කට පස්සෙ කලින් වගේම අතේ ඇඟිලි වල වතුර ගාගෙන පිටි ගුලියේ වටේ තියන පිටි ටික මැදට ගෙනල්ල පිටි ගුලියක් හදාගන්න ඕන.
ඒ හදාගත්ත පිටි ගුලිය අනෙක් පැත්ත හරවල මේ භාජනේ ආයෙම පාරක් හුළං නොවැදෙන විදිහට පැය දෙකක් පිටි ටික පිපෙනකම් වහල තියාගන්න ඕන.
ඒ අතරතුර භාජනයකට තෙල් ටිකක් එකතු කරල තෙල් රත්වෙද්දි අපි තම්බගෙන තීරු වලට ඉරාගත්ත කුකුළු මස් ටික තෙලට එකතු කරල හොඳින් හැඳිගා ගන්න ඕන.
රන්වන් පාටට කුකුළු මස් ටික බැදීගෙන එද්දි ඔබේ රස අනුව ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු වගේම කෑලි මිරිස් කුඩුත් එකතු කරල හොඳට කලවම් කරගෙන තවත් විනාඩි 02 ක් 03 ක් විතර ලිපේ තියල ලිපෙන් ඉවත් කරගන්න ඕන.
දැන් අර පිපිල ඉවර වුන පිටි ගුලිය උඩට පාන් පිටි ටිකක් ඉහල පාන් පිටි ඉසගත්ත බේකින් තැටියකට අපේ පිටි මිශ්‍රණය දාල පීසා එකක හැඩය ලැබෙන විදිහට අතින් හදාගන්න ගමන් තැටියේ වටේට අතුර ගන්න ඕන.
ඒ අතුර ගත්ත පීසා ඩෝ එක උඩට සෝස් හොඳට තවරල සෝස් උඩින් මොසරැල්ලා චීස් වලින් කොටසකුත් අතුර ගන්න ඕන.
ඊට උඩින් අපි හදාගත්ත කුකුළු මස් ටිකත් අතුරගෙන ඉතුරු මොසරැල්ලා චීස් ටික කුකුළු මස් වලට උඩින් අතුරගන්න ඕන.
කැමති නම් පාට කීපෙකින් බෙල් පෙපර් ටිකක් ඒමත් එකතු කරගන්න පුළුවන්.
දැන් අපි හදාගත්ත පීසා එක සෙන්ටිග්‍රේට් අංශක 230 ක උෂ්ණත්වයේ විනාඩි 10 ක් 12 ක් අතර කාලයක් බේක් කරගන්නයි තියන්නෙ.
ඊට පස්සෙ අපිට රසම රස පීස එකක් රස බලන්න පුළුවන්.
එහෙනම්, මේ විදිහට පීසා හදල බලමු නේද?