අරුමැති ආදරයක් – 29

0
1799

නිමේෂ් කළුතරට පැමිණියේ කාර්යාලයේ උන් තම බිරිඳව වෛද්‍යවරයෙකු හමුවට කැඳවාගෙන යාම සඳහාය. විවාහ වී වසර හතක් ගතව තිබුණත් තවමත් දරු සුරතල් බලන්නට ඔවුනට අවස්ථාවක් උදා වූයේ නැත. දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවීමට තීරණය කළේ එනිසාය. කලක් තිස්සේ පානදුර රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුගෙන් ඒ සඳහා උපදෙස් ලබාගත්තත් ඵලක් වූයේ නැත. අද හමුවන්නට යන මේ වෛද්‍යවරයා ගැන විස්තර කියා තිබුණේ බිරිඳගේ කාර්යාලීය මිතුරියකි. නිමේෂ් බස්නැවතුම්පොළ පෙනෙන නොපෙනෙන දුරකින් වාහනය නවතාගෙන  සිටියේ කාර්යාලය අසලට යාමට තවත් අඩ හෝරාවක් පමණ වන නිසාය.

අපූර්වා තරුණයකු සමග ඇවිද එන අයුරුත්. පාර පනිද්දී සේම, ඉදිරියට ඇවිද යද්දීත්  ඔහු ඇය ආරක්ෂා කරන්නට වෙහෙස දරනා අයුරුත්. ඉන්පසු ඔහුගේ විසෙල්  වර්ගයේ ජීප් රථයට නැගී යන අයුරුත් නිමේෂ් බලාගෙනය. ඔහු තම පියාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඉන් පසුවය.

නිශ්ශංක වූයේ තම බිරිඳ සමග කතා කරමින් ආලින්දයට වී ගෙනය. ඊයේ දින,  මියගිය සොහොයුරාගේ බිරිඳ සොල්දර ගෙදර වත්තට පැමිණීම නිශංකගේ සේම ඔහුගේ බිරිඳගේ සිතෙහි ඇති කර තිබුණේ අමුත්තකි. මුවින් නොකිව්වත් මොකක්දෝ නපුරක් අත ලඟ වෙතැයි නන්දිතාට දැනෙමින් තිබිණ.

“ලොකු පුතා..

නාද වෙන ජංගම දුරකථනය අත තබාගෙන නිශ්ශංක බිරිඳ දෙස බැලුවේ එසේ පවසමින්ය.

“ඇයි දන්නෙ නෑ ඩොක්ටර් කෙනෙක් ලඟට යනවා කියලා කිව්වනේ..”

නිශ්ශංක දුරකථනය කන තබා ගත්තේ ‘ලොකු පුතා මොකද….’ යැයි පවසමින්ය.

“තාත්තේ…..මම මාර වැඩක් දැක්කනේ..”

“ඇයි මොකක්ද…..”

අරකි කොල්ලෙක් එක්ක වාහනයක නැගලා ගියේ.

“කවුද අරකි කියන්නේ..”

නිශ්ශංක එසේ ඇසුවේ කුතුහලයෙන් මහත් වී ඇති තම බිරිඳගේ දෑස් දෙස බලාගෙනය.

“ලොකු තාත්තගේ කෙල්ල අපූර්වා..”

“අම්මපා ඒ කොහෙදීද…”

“කළුතරදි.”

“වාහනයක නැගලා ගියාය කියලා කිව්වේ..”

“කොල්ලෙක් එක්ක. බස් හෝල්ට් එකේ ඉඳලා ඇවිල්ලා ඒ කොල්ලත් එක්ක පාර පනිද්දි තමයි මං දැක්කේ. තාත්තෙ හොඳ තැනක කොල්ලෙක් වගේ.”

“කවුරු හරි දන්න අඳුරන කෙනෙක් වෙන්න ඇති බං”

“නෑ..නෑ..ඒ කොල්ල මේකිව පරිස්සම් කරගෙන ගිහිල්ලා වාහනේට නග්ග ගත්තේ. රතුපාට විසෙල් එකක්.” 

“නෑ…..එහෙනම් දලකාරයෙක්ගේ ඇගේ එල්ලිලද දන්නේ නෑ.”

“මටත් ඒකම තමයි හිතුනේ.”

“පොඩ්ඩක් පස්සෙන් ගිහිල්ලා බලන්න එපැයි බං..උඹලට ඒ වගේ දේකට මොළයක් පහල වෙන්නෙ නෑනේ..ඇඟිල්ලෙන් ඇනලා කියනකල් බලන් ඉන්නවා”

නිශ්ශංක දුරකථනය විසන්ධි කළේ තම වැඩිමහල් පුතු සමග ඇති වූ කෝපයෙන්ය. 

