අස්විද සූරියබණ්ඩාර ජනේලය අසල සිට දෑත් පපුවෙහි බැඳගෙන පිටත බලා සිටියේ ය. සැබවින් ඔහු ගේ දෑස් යොමු වී තිබුණේ ඒ සුළං සීනුව වෙතටයි. එහි බට, ලී පතුරු හා ලෝහ කැබලි සුළඟ සමග හාද ව නැටීමේ දී ඇති වන ඉසියුම් හඬ මිහිරි ය. මධුර ය. කන්කළු ය. අස්විද සුළඟේ ගී හඬ කියා සිතන්නේ සුළං සීනු නදටයි. ඒ හඬ ආත්මීය භාවනාවකි. ඔහු වැඩිපුර කතා කරනා මිනිසෙකු නොවේ. එහෙම අය හදවතින් අතිශයින් දොඩමළු ය. සුළඟේ ගී හඬ අසාගෙන සිටියදී හදවත කතා කරන හඬ වැඩියෙන් ඇසේ. ඔහු ට ඔහු හමු වන තැන මෙතැනයි. සුළඟේ ගී හඬ ළඟයි.
පිරිමි හද සන්තානයක පැටවී තිබෙනා හිමාලය තරම් බර හැඟීම්, ලෝකය කිසි දාක දකින්නේ නැත. හඳුනන්නේත් නැත. පිරිමින්ටත් හැඟීම් දැනීම් ඇති බව තබා සතුට හා කඳුළු ඇති බවවත් කවුරුත් දන්නේ නැත. පිරිමි සිතිවිලි කියන්නේ ලෝකයට නො තරම් වී ගිය දෙයකි. ගැහැනු හැඟුම් වලට තරම් වටිනාකමක් කිසි දා ඒවාට ලැබුණේ නැත. පිරිමින් කියන්නේ සිත් පිත් නැති රොබෝ චරිත යයි ලෝකය සිතා ඉන්නවා විය හැක. ඒ රොබෝ මිනිසුන් දන්නේ ගැහැනු හැඟුම් සමගින් කෙළි සෙල්ලම් කොට ඒවා රිදවා පාරා දමන්නට පමණක් යයි සියල්ලෝ සිතා සිටිති. පිරිමි හිතක් පයට පෑගෙන දුහුවිල්ලක් තරම් වටින්නේ නැත. ඒ ගැන කව් ගී නවකතා ලියවෙන්නේ නැත.
නීතීඥවරයෙකු වශයෙන් අස්විද ගේ අත්දැකීම් අනුව, පැමිණිලි වැඩිපුර සිදු කෙරෙන්නේ පිරිමින් විසින් ස්ත්‍රීන්ට සිදු කරනු ලැබූ නො කටයුතුකම් ගැනයි. ගැහැනුන් නිසා චිත්ත පීඩා විඳි, අසරණ වූ, අසාධාරණයට ලක් වූ පිරිමින් ගේ කතා, හඬක් නො ලබා ම මිහිදන් වන්නේ නොවේ ද?
අස්විද ගෙන් සුසුමක් ගිළිහිණ. ආගන්තුක ගෑනු ළමයා මේ සුළං සීනුව ගෙන එන්නට හේතුව කුමක් ද? ගෙන ආවත් එය මෙතැන ම එල්ලන්නට හේතුව කුමක් ද? හැම දේකට ම හේතු සෙවීම ඔහු ගේ වෘත්තීය ජීවිතය මත ඇති වූ පුරුද්දක් විය හැකි බව අස්විද පිළිගනී. එය මෙතැන එල්ලන්නට යසස්වීට හිතුණ හිතිවිල්ල අහේතුක විය නො හැකි ද?
‘තේ එක’
පිටුපසින්, කාමරයේ දොරකඩින් ඇසුණ හඬ ඇගේ ය. අස්විද තිගැස්සී වගේ වහා හැරී බැලුවේ එවැන්නක් ඔහු කිසිසේත් බලාපොරොත්තුවෙන් නො සිටි බැවිනි.
