“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි කිහිපයක් නුදුරින් උනත් පන්සල පුරා විහිදී තිබුන හඳුන්කූරු සුවඳට මුසුවුණ සමුධ්‍යා වෙතින් ඇදී ආ සුමුදු සුවඳක් තිබුනේ අරුණගේ නාසය ඔස්සේ දුව ගොස් හදවත පතුලේ තැවරෙමිනි.
“මං ඇත්තටම පන්සල් එන්න නෙවෙයි හිටියෙ ඒ උනාට ඔයා පන්සල් යනවා කිව්වම මට හිතුනා පන්සලට ආව නම් හොඳයි කියලා” අරුණ කියද්දී ඒ වචන අස්සෙ තැවරුණ යම් කිසි සුන්දර හැඟීමක්, අරුණගේ මනස්කාන්ත ඇස් අස්සෙන් තමගේ දෙනෙත් වෙත හුවමාරු වෙනවා සමුධ්‍යාට නොදැනුනා නෙවෙයි.
“එකපාර ඇයි ඒ?” කියා අහද්දී සමුධ්‍යාගෙ කටහඬේ තැවරි තිබුනේ ඒ දෙනෙත් සැරය නිසාවෙන් මන්දගාමී වූ සුන්දර හැඟීමකි.
“දන්නෙ නෑ සමුධ්‍යා, සමහරවිට ගෙදර ඉන්න එක හිත හදාගන්න අමාරු හන්දා වෙන්නැති. ඔලුවට නිදහසක් උවමනා වෙච්ච හන්දා වෙන්නැති. ඔයා ඇයි එකපාර පන්සල් එන්න හිතුවෙ?” කියා අරුණ අහද්දිත් සමුධ්‍යා උන්නේ ඇත්තටම තමන්ටද එකපාර පන්සලට එන්නට හේතු කාරණා සැපයුවේ ඒ හැඟිමම නොවේද කියා සිතමිනි, පෝය දවසක් නොවූ නිසාවෙන්දෝ පරමාකන්ද පන්සල තිබුනේ පාලුවට ගොසින් ය. එහෙත් ඒ පාලුවවම සමුධ්‍යාටත් අරුණට නිදහසේ කතා බස් කරන්නට මෙන්ම බරැති හිත මදකට බර හෑල්ලු කරගන්නට උදව් උනි.
“මං හිතන්නෙ මං ආවෙත් ඒකම හන්දා තමයි අරුණ. මං දන්නවා මම කරේ වැරැද්දක් නෙවෙයි කියලා. ඒ උනාට එදා අනෝමා ආන්ටි මේ කේස් එක පිටිපස්සෙ ඔයයි මමයි දෙන්නම ඉන්නව කියල දැනගත්ත වෙලේ රියැක්ට් කරපු විදියට මට හරිම ගිල්ටි ෆීලින් එකක් තිබ්බෙ මොක උනත් මම තව පොඩි ගෑණු ළමයෙක්ව බේරගන්න කියලා හිතලා මගෙ අම්මා වගේම අම්මා කෙනෙක්ට කොච්චර ලොකු වේදනාවක්ද දුන්නෙ කියල.
මොක උනත් ඉස්කෝලෙ ගෙදර මිනිස්සු උනත් කල්පනා කරනවා ඇතිනෙ මම මේ පිටින් ඇවිත් ගමේ මෙහෙම ප්‍රශ්න ඇති කරලා ගියාට පස්සෙ තමන් කොහොමද දිගටම ගමේ ඉන්නෙ කියල. මම නම් යාවි කවදහරි. ඒ මිනිස්සුන්ටා ඉන්සෙකියුරිටි එකක් තියෙනවානේ”
“මිනිස්සු හිතන ඒව ගැන හිත හිත තීරණ අරගන්න ගියොත් අපිට කවදාවත් හරි කියලා දෙයක් කරන්න වෙන්නෙ නෑ නේද? ඒ නිසා ඔයා කිසිසේත්ම කරේ වරදක් කියල හිතන්න එපා. ඔයා කරේ වරදක් නම් මම ඔයා එක්ක තරහා වෙන්න ඕනනෙ මුලින්ම. මොකක් උනත් මෙතන වැරදිකාරයා මගෙ මල්ලිනෙ”
“මං ඇත්තටම අහන්නේ අරුණ ඇයි මට ඇත්ත කිව්වෙ නැත්තෙ මුලින්? ඔයා ලක්ෂිතව දන්නවා කියල හරි එහෙම කිසිම දෙයක් නොකිය ඔයා මේ කේස් එක හැන්ඩ්ල් කරන්න භාරගත්තෙ ඇයි?” කියා සමුධ්‍යා අහද්දී අරුණ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට මද වෙලාවක් ගත්තේය. සමුධ්‍යා ඇසූ ප්‍රශ්නයට තමන්ට දෙන්නට සැබෑ පිළිතුරක් ඇති බව හැබෑවකි. එහෙත් ඒ සැබෑ පිළිතුර ප්‍රභාත් අරුණලු වන තමන්ගේ යුක්තිගරුක නීතිඥවරයාගේ පැත්තට වඩා ඉස්මතු කරන්නේ ප්‍රභාත් අරුණලු වන සහෝදරයාගේ, මිනිසාගේ තමන්ගේ කමේ පැත්ත බව දැන දැනම එය සමුධ්‍යාට කීම ඇගේ හිතේ තමන් ගැන ඇති යම් කිසි අගයක් අඩු කරගන්නට හේතුවන බව දැන උන්නත් තවත් බොරු කියනවට වඩා ඇත්ත කියන එක හොඳ බව අරුණ හිතුවේය.
