ආදර සැලසුම් – 5

0
1888

චන්දික උන්නේ සාලයට වී උදෑසන පත්තරය බලන අතරේය. ඒ ඇත්තටම පත්තරය බලන උවමනාවෙන් නොව මෞර්යා නිවසට පැමිණෙන තුරුය. පෙර දින රැයේ ව්‍යාපාරික කටයුත්තක් නිසා නිවසට පැමිණීම ප්‍රමාද වූ බැවින් මෞර්යා සමඟ නිදහසේ කතා කරන්නට වේලාවක් චන්දිකට වූයේ නැත. දවසේ කොයිම මොහොතක හෝ වේලාවක පැයක හෝ දෙකක පමණ කාලයක් මෞර්යා සමග ගත කිරීම චන්දික පුරුද්දක් කර ගෙන උන්නේ මෞර්යා පවුලේ එකම දරුවා වූ නිසාය.

අළුයම ඇවිදින්නට ගිය මෞර්යා නිවසට ගොඩ වූයේ නිල්මිණි චන්දිකට තේ එකක් පිළිගන්වන අතරේය.

” ආ මේ එන්නේ ” 

චන්දික පත්තරය වසා දමා එය නවමින් ටීපෝව මතින් තැබුවේය. මෞර්යා චන්දිකට ඉදිරිපසින් වාඩි වී සපත්තු වල ලේස් ලිහමින් තාත්තා යමක් කියන තුරු බලා උන්නාය.

” ඊයේ හුඟක් රෑ වුණා පුතේ.මම එනකොට ඔයා නිදි ” 

චන්දික කීවේ සමාව අයදින ස්වරයෙනි. ඒ ඔහුගේ ස්වභාවයය. මේ තරම් ආදරයක් ඔහු තුළ ඇත්තේ කෙසේදැයි මෞර්යා වරෙක කල්පනා කළාය.

” ඊයේ ඉතින් interview ගිහිල්ලා ,අනුත්තරා වත් හම්බ වෙලා ආවට පස්සේ මට ටිකක් මහන්සි හිතුනා තාත්තා.ඒ නිසා මාත් කලින් නිදා ගත්තා “

” මෙයාට පිස්සු චන්දික. එක්කෝ ඔයත් එක්ක ඔෆිස් යන්න ඕනේ. නැත්තං ගෙදරට වෙලා වෙන මොනවාහරි කරන්න ඕනේ.මේ එක එක්කෙනා ළඟ බාල්දු වෙන්න මොකට යනවද ?”

නිල්මිණී නොරිස්සුමෙන් චන්දික අසලින් වාඩි වූවාය. අම්මාගේ ඔවැනි කතා සාමාන්‍ය ඒවා නිසා මෞර්යා ඒවා පිළිබඳව තැකීමක් කළේ නැත.

” එහෙනම් දැන් තාත්තා ගාව වැඩ කරන සීයක් දෙසීයක් මිනිස්සු කරන්නේ තාත්තට බාල්දු වෙන එකද ? “

මෞර්යා එසේ අසන විට නිල්මිණීට දෙන්නට පිළිතුරක් තිබුණේ නැත.චන්දික ද කට කොනකට සිනහවක් නගා ගත්තා පමණි.

” අම්මා.තාත්තට බිස්නස් තිබුනා කියලා මම ගිහින් ඒවාම වැඩ කරන්න ඕනි කියලා නීතියක් නැහැනේ. පොඩ්ඩක් තේරුම් ගන්නකො අනේ ” 

” නිල්මිණි , ඔයාට අමතකද මේ බිස්නස් දියුණු කරන්න ඔයා මට උදව් කරපු හැටි ? අද මේවා මෙතනට ගේන්න මං තරම්ම ඔයත් මහන්සි වුණා. අනික ඔයා දැකලා තියනවද කවදාවත් මං ,මං ගාව වැඩ කරනන මනුස්සයෙකුට දොස් කියනවා ? ඒ මිනිස්සුන්ව බාල්දු කරනවා ? සමහර මිනිස්සු ඉන්නවා අවුරුදු දහයකට පහළොවකට වැඩිය මං ගාව වැඩ කරන. ඒ ඇයි කියලා ඔයා නොදන්නවා නෙවෙයිනේ ? ” 

” ඒ වුනාට හැම ලොක්කෙක්ම ඔයා වගේ නෑනේ චන්දික. අනේ මන්ද මේ තාත්තගේයි දුවගෙයි වැඩ නම් ” 

නිල්මිණී නැගිට මුළුතැන්ගෙය දෙසට ගිය අතර මෞර්යා සහ චන්දික ඒ දෙස බලමින් හොරහෙන් හිනහුණෝය.