‘ඇයි අම්ම කෝ…’
එහෙම නො අසා සිටින්නට ඔහු ට මතක් වුණේ නැත. යසස්වී ඉක්මන් අඩි තබා කාමරය ඇතුළට ගොස් අස්විද ගේ උදෑසන කිරි තේ මග් එක ඔහු වෙත පෑවා ය.
‘නිලූපා අක්කට වගේ මටනං බැණගෙන එන්නෙපා ඔන්න. ආන්ටිට ඔළුව බරයි කරකැවිල්ල වගෙයි කියල හාන්සි වෙලා ඉන්නව. ඒක නිසයි මං තේ හැදුවෙ. නැතුව මේ වෙන එකකට නෙවෙයි’
මූණ හකුළාගෙන යසස්වී කියාගෙන කියාගෙන ගියා ය. මාස කිහිපයකට වරක් වජිරා ට ඔය කරකැවිල්ලත් හිසේ බර ගතියත් පැමිණෙයි. ටික කලකට පෙර ඒ ගැන විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු වූ අතර, වෛද්‍ය නිගමනය වූයේ ශ්‍රවණ මාර්ගයෙහි ඇතිවන අසමතුලිත බවක් නිසා එසේ සිදු වන බවයි. නිදිවැරීම නිසා සේ ම සිතා ගත හැකි හේතුවක් නොමැතිව ම වුව වරින් වර මේ රෝග ලක්ෂණ මතු වේ. ශරීරයේ අසමතුළිත බවක් දැනෙන නිසා එතකොට වජිරා වැඩිපුර ඉන්නේ හාන්සි වී ය. විජිත ඇයට වැඩ කරන්නට නොදෙයි. යළිත් දින දෙක තුනක් ඖෂධ ලබාගන්නා විට තත්වය සමනය වී යයි.
‘තෑන්ක්ස්’
අස්විද ස්තූති කරන විට යසස්වී යළි කාමරයෙන් නික්ම යමින් සිටියා ය.
‘යකූ මං එයාට වැරැද්දක් කරල තියනව වගේ මාත් එක්ක මළෙන්මනෙ ඉන්නෙ’
ඔහු තමන්ට ම එසේ මුමුණාගත්තේ ය.
‘අපිට තේ නැද්ද…’
යසස්වී තේ දී පැමිණෙත්දී, ආලින්දය මැද දී හමු වූ දිල්නුක ඇගේ මග හරස් කළේ ය.
‘අම්මගෙන් තමයි අහන්න වෙන්නෙ’
ඇය ඇඟට පතට නො දැනී කියා දැමුවා ය.
‘ආ… එතකොට අස්විද බාප්පගෙ අම්මද ඔයා…’
‘එයාගෙ අම්ම අසනීප වෙලානෙ. ඒකයි’
යසස්වී කඩිනමින් මුළුතැන්ගෙයට යන දෙස දිල්නුක බලා සිටියේ අඩ බැල්මකිනි.
වජිරා එහෙම ගිලන් වන දාකට උදෑසන තේ සකසන්නේ විජිත ය. ඒ වෙලාවට නිලූකා දෙකොන ගිනි ගෙන වාගේ දඟලන බැවින්, ඇගෙන් තේ එකක් බලාපොරොත්තු වෙන්නට වජිරා නො පෙළඹේ. නමුත් මෙදින විජිත ගේ වගකීම යසස්වී ඈ මත පවරාගත්තා ය.
‘කෝ යන්න යන්න අංකල් එහාට. මං ඕක කරන්නං’
කියා ඇය විජිතව මුළුතැන්ගෙයින් පිටත් කරවීමට උත්සාහ කළා ය.
