හේමන්ත සන්ධ්‍යා -16

මංජුල ගේ ප්‍රතිචාරය ගැන නිකිනි ට කේන්තියක් දැනුණේ නැත. නමුත් ඇය තරමක විමතියකට පත් වූවා ය. සිය බිරිය සමාජ ගත වෙනවාට හෝ ආර්ථික වශයෙන් ස්ථාවරයක් ඇති කර ගන්නට උත්සාහ කරනවා ට, මංජුල වාගේ උගත් සමාජය නියෝජනය කරන පිරිමින් පවා මේ තරම් බිය ද? නිකිනි හිතින් සිනා සුණා ය. 

සන්සුන් ඉරියව්වෙන් කණ්ණාඩි මේසය ළඟ හිඳ හිස පීරන්නට පටන් ගත් නිකිනි දෙස මංජුල බලා සිටියේ කෝපයෙන් හෝ ද්වේශයෙනි. ඇයට ඔහු මේ ගෙදර කිසිදු අඩු පාඩුවක් වෙන්නට ඉඩ තබා නැත. ඇය ට මුදල් හඹා යන්නට කිසිදු හේතුවක් නැත. ඔහු ගේ රාමුව තුළ වන සත්‍යය එය පමණකි.

“මංජුල”

නිකිනි බෝ සන්සුන් ව කතාව පටන් ගත්තා ය. යමකට එරෙහි වනවා එසේ කළ යුත්තේ ඒ සඳහා උදා වූ ප්‍රථම අවස්ථාවේ දී ය.

“ඔයා හිතන්නෙ කොහොමද කියල මං තාම දන්නෙ නෑ. ඇත්තටම මට තාම තේරෙන්නෙ නෑ. ඒ කියන්නෙ කවදාවත් තේරුම් ගන්න පුළුවන් වෙන එකකුත් නෑ”

යහන මතින් නැගිට ගත් මංජුල කාමරයේ ඒ මේ අත සක්මන් කරන්න ට පටන් ගත්තේ ය. ඔහු මීට පෙර මේ සා කැළඹී සිටි අවස්ථාවක් ගැන නිකිනි ට නම් සිහි කර ගැනීමට හෝ නො හැකි ය. ඇය මේ තරම් පමා වීම ගැන සිහින් සන්තාපයක් නිකිනි තුළ ලියලන්නට විය.

“හැබැයි ඔයා එපා කිව්ව කියල මං මේක නතර කරන්නෙ නෑ මංජුල. මොකද මං කරන්නෙ නරක වැඩක් නෙවෙයිනෙ. අනිත් එක මාව ගෙදරට කොටු කරල තියල ඔයා කැම්පස් එකේ ගෑනු ළමයි එක්ක සම්බන්ධකං පැවැත්තුව”

“ඇති ඇති. මගුල…”

“ඇයි ඇති කියන්නෙ. ඔයා හිතන් ඉන්නෙ මං කසාද ගෑනි වෙච්ච නිසා ඒ ඔක්කොම කරුම විඳගෙන ඉන්න ඕන කියලද…ඔයා ඔයාට ඕන දෙයක් කරනවනං මටත් පුළුවන් වෙන්න ඕනෙ මං කැමති දෙයක් කරන්න…”

“එතකොට තමුං මේ එකට එක කරන්නද හදන්නෙ..”

“අනේ නෑ. මටත් ජීවිතයක් කියල දෙයක් තියෙනවනෙ මංජුල. අනේ මං දැං කසාද බැඳලනෙ…මගෙ හස්බන්ට වෙන වෙන සම්බන්ධකං එළියෙත් තියෙනවනෙ කියල හූල්ල හූල්ල අඬ අඬ මගෙ ජීවිතේ අපායක් කර ගන්න මට ඕන නෑ. මොකද ඒක මගෙ ජීවිතේනෙ. මට කාගෙවත් රූකඩයක් වෙන්න ඕන නෑ. ග්‍රැනීල තෝරල දුන්න නිසා මං ඔයාව මැරි කළා. එහෙමයි කියල මං ඒ මිනිස්සුන්ට දොස් කියන්නෙත් නෑ. මොකද මිනිස්සුංව කාල බලල හොඳයි කියන්නද…හැබැයි දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න තරං දුර්වල ගෑනියෙක් නෙවෙයි මං. කැම්පස් ගියෙ නැති වුණාට මාත් ඉගෙන ගත්ත ගෑනියෙක්නෙ…අනිත් එක කැම්පස් කෙල්ලොත් කසාද බැඳපු පිරිමිංගෙ මායං වලට රැවටෙන එකේ…”

එවර නිකිනි නගා ගත්තේ සමච්චල් සිනහවකි. කොයි තරම් සිතිවිලි සිත් හි පෙරලි කළත්, මංජුල සිටියේ මේ මොහොතේ ඒ එකකුදු පෙළ ගස්වා පවසා ගත නො හැකි අවුලකින් වියවුලට පත් ව ය. 

