තාදී – 57

0
2055

” තාදී දන්නෙ නෑ අද මං මෙහෙ එනවා කියලා. මං හිතුවා එයාගේ අම්මා හැටියට දැන් වත් එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් කරන්න ඕනි කියල “

ෂෙරීන් ජයමිණි මුණ ගැසීමට උදෑසන පැමිණියේ ධීර ද නිවසේ සිටින මොහොතකය. මෙවන් මොහොතකට මුහුණ දීමට තම පියා ජීවතුන් අතර සිටියා නම් මොන තරම් හොඳදැයි ඔහුගේ යටි සිත කීවේය. එහෙත් අවාසනාවකට මෙන් සියල්ල හොඳින් විසඳීමට තියෙද්දී තම පියා අකාලයේ ජීවිතයෙන් සමුගත්තේය.

” මේ මළ ගෙදර අස්සෙ මට ඔයා එක්ක හරියට කතා කරන්න වත් බැරි උනානේ ෂෙරීන්. ඔයා මෙහෙම නිදහස් වෙලාවක මෙහෙ ආපු එක නම් හොදයි ” 

ජයමිණි බොහෝ දිනයකට පසුව මදහසක් ඇතිව සෝෆා වෙන් වාඩි වූයේ ෂෙරීන් සමග කතා බහකට මුල පුරන්නටය. වසන්ත නොමැති අඩුව ඒ මොහොතේ ජයමිණිටත් නොදැනුනා නොවේ.

” මං ආවේ දරුවෝ දෙන්නා ගැන කතා කරන්න උනාට මේ හදිසියේ වෙඩින් එකක් ගන්න කතා කර ගන්න නම් නෙමෙයි ජයමිණි. වසන්තගේ මළ ගෙදර ඉවර වුණා විතරයි නේ.අනිත් එක පහුගිය දවස් වල ඇති වෙච්ච ප්‍රශ්න මේ දෙන්නා මට කිව්වා. එහෙම එකේ මට ඕනේ මේ ගැන ඇත්තටම ඔයාගේ හිතේ තියෙන අදහස මොකක්ද කියලා දැන ගන්නත්. ” 

ෂෙරීන් කීවේ තරහකින් නොවේ. මේවා පැහැදිලිව කතා කර විසඳා ගත යුතු දේවල්ය. දරුවන්ගේ අනාගතයට සෘජුවම බලපාන මෙවැනි තීරණ ගත යුත්තේ ඉතා ඉවසීමෙනි. ඒ ඉවසීම ජයමිණි සතුව දකින්නට තිබුණත් එය වසන්ත තුළ නොතිබූ බව ෂෙරීන් දැන ගත්තේ පසුගිය දින වල සිදුවූ සිදුවීම් පිළිබඳව තාදී ධීර පවසනා විටකදීය.

” තාදී ගැන මට මුල ඉඳලම අකැමැත්තක් තිබුනෙ නෑ ෂෙරීන්. ඇත්තටම තාදී කියන්නේ දාහකින් හොයාගන්න බැරි ළමයෙක්. අපේ වසන්ත ඔය බිස්නස් ඉස්සර කර ගෙන මිෂෙල් ගේ proposal එක ගෙනාවට ඇත්තටම මට ඒ ළමයා ගැන පැහැදීමක් තිබුණෙ නැහැ. මට තිබුණේ වසන්තගේ කීමට පිටින් යන්න බැරි එක.අනික මං කවදාවත් එයාගේ කීමකට පිටින් මේ ගෙදර වැඩ කරලා නැහැ. හැබැයි… ” 

ජයමිණි කියන්නට ගිය දේ ගිල ගත්තාය. ෂෙරීන් සහ ජයමිණි අතර ඇති වන මේ කතා බහට සහභාගී නොවූවත් ධීර උන්නේ ජයමිණි අසලින්ම අසුන් ගෙනය. ඇය කියන්නට ගිය දේ ආයාසයෙන් නවත්වා ගත් බව ෂෙරීන් ට මෙන්ම ධීර ටද දැනුනි.

” අම්මා මොකක් හරි කියන්න ගිහින් නවත්ත ගත්තා ” 

ජයමිණි සුසුමක් පිට කලාය. ධීර නොදන්නා ඒ සිදුවීම දැන් ඔහුට කිව යුතු යැයි ජයමිණි සිතුවාය.

” තාත්තා නැති වෙන්න කලින් දවසේ එයා මිෂෙල්ලගේ ගෙදර ගියානේ wedding එක ගැන කතා කර ගන්න. ඒ ගමනට තාත්තා මටත් කතා කළා. මොකද ඉතින් දරුවෙක්ගේ වෙඩින් එකක් ගැන කතා කරන්න අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනෙනේ.අනිත් එක තාත්තයි මායි අතරෙ මොන ප්‍රශ්නෙ තිබුණත් කොහේ හරි වැදගත් ගමනක් යනකොට එයාගේ නෝනා හැටියට මං හැමදාම එයාගේ එහා පැත්තෙන් හිටියා.හැබැයි මගේ ජීවිතේ පළවෙනි වතාවට එදා මං තාත්තට කිව්වා ඒ ගමන යන්න එන්න බෑ කියලා ” 

ජයමිණි කතාව නතර කර දෑස් වලට නැගුණු කඳුළු පිස දා ගත්තාය. තමා එදා හැසිරුණු ආකාරය පිළිබඳව පසුතැවීමක් නොවුනත් තමන් අවසාන මොහොතේ වසන්තගේ හිත රිදවූවා යැයි හැඟීමක් ජයමිණි තුල විය.

” මිෂෙල්ට කැමති වෙන්න එක හේතුවක් හරි මට කියන්න කියලා මං එදා තාත්තට කිව්වා.ඒත් තාත්තට ඒකට උත්තරයක් තිබුණෙ නැහැ.තාත්ත උනත් දැනගෙන හිටියා ඇත්තටම මිෂෙල්ව ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා. ඒත් එයාට රූපසිංහ අංකල්ට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්නම ඕන උනා.අනිත් අතට මේ කටයුත්ත කෙරුණම පවුල් දෙකේම බිස්නස් වලට හොඳ නිසා තාත්තට ඕන වුණේ ඔය දෙන්නා එකතු වෙනවා දකින්න. ඒත් මං කොහොමද පුතේ හිත හදාගෙන මට ඉන්න එකම දරුවා වෙච්ච ඔයාගේ ජීවිතේ දැන දැන කරදරේ දාන්නේ ” 

ජයමිණි එදා සිදුවූ ඒ සිදුවීම සිහි කරමින් හැඬුවාය. ෂෙරින් ඒ දෙස බලා සිටියේ කම්පාවෙනි. ජයමිණි මෙන්ම තමාද ස්වාමි පුරුෂයන් අහිමි වූ බිරින්දෑවරුන්ය.වෙනසකට කියා ඇත්තේ තාදී ගේ පියා තමාට පණ සේ ආදරය කිරීමය. එහෙත් ජයමිණි කියනා ආකාරයට ඇය තම විවාහ ජීවිතය තුළ සැනසීමක් අත්විඳම නැත. 

” තාත්තා එදා ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලත් හිටියේ ඒ තරම් සතුටකින් නෙමෙයි.සමහර විට ඒ වෙනකොටත් එයා තේරුම් අරගෙන ඉන්න ඇති එයා මේ කරන්න හදන්නේ ඔයාට නරකක් විත්තිය. එයාට තාදීට අකමැති වෙන්න තිබුන එකම හේතුව තාදිට කියලා කවුරුත් හිටපු නැති එක. කවද හරි ඔයා බඳින දවසක නෑදෑයන්ට උත්තර දෙන්න වෙයි කියන එක. සමහර විට තාදී ගේ අම්මා ඉන්නවා කියලා දැන ගත්තනම් අන්තිම මොහොතේ හරි තාත්තගෙ හිත වෙනස් කරන්න තිබුණා ධීර ” 

තම කුසින් වැදූ දියණිය ජීවතුන් අතර සිටිනවා යැයි මින් පෙර දැනගත්තා නම් ඇයව සොයාගන්නට තිබුණු බවත් , එසේ නම් මේ බොහෝ දේ වෙනස් වීමට ඉඩ තිබුණු බවත් ෂෙරීන් සිතුවේ හඬා වැටෙන ජයමිණි දෙස බලාගෙනය.

” මට තියෙන ලොකුම දුක ,මෙච්චර කාලයක් තාත්තා ගේ හිත නොරිද්දා ඉඳලා අන්තිම මොහොතේ එයා කියන දේකට පිටින් ගිහින් එයාගේ හිත රිද්දුවද කියලා ” 

ජයමිණි ගේ ස්වරය නැවතත් බිඳුනු අතර ධීර ඇයට ළංවූවේය. තම මව කම්පා වන්නේ එකම එක වාරයක් පියාගේ සිත රිදවූවාදැයි සිතමිනි. එහෙත් තම පියා විවාහ වූ වසර තිස් ගණනාව පුරාම කර ඇත්තේ මව ගේ සිත රිදවීමය. ඇයගේ සැනසීම ඇයගෙන් උදුරා ගැනීමය. නමුත් ඔහු මොහොතකටවත් ඒ පිළිබඳව සිතා තිබුණේ නැත.

” අම්මා. ඔයා හැමදාම ඔයා ආස කරන දේවල් හිතේම තියාගෙන ඔයාගේ සතුට අනිත් අය වෙනුවෙන් කැප කරා. ඔයා මං වෙනුවෙන් කතා කළා කියලා තාත්තගෙ හිත රිදෙන්න දෙයක් නැහැ.අනික එයා කවදාවත් හිතුවද එයා කරන දේවල් වලින් ඔයාගේ හිත රිදෙනවා කියලා? අඩුම ගානේ එයා එක දවසක් හරි අහලා තියෙනවද ඔයා ඉන්නේ සතුටෙන්ද කියලා?  එයා කොච්චර ආත්මාර්ථකාමී විදිහටද මාවයි මිෂෙල් වයි එකතු කරන්න හැදුවේ? බැරි වෙලා හරි එයා ඒ දේ කරානම් මම සතුටින් ඉදීද ? එතනින් එහාට තාදීට මොනවා වෙයිද ? තාදි ගේ අම්මා ඉන්නවා කියලා තාත්තට කියලා මේ දේවල් පිළිවෙලක් කරගන්න තිබුනනම් හොඳයි තමයි .ඒත් හැමදේම උනේ වෙන්න තියෙන විදියට කියලා අපි හිත හදාගමු අම්මා ” 

ධීර කියන්නේ ඇත්තය. වසන්තගේ මරණය මේ මොහොත වෙනතුරුත් තමාට විශාල කම්පනයක් වුවත් සියල්ල සිදු වූයේ දෛවයේ ලියවී ඇති ආකාරයටය. එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. ධීර ගේ මව වශයෙන් තමා කළ යුතු වන්නේ මිය ගිය වසන්ත වෙනුවෙන් පොරොන්දු ඉටු කිරීම නොව ජීවතුන් අතර සිටින තම එකම පුතුගේ සතුට ගැන සිතීමය. වැදගත් වන්නේ ඔහුව සතුටින් තැබීමය. දැන් එයට බාධා කිරීමට කිසිවෙකුත් මේ වහල යට නැත. 

” ජයමිණි හිතනවද වසන්ත එයාගේ යාළුවට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ කියලා ? ඇත්තටම ජයමිණි එහෙම හිතනවා නම් කැමති තීරණයක් ගන්න. මොකද ඔයා ඉන්න තත්වෙ තේරුම් ගන්න මට පුළුවන් ” 

ෂෙරීන් හඬ අවදි කලේ ජයමිණි නිහඬව බලා හුන් නිසාය. මෙය විවාහයක් පිළිබඳව කතා කළ යුතු වේලාවක් නොවූවත් තම දියණිය වෙනුවෙන් තමා පෙනී සිටිය යුතුයැයි ෂෙරීන් සිතුවේ ජයමිණි පිළිබඳව අහිතකින් නොවේ. 

” රූපසිංහ ට පොරොන්දුවක් උනානම් වුනේ වසන්ත මිසක් මම වත් ධීර වත් නෙමෙයි ෂෙරීන්. මේ වෙඩින් එක වෙන්න ගියේ තනිකරම වසන්ත ගේ කැමැත්තට. ඒත් මං හිතුවේ මගේ පුතාගේ සතුට ගැන. මං අද හිතන්නෙත් ඉස්සරහට හිතන්නෙත් ඒ ගැන විතරයි. ” 

ධීර ට ජයමිණි පිළිබඳව දැනුනේ මහා සෙනෙහසකි. ඇය තමා වෙනුවෙන් නිහඬවම බොහෝ දේ දරා හිඳ ඇත. 

” අපි දරුවන් ගේ කැමැත්තට ඉඩ දෙමු ෂෙරීන් ” 

ජයමිණි තවත් මොහොතක් නිහඩව සිට එසේ කියද්දී ධීර මුව පුරා සිනහවක් නගාගෙන ජයමිණි ව වැළඳ ගත්තේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here