” අම්මා කියන කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි පුතේ. ඒ උනාට ඉතින් ඔයා දක්ෂයි නේ.ඔයාට ඔය කාගෙන්වත් බැනුම් අහන්න වෙන එකක් නෑ. ඔයාට පුළුවන්නේ මාස කීපයක් වැඩ කරලා එතන හොඳ නැත්තං අයින් වෙන්න ” 

” අයින් වෙන්න හරි වැඩ කරන්න හරි තාම ඒ මිනිස්සු මට රස්සාව දුන්නේ නෑනේ තාත්තා ” 

” ඔතන හරි කොතන හරි කොහෙට රස්සාවට ගියත් පුතේ එතැනට අවංකව වැඩ කරන්න මතක තියා ගන්න. එතකොට තමයි ඔයාට තව ඉස්සරහට යන්න අවස්ථාවල් ලැබෙන්නේ. ඔයා දන්නවද මෞර්යා ජීවිතේ මටත් තිබුණා මමත් රස්සාවල් හොයපු කාලයක් ,දැන් මේ ඔයා හොයනවා වගේම. හැබැයි ඉතින් මට ඒ කාලේ තාත්තගේ බිස්නස් තියා මොකවත් තිබුණෙ නැහැ. එහෙම රස්සාවල් කරලා අමාරුවෙන් හම්බ කරගෙන ඉතුරු කරපු සල්ලි වලින් තමයි අම්මව හම්බ උනාට පස්සේ මේ බිස්නස් පටන් ගත්තේ ” 

” තාත්තට අම්මග හම්බුනේ රස්සාවක් කරනකොටද ? ” 

” නෑ. අපේ තාත්තා ගෙනාපු යෝජනාවකින්. ඔය යෝජනාවල් වලින් කෙරෙන කසාද ගැන මට ඒ තරම් විශ්වාසයක් තිබ්බේ නෑ. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ ඔයාගේ අම්මා අඩියෙන් අඩිය උඩට එන්න මට සෑහෙන්න උදව් කරා ” 

චන්දික අතීතය සිහිපත් කළේය. නිල්මිණී මුණගැහෙන්නට පෙර තමා මුහුණ දුන් තවත් කටුක අතීතයක්ද තිබේ. අමතක කළ නොහැකි වේ යැයි සිතුණු ඒ මතකයන් හදවතේ කොනක සඟවා තබන්නට හැකි වූයේ නිල්මිණීගේ ආගමනයත් සමඟය.ව්‍යාපාර කටයුතු වලට කාර්යබහුල වූ නිසා අතීත මතක මතක් නොකර ඉන්නට හැකි වුවද ඉඳ හිටක හෝ ඒ මතක හිත රිදවන අවස්ථා අදටත් චන්දිකට නැතුව නොවේ.

” තාත්ත මොනාදෝ කල්පනා කරනවා ? ” 

චන්දිකගේ මුහුණේ ඉරියව් නිරීක්ෂණය කරමින් මෞර්යා කීවේ සිහින් හඬිනි.

” අද අපේ ජීවිත කොච්චර ලස්සන උනත් අපි හැමෝටම තියෙනවා පුතේ ජීවිතේ රිදිච්ච තැන් . අදටත් සමහර දේවල් මතක් වෙනකොට එදා රිදිච්ච තරමටම රිදෙනවා ” 

එසේ කියූ චන්දික තේ කෝප්පය රැගෙන නැගි සිටියේය.මේ කතාව මෙතනින් එහාට ඉදිරියට ගෙන ගියහොත් තවදුරටත් රිදෙන්නේ තමාගේම සිටය. ඒ නිසා කතාව මෙතකින් නතර කිරීම වඩා හොඳය.

ආදිත්‍යය උදෑසනම සූදානම් වී කාර්යාලයට පැමිණියේ පෙර දිනයේද කාර්යාලයට පැමිණීමට නොහැකි වූ නිසාය. තමා සූදානම් වන විටත් ෂෙහාරා පසු වූයේ තද නින්දේය. විවාහ වූ මුල් දිනවල නම් තමා කාර්යාලයට යන විට ෂෙහාරා කෝපි එකක් සහ උදෑසන ආහාරයට යමක් පමණක් හෝ සකස් කර දුන් නමුත් පසුකාලීනව එයද සිදුවීම නතර වූයේය.

ආදිත්‍ය කාර්යාලයට පැමිණ අසුන් ගන්නවාත් සමග ලිපිගනු කිහිපයක් සමග නෙහාරා පැමිණියේ සිනාමුසු මුහුණිනි.

