සන්තාන සුසුම් සර – 02

0
2933

කැඩපත ඉදිරියෙහි හැඩ වූ අස්විද සූරියබණ්ඩාර, සිය පෙනුමෙහි කිසිදු අඩුවක් නොවන බව තහවුරු කරගන්නා ගමන් විලවුන් පොදක් ගෙල දෙපසෙහි තවරාගත්තේ ය. නැවත ද කැඩපත දෙස බලා ලැප්ටොප් බෑගය ද ගෙන කාමරයෙන් පිටතට ආවේ ය.

වජිරා සූරියබණ්ඩාර පුතණුවන් ගේ දිවා ආහාරය උණුසුම රඳනා බඳුනක අසුරා, සර්වියට් එකෙන් හැඩට ඔතා, බුද්ධ පූජාව සේ සූදානම් කරගෙන සිටියා ය. එය අස්විදගේ අතට දී යන්තම් අත් ගොබයක් සිපගෙන ‘පරිස්සමෙන් ගිහින් එන්න චූටි පුතා. බුදු සරණයි’ කියා අස්විද ට ආශිර්වාද කරනා එක වජිරා ගේ දවසේ වැදගත් ම අංගයකි. අස්විද මුවින් කිසිත් නො කියයි. සිනහවක් වන්නේ ඔහු ගේ දෑස් මත්තෙහි බව අම්මා ඉඳුරා දනී. ගේ ඇතුළේදී මේ තරම් නිහඬ චරිතයක් වන ඔහු, උසාවියේ දී නඩු වෙනුවෙන් ආවේශ වී දොඩමළු වන්නේ කෙසේද යන්න කවදාවත් ඇයට පිළිතුරු නො ලැබුණු පැනයකි. නමුත් සිය පුතණුවන් උසාවිය තුළ වචන වලින් හරඹ කොට දිනනවා දකින හැම වතාවක ම වජිරා ගේ පපුව පිම්බෙන සතුටක් දැනී තිබේ.

යසස්වී සිටියේ රඹුටන් අත්තක එල්ලීගෙනයි. අත පොවන මානයෙන් ඉහළ වූ රතට රතේ ඉදුණු රඹුටන් පොකුරක් කඩාගනු වස් ඕ අත්තේ එල්ලීගත්තේ කෙසේ හෝ ගෙඩි ටික කඩාගන්නටයි. යාබදව වූ කළු හොන්ඩා ෆිට් රියෙහි දොර වැසෙන හඬ නැගෙන තුරු, අස්විද එතැනට පැමිණ තිබෙන බව ඇය දැන සිටියේ නැත. දොර වැහෙන හඬින් වහා රඹුටන් අත්ත අත්හළ ඕ, අස්විද ගේ මූණ මත දෑස් නතර කළා ය. වහ වහා ඇගේ මුව මත ඇඳී ගිය පුළුල් සිනහ රේඛාවේ හාස්‍යයක් තැවරී තිබිණ. මේ උදයේ හිස්බඩට ම රඹුටං කන්නට වැඳිරියක සේ අත්තේ එල්ලී සිටි ඈ ගැන ඔහු කොහොම හිතන්නට ඇත්ද යන පැනය, ඒ සිනහවේ එහෙම විකට ස්වරූපයක් අඳින්නට ඇත.

‘ගුඩ් මෝනිං’

ඕ ඉතා උනන්දුවෙන් ඔහු ට උදෑසනට සුබ පැතුවා ය. ඒ වෙලාවේ යසස්වි ගේ මුහුණ මත වූයේ දෝරෙ ගලනා දිය ඇල්ලක් වන් පෙණකැටි සිනහවකි. කෑම පෙට්ටිය පසුපස අසුන මත තබා රියදුරු අසුනෙහි දොර අරිමින් සිටි අස්විද ‘මෝනිං’ කියමින් ඉක්මනට රිය තුළට රිංගා ගත්තේ ය. මේ ආගන්තුක යුවතියගෙන් බේරී ඉක්මනින් පලා යන අදහසක් ඒ වෙලාවේ ඔහු තුළ ඇති වෙමින් තිබුණා ද කියා අස්විද පවා දන්නේ නැත. නමුත් ඔහු එතෙක් නො තිබි හදිසියකින් රිය පණගන්වාගෙන තිබිණ. ඊට මඳ වෙලාවකට පෙර දිය නාගෙන තිබුණාට, රිය තුළ හොඳ වායු සමීකරණ තත්වයක් වූවාට, ඔහු ට යම් දාහයක් දැනෙමින් තිබිණ.