“මං මගෙ කකුල් දෙකෙන් නැගිටිනව. ඔයා තව එක ගෑනියෙක් කෙවෙයි දහයක් ගත්තත් මට ප්‍රශ්නයක් නෑ. මට දැං ඒවා දැනෙන්නෙත් නෑ. ඔයාට ආයෙ මට ඕව දනවන්නත් බෑ. කසාදයක් ඇතත් නැතත් දැං මං මගෙ මේ ජීවිතේට ආදරෙයි. එච්චරයි”

නිකිනි වරල තනි කරලට ගොතා පිට මදට දමා හැරී බලන විටත් මංජුල යහනෙන් නැගිට ගෙන හමාර ය. ඔහු සිය කොට්ටයත් ගෙන කාමරයෙන් නික්ම ගියේ ය. දොර දඩාස් ගා වැසිණි. නිකිනි ගේ මුහුණ ට සිනහවක් වැඩියේ ය. ඇය ඉක්මන් කොට දොර ළඟට ගොස් එහි අගුළු ලූවා ය.

මහත් නිදහස් හැඟීමකින් නිකිනි හුස්ම ගත්තා ය. මංජුල කොට්ට පැදුරු හකුළා ගෙන කාමරයෙන් නික්ම ගිය එකෙන් අදහස් වූයේ, ඔහු ට අවනත ව සිටිය නො හැකි නම් ඔවුන් දෙදෙනා අතරේ තව දුරටත් කිසිදු ඇසුරකට ඉඩක් නැති බව ද?

ඔහු උදේ ගෙදරින් නික්ම ගිය ගමන් මංජුල ගේ මව නිකිනි සොයා ගෙන පැමිණියා ය.

“මට දැන්නෙ හරියට තේරුණේ පහු ගිය ටිකේ ඔච්චර සතුටෙන් ඉන්න හේතුව මොකද්ද කියල”

ඇය නො රිස්සුම් සහගත ව කීවා ය. 

“සතුටෙං…ඇයි අම්ම කියන්නෙ මං සතුටෙන් හිටිය කියල…”

“නෑ ඉතිං මං දැක්කනෙ…කේක් හදනව…මාළු පාන් හදනව….”

“අද මං බිත්තර රොටි හදන්නයි හිතං ඉන්නෙ.  අම්මා ඔය කියන විදිහටනං මේ ලෝකෙ සතුටෙංම ඉන්නෙ බේකරි වැඩ කරන අය වෙන්න ඇති”

නැන්දම්මා කේන්තියෙන් මූණ ගැස්සුවා ය. නිකිනි සිනහව ගිල ගෙන සිටියා ය.

“මං ආවෙ ඔය ළමයත් එක්ක විහිළු කතා කියවන්න නෙවෙයි. මොකද්ද මේ මංජුල කියන්නෙ…”

“මොකද්ද…”

“බිස්නස් එකක් පටං ගන්න යනවයි කියන්නෙ…”

“හ්ම්”

“මංජුල ඕවට කැමති නෑ”

එයාගෙ කේලම අහගෙන දුවගෙන ආව වගේ එයා වැරදි කරනකොටත් අම්ම උපදෙස් දෙනවද…”

එවර නිකිනි ගේ හඬෙහි කෝපයක් තැවරී තිබිණි. නැන්දම්මා ට ද ඒ බව නො දැනුණා නොවේ.

“මොකද නැත්තෙ…මට ඕනෙ මේ පවුල කැඩෙන්නැතුව තියා ගන්න. දැන් හැදෙන ගෑනුන්ට පවුල් කඩා ගන්න එක නිකං සෙල්ලමක් වගේනෙ”

“අම්ම කතා කරන්නෙ මගෙ වැරැද්දකිං පවුල් කැඩෙන්න ගියා වගේනෙ”

“නෑ නෑ. මං ඔය ළමයට වරදක් කියනව නෙවෙයි. මංජුල මුකුත් අඩු පාඩුවක් කරන්නෙ නෑනෙ ඔය ළමයට. ඉතිං එයා අකමැති එකේ…ඔන්න ඔහෙ ඕක අත්ඇරල දාන්න. ඇයි වදේ…ගෙදරට වෙලා සැපට කාල බීල ඉන්න තියෙද්දි මොකට මේ නැහෙන්න වෙන වැඩ පටලෝ ගන්නවද…”

ගෙදර වැඩ කරනවාට හිලව්වට කන්නට බොන්නට ලැබෙනවා නම් ඊට කියන නම සැප ට ජීවත් වෙනවා කියන එක දැයි නිකිනි සිතුවා ය. ලෝකය බිහි වූ දා සිට ගැහැනුන් ට හිතන්නට පුරුදු කොට තිබූ ආකාරය එයයි. ඒ මාර්ගයෙන් පිට පැන්න ගැහැනියක වී නම් සම්මත සමාජය ඇය ට නින්දා කරන්නටත් ගරහන්නටත් පුරුදු වී සිටියේ ය. නමුත් තව දුරටත් ඒ සම්ප්‍රදායික මාවත වෙනුවට තමන් රිසි හා තමන්ට වඩාත් හොඳයි කියා හිතෙන මාවත තෝරා ගන්නට තරම් නිකිනි එඩිතර වී සිටියා ය.

“මාත් මනුස්සයෙක්නෙ අම්මෙ. මටත් ජීවත් වෙන ටිකට සතුටක් කියල දෙයක් තියෙන්න ඕනනෙ.  ඒක නංසා මං මේක කරනව”

“බලමුකො එහෙනං සල්ලි පස්සෙ දුවල අන්තිමට මොනාද ඉතුරු වෙන්නෙ කියල”

ඒ ද්වේශී ප්‍රකාශයෙන් යුතු ව නැන්දම්මා නික්ම ගියා ය. නිකිනි ගේ සිත් හි සංකාවක් ඉතිරි විය. ඒ සංකාවෙන් යුතු ව ඕ අලස ලෙස යහනේ වැටී සිටියා ය. නමුත් නිසංසලේ එසේ සිටිය නො හැකි හැඟීමක් හිතට කරදර කරන්නට වූයෙන් ඕ දුරකතනය ගෙන විදත් ට පණිඩිඩයක් ලීවා ය.

“මං බුක් ශොප් එකක් පටං ගන්න හිතපු එකට මංජුලයි අම්මයි දෙන්නම පරල වෙලා. මං කරන්න යන්නෙ සල්ලි පස්සෙ දුවන එකද…”

පණිවිඩය ඔහු වෙතට ළඟා වුණත් එසැනෙන් විදත් එය කියවූයේ නැත. නිකිනි ටික වෙලාවක් තිරය දෙස බලා උන්නා ය. ඇතැම් විට ඔහු තවමත් නින්දේ විය හැක. ඕ දුරකතනය යහන පසෙකට කොට නෙතු පියවා ගත්තා ය. 

තත්පර කිහිපයකින් යළි දුරකතනය හැඬවෙන්නට ගත්තේ නිකිනි ගේ  හිතේ මල් පුබුදමිනි.

“අයියෝ…නෙගටිව් මිනිස්සුත් එක්ක කරන්න යන දේවල් ගැන කතා කරන්න එපා ළමයො”

විදත් ගේ ස්වරයෙහි වූයේ දියණියකට අවවාදයක් කරන පියෙකු ගේ තරවටු ස්වභාවයකි. නිකිනි ඊට වඩාත් රිසි වූවා ය. හැමදාමත් ප්‍රේමය විෂයේ දී ඇය බලාපොරොත්තු වූයේ ඇය ව රැක බලා ගත හැකි, හිස පරිමැද මග කියා දිය හැකි විදිහේ පුරුෂයෙකි. ඇතැම් විට කුඩා කාලයේදී ම විදත් ගේ වැඩිහිටි කම තුළ දුටු පෞරුෂ ලක්ෂණ ඊට ඉවහල් වන්නට ඇත. යෙහෙළියක ගේ සම වයස් පෙම්වතෙකු ඉතා කුඩා දරුවෙකු සේ ඇයට පෙනුණ හැටි නිකිනි ට තවම මතක ය.

“ඒ මිනිස්සු බෑ කියන තැනිංම තමයි පටං ගන්නෙ. අපිටත් බෑ කරවන තැනිං තමයි ඉවර කරන්නෙ. ඒක නිසා  එහෙම අය එක්ක තමංගෙ ප්ලෑන් එක ඉවර වෙනකල් කතා කරන්න හොඳ නෑ නිකිනි”

“අනේ..”

කීවා නොව ඇය ට එහෙම කියවිණි. විදත් ගේ ස්වරයේ වූ ආදරය දරා ගත නො හැකි ම තැන එසේ මිමිණුන බව දැනුණේ පවා ඔහු ඒ ගැන විමසු විට ය.

“ඇයි..”

“ම්…මුකුත් නෑ”

මේ මොහොතේ ඔහු ඈ ඉදිරියේ සිටින සෙයින් ඕ ලජ්ජා ශීලී වූවා ය. ඒ ඇස් කෙවෙනි අග ලා රතක් පවා ඉහිර ගියේ ය.

