“Hotel Sea View ” හී විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට මිෂෙල් අවසර ඉල්ලා සිටි අතර ධීර ඒ සඳහා දෙවරක් නොසිතාම එකඟත්වය පළ කළේය. වසන්ත ජීවතුන් අතර නොමැති අඩුව දැනුනත් ජයමිණි උන්නේ ජීවිතය පිළිබඳව මහත් වූ සැනසීමකිනි. ධීර වෙනදාටත් වඩා වගකීම් කරට ගෙන කටයුතු කරනු දැකීම ඒ සැනසීම දෙගුණ තෙගුණ කළේය.
වසර විසි ගණනක් පුරා නොවිඳී මව් සෙනෙහස තාදී නොඅඩුවම විඳිමින් උන්නාය.ෂෙරීන් විසින් තමන් අතින් මගහැරුණු සියලු වගකීම් සහ යුතුකම් සියල්ල සොයා බලමින් තාදී වෙනුවෙන් ඉටු කළාය. ” Clothez ” හී තවත් ශාඛාවක් විවෘත කිරීම සඳහා ෂෙරීන් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ජීවිතය මොනතරම් සුන්දර එකක් දැයි තාදී තවදුරටත් තේරුම් ගනිමින් උන්නාය.
” මගේ ජීවිතේ දැන් හැමදේම සම්පූර්ණයි ධීර ”
තාදි කීවේ තිඹිරිගස්යායේ නව Clothez ශාඛාව විවෘත කළ දිනයේය. එය නුගේගොඩ පිහිටි ශාඛාවටත් වඩා ඉතා නවීන පන්නයේ සහ ප්‍රමාණයෙන් ඉතා විශාල එකක් වූ අතර ෂෙරීන් යටතේ සේවය කළ සේවිකාවන් කිහිප දෙනෙකු පවා එහි සේවය සඳහා යොදවා සිටියහ.
” අම්මා “
තාදී උතුරා යන සෙනෙහසින් යුතුව ෂෙරීන්ව වැළඳ ගත්තාය. නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට මිෂෙල් සහ යශාන්ද ආරාධනා ලැබ සිටි අතර රූපසිංහ සහ රමණි විසින් තාදී වෙනුවෙන් ත්‍යාග කිහිපයක් ද එවා තිබිණි.
” අපි සාධාරණ විදියට ජීවත් වෙනවා නම් , කාටවත් කරදරයක් කරන්නේ නැත්නම් දෙවියො උනත් අපිව ආරක්ෂා තාදී ”
ධීර කීවේ විවෘත කිරීමේ උත්සවයේ සංවිධානය කර තිබූ සංග්‍රහය අතරතුරදීය.Clothez නුගේගොඩ ශාඛාව විවෘත කිරීමේදී මේ ආකාරයේ උත්සව හෝ සංග්‍රාහ තිබුණේ නැත. තමා වටා මල් කළඹවල් අතැතිව පිරිසක් සිටියේ ද නැත. කිරි ඉතිරවීමේ කටයුතු ද රාහු කාලය පහු වන තුරු සිට සිදු කළේ තමා තනිවමය. එහෙත් අද වන විට බොහෝ දේ වෙනස් වී ඇත. තමා වැදූ මවද , තමා පනසේ ආදරය කරන පුද්ගලයාද ඇතුළුව බොහෝ දෙනා තමාගේ ජයග්‍රහණය සැමරීමට එක්ව ඇත.
” රූපසිංහ අංකල්ලා උනත් හැමදේම තේරුම් අරගෙන තියෙන හැටි බලන්න. සල්ලි වලට හැමදේම කරන්න බෑ කියලා එයාලට උනත් දැන් තේරෙනවා ඇති. බැඳීම් කියන්නේ ඊට වඩා හරි වෙනස් දෙයක් තාදී. එක බැඳීමකට මනුස්සයෙක්ගේ ජීවිතේ කොච්චර දේවල් ලස්සන කරන්න පුළුවන්ද කියලා මම තේරුම් ගත්තෙ මට ඔයාව හම්බ උනාට පස්සේ “
මිෂෙල් බොහෝ සේ වෙනස් වී උන්නාය. යශාන් ලංකාවට පැමිණ තිබූයේ සීමිත දින ගණනාවකට නිසා ඉතා ඉක්මනින් විවාහ ගිවිස ගැනීමක් පවත්වා නැවත කැනඩාවට යාමට ඔවුන් දෙදෙනා තීරණය කර තිබුණි. යශාන් පිළිබඳව පෙර සිටම දැනගෙන හුන් නිසා ඒ තීරණයට රූපසිංහ යුවල විරුද්ධත්වයක් දැක්වූයේ නැත. කෙදිනක හෝ මිෂෙල්ගේ විවාහ මංගල්‍යය උත්සවය ඉතා ඉහළින් පැවැත්වීමට ඔවුන් තුළ බලාපොරොත්තුවක් තිබුණද පෙර ගත කළ ආටෝප පිරි ජීවිතයට තිත තබා තිබූ මිෂෙල් තීරණය කර තිබුණේ ඉතා සරල උත්සවයක් පමණක් ගැනීමටය. එයටද ඇයට ආරාධනා කිරීමට වුවමනා වූයේ පවුලට ළඟම හිතවතුන් සහ නෑදෑයන්ට පමණි.