‘අහංකාර උගුඩුව. හොඳට ගුඩ් මෝනිං කියල කිව්වනං දත් සෙට් එක බිමට වැටෙනවද… මොකෝ මගෙ මූණ බලන්න බැරිතරං කැතද… අපරාදෙ අර අමාරුවෙන් අල්ලගත්ත රඹුටං පොකුර අතෑරිය. මෝඩ උලම. මීට පස්සෙනං ගුඩ් මෝනිං කියන්නෑ නෑමයි’

යසස්වී නැවත ද රඹුටන් අත්තෙහි එල්ලීගත්තා ය.

මේ කොළඹ ගමන, සිහිනයෙන්වත් ඈ එන්නට සිටි ගමනක් නොවේ. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි පාඨමාලාවක් හදාරන හීනයක් කිසි දාක ඇයට නොවිණි. ඉගෙනීම ගැන ඒ තරම් ලොකු උනන්දුවක් නො දැක්වූ ඇය ජාතික විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේ කැමැත්තකින් උසස් පෙළට පාඩම් කළේ හෝ නැත. උසස් අධ්‍යාපනයක අවශ්‍යතාවයක් නො දැනෙන තරම් මුදල් හදල් ඇගේ පවුල සතු විය. ඇගේ පියා සහල් මෝල් හා ගබඩා හිමියෙකි. රජරට කිරිවදින ගොයම් අස්වනු නෙලූ ගමන්, වී ගෝණි එන්නේ ඔවුන් ගේ මෝල් වලට ය. ප්‍රධාන ම සහල් ගබඩාකරුවන් අතරේ යසස්වි ගේ පියා වෙහෙරගොඩ මුදලාලි ද කරට කර සිටියි. මෝල් වලදී පිරිපහදු වී පැකට් කොට ගබඩා කෙරෙන සහල්, ඔවුන්ගේ ලොරි වලින් දිවයින පුරා බෙදාහැරේ.

කෙසේ හෝ ගෙදරින් නික්මෙන්නට යසස්වී වෙහෙරගොඩ ට අවැසි වූයේ වෙහෙරගොඩ මුදලාලි විසින් ඇගේ අනාගතය භාර දෙන්නට සැලසුම් කරනු ලැබූ උදාර පණ්ඩිතරත්න නිසා ය. ඔහු වූ කලී රජරට සහල් අස්වනු වලින් ධනවතුන් වූ වෙනත් මුදලාලියෙකු ගේ පුත්‍ර රත්නයකි. අහිංසක ගොවි ජනතාවගේ දහදිය මහන්සිය මංකොල්ල කමින් මුදලාලි පියා විසින් අසාධාරණ ලෙස උපයන මුදල් වලින් ජෝගි නටන උදාර සෝබනකාරයෙකි. ඔහුගෙන් ස්ථිර ලෙස ගැලවෙන්නට හැකි ද නො හැකි ද කියා නො දනිතත්, යසස්වී කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට සම්බන්ධ වී මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන්නට තීරණය කළේ උදාර මගහරිනු වස් ය.

‘මොකටද කොළඹ බෝඩ් වෙන්නෙ… හැමදාම ලෙක්චර්ස් නෑනෙ… මං එක්කං ගිහිං එක්කං එනවනෙ’

කියා උදාර කීවේ වෙහෙරගොඩ මුදලාලි ද ඉදිරියේදී ය.

‘මට එහෙම මහන්සිවෙන්න බෑ’

යසස්වී ස්ථිර ලෙස කියා දැමුවා ය. එබැවින් හරස් ප්‍රශ්න හෝ විකල්ප යෝජනා වලට උදාර ට අවස්ථාව අහිමි වී ගියේ ය.

මේ සැබෑ ජයග්‍රහණයක් නොවේ. නමුත් නිතර දෙවේලේ උදාර ගේ මූණ දකින්නට නො ලැබෙන සැනසීම මේ වසර දෙක තුනට හෝ විඳගන්නට ලැබෙන එක යසස්වී ට ලොකු දෙයකි. ඒ කාලය ඇතුළත ජීවිත මත්තෙහි මොන තරම් දේවල් සිදු විය හැකි ද?

විටෙක ඇය උදාර ගේ මරණය ගැන චිත්ත රූප මැව්වා ය. ඔහු ගේ මැරකම් නිසා බැට කන යමෙකු අතින් දිනෙක ඔහු මැරුම් කන්නට බැරි නැත. ඕනෑ තරම් එවන් සිදුවීම් අසන්නට දකින්නට ලැබේ. නමුත් කෙනෙකු ගේ මරණය ප්‍රාර්ථනා කිරීම මනුස්ස ගතියක් නොවන බව සිහි වී යසස්වි ඒ සිතිවිල්ලෙන් මිදෙන්නී ය.