“කරන්න ඉන්න දේවල් ගැන ළඟම කෙනෙක් එක්ක මිසක් කතා කරන්න හොඳ නෑ නිකිනි. ඔය ගමේ ගොඩේ මිනිස්සු අතරෙ කතාවක් තියෙනවනෙ ඇස් වහ කට වහ වදිනව කියල. ඒකමද කියල මං දන්නෑ. හැබැයි කරන්න ඉන්න දේවල් එක එක්කෙනාට කලිංම කියල ඒව කර ගන්න බැරි වුණ අත්දැකීම් හෙන සෙට් එකක් මට තියෙනව. මං ඉගෙන ගත්ත දේ තමයි වැඩේ ඉවර වෙලා රිසල්ට් එක කට්ටියට බලන්න දෙන එක”

“මටත් බුක් ශොප් එක කර ගන්න බැරි වෙයිද…”

එවර විදත් හඬ නගා හිනැහුණේ ය. 

“අනේ බං…උඹ තාම පොඩි එකෙක් වගෙයිනෙ”

“ඇයි…”

නිකිනි වඩාත් හුරතල් වූවා ය. සිය විවාහක පුරුෂයා සිටියදී වෙනත් පිරිමියෙකු සමගින් මෙබඳු පිළිසඳරක පැටලීම කෙතරම් සම්මත සදාචාර රාමුව ඉක්මවා යන්නේද කියා සිතන්නට මේ මොහොතේ ඇය ට උවමනා වූයේ නැත.

“නෑ නෑ අපි කොහොමහරි ඒක කරමු. මංජුල හෙමිහිට හරි තේරුං ගනියි නිකිනි ශක්තිමත් කෙල්ලෙක් කියන එක. ඇත්තටම ඔයා ශක්තිමත් කෙල්ලෙක් තමයි”

“මට ඕනෙ මං ගැන බලා ගන්නයි. මට තනියම වුණත් ජීවත් වෙන්න පුළුවන් පාරක් හදා ගන්නයි”

නිකිනි ඒ ටික කීවේ උගුර යටින් සේ ය. ඇය තරමක් සංවේදී වී සිටියා ය. නමුත් නො හඬන්නට ඕ වග බලා ගත්තා ය.

විදත් දිගු සුසුමක් හෙළුවේ ය.

“ආයෙ මහ ගෙදර ගියත් ජීවත් වෙන්න ඔයාට පුළුවන් නිකිනි. මං දන්නවනෙ ඒක. ඒත් ඔයාට ඕනෙ මහත්තයගෙන් වෙන් වුණොත් ජීවත් වෙන්න මාර්ගයක් නෙවෙයි. මං ඒකත් දන්නව”

නිකිනි නිරුත්තර වූවා ය. මෙ හැටි ම ඔහු ඇය ව කියවන්නේ කොහොමද? මේ තරම් ම ඔහු ට ඇය දැනෙන්නේ කොහොමද?

“ඔයාට ඕනෙ ගෑනියෙක් විදිහට ඔළුව කෙලින් තියා ගෙන අභිමානයෙන් ජීවත් වෙන්න. මං ඒක හොඳට දන්නව. ඔයා වගේ ගෑනුන්ට පිරිමි දහයකගෙ හයිය හිතේ තියෙනව. හැබැයි මේ ලෝකෙ ඉන්න ආදරණීයම ගෑනුත් ඒ අයම තමයි”

සාස්තරයක් කියනවා සේ ඔහු ඈ ගැන එහෙම කියන්නේ කොහොම දැයි නිකිනි සිතුවා ය. ඇගේ ඇස් වලින් අවසර නැතිව ම පිටමංවූ කඳුළු දෙපෙළක් කම්මුල් දිගේ රූටා යමින් තිබිණි. සිය ආත්මයෙහි වන දුර්වල ම අංශුව ආදරය බව නිකිනි අවබෝධ කරමින් සිටියා ය.

“ඒත් අවාසනාවකට ආදරේ වැඩිපුරම ඕනෙ ගෑනු මිනිස්සුන්ට ඒ ආදරේ කවදාවත් ලබා ගන්න විඳ ගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ”

විදත් ඒ අන්තිම ටික කීවේ මුව ද හැර හුස්ම ගනිමින් හදවතේ දැවුම නිවා ගන්නට වෙර දරමිනි.

“ඒ ගෑනු මිනිස්සු අන්තිමට මැරිල යන්නෙ කවදාවත් දෙන්න බැරි වුණ වගේම විඳින්න බැරි වුණ ආදරයක් ගැන ලෝබ කමක් පපුවෙ පුරෝගෙන..”

තවත් කතා කළොත් ඔහු ට හැඬේවියි විදත් ට සිතිණි. ඔහු වමතේ ඇඟිලි වලින් මුළු මුහුණ ම වසා ගත්තේ ය. නිකිනි නම් ඕනේ තරම් දිය වී ගලන්නට ඇස් වලට ඉඩ දී ඔහේ බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles