තාදී – 54

0
2063

වසන්තගේ අවසන් කටයුතු අවසන් වී දින කිහිපයක් ඉක්මවා යන විට සියල්ල සාමාන්‍ය අතට හැරෙමින් පැවතුණි. පැමිණ සිටි නෑදෑයන් නික්ම ගිය අතර ලඟම හිතවතුන් කිහිප දෙනෙකු පමණක් වරින් වර පැමිණ ජයමිණි ගේ තනි මැකුවෝය. සත් දින දානයට සහ බණට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙහි වගකීම සම්පූර්ණයෙන්ම ධීර සතුව තිබූ නිසා ඔහු එය මඳකට කල් තබා කෙටි විවේකයක් ගැනීම සඳහා නිදන කාමරය වෙත ගියේය. 

පසුගිය දින කිහිපය පුරාවටම නින්දක් තබා හරිහැටි කෑමක් වත් නොවූ නිසා ධීර උන්නේ අධික ලෙස වෙහෙසට පත් වීය. ඉඳහිටක හෝ යමක් ආහාරයට ගත්තේ හෝ තේ කෝප්පයක් පානය කලේ හෝ තාදී පැමිණි වේලාවල පමණි. අවමංගල්‍යයට බොහෝ පිරිසක් පැමිණි නිසාත් ඒ සියලු දෙනා සමග කතා කිරීමට සිදු වූ නිසාත් ධීර ට විවේකයක් තිබුණේම නැත.  කාමරයට පැමිණ ඇඳ මත හාන්සි වූ ධීර උන්නේ කල්පනා බරවය. මෙතැන් පටන් තමා සතුව බොහෝ වගකීම් ඇත. ව්‍යාපාර කටයුතු කෙසේ වුවත් තමාට ඇති විශාලම වගකීම මව රැක බලා ගැනීමය. ජයමිණි සිටින්නේ මානසික වශයෙන් විශාල කඩා වැටීමකට ලක්වී බව අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා ව්‍යාපාර කටයුතු වලට තමා නිවසින් පිටවන විට ඇයව පෙනෙන මානයේ හෝ තබා ගැනීමට ධීර සිතා ගත්තේය.

ධීර දෑස් පියාගෙන ඉදිරියට කළ යුතු දේවල් පිළිබඳව කල්පනා කළේ නින්දත් නොනින්දත් අතරේය. නිදන කාමරයේ දොර ඇරෙන හඬ ධීර ට ඇසුණේ යන්තමින් නින්ද යාගෙන එන මොහොතකය. ධීර ආයාසයෙන් දෑස් හැර බැලුවේ ඒ ජයමිණි යැයි සිතාය. එහෙත් පැමිණ සිටියේ මිෂෙල් ය.

” මං හිතුවේ ඔයා නිදි නැහැ කියලා ” 

මිෂෙල් අනවසරයෙන්ම ඇඳේ කෙළවරෙහි වාඩි වූවාය. ධීර නැගී සිටියේ අපහසුවෙනි. එතරම්ම වෙහෙසය. එහෙත් මිෂෙල් එවැන්නක් තේරුම් ගැනීමට තරම් මානුශීය සිතක් ඇත්තෙකු නොවේ.

” අපි දැන් ආවේ. ආන්ටි කිව්වා ඔයා උඩට ආවා කියලා.මං ඒකයි බලන්න ආවේ ” 

” දවස් ගානකින් හරියට නින්දක් නෑනේ මිෂෙල්. ඒකයි මං පොඩ්ඩක් රෙස්ට් කරන්න ආවෙ.හරි අමාරුයි. දැන් ඉතින් දානේ වැඩ ටික බලන්නත් තියෙනවනේ ” 

ධීර පිළිතුරු දුන්නේ මිෂෙල් කාමරයෙන් පිටවී යයි සිතාය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත.මිෂෙල් ධීර දෙසට හැරුණේ තවත් කතාවකට මුල පුරන්නටය.

” වසන්ත අන්කල් හුඟක් බලාපොරොත්තු තියා ගෙන හිටියේ අපි දෙන්නගෙ වෙඩින් එක ගැන. එයා අන්තිම දවසෙත් අපේ ගෙදර ඇවිල්ලා අපේ තාත්තත් එක්ක හුගක් දේවල් කතා කළා. හුඟක් දේවල් ප්ලෑන් කරා දෙන්නත් එක්ක ” 

මිෂෙල් කීවේ දුකෙනි. එය ආයාසයෙන් මවා ගත් එකක් බව හඳුනා ගැනීමට ධීර ට අපහසු වූයේ නැත. එය මිෂෙල්ගේ ස්වභාවය නිසා එහි පුදුම වන්නට දෙයක් තිබුණේද නැත.

” දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ තාත්තගේ බලා‍පොරොත්තුව ඉෂ්ට කරන එක ” 

ධීර නැගිට ඇඳ මතින් වාඩි වූයේය. 

” කොහොමත් හැමදේම මං තමයි ඉස්සරහට බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම අම්මව ” 

” මං කියන්නේ එහෙම දෙයක් ගැන නෙමෙයි ධීර ” 

” එහෙනම් ? ” 

” මං කියන්නේ අපි දෙන්නගේ වෙඩින් එක ගැන. වසන්ත අංකල් ආස වෙච්ච විදිහට හොඳ දවසක් බලලා අපි ඒක කරමු. ඔයා කරදර වෙන්න එපා. මං අපේ තාත්තට කියන්නම් හැමදේම බලා ගන්න කියලා ” 

ධීර ඇඳෙන් බැස්සේ කෝපයෙනි. මෙය විවාහයක් පිළිබඳව කතා කළ යුතු වෙලාවක් නොවේ. තවම තම පියාගේ මරණයේ උණුසුමවත් පහව ගොස් නැත. මිෂෙල් සූදානම් වන්නේ බොරදියේ මාළු බාන්නටය.

” ඔයාගේ මොළේ විකාර වෙලාද මිෂෙල්? මගේ තාත්තා නැති වෙලා තාම හත් දවසක් වත් ගියේ නෑ. ඔයා මෙතන ඇවිල්ල වෙඩින් එකක් ගැන කතා කරන්නේ හොඳ සිහියෙන්ද ? ඇත්තටම ඔයාට හිතක් පපුව කියලා එකක් ඇත්තෙම නැද්ද ? මට තේරෙන්නේ නෑ ඔයා මොන ජාතියේ ගෑනියෙක්ද කියලා ” 

” ඔයාට කේන්ති ගන්න දෙයක් මං කිව්වේ නෑ ධීර . මං කිව්වේ අංකල් අන්තිම මොහොතෙ හරි ආස වෙලා හිටපු දේ ගැන. එයා නැති වෙන්න කලින් දවසේ අපේ ගෙදර ඇවිල්ලා හැමදේම ප්ලෑන් කර ගෙන ගියේ.ඔයාට විශ්වාස නැත්තං අපේ තාත්තා ගෙන් අහන්න ” 

මිෂෙල් කීවේ තමන්ට මේ විවාහය කර ගැනීමට වඩා අවශ්‍යය වසන්ත ගේ කැමැත්ත ඉටු කිරීමට බව ඇඟවීමටය. එහෙත් මිෂෙල් යනු කුමන ආකාරයේ තරුණියක් දැයි ධීර හොඳින්ම දැන සිටින නිසා ධීර ඇය කියනා කිසිවක් පිළිබඳව තැකීමක් කලේ නැත

” මිෂෙල් මේ. නිකන් බොරුවට හීන දකින්න එපා. ඔයා හොඳටම දන්නවා මේකට මුල ඉඳලම මගේ කැමැත්තක් තිබ්බේ නැහැ කියලා . ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අනිත් එක තාත්තා මොන දේට කැමැත්තෙන් හිටියත් එයා දැන් නැහැ. අපි එයාගේ ආසාවක් ඉෂ්ට කරා කියලා එයාට ලැබෙන දේකුත් නෑ අපිට ලැබෙන දේකුත් නෑ. මං කොහොමත් කසාද බඳින්නේ තාදිව. මං මගේ හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ තාදීත් එක්ක “

” තාදී කියන්නේ අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක්ලු නේද ? වසන්ත අංකල් ඒ කතාව අපේ තාත්තත් එක්ක කියනවා මං අහගෙන. ඔයා හිතනවද ඉතින් එයාව ඔයාට ගැලපෙනවා කියලා? අඩු ගානේ මේ පවුලට වත්   ” 

මිෂෙල් කීවේ සමච්චල් සහගත සිනහවක් මුහුණට නගා ගනිමිනි. ධීර ට ඉවසිය නොහැකි වූයේ ඒ සිනහවය. මිෂෙල් සිතා සිටින්නේ ඇගේ ධනයට සහ බලයට ඕනෑම දෙයක් කළ හැකි බවය. එහෙත් එය එසේ නොවේ.