“මං එහෙම කරේ ඇත්තටම මම මේ මාර හොඳ අකුරට වැඩ කරන ලෝයර් කෙනෙක් හන්දා නෙවෙයි සමුධ්‍යා. මම මනුස්සයෙක් හන්දා” කියා අරුණ කියන්නට යෙදුන හතරබීරි කතාව තමන්ට නොතේරුන බව කිව්වේ සමුධ්‍යාගේ දෙතොල නොව කුහුලෙන් බර වුණ දෙනෙතය.
“ඔයා ඔය කතාව කියද්දි, දෙව්නිලා විස්තරේ ශෙයා කරද්දි මම දැනගත්තා ඔයාලා මේ කියන්නේ අපේ මල්ලි ගැන කියලා. මම දුක් වෙච්ච බව ඇත්ත. ඒ උනාට මම පුදුම උනේ නෑ සමුධ්‍යා. අපේ මල්ලි මොන වගේ මනුස්සයෙක්ද කියන එක මම දැනගෙන හිටියා. අනිකා අම්මා නිතරම මල්ලි ගැන කියලා අඬන හන්දා මම මල්ලි කොළඹ ඉද්දිත් මිනිහා ගැන හෙව්වා. එහෙම තැන්වලදි මල්ලි ගැන අම්මලා අහන්න හිතන්නෙවත් නැති, අම්මලා කවදාවත් මල්ලි කරාවි කියලා බලාපොරොත්තු නොවෙන ගොඩක් දේවල් අම්ම දැනගෙන හිටියා.
මගෙ මල්ලි උනත් එයා හොඳ මනුස්සයෙක් නෙවෙයිනම් ඒක මට පිළිගන්න වෙනවනෙ සමුධ්‍යා. මම කොච්චර ලෝකෙ එක්ක ෆයිට් කරත් මට ඇත්තක් වෙනස් කරන්න පුලුවන් කමක් නෑ. ඒ උනාට ඔයා මුලින්ම ඔය විස්තරේ කියද්දි මට ඇත්තටම එක තප්පරේකට හිතුනා සමුධ්‍යා මේ කේස් එකට මම ජොයින් උනොත් විතරයි නේද මට මොන බොරුවක් කියලා හරි මල්ලිව බේරගන්න පුලුවන් කියලා. මම ඇත්තටම හිතුවා. බොරු කියන්න ඕන නෑනෙ”
“ඇයි ඔයා ඒ අදහස වෙනස් කරගත්තෙ?” කියා අහද්දී සමුධ්‍යාගේ කටහඬේ තැවරී තිබුන ගැඹුර අරුණව මොහොතකට රිදෙව්ව බව හැබෑවකි. එහෙත් ඒ සිතුවිල්ල වහා මැකී ගියේ “අදහස වෙනස් කරගත්තේ?” කියා ඇසූ වදන්වලම තමන් ගැන සැකයක් සමුධ්‍යාගේ හිතේ නැති බව අරුණ තේරුම්ගත් නිසාවෙනි.