රඹුටන් පොකුර අල්වාගන්නට එල්ලී සිටි අත්තට ඉහළින්, ඉතා පහසු ලෙස යමෙකු අල්වා ගත්තේ ය. යසස්වී ට අත්ත අත්හැරුණේ ඉබේට ය. මොහොතකට හුස්ම නැවතුණා මෙනි. ඇයට එකවර සිහියට ආවේ අස්විදයි. රඹුටන් කඩන්නට ඈ විඳිනා දුක දුටුවේ ඔහුයි. ඈ කෙරේ අනුකම්පාවෙන් ඔහු රියෙන් බැස යළි මෙහි වැඩම කළාවත් ද?

ඔහු නොවේ. රඹුටන් අත්ත අල්වාගෙන සිනහ වෙවී සිටියේ දිල්නුකයි!

‘හම්මේ මං බය වෙච්ච තරමක්’

යසස්වි ට එසේ කියවිණ. දිල්නුක සිනහවකින් ම රඹුටන් පොකුර පිටින් කඩා යසස්වි ට දුන්නේ ය.

‘බය වෙන්නෙපා අපි ඉන්නකල්’

ඔහු ගේ ඒ සිනහව ඇය තුළ පහන් හැඟීමක් ඇති නො කළේ ය. ඔය වගේ සිනහවක්, ඔය වගේ ඇස් බැල්මක්, ඔය වගේ ඉරියව්වක් ඇති පිරිමින් ඕනෑ තරම් ඈ දැක තිබේ. උදාර ද ඒ කුළකයේ ම පිරිමියෙකි. ඔවුන් ගේ ඇස් වල වන ආරාධනය යසස්වී තුළ ඇති කරනුයේ අප්‍රසන්න හැඟීමකි. නමුත් මේ මොහොතේ තුසිතය ඇයට තුසිතයක් ම ය. දිල්නුක වගේ ඇස් ඇති පිරිමින් ලොව ඕනෑ ම තැනක දී හමු විය හැක. ඔවුන් නිසා ලෝකයෙන් චුතව යා නො හැකි ය. දිල්නුක සිටියත් ගමට සාපේක්ෂව, ගෙදරට සාපේක්ෂව තුසිතයෙහි වන්නේ මහත් සැනසීමකි. එබැවින් දිල්නුක සිටයදීත් ඔහු නැතිවා වාගේ ජීවත් වන්නට පුරුදු විය යුතු ය. බලහත්කාරයකට නො පෙළඹෙන තාක්කල් පිරිමියෙකු සිය සීමාවෙහි රඳවා තැබීම දක්ෂ ගැහැනියකගේ සහජ හැකියාවකි. සිය හැකියාව උර ගා බලන්නට යසස්වී මේ මොහොතේ ඇයට ම පිළිණ දීගත්තා ය.

‘තෑන්ක් යූ’

ස්තූතිවන්ත බවින් ම රඹුටන් පොකුර ගෙන ඇය එතැනින් නික්ම ගෙතුළට ගියේ එබැවිනි.

‘හිස්බඩම රඹුටන් ගිලිනවද හලෝ… ටිකක් ඉවසල ඉන්නව. දවල්වෙලා රඹුටන් ගෝණියක් විතර කඩාගෙන දෙන්නත් එක්ක පැත්තක් අල්ලන් වගකියමු’

පෝටිකෝවට එමින් සිටි දිල්නුක ගේ බාල සොයුරා – සනුක- එහි කෙටි බැම්මක් මත හිඳගනිමින් කකුලක් බැම්ම මතට ගත්තේ ය. යසස්වී බැම්මට හේත්තු වී ඇඟිලි දෙකෙන් රඹුටං ගෙඩියක් ලෙලිගැසුවා ය.

‘අද කැම්පස් යන්නෑ…’

‘නෑ. අද ලෙක්චර්ස් නෑ’

‘එහෙනං රඹුටං ගහට ගේමක් ගහමු’

සනුක යසස්වි ගේ සිත් ගත්තේ ය. ඔහු උසස් පෙළ ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින තරුණයෙකි. මිත්‍රශීලී බවකට එහා දෙයක් දැනට යසස්වී ඔහු වෙතින් නො දුටුවා ය. එහෙම පිරිමින් ඇසුරු කිරීම හිතට පහසුවක් දනවයි. තුසිතයෙන් මිතුරෙකු හමු වූ සතුට ඇයට දැනිණ.

