පිණි මුතු පලසක් – 34

0
359

විදුර උන්නේ එදා රැයේ එක අතක මත් පැන් වීදුරුව දරාගෙන අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරමින් ය. නිවස පුරා විහිදී ගිය නිහඬතාවය, ඔහුගේ මනසේ දෝලනය වන සිතිවිලි වල බර තවත් වැඩි කළේය. බිත්තියේ එල්ලා තිබූ ඔහුගේ විශාල ඡායාරූපය දෙස විදුර බැලුවේය. ඒ පින්තූරයේ හිඳින තමන්ගේ සිනහව දේශපාලන පොරොන්දම් වලින් පිරුණු, ජනතාවට සමීප යැයි පෙන්වූ සිනහවක් බව විදුර නොදන්නවා නොවේ. එහෙත් ඒ සිනහව පිටුපස සැඟවුණු කපටිකම, අවස්ථාවාදය, සහ නිර්දය ස්වභාවය දැන උන්නේ තමන් පමණක් බව විදුර මේ මත් වූ මොහොතේ අමතක කරේ නැත.

“දේශපාලනේ කියන්නෙ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේදි මරන්න වෙනවද, කපන්න වෙනවද කියන තීරණේ කරන්නෙ අපි. වැඩියෙන් අරගන්න වැඩියෙන් දෙන්න වෙනවා” ය යන වදන් පෙළ මේ දේශපාලන ජිවීතය මුල සිටම විදුර ඇදහුවේය. වීදුරුවේ තිබූ අයිස් කැට නිකරූණේම දිය වෙමින් තිබුණේ, දේශපාලය ගොහොරුවේ ගිලුන විදුරගේ ජීවිතයේ මනුසත්කම දිය වී යන්නාක් මෙනි. 

ඊයේ හැන්දෑවේ මල්කාන්ති කාමරයෙන් පිටව යන විට, තමන් ඇය දෙස බලා උන්නේ එක්තරා විදියක වේදනාබර හැඟීමකින් බවට විදුරට ආයෙම මතක් කර දුන්නේ ඔහුව සනසන්නට යෙදුණ මත් බවයි. සිත අතීතය කරා ඇදී ගියේ ඒ මත් බව අතරේය. මේ ඊයේ ඇවිත් ගිය මල්කාන්ති, තමන් වසර ගණනාවකට පෙර දැන සිටි තරුණිය නොවන බවත් කාලය ඇයව කොතරම් වෙනස් කර ඇතිදැයි කියන කාරණාව විදුර ආයෙ ආයෙ මතක් කරේය.. ඇගේ මුහුණේ තැවරී තිබූ ජීවිතයේ බර, රැලි, සහ හිස් බැල්ම, ඔහුට මතක් කර දුන්නේ තමන් සහ මල්කාන්ති ප්‍රේමයෙන් වෙලුණ අතීතයක තතුය. අද තමන්ට මෙන්ම තමන්ගේ දරුවන්ටද ගිලී යන්නට සිදු වුන මේ මඩ ගොහොරුව තමන්ගේම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බව විදුර නොදැන සිටියා නොවේ. එහෙත් විදුර උන්නේ ඒ ගැන කිසිදු පසුතැවීමකින් නොවේ. විදුරගේ ලෝකයේ, තමන්ගේ පැවැත්ම සහ බලය හැර අන් කිසිවකට වැදගත් තැනක් තිබුනේ නැත.

ඒ දවස් තිබුනේ නැවත නැවත මතකය මතට රැළි ගසමින් ය. තමන්ගේ දේශපාලන ගමන් මග ආරම්භ වෙමින් තිබූ කාලයකි. ගමේ දේශපාලන කටයුතු සඳහා යන සෑම අවස්ථාවකම, මල්කාන්තිගේ එවකට සුන්දර වූද තරුණ වූද, දඟකාර වූද බැල්ම තමන්ගේ දෙනෙත් හා පැටලුණ බව විදුරට අමතක නැත. එවකටත් තමන් අනෝමා විවාහ කරගත්, එක් දරු පියෙකු වූද, තවත් දරුවෙකුගේ පියෙකු වන්නට බලාගෙන උන්නා වූද අයෙකු බව විදුර ගැන දන්නා කිසිවෙකු නොදැන උන්නා නොවේ. මල්කාන්ති එවකටත් උන්නේ කොළඹ කර්මාන්ත පුරවරයේ ගාමන්ට් එකක රැකියාවට යන ගමන් ය. කොළඹින් පෝෂණය වුන ඇගේ ගැමි සුන්දරත්වයද, සරාගික දෙනෙතද, කොළඹ කෙල්ලන් හා එක්ව රාජකාරි කිරීමෙන් හිතට උකහා ගත් සසරල සැහැල්ලු කෙලිලොල් බවද විදුරට මල්කාන්තිට ළංවෙන්නට මග පහසු කර බව ඇත්තකි.

“ටයිම් පාස් කිරිල්ලක් විතරයි” කියා විදුර මේ ඇසුර සාධාරණීකරණය කරන්නට තැනුවද මල්කාන්තිගේ ප්‍රේම, සරාග රැහැනෙන් මිදෙන්න උවමනාවක් හෝ හැකියාවක් විදුරට තිබුනේ නැත. අනෙක් අතට මල්කාන්ති වනාහී තමන්ගේ දේශපාලන මෙන්ම මුදල් බලයෙන්ද ඕනම මොහොතක ජීවිතයෙන් ගලවා ඉවත් කල හැකි චරිතයක් බවට විදුර විශ්වාස කරේය. ඒනිසාම ඔහුට බයක් තිබුණේ නැත.

දේශපාලනයේ කාර්යබහුලත්වය හමුවේත්,ගැබ්බර වී උන් අනෝමා හමුවේත්, මල්කාන්ති ඇසුරෙන් ලද විනෝදය ඔහුගේ ජීවිතයට එක්තරා ආකාරයක සහනයක් ගෙන ආවේය.විදුර කිසිවෙකුට නොදැනෙන අයුරින් කොළඹදි මල්කාන්තිව හමු උනේත්, ඔවුන්ගේ අනියම් ඇසුර දිගු කාලයක් පුරාවට රැගෙන ගියේත් ඒ නිසාමය.

මල්කාන්ති විදුර සොයාගෙන එක සවසක ඔවුන් කොළඹදී හමුවෙන සුපුරුදු තැනට ආවේ විදුරට නුපුරුදු නොවූ තවත් ආරංචියක් අරගෙනය.

“මං හිතන්නෙ මට ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා” කියා එදා මල්කාන්ති කියූ කතාව හිතට බෝම්බ වට්ටන්නට හේතු නොවුනේ ගෙවුණු අවුරුදු කිහිපයටම මල්කාන්ති එවන් අවස්තා කිහිපයකටම මුහුණ දුන් නිසාවෙනි.

“ඒක වෙන්න බෑනෙ? මම දුන්න පෙති ගත්තෙ නැද්ද?” කියා විදුර අහද්දිත් මල්කාන්ති පවා උන්නෙ “මෙහෙම වෙච්ච පළවෙනි පාර මේක නෙවෙයිනෙ” කියා සැහැල්ලුවෙන් ඒ ගැන සිතමින් ය. එහෙත් විදුර සමග සබඳතාවයක පැටලී ගෙවුණ පසුගිය අවුරුදු කිහිපය පුරාම මෙවන් අවස්තා ඕනෑ තරම් ආ බව ඇත්තක් වුවද, ඒ සෑම අවස්තාවකටම වඩා යම් වෙනසක් තමන්ගේ හිතට දැනුන බව මල්කාන්තිට අද පවා මතකය. ඒ වෙනස කාලය ගෙවී ගොස් යම් දිනක තමන් සියලුම දෙනාගේ ජීවිත විනාස මුඛයට ඇද දමන්නට හේතුවන බව දැන සිටියානම් “ඉපදෙච්ච වෙලාවෙම ඕකිගෙ බෙල්ල මිරිකලා දානවා” කියා මල්කාන්ති සිතූ බව දැනගෙන උන්නේද මල්කාන්තිම පමණකි.

“හැමදාම ඔයවා කරන්න ගිහිල්ලා අන්තිමේ මට මොකක් හරි උනොත් මන්ත්‍රී තුමා දරුවන්ව බඩෙන් අස් කරනවා වගේ මාවත් මේ ලෝකෙන් අස්කරලා දාවි නේද?” කියා මල්කාන්ති එදා විදුරගෙන් ඇහුවේ ඒ වෙනස, සැකයක් ලෙස හිත ඔද්දල් කරන්නට පටන් ගත් නිසාවෙනි.

“මං නිකන් බොරු කරන්න ඕන නෑනෙ මල්කාන්ති. මං කවදාවත් පොරොන්දු වෙලා නෑනෙ මේ ඔයා එක්ක මං ලෞ කරනවා කියලවත්, කසාද බඳිනවා ළමයි හදනවා කියලත්. ඔයා හොඳටම දැනගෙන හිටියනෙ මං කසාද බැඳපු මනුස්සයෙක් කියලා. ඉතින් ඔය වගේ දේවල් වලට දෙන්න මං ගාව නිකන් මේ හෙන ඉමෝශනල් උත්තර නෑ මල්කාන්ති.

මං මේ ෆුල් මහන්සිවෙලා වැඩ කරන්නෙ පාර්ලිමේතුවට රිංග ගන්න. මට ඕන මේ පොලිටිකල් සීන් එක ඉස්සරහට යන්න. ඒ ගමනෙ මගේ ඉස්සරහට එන ඕනම බැරියර් එකක් මං අයින් කරනවා තමයි මල්කාන්ති. ඒක නිකන් අපි අමුතුවෙන් ආයෙ අලුතෙන් කතාකරන්න ඕන දෙයක් නෙවෙයි නේද?” කියා විදුර මද සිනාවක් පාද්දී ඒ සිනාව පිටිපස්සේ තිබුන සීතල තර්ජනයක් බව මල්කාන්ති එදාද දැන සිටියාය. අද මේ විදුරගේ එක ඉල්ලීමකට අනුව සත්සරාට වුණ අසාධාරණය අමතක කර දමන්නට මල්කාන්තිට හේතු වූයේද ඒ සීතල තර්ජනයමය.

එදා විදුර සහ මල්කාන්ති විසින් මේ ලොවින් තුරන් කරන්නට උත්සහ කල මල් කැකුළ තමන්ගේ ජිවීතය සමග කල සටනින් අවසානයේ දිනුවාය. තාත්තා සහ අම්මා විසින් විනාස කරන්නට හැදු තමන්ගේ ජීවිත අයිතිය වෙනුවෙන් අවසානයේ ඔවුන් සමග සටන් කරන්න ඇය පෙළඹුණේ තමනට වුන ඒ අසාධාරණය නිසාවෙන් මය.

තමන්ව දූෂණය කරන්නට තැනුවේ තමන් නොදන්නා නමුදු තමන්ගේ තාත්තාටම දාව වෙන ගැහැණියකගේ කුසින් මෙලොව එලිය දුටු සහෝදරයෙකු බව සත්සරා නොදැන උන් බව ඇත්තකි.

එහෙත් ඒ වනාහී විදුරටත් මල්කාන්තිටත් රහසක් වූයේ නැත. ඒ සත්‍යය මධ්‍යයේත් මල්කාන්ති සහ විදුර තමන්ගේ සුඛ විහරණයම බලාපොරොත්තු වූ බව ඇත්තකි. ඒ ඇත්ත, තමන් විසින් සඟවන්නට තැනූ රහස ආයෙම වරක් තමන්ගේ ගමනට විරුද්ධව කටයුතු කරද්දී විදුර සහ මල්කාන්ති කලබල වූයේ මෙලොව කිසිවෙකු දැන නොගත යුතු ඒ රහස එළියට ඒ යැයි බිය නිසාවෙන්මය.

විදුරගේ දුරකතනයට ඇමතුමක් ආවේ ඒ සිතුවිලි අස්සේ ඔහු හිර වී ඉද්දීය. එහාපසින් ඇසෙන හඬට සවන් දුන් විදුරට එයට දෙන්නට තිබුණේ එකම පිළිතුරක් පමණකි.

“පොලිටිශියන්ස්ලා විදියට අපි කරන්න ඕන ගාමිණී අපේ ගමනට බාධ කරන උන්ව අයින් කරලා දාන එක කියල මං තමුසෙලට කියලා දීලා තියෙනවානෙ. තව හිත හිත ඉන්නෙ මොකටද?

ඒකිව අයින් කරලා දාපං සීන් එකෙන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here