දෑසන අවදි වීම කියන්නේ බොහෝ දෙනෙකුට අපහසු කාර්යයක්. නමුත් එයට හුරුවීමෙන් පසුව එය ඉතාම පහසු දෙයක්. ඇත්තටම මේ උදෑසන අවදිවීමේ කාර්යය අපහසු වන්නේ අපේ නිදා ගැනීමට පෙර සහ නින්දේ චර්යාව තුළ තියෙන යම් යම් අසමතුලිතතාවයන් නිසායි. අපි රාත්‍රියේදී ලබා ගන්නා ආහාර සහ පාන වර්ග , අපි නින්දට පෙර ගත කරන අවසාන පැය කිහිපය , දවස තුළ අපට ලැබෙන මානසික ආතතිය ආදී හේතූන් බොහොමයක් මේ නින්දට වගේම උදෑසන අවදි වීමටත් බලපානවා. ඉතින් අද අපි ඔබට කියන්නේ උදෑසන පහට අවදි වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැනයි.
උදෑසන පහට අවදි වෙනවා කියන්නේ මොකක්ද ?
මින් අදහස් වෙන්නේ ඔබ රාත්‍රියේදී කුමන වේලාවක නින්දට ගියත් ඔබ උදෑසන පහට අවදි විය යුතු බව නෙවෙයි. පුද්ගලයෙක් දිනකට අවම වශයෙන් පැය හතක හෝ අටක කාලයක් ගුණාත්මක නින්දක් ලබා ගත යුතු බව ඔබ දන්නවා. ඒ නිසා ඉතා හොඳ දින චර්යාවකට හුරු වී වේලාසනින් නින්දට ගොස් ගුණාත්මක නින්දක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා.එවිට දිනකට ඔබට ලැබිය යුතු නිසි විවේකය ලැබෙන අතර උදෑසන පහට අවදි වීම යනු ඔබට ඉතාම පහසු කාර්යයක්.
ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුණොත් සිදු වන්නේ කුමක්ද ?
නින්ද කියන්නේ පුද්ගලයෙකුට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නිසි පරිදි නින්දක් නොලැබීමෙන් පුද්ගලයෙකුට සෞඛ්‍යමය ගැටලු පවා ඇතිවන්නට පුළුවන්. පුද්ගලයෙකුගේ මතකය , මොළයේ ක්‍රියාකාරිත්වය මෙන්ම හෘද සෞඛ්‍යයට ද නින්ද නොමැතිකම බලපෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නේ නම් ඔබේ ප්‍රතිශක්තිකරන පද්ධතිය දුර්වල විය හැකි අතර ,මානසික අවපීඩනය , දියවැඩියාව සහ බර වැඩිවීම වැනි තත්ත්වයන් ඇති වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති අතර දවසින් වැඩි වේලාවක් ඔබ ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම සිදු වනවා.
උදෑසන පහට අවදි වීමෙන් ඇතිවන ප්‍රතිලාභ මොනවද ?
දවස ආරම්භයේදී ඔබට ආතතියක් දැනෙන්නේ නැත

උදෑසන පහ කියන්නේ ඔබට දවසක් ආරම්භ කිරීමට ඉතාම සුදුසු වේලාවක්. ඒ වගේම ඔබේ දවස ගුණාත්මක කර ගැනීමට ,ඔබ වෙනුවෙන් වේලාවක් වෙන්කර ගැනීමට සහ සැලසුම් සහගත දවසක් ගත කිරීමට හොඳ ආරම්භයක් ගැනීමට මෙවැනි වේලාවක් ඉතාම සුදුසුයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් රැකියාවට යාම සහ රැකියාව ආරම්භ කිරීම සිදු කරන්නේ උදෑසන අටහමාරත් නවයත් අතර කාලය තුළදීයි. ඔබ උදෑසන පහට අවදි වූ විට ඔබ රැකියාවට යන ,රැකියාව ආරම්භ කරන කාලය දක්වා ඔබට ඔබේ දවස ආරම්භ කිරීමට ඉතා හොඳ කාල වේලාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබේ දවස ප්‍රබෝධමත්ව ගත කිරීමට ඔබට අතිශයින්ම අත්‍යවශ්‍ය වන ඔබේ උදෑසන ආහාරය ලබා ගැනීමට පවා ඔබට නිදහස් වෙලාවක් ලැබීම සිදු වනවා.
ඔබ වෙනුවෙන් කාලය ගත කිරීම

ඔබ මොනතරම් කාර්යබහුල වුණත් , ඔබේ දවස මොනතරම් කාර්ය බහුල වුණත් ඔබ වෙනුවෙන් කාලයක් වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මේ කාලය තුළදී ඔබට දවස සැලසුම් කිරීම , ඔබේ දවසට ස්තූති වන්ත වීම , පොතක් කියවීම ,කෝපි කෝප්පයක් පානය කිරීම වැනි දෙයක් හෝ ප්‍රබෝධමත් බව වැඩි කර ගැනීම සඳහා ව්‍යායාම වල නිරතවීම හෝ යෝගා අභ්‍යාස වල නිරත වීම ඔබට සිදු කළ හැකියි. මේවායින් ඔබට ඔබේ දවස ඉතා හොඳ හැඟීමකින් යුතුව ආරම්භ කළ හැකි වෙනවා.
නව සෞඛ්‍ය සම්පන්න පුරුදු වර්ධනය කර ගන්න

උදෑසන පහට අවදි වීමෙන් ඔබේ දවස තවත් දීර්ඝවීමයි සිදු වන්නේ.ඒ නිසා මේ කාලයෙන් ඔබට ඉතා හොඳ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. මේ ගත කරන කාලයෙන් ඔබට ඔබේ මනස සුවපත් කර ගන්නට කුඩා වේලාවක් යොදා ගැනීමට ඉතාම පහසුවෙන් පුළුවන්. යහපත් දේවල් මෙනෙහි කිරීම , භාවනා කිරීම ,ස්තූතිවන්ත වීම , ධනාත්මක දේශනා වලට සවන් දීම හෝ ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගැනීම , ඒවා ලිවීම වැනි කටයුත්තක් සඳහා අළුයම් කාලයේදී විනාඩි දහයක හෝ පහළවක කාලයක් වෙන් කරන්න.එය ඔබේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරන බව ඔබටම වැටහේවි.
පොතක් කියවන්න
පොත් කියවීම වැනි හොඳ පුරුදු මේ වන විට බොහෝ දෙනා ගෙන් ඈත් වී යනවා.ඇත්ත වශයෙන්ම එයට හේතුව වන්නේ කාර්යබහුල ජීවන රටාවයි. නමුත් උදෑසන කාලයේදී ඔබට පොතක් කියවීම සඳහා කාලයක් වෙන්කර ගන්නට පහසුවෙන්ම හැකියාව තියෙනවා. මේ සඳහා ඔබ තෝරා ගත යුතු වන්නේ ඔබේ ජීවිතයට වැදගත් වන ,ඔබේ ජීවිතයට යමක් එකතු කර ගත හැකිවන ,ධනාත්මක කාරණා සහ සිතුවිලි වලින් පිරුණු පොත් පමණයි. මේ පොත් කියවීමේ පුරුද්ද සඳහාත් ඔබට යම් ඉලක්කයක් තබා ගත හැකියි. සෑම දිනකම උදෑසන අවදි වූ පසුව පොතෙන් කොටසක් කියවීම පුරුද්දක් කර ගැනීම සහ සතියක් තුළදී එම පොත කියවා ඉවර කර ගැනීමට ඔබට ඉලක්කයක් තබා ගන්නට පුළුවන්.
ඔබේ දවස ඵලදායි කර ගන්න
උදෑසන පහට අවදි වීමෙන් ඔබට ඔබේ දවස ආරම්භ කිරීමට ඉතා හොඳ කාලයක් තිබෙනවා. ඔබට කලබලයකින් තොරව රැකියාවට යාම සඳහා සූදානම් වීමට පවා කාලය තිබෙනවා. මේ නිසා ආතතියකින් තොර දවසක් ගත කිරීමට වගේම ප්‍රබෝධමත් දවසක් ගත කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. මේ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ ඉතා හොඳ උදෑසන ආහාරයක් ලබා ගැනීමයි. මේ ආහාරය ඔබ කැමති ආකාරයේ එකක් වීමත් ,පහසුවෙන් සකස් කර ගැනීමට හැකි පෝෂදායි එකක් වීමත් අනිවාර්යෙන්ම වැදගත්. ඔබ අවදිවීමෙන් පසුව ගත කරන පළමු පැය කිහිපය සහ ඔබේ උදෑසන ආහාර වේල ඔබේ දවස ඵලදායි කර ගැනීමට අනිවාර්යෙන්ම හොඳ හේතුවක් වනවා.
පරිසරය රස විඳින්න

කාර්යබහුල ජීවන රටාවන් ගත කරන සහ තරගකාරී ලෝකයක ජීවත් වන පුද්ගලයන් වන අපට බොහෝ වේලාවට සොබා දහම මග හැරෙනවා. නමුත් මානසික ආතති තත්ත්වයන් මගහරවා ගැනීමට ,පීඩාකාරී මනසට සහනයක් ලබා ගැනීමට අතිශයින්ම උපකාරී වන සාධකයක් තමයි සොබා දහම සහ පරිසරය කියන්නේ. විශේෂයෙන්ම උදෑසන කාලයේදී ඔබට මිදුලේ වාඩි වී කෝපි කෝපයක් පානය කරන අතරතුර පරිසරයේ සුන්දරත්වය , සොබා දහමේ අසිරිය විනාඩි කිහිපයකට හෝ රසවිඳිය ඔබේ මනසට දැනෙන සුවදායී බව වචනයෙන් විස්තර කරන්නට බැරි වේවි.
ඔබේ දවස ඵලදායි කර ගැනීමට නම් ඔබේ කාලය කළමනාකරණය කර ගැනීම අතිශයින්ම වැදගත්. ඒ වගේම ඔබ උදෑසන අවදි වූ පසුව මුලින්ම ගත කරන පැය කිහිපය ගත කරන ආකාරය ඔබේ සම්පූර්ණ දවසටම බලපානවා. අලුයම පහට අවදි වී දවස ආරම්භ කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