” තාදී හැදුනේ අනාථ නිවාසෙක බව ඇත්ත. හැබැයි ඔයා හිතනවා වගේ දැන් එයා කාත් කවුරුත් නැති කෙල්ලෙක් නෙමෙයි. ඔයා දකින්න ඇතිනේ එයා තාත්තගේ මළ ගෙදර ආවෙ වුනත් එයාගේ අම්මත් එක්ක. ඒ මනුස්සයා හොඳ වැදගත් පවුලක කෙනෙක්.  තාදී ළඟ උනත් තියෙන්නේ හොඳ ගතිගුණ මිසක් ඔය එක එක්කෙනා ළඟ තියෙනවා වගේ පහත් ගතිගුණ නෙමෙයි ” 

ධීර අවසන් වාක්‍ය කීවේ හිතා මතාමය. මිෂෙල් ගේ හිත රිදුනත් තමාට කරන්නට දෙයක් නැත. තාදී ට මේ තරම් අපහාස කරන්නට කිසිවෙකුට ඉඩදිය නොහැක.ඕනෑම තැනක ඕනෑම මොහොතක තමා තාදී වෙනුවෙන් පෙනී සිටිය යුතුය.මිෂෙල් ගේ මුහුණ අඳුරු වූයේ බලා සිටියදීමය. වසන්ත ගේ මරණය පිටින් දමා හෝ මේ විවාහය ඉක්මන් කර ගැනීමට සිතුවත් දැන් එය සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. 

” එතකොට ඔයා කියන්නේ මේ වෙඩින් එක කෙරෙන්නේ නෑ කියලද ධීර ? ” 

” කෙරෙන්නේ නෑ තමයි. ඔයාට පිළිගන්න ඕන උනත් නැතත් ඒක තමයි ඇත්ත. පුළුවන් නම් ඒක ඔයාගේ අම්මටයි තාත්තටයි ත් තේරුම් කරලා දෙන්න මිෂෙල්. ඔයාලට පොරොන්දුවක් උනා නං උනේ මගේ තාත්තා මිසක් මම නෙමෙයි. දැන් තාත්තා ජීවතුන් අතර නැහැ. එයා දීපු පොරොන්දුවක් වෙනුවෙන් මගේ ජීවිතේ බිල්ලට දෙන්න මට කිසිම ඕන කමක් නැහැ. කරුණාකරලා මේක ගැන ආපහු මාත් එක්ක කතා කරන්න එපා ” 

ධීර උන්නේ මේ කතාව නිසා ඇත්තටම මානසිකව මෙන්ම ශාරීරිකවද වෙහෙසට පත්වී ය. පරාජය තමා අත දැන් තිබෙන බව වැටහුනත් එය බාර ගැනීමට මිෂෙල් සූදානම් වූයේ නැත.

මිෂෙල් වාඩි වී සිටි තැනින් නැගී සිටියේ දරා ගත නොහැකි හැඟීමකිනි. මේ විවාහය කර ගැනීම සඳහා තමා සතුව තිබූ අවසාන තුරුම්පුව ද දැන් ගිලිහී ගොස් අවසානය. සියලු උත්සාහයන්ද ව්‍යාර්ථ වී ගොසින් ය. තමාට දැන් සිදුවන්නේ ධීර තාදීව විවාහ කර ගැනීම බලා සිටීමටය. එහෙත් එයට ඉඩ දිය නොහැක. පරාජය වී තමාට පුරුදු නැත. කුඩා කල සිටම තමාට අවැසි දේ කෙසේ හෝ ලබා ගත් නිසා මිෂෙල් සිතුවේ මේ විවාහයද ඒ ආකාරයට කර ගැනීමටය. එහෙත් ධීර ගේ සිත වෙනස් වන සේයාවක්වත් නැත.

” එහෙනම් ඒකද ඔයාගේ අන්තිම තීරණේ ධීර ? ” 

මිෂෙල් ඇසුවේ අවසාන වතාවටය.

” ඔව් ” 

ධීර කීවේ තදිනි. මිෂෙල් සුසුමක් හෙලා කාමරයෙන් පිටතට ආවේ නැවතත් හැරී ධීර දෙස බලමිනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here