තුසිතය කියනා නම මේ ගෙදරට ලැබී තිබෙන්නේ දශක කිහිපයකට එපිටදී විජිත ගේ පියාගෙනි. කවි ලෝලියෙකු වූ හෙතෙම ලියන මහත්තයා ලෙස ගම්මුන් අතර ප්‍රකටව සිටියේ ය. තමන් විසින් දරු පවුල වෙනුවෙන් තනාගනු ලැබූ ගෙදර ඔහු ට තුසිතයක් ම විය. පවුලේ බාල පිරිමියා වූ විජිතට පිය උරුමයෙන් තුසිතයේ භාරකාරත්වය හිමි විය. තුසිතය දෙකට බෙදන්නට හෝ දෙකඩ කරන්නට තවමත් විජිත ට හිත් දෙන්නේ නැත. නමුත් සිය පුතුන් දෙදෙනාට වෙන වෙන ම පවරා දෙන්නට වෙනත් සන්තකයක් ඔහු ට ඇත්තේ ද නැත. චේතිය ගේ බිරිඳ නිලූකා බලා ඉන්නේ තුසිතයෙන් කොටසක් ඔවුන් නමින් ලියා දෙනතුරු බව විජිතට හෝ වජිරාට රහසක් නොවේ. නිසි කල දරුවන් වෙතට දායාද පවරා දීම මව්පියන්ගේ යුතුකමක් බව දන්නේ වී ද විජිත තවමත් කල් මරනුයේ අස්විද ගේ අනාගතය කෙසේ විසඳේවිදැයි පැහැදිලි නැති බැවිනි.

පොඩි පුතු අස්විද සිය අනාගත සහකාරිය ගැන ගෙදරට පවසනා තුරු මව් දෙමව්පියන් පුන පුනා බලා සිටි කාලයක් තිබිණි. නමුත් එය එසේ නොවෙත්දී වජිරා වටින් ගොඩින් ද පසුව ඍජුව ම ද මේ ගැන අස්විද විමසුවා ය.

‘අයියෝ අම්මෙ මටනං කසාද ඕන නෑ. පේන්නැද්ද ඔය අයිය කසාදයක් බැඳගෙන විඳින වදයක්’

මුලින් විහිළුවක් ලෙස ද පසුව ස්ථිර ලෙස ද ඔහු ප්‍රකාශ කළේ එක ම අදහසකි. ඒ විවාහ වීමට ඔහු ගේ අදහසක් නැතිය යන්නයි. වජිරා ඔහු වෙනුවෙන් මනාලියන් සෙවීම ආරම්භ කළේ ඉනික්බිතියි. අස්විද ට වයස තිහේ දී පටන් ගත් මගුල් හෙවීම, ඔහු ට තිස්පහක් නිම වන තුරු ම යථාවක් වූයේ නැත. හොයන හැම මනාලියකගේ ම ඔහු දුටුවේ දොසකි. පළ කළේ අවඥාවකි. ඉඟි කළේ සමච්චලයකි. එබැවින් වජිරා සේ ම විජිත ද දැන් කපුකම් සෙවීමෙන් හතිවැටී සිටිති. ඔවුන් දෙදෙනා තවමත් මැදිවිය අගිස්සේ පෙනුමෙන් ද ශක්තිමත් බවෙන් ද අනූනව සිටියා වී ද, මේ ශක්තියත් ඉතිරි වී ඇති තරුණ බවත් ඉතා ඉක්මනින් ක්ෂය වී යන බව ඔවුහු දනිති. බාල පුතු තනි කොට වයසට යා නො හැකි භීතියක් දැන් ඔවුන්ට වද දෙමින් තිබේ.

රිය පදවාගෙන යත්දීත් ඒ දීප්තිමත් දෑසක් හිමි ආගන්තුක කුරුලු ඇස් දෙක අස්විද ගේ  සිතේ ඇඳෙමින් මැකෙමින් තිබිණ. ඊයේ, ඉරිදා දවසේ ම ගෙයි හැම පැත්තකින් ම ඇසුණේ ඇගේ සිලිබිලි කිචි බිචියයි. ඔහු ඉක්මන් ඇස්පිය සලා ඇය හිතේ ඈතකට පලවා හැරියේ ය. නමුත් ළාබාල සිලිබිල්ලාගේ මධුර කූජනය කොහෙන් හෝ ඇසිණ. හිත ඇතුළෙන්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here