හෝටලයේ වැඩ කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා ධීර ට සහයෝගය දැක්වූ ජයමිණි ඉන් නොනැවතී තාදී ගේ ව්‍යාපාර කටයුතු සඳහාද ඉතාම කැමැත්තෙන් සහයෝගය දැක්වූවාය. මව්වරුන් දෙදෙනෙකුගේ අසීමිත ආදරය මැද තාදී විටෙක කුඩා ළදැරියක වී හුන් අතර තවත් විටෙක ඉතා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන ව්‍යාපාරික කාන්තාවක් සේ නැගී සිටියාය.
මිෂල්ගේ සහ යශාන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වුණු අතර එදින සවස් කාලයේම ඔවුන් කැනඩාව බලා යාමට නියමිතව තිබුණි. ඔවුන් දෙදෙනාව ඇරලවීම සඳහා ගුවන්තොටුපළට යාමේ කටයුත්ත ධීර සහ තාදී විසින් ඉතා කැමැත්තෙන් බාර ගත්හ.
” මගේ අතින් වෙච්ච හැම වැරැද්දකටම සමාවෙන්න තාදී ”
මිෂෙල් කීවේ සමුගන්නට මොහොතකට පෙර තාදීව වැළඳ ගෙනය. එහෙත් පෙර සිදුවූ කිසිවක් පිළිබඳව හිතේ කහටක් හෝ තාදී ගේ සිත තුළ තිබුණේ නැත.තාදී පුරුදු ලෙසම මදහසක් ඇතිව මිෂෙල්ට සමු දෙන්නට සූදානම් වූවාය.
” ජීවිතේ හැමදේම අලුතෙන් පටන් ගන්න මිෂෙල්. අපි හරියට ජීවත් වෙනවනම් අපිට කවදාවත් වරදින්නේ නැහැ. ඔයා හැමදේම තේරුම් අරගෙන අද මෙතන ඉන්න එකම කොච්චර වටිනවද ? ”
මිෂෙල් දෑස් වලට නැගුනු කඳුළු සඟවා ගත්තාය. හොඳ මිතුරියක සේ තමාගේ ජීවිතයේ තවදුරටත් ඉන්නා ලෙස ඇය තාදීව පොරොන්දු කරගත්තාය.
” අපිට ඔය දෙන්නගෙ වෙඩින් එක මිස් වෙනවා”
යශාන් කීවේ ධීර ට අතට අත දෙන අතරේය.
” ඔය දෙන්නා එහෙ ගියාට කමක් නෑ අපිව අමතක කරන්න එපා ”
සිව් දෙනාම ඉතා සතුටින් එකිනෙකාට සමුදුන් අතර මිෂෙල් ගුවන් ගමන සඳහා පිටත් වූයේ ජීවිතයේ සියල්ල නැවත මුල සිට ආරම්භ කිරීමේ බලාපොරොත්තුව හිතේ දරා ගෙනය.සියල්ල යහපත් අතට හැරෙනු ඇතැයි ඇය එක සිතින්ම ප්‍රාර්ථනා කළාය.
සුන්දර බ්‍රහස්පතින්දා දිනයකට අරුණළු උදා වෙමින් පැවතියේ හදවත් බොහෝමයකට අමතක නොවෙන සතුටක් එක් කරන්නටය. තාදී අළුයම එකට අවදි වී ශෙරීන් සමග රූපලාවණ්‍යගාරයට පැමිණියාය. තමා විසින්ම නිර්මාණය කරගත් ඇත් දළ පැහැයෙන් යුතු වූ උඩරට ඔසරිය රූපලාවන්‍යාගාරයේ පසෙක එල්ලා තිබූ අතර තාදී සිය ඇඟිලි තුඩුවලින් එය අතගා බැලූයේ පිරුණු හැඟීමකිනි.
මලක් මෙන් විකසිත වෙමින් සිටින තම එකම දියණිය දෙස ෂෙරීන් බලා උන්නේ සතුටු කඳුළු පිරුණු දෑස් වලිනි. වසර විසි ගණනක් තිස්සේ මගහැරුණු තාදී ගේ ජීවිතය තවත් එක විනාඩියකට හෝ මග හැරවා ගන්නට ෂෙරීන් ට වුවමනා වූයේ නැත. රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඇගේ සේවිකාවන් විසින් පියවරෙන් පියවර තාදී ව හැඩ ගන්වන අයුරු ෂෙරීන් පසෙකට වී බලා හුන්නාය.
” මගේ රෝස මල කොච්චර ලස්සනද ”
උඩරට මනාලියක සේ හැඩගැන්වී සිටි තාදී දෙස ෂෙරීන් බැලුවේ මහත් වූ ලෝභකමකිනි. තාදී කන්නාඩියෙන් පෙනෙන තම රුව දෙස බොහෝ වේලාවක් බලා උන්නාය. මේ එළඹ තිබෙන්නේ තමාගේ ජීවිතයේ නැවත කිසි දිනක නොඑන සුවිශේෂීම දිනයය. තමාගේ කියා කිසිවෙකුත් නොමැතිව එම දිනයට මුහුණ දෙන්නට වේ යැයි සිතා සිටියත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. තමා දෙස කඳුළු පිරි දෑසින් සහ මහත් වූ ලෝභකමකින් බලා සිටින්නට ආදරණීය මවක් තමාගේ පසෙකින් සිටී.
දෙවන මනමාලියන් දෙදෙනෙකු සහ මල් කුමරියන් තිදෙනෙකු සමග තාදී Hotel Sea View වෙත යාම සඳහා පිටත් වූයේ අලුයම හය පමණ වන විටය. ඒ වන විටත් ධීර දෙවන මනමාලයන් දෙදෙනා සමගින් හෝටලයට පැමිණ උන්නේය. ඔහු සිටියේ තාදීව දැක බලා ගැනීමේ නොඉවසිල්ලෙනි.
බොහෝ දෙනෙකුගේ මංගල උත්සවයන් සඳහා සැරසිලි වලින් අලංකාර වූ Hotel Sea View තවත් සුන්දරතම දිනයක් සඳහා සැරසෙමින් තිබුණි. මුහුද අද්දරට වන්නට පිච්ච මල් වලින් හැඩවුනු පෝරුවක් තාදී සහ ධීර වෙනුවෙන් බලා සිටි අතර ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුද තාදී ගේ පැමිණීම වෙනුවෙන් බලා සිටියහ.
තාදී රථයෙන් බැස්සේ හැඟීම් බොහෝමයක් දරාගෙනය.අද පටන් තමාගේ ජීවිතය තව තවත් සුන්දර වනු ඇත. අද පටන් තමා පෙර මෙන් තනිව ජීවත් වූ තාදී නොවේ.තමා ධීර නැමති සුන්දර හිතක් ඇති තරුණයාගේ බිරිඳය යන හැඟීම හිත දරාගෙන තාදී හෝටලයේ කොරිඩෝව වෙත පියවර තැබුවාය. ධීර උන්නේ එහි අනික් කෙළවරේය. තාදී පියවරෙන් පියවර ධීර වෙත ලංවූ අතර ඡායාරූප ශිල්පියා සංඥාවක් දුන් පසුව ධීර තාදී පැමිණෙමින් සිටි දෙසට හැරුනේය.
” මගේ තාදී ”
තාදී හිමිදිරියේ පිබිදුණු මලක් මෙන් ධීර ඉදිරියේ පෙනී සිටියාය. ඔහු තාදීගේ හිසේ සිට දෙපතුල දක්වාම බැල්මක් හෙළුවේ දෑස් වලට කඳුළු පිරීගෙන එද්දීය.බොහෝ දෑ සිදුවී අවසානයේදී තමා ආදරය කළ හිතැත්තිය තමාගේ බිරිඳ වන දිනය පැමිණ ඇත. ජයමිණි ද ෂෙරීන් ද පසෙක සිට මේ සුන්දර දර්ශනය දෙස බලා සිටියේ උතුරා යන තරමේ සතුටකිනි.
ධීර ඉදිරියට පැමිණ තාදීව වැළඳ ගත්තේ දෙවරක් නොසිතාමය.
” අද ඉඳන් ඔයා මගේ නේ ”
ධීර තාදී ගේ මුහුණත දෝතට මැදි කර ගනිමින් ආදරයෙන් මිමිනුවේය.
ReplyForwardAdd reaction |