“විදුර මන්ත්‍රීතුමා සුයිසයිඩ් කරගෙන” ය යන පුවත ලක්ෂිත සොයා ආවේ වේදනාවේත්, බලාපොරොත්තු බිඳ වැටීමේත් මූණිස්සමක් පරිද්දෙනි. තාත්තා මෙලොව නැති තැන තමන් විසින් මෙපමණ කාලයක් පුරාවට කිසිත් බියක් නොමැතිව කරන්නට යෙදුණ අකටයුතුකම්වල දරුණු ප්‍රතිපලවලින් තමන්ව බේරාගන්නට කෙනෙකු නොමැතිය යන හැඟීම ඒ සීතල සිර කූඩුවේදි ලක්ෂිතව බියෙන් තිගස්සවන්නට හේතු වී තිබුනේය.
ඒ තිගැස්සීම නිසාවෙන්ම ලක්ෂිත හැසිරුණේ උමතු වූවෙකු පරිද්දෙන් ය. ඒ අතර සැමියා අහිමි වූද එක් පුත්‍රයෙක් සිර කුඩූවේද උන් අනෝමා උන්නෙ මුලු ලොවම අහිමි වූවෙකු පරිද්දෙනි. තමන්ට මේ ලොව දැන් තමන්ගේ කියා කෙනෙකුට හිඳින්නේ වැඩිමහල් පුත්‍රයා වූ අරුණ පමණක් ය යන සිතුවිල්ලම අනෝමාට අරුණට කතා කොට තමන්ගේ දුක් ගැනවිල්ල කියන්නට හේතු විය.
“මමයි පටාචාරගෙයි වෙනස මොකද්ද කියල මං මේ දහ අතේ කල්පනා කරනව පුතේ” කියා කියද්දී උනත් අම්මාගේ කටහඬේ තිබුනේ දුකකට වේදනාවකට වඩා ඉච්ජා බංගත්වයට පැමිණි බවක් බව දුරකතන ඔස්සේ වුවද හඳුනාගන්නට අරුණට පුලුවන් විය.
අරුණ ෆෝන් එක කනට තද කරගෙනුන්නේ, අම්මාගේ කටහඬේ තිබුණු බිඳුණු හැඟීම දරාගන්නට බැරුව මෙනි.ඒ කටහඬේ තිබුණේ මින්පෙර තමන් කවදාවත් අහලා නැති තරම් බලාපොරොත්තු සුන්වීමක් බව අරුණට නොතේරුණා නොවේ.
“එහෙම කතාකරන්න එපා අම්මෙ. පහුගිය දවස්වල අපිට උනේ අපිට වෙන්න ඕන විදියෙ කරදරද කියන ප්‍රශ්නෙ මගෙ හිතටත් ආවත් අම්මම නේද පුංචි කාලෙ මට කියලා දුන්නෙ අපිට කවද හරි පලදෙන්නෙ අපි කරපු වැරදිම, පව්ම තමයි කියලා” අරුණ අම්මා සනසනු පිණිස ඒ වදන් දෙතොලෙන් පිටකරගත්තේ බොහෝ ශක්තියක් වැය කරය.
“බණ කියන්න කොච්චර ලේසි උනත් ඒවා ඇත්ත ජිවීතේට ආදේශ කරගන්න කොච්චර අමාරුද කියල මට තේරුණෙත් මේ හැමදේම වෙද්දි පුතේ. පිට මනුස්සයෙක්ට කරදරයක් වෙද්දි එහෙම වෙන්නෙ කරපු පව් හන්දා කියලා කියන්න අපිට ලේසි උනාට අපිට දෙයක් වෙද්දි අපි කැමති නෑ ඒව වෙන්නෙ අපේ පව් හන්දා කියලා කියන්න.
මමයි පටාචාරයි අතරෙ තියෙන එකම වෙනස මට තාම මෙහෙම කතාකරන්න හරි ඔයා කියලා කෙනෙක් ඉන්න එක විතරයි දරුවො. මගෙ මනුස්සයා මැරිලා ගියා. ඒ මැරෙන්න කලින් උනත් ඒ මනුස්සය මේ ගෙදරක උන්නෙ නෑ. මගෙ එක දරුවෙක් හිරේ ලගිනවා. මේවා දැක දැක ජීවත්වෙන්න තරම් මම කරපු පව මොකද්ද කියන එක මට හිතාගන්න බෑ පුතේ”
“අම්මා, ඔයාට මතකද අපි පොඩි කාලේ, ඔයා හැමදාම කිව්වා අපිට මොන දේ වුණත්, අපි එකට ඉන්න තාක් කල්, අපිට ඕනෑම දෙයක් ජයගන්න පුළුවන් කියලා? දැන් තමයි අම්මා ඒ වචන මට මතක් වෙන්නේ. මම ඉන්නවා ඔයාට. මල්ලි හිරේ ගිය එක පස්සෙ මම ඉන්න එක හන්දා අම්මා මාත් එක්ක අමනාපෙන් ඉන්නවද කියන්න මම දන්නෙ නෑ අම්මෙ.ඒත් මම කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ. මේ හැමදේම ඉක්මනින්ම ඉවර වෙන්නයි අම්මෙ ඕන. එතකන් අපිට මේ හැමදේම දරාගෙන ඉන්නයි වෙන්නෙ. ඊටපස්සෙ හැමදේම හොඳ අතට හැරේවි අම්මේ” කියා අරුණ කිව්වද අනෝමා උන්නේ ඒ වදන් වලට උන්මත්තකව මෙන් හිනාවෙමිනි.
