සුහදිනි -12

දැඩි ජනප්‍රියත්වය හමුවේ අහිමි වී යන බොහෝ දෑ නිහඬතාවය මතින් ලබා ගත හැකි බව අහස් අවබෝධ කරගනිමින් සිටියේ ය.කණ්ඩායමේ වැදගත්ම සාමාජිකයෙකු වූ ඔහුට මේ තරග සංචාරය අහිමි වී ගොස් තිබිණ.

“කැප්ටන් දිගටම කියලා තිබ්බා අහස් එක්ක ඒ වැඩේ කරන්න බෑ කියලා.කැප්ටන් දිගටම රිජෙක්ට් නොකරානම් ඌ මේ පාරත් ගිහින් බිංදුවට අවුට් වෙනවා.”

ලෝකයේ සිදුවන සියල්ලම තමන්ගේ දිවැසින් දකිනා සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු ලියා තිබිණ.එයට එකඟ වන්නන් සේම අහස් ඉලංගසිංහ කියන්නේ රැක ගත යුතු මැණිකක් බව සිතමින් එයට එරෙහි වන්නන් ද නිසා සමාජ ජාලා කැළඹෙමින් තිබිණ.

“මල්ලි,ඉස්සරලම උඹ උඹට පුලුවන් කියන විශ්වාසෙ හදාගන්න ඕන.ග්‍රවුන්ඩ් එකේ ඉන්නෙ අපි එකොළොස් දෙනෙක්.අපිට පුලුවන් කියල දන්නෙ අපි.මේ ගමන උඹව දාලා යන එක අපිට හරිම හර්ට් වෙන දෙයක් කියල දන්නෙත් අපි.මං ටොයිලට් එකට යනකොටත් සීසීටීවි දාන් ඉන්නව වගේ බොරු ලියන උන් කියන කතා උඹ විශ්වාස කරන්නෙ නෑ කියලා මං දන්නව.ඒ නිසා අපි ආයේ එනකොට නැති වෙලා තියන හැමදේම ආයේ ඇති කරගෙන ඉන්න.”

නායකයා එසේ කියන්නේ හදවතින්ම බව දන්නා අහස් හිනැහුණේ සැනසීමෙනි.සහෝදර වැළඳ ගැන්මක උණුහුම දැනිණ.බැඳීම් සම්බන්ධයෙන් මොනතරම් අසත්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා පැතිරවිය හැකිදැයි අහස්ට සිතුණේ ඒ මොහොතේ ය.අන්තර්ජාල ඕපාදූපවලට අනුව මේ මොහොතේ නායකයා ඇතුළු කණ්ඩායම අහස්ව දැඩිව ප්‍රතික්ෂේප කරමින් හිඳියි.නමුත් සැබෑ ලෝකයේ ඔවුහු තමන්ගේ සහෝදරයා නැවත සාර්ථක වනතුරු බලා හිඳිති. 

“මිනිස්සු ස්මාර්ට් විදියට ෆේස්බුක් එකේ බොරු කියනවා.ඕපදූප කියනව.ඒවා නොහිතා නොබලා උඹ ප්‍රැක්ටිස් කරපං”

කණ්ඩායම් සගයන් එසේ ලියා එවා තිබුණු අතර තරග සංචාරයක් මඟ හැරීම ගැන අහස්ට සුළු කණගාටුවක්වත් දැනුණේ නැත.මේ ඔහුට විවේක ගනිමින් ගොඩ නැගෙන්නට ලැබුණු මහඟු අවස්ථාවකි.

“මිනිස්සු කරන නරකට ඉක්මනින්ම දඬුවම් ලැබෙනව අහස්.මට රිද්දලා සතුටින් ඉන්න ඔයා හිතුවා මදි.”

කණ්ඩායම සංචාරයට පිටත්ව ගිය රාත්‍රියේ ඒ පණිවිඩය ලැබී තිබුණේ නොදන්නා අංකයකිනි.එහෙත් ඒ පණිවිඩය කාගේදැයි අහස් දනියි.

ප්‍රේමය දරා ගැනීම් සහ ඉවසීම් සමඟ යා යුතු ගමනකැයි අහස් දැඩිව විශ්වාස කරයි.සාර්ථක කාලයේ දිවවිත් අත අල්ලාගත් සාරණ්‍යාට ඔහුගේ පීඩාකාරී කාලයේ හිත් රිදවීම් ඇති කිරීම දෛනික පුරුද්දක් වී තිබිණ.අත නෑර අල්ලාගෙන අසීරු කාලය පසු කිරීම වෙනුවට ඇය තෝරා ගත්තේ රිදවීම ය.කෙනෙකුට ඉතා පහසුවෙන් කළ කළ හැකි දේ තව කෙනෙකුගේ හිත රිදවීම ය.සුළු වචන සංඛ්‍යාවක් හෝ ඉතා කුඩා ක්‍රියාවක් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් ය.නමුත් ඒ පහසු දේ නොකර සිටිනතාක් බැඳීම් ආරක්ෂා වන බව රහසක් නොවේ.බැඳීමක් රැක ගන්නට අපොහොසත් වූ යුවතිය ග්‍රාමීය ලෙස තමන්ගෙන් පළි දැරීම ගැන උපහාසයෙන් බලන්නට තරම් අහස් වැඩෙමින් සිටියේ ය.මේවා කම්පා වීමට හෝ කෝප ගැනීමට කාරණා නොවන බව ඔහු දනියි.සාරණ්‍යා ඇගේ බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කරමින් හිඳින අතර ඒවාට තැවෙන්නට යාම තමන්ගේ කාලේ අපතේ හැර ගැනීමක් බව දැන් ඔහු විශ්වාස කරන කාරණාවකි.ඒ පණිවිඩයට කිසිම පිළිතුරක් යවන්නට අහස් උනන්දු නොවී ය.සාරණ්‍යා තව තවත් මොනවාදෝ එවූ නමුත් කියවීම පවා තමන්ගේ කාලය විනාශ කිරීමක් බව සිතන්නට අහස් කැමති විය.