‘මට ඕක පුරුදුයි දරුවො’
‘ඒ මං නැති දවස්වලනෙ. දැං මං ඉන්නවනෙ අංකල්. හොඳ ළමය වගේ කියන දේ අහන්නකො’
අවසන විජිත තේ හැදිල්ලෙන් ඉවත් වූයේ ගෑනු ළමයාට දිනුම දෙමිනි. යසස්වී ඉක්මනට රයිස් කුකරයට බතක් ගැසුවා ය. ඒ අතරේ ම අල බැදුමක් සාදන්නට අඩුවැඩිය ලං කොට ගත්තා ය. කඩිනමින් තේ හදා විජිතටත් වජිරාටත් අස්විදටත් ගෙන ගොස් දුන්නා ය.
‘අනේ අංකල් තේ ටික හදනවනෙ පුතේ. ඔයා දැන් කැම්පස් යන්නත් ඕනනෙ’
‘මං බතකුත් ගැහුව ආන්ටි. අල ටිකක් තෙල් දාල බිත්තරයක් තම්බල ලන්ච් බොක්ස් එකට දාල දෙන්නං’
‘අනේ එපා එපා පුතේ. ඕනෙ නෑ. මට මෙහෙම අසනීප වෙන දවසට චූටිපුතා එළියෙන් කෑම ගන්නව’
‘කමන්නෑ. ආන්ටිටයි අංකල්ටයි කන්නත් පුළුවන්නෙ එතකොට’
යසස්වී අල බැදුමට යහමින් මිරිස් ටිකක් දැමුවා ය. බිත්තර තැම්බෙන අතරේ පරිප්පු ව්‍යාංජනයක් ද පිළියෙළ කළා ය. අම්මා බලන්නට අස්විද උඩු මහළට ගොස් පැමිණෙන අතරේ ඔහුගේ උණුසුම රඳන කෑම පෙට්ටියට කීරි කැකුළු බත් ද මිරිස් සැර ඇති අල බැදුම හා කිරි පරිප්පුව ද දෙකට පලා ලුණු හා ගම්මිරිස් කුඩු දැමූ, කහ මදය මෙලෙකට සිටින සේ තැම්බූ බිත්තර දෙක ද දැමුවා ය.
‘ෆ්‍රිජ් එකේ ඉස්සොනං තිබුණ. ඒත් මං හැදුවෙ නෑ රස නැති වෙලා විසිකරන්න වෙයි කියල. කොහොමත් ඕකත් රහ නැතුව ඇති. ඒත් උදේටහරි චුට්ටක් කාල දාන්න පුළුවන්නෙ’
අස්විද වෙත දිව ගොස් කෑම පෙට්ටිය ඔහු අතට පත්කරනා ගමන්, ඇය ඇයට දැනුණා වූ ඇත්ත ම කීවා ය. උසාවියේ දී වචන කෝටි ගණනක් පාවිච්චි කරනා මුවට එක වචනයක් පැමිණියේ නැත. ඔහු මුළුමනින් හිර වී සිටියා සේ ය. නමුත් යන්තමින් හිස සලාගන්නට ඔහු ට හැකි විය.
‘තැන්කූ කිව්වනං කටේ ගෙඩි එනවද මොකෝ…’
අස්විද හැරී ඇගෙන් ඉවතට ඇවිද යත්දී යසස්වී තුළින් නැගුණ හඬ එයයි.
යසස්වි ගේ කෑම එක ලස්සන ය. පිළිවෙළ ය. වර්ණවත් ය. කෑම වලට මතුපිටින් තවාගත් කෙසෙල් කොළ කැබැල්ලක් දමා තිබුණෙන් සුවඳවත් ය. අස්විද එය කෑවේ අලුත් රසයක් විඳිමිනි. අම්මා ඔහු වෙනුවෙන් ව්‍යාංජන හතර පහක් පිසියි. ඒවා බෙහෙවින් රසවත් ය. වජිරා තරම් රසවත්ව කෑම පිසින්නට දන්නා වෙන කෙනෙකු නැතැයි ඔවුන් ගේ පවුල් වල අය නිතර කියති. මේ කෑම එක ඊට වඩා හාත්පසින් වෙනස් ය. සරල ය. ඒ රසය ද වෙනස් ය. පුංචිකමට ඇය මේ විදිහේ කෑම එකක් හෝ සූදානම් කොට දීම ගැන කෙතරම් කෘතඥ විය යුතු ද? නමුත් ඔහු ඇගේ මහන්සිය වෙනුවෙන්, කෑම බඳුන අතට ගත්දීවත් ස්තූතියි කීවේ නෑ නොවේද? දැන් ඉතින් එසේ කරන්නට ප්‍රමාද වැඩියි සේ ඔහු ට දැනිණ. ඒ ගැන බලවත් පශ්චත්තාපයක් දවසේ ම ඔහු ගේ හිතේ කැරකිණ. වැඩ අතරේදීත් සිලිබිලි කූජනය හිත තුළ විය. ඇයට ස්තූතියක් වශයෙන් ගෙදර එන ගමන් අස්විද හොඳ ම කේක් හලකින් චොක්ලට් කේක් එකක් ගත්තේ ය. ඇයට විතරක් කේක් ගෙන යා නො හැක. ඔහු කිසි දාක මෙහෙම ගෙදරට කෑමක් ගෙන ගොස් නැත. ඕනෑ දෙයක් ගන්නා ලෙස අම්මා අතට ඕනෑ තරම් මුදල් දෙනවා පමණකි. මේ වගේ සුකුරුත්තන් වැඩ මොන තරම් විකාරදැයි දැනුණේ කේක් පෙට්ටිය දැමූ බෑගය ඔහු අතට ලැබුණාට පසුයි.
ඔහු එන විට යසස්වි හා සනුක මිදුලේ සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව ගැවසෙනු නිතර ඔහු දකී. විශේෂයෙන් ම හවසට ඔවුන් ගඩා ගෙඩි කමින් මිදුලට වී සිටිති.
‘බාප්පෙ අද බඩේ තත්වෙ කොහොමද… මෙයාලු උදේ ඉව්වෙ’
රිය නැවතෙත්දී ඒ වෙතට සමීප වූ සනුක ඇසුවේ ය. යසස්වී ඔහු පසුපස වූවා ය. කේක් එක ගනිමින් බිම බලාගෙන සිනහවක් පෑවා මිස අස්විද කිසිත් කීවේ නැත. යසස්වි දෑස් විදා ඔහු දෙස බලා සිටියා ය. සුදු කමිසයේ අත් වැලමිට ළඟ ඔසවා, ටයි ගැටය පහත් කොට කමිසයේ උඩ බොත්තම් විවර කරගෙන, කෝට් එක නවා අතක් මත දමාගෙන ගෙතුළටට ගිය ඔහු ළඟ ඇගේ දෑස් ඇලවී තිබිණි.
‘මොකද…’
සනුක ගේ තොල් කොනක සිනහ රැල්ලක් විය.
‘මහා පණ්ඩිතයි නේ… දෙන්න හිතෙනෝ මටනං…’
‘මං කියන්න හිටියෙ. බාප්පට වැඩිය අනංමනං කියන්න යන්නෙපා හරිද… පොර ටිකක් වෙනස්. කෙල්ලො ඇලර්ජි වගේ. මළ පැන්නොත් බණින්න පුළුවන්. ඒකයි කිව්වෙ’
‘බලාගන්නංකො ඒවට ආවොත්’
කියාගෙන යසස්වී ඉක්මන් ගමනින් ගේ දෙසට ගියේ දැන් ඔහුට තේ ඕනෑ වෙන බව දන්නා නිසා ය.
කාගේවත් අතට නොදුන් කේක් ගෙඩිය මේසය මත තැබිණි. නිලූකා මහත් සතුටින් එය දිගහැරියා ය.
‘නඩුවක් දිනපු කෙනෙක්ගෙන්ද මල්ලි හම්බුණේ…’
‘හ්ම්’
කේක් එක මිල දී ගත්තේ යසස්වි වෙනුවෙන් ස්තූතිවන්ත වීමට යයි කියන්නට අස්විද ට බැරි ය.
‘නංගි මේ කේක් එක කපන්නකො නිලූපා. මං තේ හදන්නං. මං මේ මල්ලි එනකල් හිටියෙ තේ හදන්න’
නිලූකා සියල්ල ඈ අතට පත් කරගත්තා ය. යසස්වී සන්සුන් ව පියගැට පෙළ නැග මතු මහළට ගියා ය. හිතට දැනෙනා අහේතුක ඊර්ෂ්‍යාවක් වේ නම් එය මට්ටු කරන්නට ඇයට ඕනෑ විය. ඕ කාමරයට වී ලැප්ටොප් පරිගණකය විවර කරගත්තා ය. වජිරා ‘යසස්වි දුව… එන්න තේ බොන්න’ කියා කතාකරන තුරුත් ඕ අන්තර්ජාලයෙහි අරමුණකින් තොර රස්තියාදුවක නිරත ව සිටියා ය.
‘අනේ ආන්ටි ඇයි මට මෙහෙට තේ ගෙනාවෙ… මං පහළට යනවනෙ…’
කියාගෙන ඈ කාමරයෙන් පිටතට යන විට, කුඩා ආලින්ද කොටසෙහි ටීපෝව මත තේ මග් හතරකින් හා කේක් කැබලි තැබූ පීරිසියකින් සමන්විත බන්දේසියක් විය.
‘මටත් සනීප නැති නිසා චූටි පුතා තේ ටික උඩට අරං ඇවිත්’
යන්තම් සිනහ වී ඇගේ මග් එක ගත් යසස්වී අස්විද දෙස බැලුවේ හෝ නැත.
‘තාත්ත අද තාම නිදි. ඒයි නැගිටල එන්න තේ බොන්න. යසස්වි… පුතේ මේ කේකුත් ගන්න’
කාමරයට යන්නට සිතීත් යසස්වී පැරණි පුටු කට්ටලයෙහි අසුන් ගත්තා ය. හිතට දැනෙන්නා වූ අමුත්ත පලවා හරින්නට ඇයට ඕනේ ය. නමුත් එය කෙසේ කළ හැකි දැයි ඇය දන්නේ නැත. අනිත් අතට මේ දැනෙනා නො සන්සුන්කමට හේතුවක් හෝ සොයාගත නො හැකි ය. වෙනදාට සිලිබිල්ලක සේ සිලි බිලි ගාගත් ගමන් හිඳිනා ඇයට මේ වෙලාවේ මුවට වචන ආවේත් නැත. ඒ මඳ නිහැඬියාව තුළ කෙසේ හෝ ඕ කතා කරන්නට මාතෘකාවක් සොයාගත්තා ය.
‘කෑම එක කෑවද නැත්තං විසි කළාද…’
‘මොකටද කෑම විසි කරන්නෙ…’
පිළිතුර උසාවියේදී වාගේ ම හරස් ප්‍රශ්නයකි.
‘ඉතිං රහයි කියල බොරුවට හරි කියන්න බැරිද…’
ඒ ප්‍රශ්නය යසස්වි ගේ හිතෙන් පිට වූයේ නම් නැත.
‘ආන්ටි හෙට උදේට උයන ඒව කියන්න. මං උදේම උයන්නං’
‘අනේ ඕන නෑ පුතේ. දැං මට ගොඩක් හොඳයි. හෙට උදේ වෙද්දි හොඳටම හොඳ වෙලා තියෙයි’
අස්විදට සහනයක් දැනිණ. අම්මා ගිලන් වීම ඔහු ගේ හිතට වදයකි. ඇය නිරෝගී ව ගෙදර පුරා ඇවිදිමින් සිටිනවානම් ඔහු ට මුළු ලෝකයත් එක්ක ම වුව නඩු කියා දිනන්නට පිළිවන!