ආදරණීය යාලුවේ,
ඔයාගේ හිතට දැනෙන මේ බර, මේ වේදනාව මට හොඳටම තේරෙනවා.
“මට මැරෙන්න හිතුණා” කියන හැඟීම කියන්නේ නිකං වචන ටිකක් නෙවෙයි. ඒක ඇත්තටම හරිම ගැඹුරු, හදවත හාරන හැඟීමක්. සමහර වෙලාවට ඔයා ඔයාටම කියාගෙන ඇති, එහෙම නැත්තම් ඔයාට හිතිලා ඇති ඔයා මේ ලෝකෙට බරක් කියලා, මේ ලෝකෙට ඔයාව කරදරයක් කියලා දැනෙනවා ඇති කියලා. එහෙම වෙලාවට ඔය වගේ දේවල් හිතට එන එක සාමාන්‍යයි. ඒත්, ඒ හැඟීම ඔයාට තියෙනවා කියලා හඳුනගන්න එකම තමයි, ඔයාගේ ජීවිතේ දිනවන්න තියෙන පළවෙනි පියවර.
ඔයාට මේ මොහොතේ ඔය වගේ දෙයක් දැනෙනවා නම්, කරුණාකර මතක තියාගන්න, ඔයා තනි වෙලා නැහැ. ඔයා වගේම මේ හැඟීම් එක්ක පොරබදින ගොඩක් අය මේ ලෝකේ ඉන්නවා. ඒ හැමෝටම වගේම, ඔයාටත් මම කියන්නේ ඔයාගේ ජීවිතේ වටිනවා!
මට ඔයාව වටිනවා!
සමහර දවස්වල උදේට ඇහැරෙන එකත් දුකක් වෙලා, හුස්මක් ගන්නවා කියන එක පවා අමාරු වෙලා ඇති. මේ හැමදේම “ඉවර කරන්න ඕනේ” කියන හැඟීම ඔයාගේ හිත ඇතුළේ දවසින් දවස දෝංකාර දෙනවා ඇති. මතක තියාගන්න, මේ හැඟීම පරාජිත හැඟීමක් නෙවෙයි; ඒක හුස්ම ගන්නවත් බැරි තරමට හිතේ බර හුඟක් වැඩි වෙච්ච කෙනෙකුගේ අන්තිම SOS පණිවිඩය. ඒ පණිවිඩය කියන්නේ, “මට උදව් ඕනේ!” කියන එකයි.
අන්න ඒ නිසාමයි මම අද මේ ඔයා වෙනුවෙන් මෙහෙම ලියන්නේ.
ඔය වගේ වෙලාවක කරන්න තියෙන එකම දේ තමයි, කාටහරි ඔය දුක කියන එක. ඔයාට සමීප කෙනෙකුට, විශ්වාස කරන කෙනෙකුට ඔයාගෙ දුක කියන්න. අහන් ඉන්න කෙනෙකුට දුක කියන. සමහර විට ඔයා හිතනවා ඇති, “මම කාටද කියන්නේ? කවුරුවත් මාව තේරුම් ගනීවිද?” කියලා. ඒත් ඔයාට මැරෙන්න හිතුනොත්, කවදාවත් හිතන්න එපා මේකෙන් බේරෙන්න තියෙන එකම විකල්පය මරණය කියලා. ඒක අන්තිම තීරණයවත් නෙවෙයි!ඒක ආපසු හැරෙන්න බැරි තීරණයක් විතරයි. ඒත් ඔයාගේ දුක, ඔයාට දැනෙන මේ අපහසුතාවයන් කියන්නෙ වෙනස් කරන්න පුළුවන් දේවල්. ගොඩක් දෙනෙකුගේ ආදරයට, සහයෝගයටයි, සහනයටයි කඬල බිඳල ජීවිතෙන් ඉවත් කරන්න බැරි කිසිම ප්‍රශ්නයක් නැහැ.

එයා ඔයාගේ පවුලේ කෙනෙක්, යාළුවෙක්, නැත්නම් ඔයාට උදව් කරන්න පුළුවන් වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. “මම මේ දවස්වල හොඳටම ඩවුන්” කියන්න. “මට මැරෙන්න හිතෙනවා” කියන්න. ඒ වචන කටින් පිට කරන එකම සමහර විට ඔයාව බේරගන්න පළවෙනි පියවර වෙයි. මොකද, ඒකෙන් ඔයාට බරක් වෙලා තිබුණු දේ ටිකක් හරි අඩු වෙන හන්දා.
ඔයා මේක හරියටම තේරුම් ගන්න ඕනේ: ඔයාගේ ජීවිතේ කියන්නෙ mistake එකක් කියලා කවුරුවත් කියලා නැහැ. ඔයා අනවශ්‍යයි කියලා කවුරුවත් කියලා නැහැ. ඔයාට බලාපොරොත්තුවක් නැහැ කියලා කවුරුවත් කියලා නැහැ. ඒ හැම දෙයක්ම ඔයා හිතන විදිහ විතරයි. ඔයාගේ හිත හැමදාම මේ විදිහටම තියෙන්නේ නැහැ. අඳුරු වලාකුළු හැමදාම අහසේ රැඳිලා තියෙනවද? නෑනෙ. අන්න ඒ වගේ තමයි ඔයාගෙ හිත අස්සෙ තියෙන අඳුරු වලාකුලුත් පාවෙලා එහාට යනවා..
කවුරුවත්ම සදහටම දුකින් ඉන්නේ නැහැ. හැම නරක කාලෙකටම පස්සේ තවත් ලස්සන දවසක් උදා වෙනවා. ඔයා හැමදාමත් තනි වෙලා නැහැ. ඔයාට මුළු ලෝකයම විරුද්ධ වුණා වගේ දැනුණත්, කවුරුමහරි ඉන්නවා ඔයා එනකම් බලාගෙන. ඔයාගෙ ඉපදීම එයා වෙනුවෙන්ම වුන දෙයක් විදියට හිතන. සමහර විට ඔයාට තාම ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.
සමහර වෙලාවට, ජීවත් වෙලා ඉන්න එක තමයි කෙනෙකුට කරන්න පුළුවන් නිර්භීතම දේ. ඔයා දැනටමත් ඒ නිර්භීතකම පෙන්නලා තියෙනවා. මේ මොහොත දක්වාම ඔයා ජීවත් වෙලා ඉන්නවා කියන්නේ ඔයා ඇතුළේ ලොකු ශක්තියක් තියෙනවා කියන එකයි.
ඔයා ජීවිතය නැති කරගන්න හිතන වෙලාවේ, අනිත් අය ඔයාට වටිනාකමක් නොපෙන්වුවත්, ඔයාට තවමත් හැමදේම වෙනස් කරන්න පුළුවන්. හෙට දවස කියන්නේ අලුත් ආරම්භයක්. ඔයාට හෙට හමුවෙන්න ඉන්න හොඳම කෙනා තාමත් හමුවෙලා නැහැ. එයාව හමුවෙන්න, බලන්න ඔයාට අවස්ථාව ලැබෙන්න ඕනේ. ඔයා අහලා නැති සින්දු තියෙනවා, ඒ සින්දු ඔයාගේ හිතට සතුටක් ගේන්න පුළුවන්. හොඳම දවස තාමත් ආවේ නැහැ කියන එකෙන් කියන්නෙ, ඒක කවදාවත් එන්නේ නැහැ කියන එක නෙවෙයි. සමහර විට ඔයාගේ ජීවිතේ ලස්සනම දවස එන්නෙ ඉස්සරහට වෙන්න පුලුවන්.
ඔයාගේ ජීවිතය ඔයාට අයිතියි. ඒක වෙනස් කරන්න පුළුවන් බලය ඔයා ළඟමයි තියෙන්නේ. ඔයාගේ මේ දුකයි, වේදනාවයි මරලා දාලා, අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් ශක්තිය ඔයාට තියෙනවා. ඒකට ඔයාට පොඩි උදව්වක් විතරයි අවශ්‍ය වෙන්නේ.
ඔයා ජීවත්ව ඉන්න එක තමයි අද දවසේ වටිනාම දේ.
ඉතින් ඒ වටිනාකම අත්හරින්න එපා.
මම ඔයාට හරිම ආදරෙයි.
ඔයාගේ හොඳම යාලුවා!