“ඔයාව හම්බුවෙච්ච දවසෙ සමුධ්‍යා. මං ඒ අදහස නැති කරගත්තෙ ඔයා හන්දා” කියා අරුණ කිව්වයින් පසු දෙදෙනා අතර ඇති උනේ විසල් නිහඬතාවයකි. ඒ නිහඬතාවය අස්සේ සමුධ්‍යාගේත් අරුණගේත් සිත් සැලුනේ බෝ ගස සුළඟ සමග කරන මද මුදු සැලීමේ තාලයටය. නිසංසලයවය.
“ඔයා මුලින්ම මාව හම්බුවෙන්න ආව වෙලේ මං කල්පනා කරා ඔයා වගේ තමන්ට කිසිම නෑකමක් සම්බන්ධයක් නැති ගෑණු ළමයෙක් වෙනුවෙන් මෙච්චර දුරක්, මෙච්චර රිස්ක් එකක් ගන්න පුලුවන් උනා නම් මට මගේ මල්ලි හොඳටම වැරදිකාරයෙක් කියලා දැනගෙන ඇයි ඇත්ත වෙනුවෙන් කතාකරන්න බැරි කියලා”
“ඔයා රිග්‍රෙට් කරනවද එදා එහෙම තීරණයක් ගත්ත එක ගැන” කියා සමුධ්‍යා අහද්දි අරුණ මද සිනාවක් නැගුවේ එහෙම නැති බව කියන්නය.
“නෑ”
“ඇයි ඒ? මොක උනත් ඒ ඔයාගෙ මල්ලි නේද?”
“ඔව් ඇත්ත. ඒ උනාට සමහර තැන්වලදි අපිට අපේකමට වඩා මනුස්සකමට මුල් තැන් දෙන්න වෙනවා සමුධ්‍යා. මිනිස්සු මට බණිනවා ඇති. තාත්තා උනත් තරහෙන් ඉන්නෙ මම කරපු දේ ගැන. පොඩි කේස් එකකුත් ගියා උදේ. ඒ උනාට මට සන්තෝසයි මට හැමදේටම වඩා හරිදේ කරන්න හයියක් තියෙන එක ගැන” කියා අරුණ කියා සිනාසූ සම්පූර්ණයෙන්ම සමුධ්‍යා දිහාවට හැරෙද්දී සමුධ්‍යා අරුණගේ දෙතොල මත තිබුන ලේ කැටි ගැසුණ තුවාල පහර දුටුවාය. “පොඩි කේස් එකකුත් ගියා” කියා අරුණ තාත්තා සම්බන්ධ කර කියන්නට යෙදුන කතාවත් මේ දෙතොල මත ඇති වේලුණු තුවාලයත් අතර සම්බන්ධයක් ඇති බව හිතාගන්න සමුධ්‍යාට අපහසු උනේ නැත.
“තොල තුවාල උනේ තාත්තා…” කියා සමුධ්‍යා කතාව නතර කලේ මොක උනත් එවන් දෙයක් දරුවෙක්ගෙන් තමන්ගේ තාත්තා ගැන අහන්න හයියක් සමුධ්‍යාට තිබුනෙ නැති හන්දාය. අරුණ හිනා වී හිස වනා ඔව් කිව්වේ දෙතොලින් වදන් විදියට ඒ කතාව පිටකරන්නට අපහසු වුණ නිසාවෙනි. සමුධ්‍යා උන්නේ හීරුණු, වේදනා දෙන, රිදුම් දෙන හදවතකිනි. අරුණ වැනි හොඳම හොඳ මිනිසෙක්ට මෙයාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න හේතුවුණ කාරණා පස්සේ තමන් ලොකුවටම ඉන්නා බව සමුධ්‍යාව නැවත නැවත රිදුවාය.
“අරුණ” කියා සමුධ්‍යා කියද්දී මෙතෙක් වේලා ඈත පේන කඳු දිහා බලාගෙන උන් අරුණ සමුධ්‍යා වෙත නෙත් යොමු කරේය.
“ම්ම්ම්ම්”
“රිදෙනවද?” කියා සමුධ්‍යා තමන්ගේ දෙතොල මත ඇගේ මුදු සුමුදු ඇඟිල්ල තබද්දී මෙතෙක් දිනක් පුරාවට හිත අස්සේ පුරවාගෙන උන් සියලුම හැඟීම් දෝරෙ ගලා යද්දී තම සවිමත් දෑතින් සමුධ්‍යාගේ සුමුදු අත ලිහිල්ව අල්ලා දෙතොලට තබා සිපගත්තේය.