“ඇයි මොකද වෙලා තියෙන්නේ?..”

“අපූර්වා කොල්ලෙක් එක්ක වාහනයක නැගලා යනවා දැක්කලු. ඌ ඒක බලාගෙන ඉඳලා මට කියනවා. පොඩ්ඩක් පස්සෙන් ගිහිල්ලා යන්නේ කොහෙද එන්නේ කොහෙද කියලා බැලුවනම් නරකයි. මොළයක් කියල නාමයක් නෑ.”

“ඒ ළමයි ගියේ දොස්තර ළඟට.”

“දොස්තර මොකෝ අද හවසට ලංකාවෙන් යන්නෙ නෑනේ. අද නැත්නම් හෙට දොස්තර ළඟට යන්න බැරියැ. මේක එහෙමද. 

ඒකි කෝටි ගානක වාහනයක නැගලා යන්නේ මොකටද කියලා හරි බලන්න එපැයි. ඇඟපත හැඩට තියෙන කෙල්ලනේ.”

“බැලුවයි කියලා ඔහේ මොනවා කරන්නද…”

“අපිට වඩා ඉහළ තැනක එකෙක් ද පහළ තැනක එකෙක් ද  කියල බලාගන්න එපැයි. මං කොහොමටවත් උන්ට අපිට වඩා උඩ යන්න ඉඩ තියන්නෙ නෑ.” 

නිශ්ශංක ගෙතුළට ගියේ කෝපයෙන්ය. ඒ හා සමගම නන්දිතාට  සිහිවූයේ අපූර්වාගේ රුවය. පසුගිය දිනක ඈ හන්දියේ කඩය අසල සිටිනු නන්දතා දුටුවේ සැමියා සමග නගරයේ සිට නිවසට එද්දීය. පාන් ගෙඩියක් ගන්නට සිතා කඩය  අසල වාහනය නතර කලත් නිශ්ශංක ඒ සැණින්ම යළි වාහනය පණ ගන්වා ගනිද්දී නන්දිතා ඔහු දෙස බැලුවේ මවිතයෙන්ය. 

“අර කෙල්ල ඉන්නවා….අපූර්වා..දැන් කඩේ සෙනඟ ඉන්න වෙලාව. ඔතන ඉන්න එවුන් මට හින්ට් පාස් කරන්න බැරි නෑ.”

නන්දිතා බොහෝ කාලයකට පසුව අපූර්වා දුටුවේ එවේලෙහිය. ඒ සුදු ගවුමෙන් හැඩවී මීට වසර දෙක තුනකට ඉහතදී දුටු යුවතිය නොවේ. අඟපසඟ පිරී වැඩි උන් තරුණියකි. ඩෙනිම් කලිසමට උඩින් ඕ ඇඳ සිටියේ සැහැල්ලු ටී ෂර්ට් එකකි. ලේයර් හැඩයට කපා තිබූ උකුල තෙක් දිගකොණ්ඩය ඕනෑවට එපාවට වැවී තිබුණාට එහි අවලස්සනක් වූයේ නැත. මොන ඇලයෙන් බැලුවත් ඈ ලේලිලා තිදෙනාටම වඩා රූමත්ය.

කාන්තීට  දරුවා ලැබෙන්නට සිටියේ ඔවුන් සියල්ලෝම සොල්දර ගෙදර ජීවත් වද්දීය. එවකට නිශ්ශංකත් නන්දිතාත් වර්තමානයේ ජීවත් වන නිවසෙහි ඉදිකිරීම් කටයුතු වූයේ අවසන් අදියරේය. දරුවා ලැබෙන්නට පෙර එම නිවසෙහි පදිංචියට ගියත් නිශ්ශංකත් නන්දිතාත් කාන්ති රෝහ‍ලේ සිට නිවසට පැමිණෙද්දී සෝල්දර ගෙදර රැඳී සිටියහ. රෝස මලක්වන් සුන්දර කෙළි පැටික්කිය නන්දිතා අත තැබුවේ සොහොයුරාමය. ඉඳි කටු තුඩකින් අනින්නාක්වත් සියුම් වේදනාවක් තම හදවත පසාරු කරගෙන යන අයුරු දැනුනා නන්දිතාට මතකය. ඒ රිදුම ඊර්ෂ්‍යාව නිසාම හටගත් එකක් බව විශ්වාසය. දිගු සුසුමක් මුදාහළ නන්දිතා නිවස තුළට ඇවිද ගියේ යළි යළිත් දැනුණු ඒ රිදුමට හදවත පාරවා දමන්නට ඉඩ දෙමින්ය. පුතුන් තිදෙනෙකු හැඳුවාට අද ඇගේ ජීවිතය ගෙවී යන්නේ පාළුවෙන්ය, තනි කමින්ය. ලේලියන්ට සමීප වීමේ හැකියාව ඇත්තේ

සීමා සහිතවය. ඒත් හිත රැවටීමක්යැයි නන්දිතා විශ්වාස කළාය.

                                     ***************

වෙරළ තීරය දිගේ කිලෝමීටර් එකහමාරක් පමණ ඇති ගිය වාහනය නතර වූයේ සුන්දර පොල් රුප්පාවක් අසබඩය. එහා පසින් වූයේ සිමෙන්ති බංකු කිහිපයකි. විවේකයෙන් කාලය ගත කිරීම සඳහා මුහුදු වෙරළට පැමිණෙන සංචාරකයන්ට ආහාර පාන ලබා ගැනීමේ පහසුව පිණිස ඒ සිමෙන්ති බංකු සාදන්නට ඇතැයි අපූර්වාට සිතුනේ දුරදීමය. වෙරළ උද්‍යානය නඩත්තු කරන්නට වෙනමම සේවක පිරිසක් විය. 

“මෙතන හොඳයි නේද…..”

යුගාෂ් ඇසුවේ සිනහ මුසුවය. එතරම් ජනකායක් නොසිටි වෙරළ උද්‍යානය සැබවින්ම සුන්දර එකක් විය.

“හොඳයි සර්….”

“එහෙනම් හොඳ ළමයා වගේ චුට්ටක් වෙලා ඔහොම ඉන්න. මං අර ෆුඩ් සිටි  එකට ගිහිල්ලා වතුර බෝතලයක් අරගෙන එන්නම්.”

අපූර්වා හිස වැනුවා මිස කිසිත් නොකීවාය. අවසන ඈ යුගාෂ් පාර පැන එහා පසට යන අයුරු බලා සිටියේ වාහනයේ සිටමය. ඔහුවන් පුද්ගලයෙකුට මේ සා  සැහැල්ලු විය හැකිදැයි ඈ සිතුවේ මවිතයෙන්ය. 

යුගාෂ් ආපසු පැමිණියේ වතුර බෝතලයක් පමණක් නොව කඩ චෝරු මල්ලක් රැගෙනය.

“බහින්න…..මේක ඔයාට…..”

යුවතිය ඔහු අත වූ මල්ලට එබුනේ පුදුමයෙන් දෑස් විසල් කරගෙනය. 

“මේ ඇයි සර්…..”

“ඒ ටික ඔයාට….කෙල්ලෝ කඩ චෝරු කන්න කැමතියි නේ. බත් එක ගත්තට පස්සේ ඔය බෑග් එකේ දාගන්න පුළුවන් නේද..”

“පුළුවන් සර්.. ඒත්…මේවා ගණන් නේ.”

“අද ණයට හෙට මුදලට…එහෙම ගහල තියෙනවනේ කඩවල්වල. බයවෙන්න එපා මං සල්ලි ඉල්ලන්නේ නෑ. ඔයා මට දීපු තෑග්ගට මං ඔයාටත් තෑග්ගත් දුන්නා.”

බලා සිතෙන්නට ආස හිතෙනා තරම් ඔහු සැහැල්ලුය. ඔහු කතා කරන්නේ මුවින් පමණක් නොව ඒ දෑස් ද  කතාවෙහි  තාලයට, හැඩයට වෙනස් වේ. වෙලාවකට ඔහු තුළින් ඉපදෙන්නේ හිතුවක්කාරී තරුණයෙකි. තවත් විටෙක ඒ සැහැල්ලුව පලාගොස් ඔහු කල්පනාකාරී වේ. ඒ කෙසේ වුවත් ඔහු ආදරනීය මිනිසෙකි.

අපූර්වා බංකුවක් මතින් අසුන් ගත්තේ ඔහු පසු පසින් ඇවිද යමින්ය. එවේලෙහිත් ඒ දෑස් වල වූයේ කඳුළකි. 

“ඇයි මේ…..”

“මට තාත්ත මතක් උනා සර්. මං ඉල්ලුවත් නොඉල්ලුවත් තාත්තා හමදාම හවසට ගෙදර එද්දි මේ වගේ කඩ චෝරුවක් අරගෙන එනවා. ගොඩක් දවස් වලට අම්මා කියනවා කෙල්ලට කඩ චෝරු කවකව ඉඳලා හරියන්නෙ නෑ හොඳට උගන්න ගන්න ඕනෙ කියලා. සමහර වෙලාවට මිල වැඩි දෙයක් අරගෙන ආවොත්  තාත්තා මට ඒක දෙන්නේ අම්මට හොරෙන්. හැබැයි ඉතින් අහු උනාට පස්සේ අන්තිමට දෙන්නම බැනුම් අහනවා.”

“ඔයාට හිටියේ ජීවත් වෙලා ඉඳපු කාලේ ඔයාට ගොඩක් ආදරේ කරපු තාත්තා කෙනෙක්. ඒත් අපූර්වා දන්නවද මගේ තාත්තා ජීවත් වෙලා ඉඳලත් මට මතක නෑ එයා මට ටොපියක්වත් ගෙනත් දුන්නා. සමහරවිට මං තාත්තගෙන් කිසිම දවසක කිසිම දෙයක් ඉල්ලලවත් නැතුව ඇති. අපි ගොඩක් වෙලාවට හිතනවා ප්‍රශ්න තියෙන්නේ අපිට විතරයි කියලා දුක් විඳින්නේ අපි විතරයි කියලා. ඒත් අපූර්වා අපිට වඩා දුක් විඳපු කෙනෙක් එක්ක කතා කරද්දි හිතෙනවා අපි වින්දේ මොන දුකක්ද කියලා. ඔයාගේ තාත්තා අත ඔයාගේ ලඟ නෑ. ඒත් එයා ඔයත් එක්ක ඉඳපු කාලේ ඔයාට හිත පිරෙන්න ආදරේ දුන්නා. මගේ තාත්තා මට පේන මානෙක ඉඳලත් කවදාවත් මට ඒ ආදරේ දැනුනේ නෑ…”

“අනේ සොරි සර්….”

“ඔයා අඬලා මාවත්  ඇඬෙව්වා. ඒකට දඬුවමක්නම් දෙන්නම වෙනවා අපූර්වා. ඔය අද මට කවන්න ඕනේ.”

“සර්……”

අපූර්වා දෑස් විසල් කර ගත්තේ පුදුමයෙන්ය.

“සර්.. සර්…කිය කිය  කටපාඩම් කරනවද අනේ. කිව්වනේ මං ප්‍රින්සිපල්වත් ඉස්කෝලේ ගුරුවරයෙක්වත් නෙමෙයි කියලා. ගෙදරදි නම් මට අම්මා කවනවා..මං කොහොමත් ටිකක් අතින් කන්න කම්මැලියි.”

යුවතිය නැගී සිටියේ සිනහ මුසුවය. ඇයට මගහරින්නට නොහැකි වූයේ ඔහු එය පැවසූ තාලයටය. මහ කපටියෙක්…..එසේ සිතූ යුවතිය විනාඩි කිහිපයකට පෙර ඔහු විසින් ගෙන ආ වතුර බෝතලයෙන් අත සෝදා ගත්තේ මදක් එහාට වීගෙනය. දෙදෙනා අතර බැඳීමක් ගොඩනැගෙමින් තිබූ බව විශ්වාසය. ඒත් ඒ බැඳීමට නමක් දෙන්නට ඈ දැන  සිටියේ නැත. ඉස්සර විය යුත්තේ ඔහුය. සීරුවට අනාගත් බත් කටක් ඒ මුවෙහි  තබද්දී ඔහු උන්නේ ඇගේ දෑස් දෙස බලාගෙනය. කතා කරමින් උන්නේ එකිනෙක පැටළුණු දෑස්ය.

“අපූර්වා…..ඔයාගේ මහ ගෙදර ඩොකියුමන්ට්ස් කා ගාවද තිබුනේ.”

“ඒවා ආච්චි ලග තිබිලා පස්සේ කාලෙක තාත්තට අරන් තියන්න කියලා දුන්නලු.”

“ඔයාට විශ්වාසද ඒවා  තිබුණේ තාත්තා ළඟ කියලා.”

“ඔව්……”

“බාප්ප කවදාවත්ම ඒවා ඉල්ලගෙන ගියේ නැද්ද.”

“මං එහෙම දන්නේ නෑ සර්…”

“හොඳට මතක් කරලා බලන්න…සමහර විට ආච්චිට මතක ඇති. ඔය සිදුවීම් වෙන්න කලින් බාප්ප ගෙදරට ආව ගියාද.”

“එයාලා අලුත් ගෙදර පදිංචි උනාට පස්සේ නිතරම ආවේ ගියේ නැහැ. බාප්ප අපේ ගෙදර ආවට වඩා අපේ තාත්තා එහේ ගියා.”

“එහෙම ආපු දවසට ඉඩම් වලට අයිතිවාසිකම් කිව්වද. මං අහන්නේ ඉඩම් බෙදන්න කියලා”

“එහෙමම  නෑ…ආච්චියි අම්මයි සොල්දර ගෙදර ඉඩම වගා කළානේ. එතකොට කියනවා ඒ ගොල්ලන්ට පඩියෙන් විතරක් ජීවත් වෙන්න හරි අමාරුයි කියලා. ඉතිං අපේ තාත්තත් කියනවා රජයේ  පඩිකාරයොන්ට එහෙම තමයි කියලා. වත්තේ  මොන දේ හැදුනත් ඒකෙන් කොටසක් බාප්පට වෙන් කරන්න අමතක කලේ  නෑ. අපි එළවළුවක් හිටෙව්වත් පලතුරක් හිටෙව්වත් ඒ බාප්පටත් එක්ක.”

“අපූර්වා ඔයාලගේ ගෙදර තියෙන ඩොකියුමන්ට්ස් බාප්පගේ අතට යන්න ඕනනේ. එහෙම නැතිවුනානම් කොහොමද බාප්ප මේ වගේ නඩු කිව්වේ. එක්කෝ එයා ඒවා හොරකම් කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයාගේ තාත්තා ගිහින් දෙන්න ඕනේ.”

ඔහු එසේ ඇසුවේ නියම නීතිඥවරයකුගේ ස්වරූපයෙන්ය. හතරවෙනි බත් කටත් ඔහුගේ මුවෙහි තැබූ යුවතිය දෑස් විසල් කර බැලුවේ එනිසාය. 

“ගවමන්ට් එකෙන් රිසර්ච් එකක් කලා නේද සර් අර ඔප්පු නැතුව ලොකු කාලයක් භුක්ති විඳින ඉඩම් වලට ඒ ගොල්ලෝ හරි ඔප්පු දෙනවා කියලා.”

“ඔව්..”

“අන්න එදා බාප්ප ඇවිල්ලා තාත්තගෙන් ෆයිල් එකක් ඉල්ලගෙන ගියා. එදා මට මතකයි බාප්ප කිව්වා මේ කෙල්ලටවත් මේව නිරවුල් කරලා දෙන්න ඉස්සර වෙලා මොකක් හරි ඔප්පුවක් ලියාගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි ඊට දවස් දෙකකට පස්සේ බාප්පා. ඒ ෆයිල් එක එහෙමම තාත්තට ගෙනල්ලා බාර දුන්නා. එතකොට බාප්ප කිව්වා මිනිස්ට්‍රි එකෙන් ෆයිල් එක චෙක් කලා. ආපහු මේ ගැන කතා කරන්න කැඳවීමක් ලැබෙයි කියල.”

යුගාෂ්ගේ සිත පුදුමයට පත් වූයේ නැත මේ ඔහු සැක කළ පිළිවෙලමය. පුෂ්පානන්ද යළිත් තම සහෝදරයාට ගෙනැවිද් දී තිබුණේ සොල්දර  ගෙදරින් ගෙන ගිය ලිපි ගොණුව නොවේ. ඒ හා සමාන වන්නටම සැකසූ ව්‍යාජ  ලිපි ගොනුවකි. මේ ඔහු කාලයක් තිස්සේම සැලසුම් කල එකකි. 

“මටම කවන්නේ නැතුව ඔයත් බත් කටක් කන්න. ඇත්තටම අපූර්වා පුදුම රසයි. පුදුමෙ තියෙන්නේ ගෑනියෙක් රසට උයපු එකේ නෙමෙයි. ඔයාගේ වයසේ කෙනෙක්ට මෙච්චර රසට උයන්න පුළුවන් වුණා කියන එකයි. මටම කවන්නේ නැතුව ඔයත් කන්න. මං දන්නවා මං කෝල් කලාට පස්සේ ඔයා කන්නේ නැතුව ඇති.”

යුගාෂ් එසේ පැවසූයේ අපූර්වා තම මුව දෙසට දික් කළ බත් කට ආපසු හරවා ඇගේ මුව අසලට ළං කරමින්ය. එවේලේ ඇයට සිතුනේ මේ බැඳීම අහිමි නොවේවා යන්න පමණි. ආගන්තුකයෙක් විලසින් මේ ජීවිතයට පැමිණි ඔහු දැන් විසල් ඉඩක් හිමිකරගෙනන අවසන්ය. කොහොමටත් දැන් අපූර්වා අහිමිවීම් වලට බියය.

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here