“හැමදේම හරියාවි ආයෙ හොඳින් ඉන්න පුලුවන් වෙයි කියලා ඔයා කොහොමද පුතේ කියන්නේ? කොහොමද මම හොඳට ඉන්නේ? තාත්තා ආයෙ එනවද? මල්ලි ආයෙ එනවද? නෑ නේද? වැරදි කරන්න ඇති පුතේ ඒත් ඒ තාත්තයි මල්ලියි. මොන වරද කරත් මං කොහොමද ඒ මිනිස්සු දෙන්න මගෙ පවුලෙ මිනිස්සු කියල අමතක කරන්නෙ?” කියා අම්මා හඬද්දී අරුණ ගැඹුරු හුස්මක් ගත්තේය. ඔහුට ඕන වුණේ අම්මාගේ මේ සිතුවිලිවලින් ඇයව ගලවාගෙන යථාර්ථයට ගෙන එන්න වුවද “මනුස්සයෙක් ප්‍රශ්නෙක එරිලා ඉද්දි ඒක අහගෙන ඉන්න එක වටිනවා අරුණ තේරුම් කරලා දෙන්න යනවට වඩා” කියා තමන්ගේ ජ්‍යේශ්ට නීතිඥවරයා වරෙක කිව් කතාව අරුණ ආයෙම වතාවක් සිහියට නගා ගත්තේය.
“සමහර දේවල් තියෙනවා නේද අම්මෙ අපිට කවදාවත් වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ නැති? තාත්තගෙයි මල්ලිගෙයි සිද්දියත් ඒ වගේ අම්මේ. ඒත් ඒ දෙන්නටම ලැබිච්ච එහෙම නැත්තම් ලැබෙන්න තියෙන දඬුවම් දෙකම වැරදි තීරණ නෙවෙයි. ඒ දඬුවම් ඒ දෙන්නට ලැබෙන්නම ඕන ඒව. අම්මා ඒක හොඳටම දන්නවා නේද? අපේ හිතට මේ සිද්දිවලින් දුක හිතෙන්නෙ ප්‍රශ්නෙට මූන දීලා ඉන්නෙ අපේ පවුලෙ දෙන්නෙක් හන්දා අම්මේ. ඕක වෙන පවුලක මනුස්සයෙක්ට උනා නම් අපි අර හැමතිස්සෙම කියනවා වගෙ ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක්කල් දෙන දාර්ශනික උත්තරයක් දීලා අපි ඒ දිහා බලන්න තිබුණා.
අපිට ඕන විදිහට දේවල් හැමදාම පාලනය කරන්න බෑ අම්මෙ. ඒ වගෙම තමයි හැමදාම පවර් එක එකම මනුස්සය අතේ තියෙන්නෙ නෑ. ඕනම මනුස්සයෙක් පවර් එක අතට අරගෙන දෙයක් කරද්දි තේරුම් ගන්න ඕන අද තමන්ගෙ අතේ තියෙන ඒ පවර් එක හෙට වෙන කෙනෙක්ගෙ අතට යන්න පුලුවන් කියලා. ඒ හන්දාම තමන් ඒ පවර් එක පාවිච්චි කරන්න ඕන වෙන කෙනෙක්ගෙ අතට ඒ පවර් එක ගිය දවසට තමන්ගෙ අත පිච්චෙන්නෙ නැති විදියට කියලා. තාත්තා වගේ දේශපාලනේ කරන මනුස්සයෙක් දැනගෙන උන්නෙ නැති පවර් එක සම්බන්ධ ලර්නින් එක ඒක අම්මේ” කියා අරුණ කියද්දි ලක්ෂිත උන්නේ හිර කූඩුවේ එහා මෙහා පිස්සුවෙන් මෙන් ඇවිද යමින් තමන්ගෙ අතෙන් ගිලිහී වෙන අයෙකුගේ අතට ගොස් තමන්ගෙ මුලු ජීවිතයම පුච්චා දමන්නට හේතු වූ ඒ බලය ගැන කල්පනා කරමින් ය.
ඉනුත් පැය ගාණකට පස්සේ, ලක්ෂිතව පරික්ෂා කිරීමට වෛද්‍ය විමුක්ති ඔහුගේ දෙවෙනි ඇගයීම සඳහා ආපහු එනතුරුත් ලක්ෂිත උන්නේ එක දිගටම හිර කුටියේ එහෙ මෙහෙ ඇවිද යමින් දහසක් දේ කල්පනා කරමින් “මේ මල කරදරෙන් ගැලවෙන විදියක්” ගැන කල්පනා කරමින් ය.