” good morning නෙහාරා ” 

” good morning සර් ” 

නෙහාරා ලිපිගොනු කිහිපය ආදිත්‍යගේ මේසය මතින් තැබුවේ කොටස් දෙකකට වෙන්කරය.

” මොනාද නෙහාරා මේ ? ” 

” සර් මේ ඊයෙ තිබ්බ interview එකට ආපු අයගේ CV ස් ටික. මේ තියෙන්නේ අභිමන් සර් තෝරපු දෙතුන් දෙනා. මේ තියෙන්නේ අනිත් ටික. අභිමන් සර් මීටින් එකකට එළියට ගියා.සර් ආවොත් මේ ටික බලලා කැමති කෙනෙක්ව තෝරා ගෙන කෝල් කරන්න කියලා මට කිව්වා ” 

ආදිත්‍ය අත තැබුවේ තම සහෝදරයා වූ අභිමන් විසින් තෝරන ලද කිහිප දෙනාගේ ලිපිගොනු වෙතය. ආයතනයට සේවකයන් බඳවා ගැනීමේ රාජකාරියේ දී අභිමන් විසින් ඒ වගකීමෙහි වැඩි කොටසක් ආදිත්‍ය වෙත පවරා තිබෙන්නේ ආදිත්‍ය සුදුසුකම් පිළිබඳව ඉතා මැනවින් සොයා බලා තීරණ ගන්නා බැවිනි.

ලිපිගොනු දෙකක් පමණ හැර බැලූ ආදිත්‍යය ඒවා පසෙකින් තබා තෙවන ලිපි ගොනුවත් දිගහැර ගත්තේය.ඒ වෙනදා තරම් ඕන කමකින් නොවේ. සිත ඒ තරම්ම වියවුලට පත්ව ඇත. තෙවන ලිපි ගොනුව එහා මෙහා කර බැලූ ආදිත්‍ය අවධානය යොමු කළේ එම ලිපිගොනුවේ ඉදිරියෙන්ම තිබූ ජීවදත්ත සටහනේ ඉහල කොණට වන්නට තිබූ අයදුම්කරුවා ගේ ඡායාරූපය වෙතය. 

ආදිත්‍ය පුදුම වූයේය. මේ තිබෙන්නේ තමා කිසිසේත්ම මෙහි බලාපොරොත්තු නොවූ රූපයකි.

” මේ ගර්ල් මෙහෙට ආවද ඊයේ ?” 

ආදිත්‍ය නෙහාරාගෙන් ඇසුවේ ලිපි ගොනුව පෙන්වමිනි.

” ඔව් සර් ” 

” මෙයාව ගන්න. හෙට ඉදන් වැඩට එන්න කියලා කෝල් කරලා කියන්න ” 

” ඕකේ සර් ” 

නෙහාරා සියලු ලිපිගොනු රැගෙන කාර්යාල කාමරයෙන් පිට වූවාය. ආදිත්‍යය එහෙමම සුවපහසු පුටුවේ ඇන්දට හේත්තු වී දෑස් පියා ගත්තේය.

ගලවා තැබූ සපත්තු දෙක අතට ගනිමින් මෞර්යා තරප්පු පේළිය නැග කාමරයට පැමිණියාය. තාත්තා කියූ කතාවේ කුමක් හෝ සැඟවිච්ච අරුතක් ඇතැයි සිතමින් මෞර්යා සූදානම් වූයේ වෙහෙස නිවන තුරු නිදහසේ නා ගන්නටය.ඇඳුම් රාක්කය මත වූ තුවාය අතට ගත් මෞර්යා නාන කාමරයේ දොර විවෘත කරන විටම කණ්නාඩි මේසය මත තිබූ දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. ඒ අමතන්නේ අනුත්තරා යයි සිතුවත් දුරකථන තිරයේ සටහන් වූයේ නන්නාඳුනන ස්ථාවර දුරකථන අංකයකි.

” හෙලෝ ” 

” හෙලෝ. මිස් මෞර්යා ? ” 

” Yes speaking ? ” 

” මිස් මෞර්යා මම කතා කරන්නේ නෙහාරා.Advertz advertising company එකෙන් ” 

මෞර්යා අතවූ තුවාය ඇඳ මතට විසි කළාය. හදවත තිබුයේ සතුටින් ප්‍රබෝධමත් වෙමිනි.

” ඔව් කියන්න ” 

” ඊයේ තිබ්බ interview එකෙන් බොස් ඔයාව තෝර ගත්තා. හෙට උදේ නමයේ ඉඳලා වැඩට එන්න ” 

” අනේ තැන්ක්යූ සෝ මච් ” 

ඇමතුම අවසන් කළ මෞර්යා උඩ පැන්නේ ප්‍රීතියෙන් ඉපිලෙමිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here