අරුමැති ආදරයක් – 6

0
322

නිමේෂ්ගේ හොන්ඩා වර්ගයේ ජීප් රථය අපූර්වා පසු කරගෙන ගියේ ඉත්තෑපානේ  සිට ආපසු එන ගමනේදීය. මීටර් දෙසීයක් පමණ ඉදිරියට ගිය වාහනය මග නතර විය. රියදුරු අසුනෙන් බැස නිමේෂ් ත්‍රී රෝද රථයට අත දැමුවේ අපූර්වාගේ  සිතට පුදුමයකුත්, බියකුත් එක් කරමින්ය. බාප්පාගේ දරුවන් තිදෙනාම මධ්‍ය මහා විද්‍යාලයට ගිය අයවලුන් නොවේ. ඔවුන් ගියේ කළුතර නගරයේ වූ ජනප්‍රිය පාසල් වලටය. ගමේ පන්සලේ දහම් පාසලට ගියත් ඒ හත අට වසර දක්වා පමණි. බාප්පාට පුංචි අම්මාටත් එදා සිටම ඕනෑ වී තිබුණේ ඔවුන්ව ගමෙන්  ඈත් කර තබන්නටය. ගමේ දරුවන් හා ගැටීමෙන් තම දරුවන්ට හොඳක් නොවේයැයි ඔවුන් විශ්වාස කරන්නට ඇත.

“උගත්කම වැඩි වුණහමත් මිනිසුන්ගේ ඉහට අමුතු මාන්නයක් ගහනවා. ඌට මතක නෑ ඌ හැදුනෙත් මේ ගමේ කියලා. ඔය ගෑනි කසාද බැන්දට පස්සේ තමයි පොඩි එකා අමුතු අමුතු දේවල් කරන්න පටන් ගත්තේ…”

ආච්චී වරෙක එසේ පැවසූ බව අපූර්වාට සිහි වූයේ ඒ හදිසියේය. නිමේෂ්ව මගහැර යන්නට තිබුණත් අවසන අපූර්වා ත්‍රී රෝද  රථය නතර කරන්නට තීරණය කළාය.

“ගමේ මිනිස්සු කියන කතාව ඇත්ත එහෙනං..අපෙන් පලිගන්න වෙන්න ඇති ත්‍රී වීලර් රස්සාවට බැස්සේ..”

මදක්  පහතට නැවී ත්‍රී රෝද  රථය ඇතුළට එබුණු ඔහු පැවසූයේ අවඥා සහගත ස්වරූපයෙන්ය.

“එතකොට ගමේ මිනිස්සුන්ට කියන්න පුළුවන්නේ අපි ඉඩම අයිති කරගත්ත නිසා යන එන මං නැතුව කෙල්ල ත්‍රීවිල් එලවනවා කියලා…අර කරගෙන ඉඳපු රස්සාව කරගෙන හිටිය නං ඉවරයි නේ..පුළුවන් තරම් ඉක්මනට සී වී එකක් හදලා මට කෝල් එකක් දෙනවා. මං ජොබ් එකක් හොයලා දෙන්නම්…”

කියන්නට දහසක් දේ වුවත් අපූර්වා නිහඩ වන්නට සිතුවාය. ඕ ස්වභාවයෙන්ම අහිංසක චරිතයක්  වුවත් පසුගිය කාලයේ එක දිගට සිදු වූ අසාධාරණකම් හා  සිත් තැවුල් නිසා හාත්පසින්ම වෙනස්ව උන්නාය. එහෙත් මෙවේලෙහි ඕ සන්සුන් වන්නට සිතුවේ හිතා මතාමය.

“නීතිය එහෙම කාටවත් තමන්ට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ ආච්චි. මේ අසාධාරණකම් වලටත් කරන්න පුළුවන් දෙයක් ඇතිනෙ. මං නිහඬ වෙන්නේ නෑ. උසාවිය ඉස්සරහ පිකටින් එකක් කරනවා ගිහින් තනියම හරි”

පසුගිය දිනවල ඕ එසේ කෑ ගසද්දී ආච්චී පැමිණ තමන් නිහඬ කළ අයුරු අපූර්වාට සිහි වූයේ ඒ හදිසියේය.

“උඹ මගේ ඔළුවේ අත තියලා පොරොන්දු වෙන්න ඕනේ. මින් මනතට කිසි දෙයක් මේ ගැන කතා කරන්නේ නෑ කියලා. එකක් උඹ තාම ළමිස්සියක්. අනිත් එක තමයි ගෑනු  අපි තුන්දෙනෙක් දැන් මේ ගෙදර ඉන්නේ..උඹ තමයි දැන් මේ වයසක ගෑනියි අර ලෙඩ ගෑනියි දෙන්නම රකින්න ඕනේ”

අපූර්වා බොහෝ දේ ඉවසා ගත්තේ ඒ පොරොන්දුව නිසාය. බාප්පාගේ නිවසට ගොස් ‘ඇයි අපිට මෙහෙම කලේ..’ යැයි අසන්නට වරෙක ඇති වූ සිතුවිල්ල ඕ වවා ගත්තේත් මහත් අසීරුවක් දරාගෙනය.

“මං යන්නද ලොකු අයියේ…,

අවසන ඈ ඇසුවේ ඉදිරිය බලා ගෙනය. ඕ ඒ තරුණයාට කට පුරා ලොකු අයියේයැයි පැවසුවාය. අදටත් ඒ සහෝදරකම්, ඥාතීකම් වූවේනම් අපූර්වා යනු සොයුරන් තුන් දෙනෙකුගේම හයිය ගත් යුවතියකි.

“මතකනේ මං කියපු දේ. ඉක්මනට සී වී  එකක් හදලා මට කතා කරහං. ඒක කවුරුවත් දැනගන්න ඕන නෑ…”

අපූර්වා හිස වැනුවේ  කරන්නට දෙයක් නැතිති කමටය. ඒ දෑස්මුල මෝදුවී තිබුනේ කඳුළකි.දැන් ඇයට වන්නේ මෙතැනින් පලා යාමේ උවමනාවය.

ඕ ත්‍රී රෝද රථය පණ ගන්වා ගත්තේ නිමේෂ් මදක් පිටුපසට වද්දීය. උසස් පෙළ ඒ එකයි බී දෙකක් ලෙස සමත් වූවත් ඇයට විශ්ව විද්‍යාල වරම් හිමි වූයේ නැත. දෙවැනි වර යළිත් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නයැයි බොහෝ දෙනකු පැවසුවත් එසේ කරන්නට තරම් සිතක් අපූර්වාට නොවූවාය. සතර දෙනෙකුගේ බඩ පිරෙන්නේ තාත්තාගේ ත්‍රී වීලර්  රස්සාවෙන්ය. සොල්දර ගෙදර වත්තේ රබර් ගස් කිහිපයක් වුවත් ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා කිරි ලබා  ගැනීමේ හැකියාවක් වූයේ නැත. අම්මාත් ආච්චීත් එක්ව එළවළු වර්ග,  පලා වර්ග වගා කළ නිසා බොහෝ විට නිවසේ අවශ්‍යතාවයන් ඉන් පිරි මැසිණ. නිවස ආසන්නයේ වූ කඩවල් දෙකකටම ඒ අතිරික්තය අලවි  කර මුදලක් ලබා ගැනීමේ හැකියාව විය. 

එදා සිටම අපූර්වාගේ  සිත්හි වූයේ ළදරු පාසල් ගුරුවරියක වීමේ ආසාවය. වසරක පාඨමාලාවකින් පසුව ඇයට මතුගම නගරයේ වන ජාත්‍යන්තර ළදරු පාසලක සේවය කරන්නට හැකියාව ලැබිණ. නිවී සැනසිල්ලේ ගලාගිය  ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට හරවන්නට වසර එකොළහක් තිස්සේ ඉදිරියට ගෙන ආ ඉඩම් නඩුවේ තීන්දුව සමත් විය.

සිහින මියැද්දවීම  ලෙහෙසි පහසු එකක් නොවන බව පසුගිය දිනවල ඕ උගත්තේ  කාලයෙන්ය. එන හැටියකට මුහුණ දී දවස ගෙවා දැමුවාට සිතෙහි ඉතිරිව ඇති දුකත්, වේදනාවත් දරා ගැනීම පුදුමාකාර අසීරුය. හඬද්දීත්  කඳුලක් නොවැටෙන තරමට දැන් මේ සිත දුකට හුරුව තිබේ. 

නිමේෂ් රැකියාවක් සොයා දෙන්නට හදන්නේ තමා ගැන උපන් ආදරයකින් හෝ අනුකම්පාවකින් නොවන බව විශ්වාසය. ඒ ඔවුනට වන හානිය මගහැරවා ගැනීමටය.

“උඹලයි බාප්පා ඊයේ පෙරේදා  වංගුවේ කඩේට ආපු වෙලාවේ කඩේ ඉඳපුු මිනිස්සු හින්ට්  පාස් කරලා තියෙනවා. මට අපේ ගෑණි කිව්වේ. උඹලයි පුංචි අම්මා දිග බඩු ලිස්ට් එකක් දීලා එව්වට අන්තිමට උන්දැ පාන් ගෙඩියක් විතරක් අරගෙන කඩෙන් ගිහිල්ලා. පස්සේ ආපහු කරුණාපාලයගෙ අතේ ලිස්ට් එක කඩේට එවලා බඩු ටික අරගෙන ගියා කියලයි ආරංචිය.”

පෙර දිනක සමන් පැවසූයේ ත්‍රී රෝද රථ නැවතුම් පොලෙහි සිටියදීය. කොහොමටත් බාප්පාත් පුංචි අම්මාත් එදා සිට ගම්මුන් හා ඇයි හොඳයියක් වූයේ නැත. එනිසාම ගම්මුන්ගෙන් ඔවුනට ප්‍රසාදයක් වූයේ ද නැත.

අපූර්වාගේ  දුරකථනය නාද වූයේ ඒ සිත තිගස්සවමින්ය. ත්‍රී රෝද රථය මදක් පාර අයිනට කළ ඈ ජංගම දුරකථනය කන තබා ගත්තේ මතකයේ හැටියටනම් ඒ අංකය පසුබිය අමතක කර ගිය තරුණයාගේ වූ නිසාය.

“මම ගරාජ් එකට ඇවිල්ලා පිටවෙලා එන ගමන්. ඔයාට පුළුවන්ද අදත් මාව අලුත්ගමට දාන්න…”

අපූර්වා අත් ඔරලෝසුවට එබුණේ වේලාව බලන්නටය. පැයක් ඇතුළත අලුත්ගමට ගොස් යළි පැමිණිය හැක. 

“පුළුවන් සර්..විනාඩි පහක් දෙන්න මං ඔතනට එන්නම්..”

“හදිසි වෙලා හයියෙන් එන්න ඕන නෑ. මං ගරාජ් එකෙන් දකුණු පැත්ත තියෙන පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන එනව. ඔයා කලබල නැතුව එන්න…”

මිනිසුන්ගේ කතා එකිනෙකට වෙනස් ඒවා බව යුගාෂ් පල පුරුද්දෙන්ම දනී. නීතියේ දෙවඟන සාධාරණය ඉටුකරන්නට උපරිම වෙහෙස වූවත් එය හැමවිටම සාර්ථක වන්නේ නැත. නීතියට අවැසි වන්නේ සාක්ෂි මිස මිනිසුන්ගේ හැඟීම් නොවේ. 

පුෂ්පානන්ද කතා කරන නඩුවක් නොපරදිනවාය යන  විශ්වාසය මිනිසුන් අතර වන්නේත් එනිසාය. සාක්ෂි සොයා ගැනීමේදී අප්පච්චි සූක්ෂමය. ඒ පළපුරුද්දත්, භාවිතයත් නිසාය. 

යුගාෂ්ට ඉවසුම් නොදෙන කරුණක් වූයේ මෙම නඩුවේත් පැමිණිල්ල බාරගෙන තිබුණේ අප්පච්චී නිසාය. ගරාජ්  හිමිකරුවා සම්පූර්ණයෙන්ම වරද පැටවූයේ නීතිඥ පුෂ්පානන්දටය.

“ඔය ඉඩම් වලට තිබුනේ මහත්තයා බලපත්‍ර වගයක්. ඕව සුද්දන්ගේ ඉඩම්ලුනේ. ඒ උනාට ඕව ඉතින් පරම්පරාවෙන් පැවත එන ඉඩකඩම්. අනිත් එක ඔය අපූර්වා නංගිගේ තාත්තා තමයි තමන්ගේ සහෝදරයාට ඉගැන්නුවේ. ඉඩ කඩම් කෙසේ වෙතත් මිනිසුන්ගේ හිත් වල සහෝදරකම තියෙන්න ඕනේ. පුෂ්පානන්ද මහත්තයා ගානට කරකවලා ඉඩම්වල අයිතිවාසිකම නිශ්ශංකට එන විදිහට ඒ ලිය කියවිලි හැදුවා. ඒ මිනිස්සු පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයිනෙ ඕව්වා. පුෂ්පානන්ද මහත්තය ඇල්ලුවේ නැත්නම් කීයටවත් නිශ්ශංකට ඔය නඩුව දිනන්න හම්බවෙන්නේ නෑ.” 

එය සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි කමක් යුගාෂ්ට විය. අප්පච්චි එතරම්ම දක්ෂයෙකි. 

වංගුවෙන් හැරී තමා ඉදිරිපිටට එන ත්‍රී රෝද රථය හඳුනාගත් යුගාෂ්ගේ මුහුණේ සිනහවක් මතුවූයේ අහේතුකව නොවේ. මේ සිත දැන් ඔහුටත් අකීකරුය. 

“ආ… මෙන්න මහත්තයාගේ පර්ස් එක…”

ත්‍රී රෝද රථය ඔහු අබියස නතර කළ යුවතිය මුලින්ම කළේ  මුදල් පසුම්බිය ඔහු වෙත දිගු කිරීමය. එය ඇයට මහත් බරක් හිස රදයක් වී තිබිණ. අන් සතු දෙයක් තමා සන්තකයේ තබා ගැනීම සිතට වදයකි. 

“බලන්න මොනවද අඩු කියලා. සර්ගේ කාඩ් එක හරි  නම්බර් එකක් හරි හොයා ගන්න ඕන හින්දා මම පර්ස් එක බැලුවට තිබුනෙ මොනවද කියලනම් දන්නේ නෑ.”

ඔහු පසුම්බිය නිකමටවත් ඇර නොබලා සාක්කුවේ දමා ගන්නට සැරසෙද්දී අපූර්වා පැවසූයේ මඳ හඬකින්ය.

“අවශ්‍ය නෑ…මිනිස්සුන්ගේ මූණ  බැලුවහම තේරෙනවා ඒ මිනිස්සු මොන විදිහද කියලා. අපි යමු..”

යුගාෂ් ත්‍රී රෝද රථයට නැග  ගත්තේ එසේ පවසමින්ය. බොහෝ දුරක් පැමිණෙනතුරු දෙදෙනා අතර කිසිදු කතාවක් වූයේ නැත. ඕ රිය ධාවනයේදී පරිස්සම්ය. පාරේ වන වල ගොඩැලි පවා මගහරින්නට යුවතිය උත්සාහ දරනා අයුරු යුගාෂ් දුටුවේය. ඔහුගේ සිතෙහි ඇති වූයේ සැබෑම වූ වේදනාවකි. කිසිදු ගැහැණියක මේ සා අසරණ නොවිය යුතු යැයි ඔහු විශ්වාස කළේය. 

යුගාෂ්ට සිහි වූයේ අම්මාය. ඇය ජීවිතය  දෙස උපේක්ෂාවෙන් බැලූ ගැහැණියකි. අප්පච්චිගේ සියලු අකටයුතුකම් හමුවේත් ඕ ඉවසා දරා උන්නාය. අවසන අප්පච්චිට ඒ ඉවසීමත් දරා ගැනීමත් ප්‍රශ්නයක් විය. ඔහු ජීවිතය පිළිබදව බරපතල තීරණයක් ගත්තේත් ඒ නිහඬබව ඉස්සර ක⁣රගෙනය.  ඔහු කොහොමත් හිතුවක්කාරයෙකි. ඒක මතික තීරණ ගත් අයෙකි.

“අඬලා දොඩලා රණ්ඩු කරලා ආරක්ෂා කරගන්න දෙයක් නෑ කියලා මං අන්තිමට තේරුම් ගත්ත පුතා. ඊට වඩා සැනසීමක් උනා  කිසිම දෙයක් නොහැඟුනා නොදැනුනා වගේ පැත්තකට වෙලා ඉන්න එක…ඔයා හැම තිස්සෙම හිතට එකඟව හරි දේ කරන්න. ආපහු හැරිල බලද්දි පසුතැවීමක් දැනෙන දෙයක් ජීවිතයට එකතු කරගන්න එපා. එහෙම මිනිස්සු ජීවත් වෙන්නේ සැනසීමෙන් නෙමෙයි.”

අම්මාගේ වදන් යුගාෂ්ට සිහි වූයේත් ඒ හදිසියේය. දුර දිග සිතා බලද්දී අපූර්වාට  වූ මේ අසාධාරණයට ප්‍රබල හේතුවක් වී තිබුණේ අප්පච්චීය. අප්පච්චී පිළිබඳව ඔහුගේ සිතෙහි වූ කලකිරීම උඩුදුවා යන්නට තවත් හේතුවක් එක්ව තිබිණ. යුවතියගෙන් අසන්නට බොහෝ දේ වුවත් යුගාෂ් තම නිහඬ බව රැක ගත්තේ අසාමාන්‍ය වූ වේදනාවක් දරාගෙනය.

“ඔය මේ ගමේ කාටවත් කරදරයක් නැතුව හරිම අහිංසක විදිහට ජීවත් වෙච්ච මිනිස්සු සර්. ඕවනං පවුල්වල ගෑවිච්ච ගෑවිච්ච උන්ටත් හෙන ගහන අපරාධ”

ගරාජ්  හිමිකරුවාගේ වදන් ඔහුට යළි යළිත් ඇසෙන්නට විය.

( යළිත් හමුවෙමු ආදයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here