“ලක්ෂිතගෙ තාත්තා සුයිසයිඩ් කරගෙන විත්තිය ලක්ෂිත දන්න බව මට වෝඩන් කිව්වා” කියා වෛද්‍යවරයා කියද්දිත් ලක්ෂිත ඔහු දෙස බැලුවේ ඒ සියලු බලාපොරොත්තු බිඳින උන්මත්තක දෑසිනි.
“ඔව් තාත්තා වෙඩි තියාගෙන” කියා කියද්දි ලක්ෂිතගේ කටහඬේ තැවරී තිබුනේ මෙතෙක් දිනක් ඔහු විසින් තමන් සියලු දෙනා වෙත එල්ලකරන්නට හේතු වුන බලයෙන් උදම් වුණ හඬ නොවන බව විමුක්තිට නොතේරුණා නොවේ.
“ලක්ෂිතට කොයි විදියටද මේ ඉන්සිඩන්ට් එක දැනෙන්නෙ? දුකක් කරදරයක් වේදනාවක් වගේ මොන විදියටද?”
“මට තියෙන්නෙ තරහක්. තාත්තා මාව බේරගන්නවා කියල පොරොන්දු වෙලා එයාව විතරක් බේරගත්තෙ ඇයි කියල මට තියෙන්නෙ තරහක්”
ලක්ෂිත ඇසිපිය හෙළුවේය. “…මම දන්නේ නෑ.” කෙටි නිශ්ශබ්දතාවයක් විය. ඉන්පසු, පොඩි දරුවෙකුගේ මෙන් බොළඳ හඬකින් ඔහු තවදුරටත් කීවේ, “මම හිතුවේ තාත්තා මාව බේරගනීවි කියලා. මම ඇත්තටම හිතුවේ තාත්තා මොනවහරි කරලා මාව එළියට ගනී කියලා. ඒක තමයි ප්ලැන් එක උනේ. මම කවදාවත් හිතුවේ නැහැ මාව මෙහෙම හිරවෙයි කියලා. මිනිස්සු කවදහරි මට ප්‍රශ්න දාවි කියල මම දැනන් හිටියා ඒත්… මෙච්චරකල් තාත්තා හිටියා. හැමදාම හිටියා. ඒ වෙච්ච හැමදේම වහලා දාන්න”
“ලක්ෂිත පසුතැවෙනවද මේ වෙච්ච හැමදේම ගැන? ලක්ෂිත හොඳටම දන්නවා තියෙන සාක්කි එක්ක ඔයා මොනවා කිව්වත් උසාවියෙදි ඔප්පු වෙනවා කියල ඔයා වැරදිකාරයෙක් කියන එක”
“මට කියන්න ඕන හැමදේම මම දැනටමත් කියලා ඉවරයි.”
“නෑ ලක්ෂිත කරේ ලක්ෂිතගෙ තාත්තා හරි කවුරුහරි ලක්ෂිතට කියන්න කිව්ව දේ කියන එක විතරනෙ. මට දැනගන්න ඕන ලක්ෂිතට මතක තියෙන දේ. කිසිම ෆිල්ටර් එකක් නැතුව.. ලක්ෂිතට හිතෙන්නෙ නැද්ද තමන්ගෙ ගෙදරට ආව ඒ පොඩි දරුවට මෙහෙම නොකර ඉන්න තිබුනා කියලා”
“මම එයාව බලෙන් ඇල්ලුවේ නෑ,” ලක්ෂිත කෑගැසුවාක් මෙන් කීවේය. එකවරම ඔහුගේ කටහඬ ඉහළ ගියේය. ඒ වනාහී අපරාධකරුවන් වැරදිකරවන් පාවිච්චි කරන ඩිෆෙන්ස් ටෙක්නික් එකක් බව මෙවන් විෂයන්හි බොහෝ අත් දැකීම් ඇති විමුක්ති දැනගෙන උන්නේය.
“නෑ ලක්ෂිත ඔයා ඇල්ලුවෙ බලෙන්ද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. ඔයා අල්ලපු රීසන් එකයි ප්‍රශ්නෙ. එයා මයිනර් කෙනෙක්. ඒක ලක්ෂිත දන්නවා නේද?”
” අකමැත්තෙන් හිටියා නම් ඒකි ඇයි මාත් එක්ක කතාකරේ? මං කාමරේට එන්න කිව්වම ආවෙ? මං කරපු විහිලුවලට හිනා උනේ? මම කිසිම දෙයකට බල කළේ නෑ. ඒකි දැන් සුදනි වෙන්න හැදුවට.
මට මේ වෙච්ච දේ ගැන පසුතැවීමක් නෑ. හැබැයි මට වෙච්ච නැති දෙයක් ගැන පසුතැවීමක් තියෙනවා” කියා ලක්ෂිත කියද්දි විමුක්ති කිසිත් වචනයක් නොකියා ලක්ෂිත දිහාවම බලාගෙන උන්නේ නිහඬව ප්‍රශ්නයක් විමසමිනි.
“මේ වෙච්ච දේවල් හැමදේම උනේ මට ඕන දේවල් මං ඒකිගෙන් කරගත්තට පස්සෙ නම් මං පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නැතුව ඉන්න තිබුණා”