“යන්තන් අර මෝඩ සාපේ මේ පාර ටීම් එකේ නෑ.”

නිම්නා එසේ කියන්නේ සකීට ඇසෙන්නට ය.මිතුරියකගේ ඒකපාර්ශවික ප්‍රේමයක් සරදමට ගැනීම ඉතා අපූරු විහිළුවක් බව ඇය සිතයි.නමුත් සකී එය ගණනකටවත් ගත්තේ නැත.පෙරළා අසන්නට ප්‍රශ්නයක් නම් ඇයට ඉතිරි වී තිබිණි.

“දැන් මාස කීපයකට කලින් අහස් නැත්නම් එක මැච් එකක්වත් දිනන්න බෑ.අර ඉන්දියා මැච් එකේදී අහස් අන්තිමට හයක් ගහලා මැච් එක වින් කරාම අපේ සුදු මහත්තයා කියලා නේද ඔයා එයාගේ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මේ?”

නිම්නා එයට පිළිතුරක් දෙන්නට පෙරම සකී දිගින් දිගටම කතා කරන්නට පටන් ගත්තා ය.

“ඕක සාමාන්‍ය දෙයක් නිම්මු.කවුරුහරි සාර්ථක වෙනකොට එයාව ඉහළ දාන කිසිම කෙනෙක් එයා ෆේල් වෙනකොට ළඟ නෑ.ඒක අහස්ට විතරක් නෙමෙයි ඔයාට මට වුණත් පොදු දෙයක්.” 

අහස් මේ පසුකරමින් හිඳින්නේ අතිශය අසාර්ථක කාලයක් බව රටම පැවසූවද එය එසේ නොවන බව සකී දැනගෙන සිටියා ය.ඔහු මේ පසු කරන්නේ සංක්‍රාන්ති කාලයක් බව ඇය දනියි.ඔහු දැඩි මානසික පීඩාවකින් සිටින බව කියන්නේ සමාජ ජාලා පුවත් මවන්නන් ය.නමුත් එය එසේ නොවන බව ඇය දනී.ඇගේ සිහිනවල ඔහු හිඳින්නේ ප්‍රීතියෙනි.අඳුරු විල්ලුවට වැරදීමකින්වත් නොයන ඔහු කහපැහැති මල් යායේ නිදහසේ සැරිසරන කුරුල්ලෙකු තරමට ප්‍රීතිමත් ය.ඒ ප්‍රීතිමත් තරුණයා බොහෝ දේ දිනාගන්නට ප්‍රමාද නැති බව ඇය හොඳින් දනී.ඔහු ගැන මැවෙන පුවත් ගැන විශ්වාස කරන්නට ඇයට වුවමනා වූයේ නැත.ඒ වෙනුවට සකී තමන් දකින සිහින විශ්වාස කරන්නට විය.ඒවා ඇයට ඕපාදූප ප්‍රවෘත්ති වලට වඩා විශ්වාස ය.

“එයා දිගටම නම් ෆේල් වෙන් නෑ නිම්නා.”

ඇය ඒ විශ්වාසයෙන් මිතුරියට පැවසුවා ය.නිම්නා එයට උස් හඬින් හිනැහිණ.සැබෑවටම ඇයට මේ පෙනී සිටීම විහිළුවකි.තාරකාවක වෙනුවෙන් මෙපමණකට විස්සෝප විය යුතුදැයි ඇය සිතයි.

“මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් කියලා සින්දු ලියන්න ඇත්තේ උඹ වගේ උන් වෙනුවෙන්.”

ඇය එසේ පැවසුවේ සිනාව අතරිනි.සකී එයට පැහැදිලි සිනාවක් නැඟුවා ය.

“අහස් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් යැ.හැබැයි ආදරේ කරන ඕනම මනුස්සයෙක්ට ඔය සින්දුව ඇත්ත කරන්න පුලුවන් වෙන්නෝන.ලෝකෙම ළඟ නොඉන්න වෙලාවට තමයි ආදරේ කරන මනුස්සයා ළඟ ඉන්න ඕන.ඒ මනුස්සයට ජීවිතේ දාලා දුඑඅන්න නොහිතෙන්නේ එතකොට.”

ප්‍රේමය ගැන බොහෝ දෑ පවසන සකී ආදරය නොකිරීම ම නිම්නාට ගැටළුවකි.

තාරකාවකට ආදරය කරන්නට ගොස් ජීවිතය අතරමං කර නොගන්නැයි සකීට උපදෙස් දීම ද ඵලරහිත ය.සකී කියන අන්දමට ඇය අහස් කෙරෙහි ප්‍රේමයකින් නැත.එහෙත් සකී සතුව කුමක් හෝ රහසක් ඇති බව නිම්නාට සහතික ය.

(ඔබේ අදහස් රන් වටින බැවින් කමෙන්ට් තීරුවේ එය තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles