රාත්‍රී ආහාරය ලෙස ඉඳිආප්ප තම්බන්නට නිලූකා තීරණය කළා ය. එහෙම විශේෂ ආහාරයක් හදනා දවසට තුසිතයේ සියලු සාමාජිකයන් වෙනුවෙන් පිළියෙළ කිරීම සම්ප්‍රදාය වේ. වජිරා විශේෂයක් කරන්නේ නම් මුළුමනින් එහි වගකීම ගන්නී ය. නමුත් නිලූකා එහෙම නැත. ඇය කපටිකමින් වජිරා ගේ කර මත ඉන් අඩක් පටවයි.
‘අම්ම එහෙනං ඉඳිආප්ප කන්න ව්‍යාංජන මොනාහරි හදන්නකො’
මේ වෙලාවේත් ඇය එහෙම ම කළා ය.
‘අපේ තේමියට ඉතිං අම්මගෙ කිරි හොද්දයි පොල් සම්බෝලෙයි තරං දෙයක් නෑනෙ. මං දිව්‍ය භෝජන හදල දුන්නත් අපේ මනුස්සයට අම්මගෙ සම්බෝලෙ රසයි ඊට වඩා’
ඇය එවැනි අඩු වැඩියක් එක් කළේ, රාත්‍රී ආහාරයෙන් අඩක වගකීම නැන්දම්මා පිට පැවරූ ලේලි දෙස යසස්වි මුව ද අයා විශ්මයෙන් බලා සිටියදී ය.
‘ඒකට ඉතිං තමුංගෙ මනුස්සයට රසට ආදරෙං හදල දෙන්නෙපැයි… නේ…’
වජිරා යසස්වි ගේ මුවෙහි සිනහවක් නැංවූවා ය.
ලේලි පිටත කුස්සියේ දර ළිපේ ඉඳිආප්ප තම්බයි. නැන්දම්මා ඇතුළේ කුස්සියේ ගෑස් ළිපේ ව්‍යාංජන පිළියෙළ කරයි!
යසස්වි පොල් මැල්ලුම හා හොදි සඳහා පොල් ගෑවා ය. නිතර ම පොල් සම්බෝල හා කිරි හොදි හදන නිසා, වජිරා පහේ බැද තක්කාලි හොද්දක් ඒදුවා ය. ලූණු අමු මිරිස් ද කහ, කරපිංචා, අබ, කුරුඳු ආදිය ද සමග පොල් වංගෙඩියේ කොටා හදන කහ පොල් මැල්ලුම මීට පෙර යසස්වී දැක හෝ තිබුණේ නැත. එබැවින් ඇය වජිරා ට සමීප වී එය පිළියෙළ කරන ආකාරය අසා දැනගත්තා ය.
‘හෙට රෑට ඕගොල්ලො කෑම මුකුත් හදන්නෙපා’
ඇය එහෙම කීවේ වජිරා ට සේ ම නිලූකා ට ද එකවර යමක් වටහා ගත නො හැකි තත්වයකට පත් කොට යි.
‘හෙට මං ඔක්කෝටම පැස්ටා හදන්නං’
වජිරා සිහින් ව සිනාසුණා ය.
‘අපේ දිල්නුකගෙන් බේරෙන්න හම්බෙන්නෑ එහෙනං’
නිලූකා දොර උළුවස්සට හේත්තු වූයේ වෙනස් විදිහේ සිනහවකිනි. යසස්වී දෑස් කුඩා කොට බැලුවා ය.
‘ඇයි…’
‘ඔය විච්චූර්ණ කෑම වලට හරි පෙරේතයනෙ. හැමදාම ඉල්ලයි’
‘ඉතිං කවුද හැමදාම හදන්නෙ…’
යසස්වි එසේ කීවේ ඇගේ ම මුවට වුව නො දැනෙන්නට ය. වජිරා සිනහව තද කරගෙන තක්කාලි හොද්ද හැඳිගෑවා ය. යසස්වි ගේ කතාව නිලූකා ඒ තරම් බරට ගත්තේ නැත.
‘මාත් හැමදාමනං ඔය හුරතල් කරන්නෑ අනේ. ඕව පුරුදු කරගත්හම හරි කරදරේ’
ඒ රෑ කෑම මේසය සුවඳවත් වූයේ ය. ලොකු පුතා ගැන සිතා වජිරා හැදූ කිරි හොද්දෙන් රම්පේ සුවඳ ඉහිරිණි. පොල් මැල්ලුම ඊට වැඩිය සුවඳ හැමුවේ ය. ගෙදර හැම කෙනෙකු ම දිගු මේසය වටා වීම අසිරිමත් ම සිදුවීම වන්නේ ය.
කෑම කමින් සිටින අතරේ උන් හිටි ගමන් යසස්වී කෑ ගසාගෙන පුටුවත් පෙරළගෙන නැගිටගත්තා ය. ඇයට කුමක් සිදු වී ද කියා කිසිවෙකුට සිතා ගත හැකි වූයේ නැත. කෑම නවතාගෙන සියල්ලන් ඇදෙස හැරී බලා සිටියදී කැරපොත්තෙකු ඇගේ සිරුර දිගේ ඒ මේ අත ඇවිද යනු දකිත හැකි විය. ඇය දෑත් දෙපා ගසමින් දැඟලූ අතර කැරපොත්තා නැවත නැවත ද ඉගිලෙමින් ඇගේ ඇඟේ ම වැසුවේ ය. එතකොට යසස්වී තව තවත් හයියෙන් කෑගැසුවා ය. ඒ වූ කලී බොරු බියක් නොවේ. යකෙකුටවත් බිය නැති ඇය කැරපොත්තන්ට පමණක් බිය ඇති තැනැත්තියකි. මනෝ විද්‍යාව අධ්‍යයනය කරන්නට ගත් විට, ඒ ඇතැම් පුද්ගලයන්ට ආවේණික ෆෝබියා තත්වයක් බව ඇය දැන ඉගෙනගත්තා ය. නමුත් ඒ භීතිකාවෙන් නම් ජීවිතය ඇති තුරා මිදිය හැකි දැයි සැක සහිත ය.
කැරපොත්තා හා ගෑනු ළමයාගේ සෙල්ලම දෙස කට්ටිය බලා සිටියේ සිනහවකිනි. ඇගේ හදවත තුළ වන අතිශය බිය ගැන ලොකු හැඟීමක් ඔවුන්ට නො දැනෙන්නට ඇත. ඇතැම් විට එය බොළඳ ගෑනු ළමයෙකු ගේ හුරතල් හැසිරීමක් මිස භීතිකාවක් යයි ඔවුන් නො සිතන්නට ද ඇත. කැරපොත්තා ඉවත් කොට ගෑනු ළමයාව නිදහස් කරන්නට විජිත සිතුවා පමණකි. අස්විද පුටුව පසුපසට දමමින් නැගී සිටියේ ය. සුරතෙහි කෑම ඉඳුල් ය. ඔහු වම් අතින් කැරපොත්තා පිටතට විසි වෙන ලෙස පහරක් ගැසුවේ ය. එවිට ඌ ඉගිළ ගොස් බිම වැසූ අතර අස්විද ඌව කොස්සකින් කුස්සිය මිදුලට විසි කොට දැමුවේ ය.
‘අනේ තැන්ක් යූ සෝ මච්. තැන්කූ තැන්කූ’
යසස්වී අස්විද ට ස්තූතිවන්ත වූයේ හදවතින් ම ය. ඇගේ ඇස් වල යන්තම් කඳුළු පටලයක් ද බැඳී තිබිණි.
‘කටනං එකපාර දහ දෙනෙක්ට ගහන්න වගේ. කැරපොත්තෙක් දැක්කහම මර ළතෝනි තියනව’
ඒ මොහොතේ ඇගේ ලෝකයේ වීරයා වී සිටි අස්විද, අඩ සිනහවකින් නැවත ද පුටුවෙහි අසුන්ගත වූයේ ය.
‘දැක්කහම නෙවෙයිනෙ ඉතිං.. ඌ මගෙ ඇඟේ නැග්ගනෙ’
ඇය හුරතල් වූවා ය.
‘විකාර. කැරපොත්තෙක්ට ඔච්චර බය වෙන්න ඕනෙද… කෙල්ලො සෝබනේට තමයි ඔය පොඩි සතෙක් දැක්කත් මැරෙන්න යන්නෙ. නයෙක් එහෙම ආවනං…’
කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස සමච්චල් හඬ නැගුණේ නිලූපා වෙතිනි. කාගේ පැත්ත ගන්නදැයි සිතා ගත නො හැකිව නිලූකා සිය නැඟණිය දෙස ද යසස්වී දෙස ද මාරුවෙන් මාරුවට බැලුවා ය. යසස්වි ගේ මූණ වෙනස් වී යනු දුටු සනුක වහා කතාව වෙනතක හැරවූයේ ය.
‘චණ්ඩි රැජිනගෙ වීක් පොයින්ට් එකක් අල්ලගත්ත එක හොඳයි. දැං බලාගමු ඈ’
‘අනේ සනුක කැරපොත්තො නැතුව ඕන විහිළුවක් හොඳේ. දවසක මං මැරෙන්නෙ ඔය කැරපොත්තෙක් නිසා හාට් ඇටෑක් එකක් ඇවිත් තමයි’
ඒ රාත්‍රියෙහි පවා යසස්වි ගේ දෙතොල් අතරෙහි විටින් විට සිනහ රේඛා නැඟිණි. කෙතරම් ආඩම්බරකාරයෙකු වී ද අස්විද ඒ වෙලාවේ ඇගේ පිහිටට පැමිණියේ ය. අහංකාර වී ද ඔහු නරකයෙකු නොවේ. විපතකදී සිනහ වෙන්නට තරම් බාල බොළඳයෙකු ද නොවේ. ඇය බිය ම කෘමියාට ඔහු පහර දුන්නේ නිර්භීත ලෙස ය. ඇගේ ගැහැනු හද මඬලෙහි අස්විද ගේ දැවැන්ත සෙවණැල්ලක් පතිත වී තිබිණ. ඇයට ඔහු ගලිවරයෙකු සේ යෝධ හැඟීමක් දනවමින් තිබිණ. එය ගෞරවය මුහු වූ භක්තිමත් හැඟීමකි. වීරත්වය ගැන හැඟීමකි.
අස්විද කෑම මේසයෙහි සිදුවීම අමතක කොට හෙට දවසේ නඩුවකට උවමනා තොරතුරු ගොනුවක් වෙත හිත යොමු කළේ ය. නමුත් ඉඳහිට තොල් අග සිනහ සුළි මතු විය.
තුසිතයට නාන කාමර තිබෙන්නේ දෙකකි. උදේට වැඩි දෙනෙක් ගෙදරින් පිටත් වන නිසා ඒවා කාර්යබහුල ය. පිටත සිටිනා අය ඇතුළට රිංගා ගනු ස් එකකින් අනෙක වෙත යමින් ඒවා හිස් වී දැයි පිරීක්සති. එහෙම මාරු වෙත්දී අස්විද ට නිලූපා හමු විය. ඇය ඔහුට ගස්සා ඉවත බැලුවා ය. ඒ ඇයිදැයි ඔහු දැන සිටියේ නැත. හේතුව දැනගන්නට ඔහු ට ඕනෑ වූයේ ද නැත.
‘අපිට පෙන්නන ගෑස් බොරු සෝබනේට කියල දැනගත්ත එක හොඳයි’
ඔහු ඇයව පහු කර යන්නට ඔන්න මෙන්න තිබිය දී නිලූපා වචන අහුරකින් දමා ගැසුවා ය. දත් බුරුසුව මුවෙහි ඔබාගෙන ම ඒ කතාව කුමක්දැයි හිතුවත් ඔහු ට නිරවුල් වූයේ නැත.
‘බොරු පොශ් එවුං කැරපොත්තෙක්ට බය වුණත් පඬුපුල් ආසනේ උණු වෙනව’
ඇය ගස්සාගෙන ම යන්නට ගියා ය. අස්විද ට කාරණය වැටහුණේ එවිටයි. ඔහු ට සිනහවක් ගියේ ය.
‘මේ ගෑනුත් එක්ක වසන්න බෑනෙ දෙයියනේ’
මුහුණ සෝදත්දී ඔහු ගේ සිතේ නැගි සිතිවිල්ල එයයි.
රෑ කෑමට යසස්වි පැස්ටා හැදුවා ය. ඇය විශ්ව විද්‍යාලයේ සිට එන ගමන් සුපිරි වෙළෙඳ සැලකින් පැස්ටා ද මොසරැල්ලා චීස් ද කුකුළු මස් ද මිල දී ගත්තා ය. පැස්ටා කියන්නේ ගෙදරදීත් ඇය රසට හදන කෑමකි. නමුත් ඊටත් වැඩිය එය රසවත් කරගනු වස් ඇය යූ ටියුබ් වීඩියෝ ගණනාවක් ම නැරඹුවා ය. දන්නා ශිල්ප සියල්ල යොදා රාත්‍රී භෝජනය වෙනුවෙන් චීස් රසැති පැස්ටා පිළියෙළ කළා ය.
‘ඔන්න චිකන් කරි එකනං ආන්ටි හදන්නෝනෙ. ඒ වගේ රසට මට හදන්න බැරි වෙයි’
ඇය කල්තියා ම එසේ ද කීවා ය. අස්විද ඔය වාගේ කෑම වලට ඒ තරම් කැමැත්තක් නො දක්වන බව වජිරා යසස්විට කියන්න ගියේ නැත. ඒ වෙනුවට ඇය දවාලේ ඉතිරි ව්‍යාංජන සමග බත් ටිකක් ද මේසයට තැබුවා ය. විජිත ට කොහොමත් රෑට බත් ටිකක් උවමනා වන නිසා යසස්වි ට එහි වෙනසක් දැනුණේ ද නැත.
පැස්ටා දීසිය දුටු ගමන් අස්විද ට ඉන් ටිකක් කෑමේ සිතිවිල්ලක් පහළ විය. පසුව බත් බෙදාගැනීමේ සිතිවිල්ලෙන්, ඔහු රස බලන්නට වාගේ පැස්ටා ස්වල්පයක් දමාගෙන කටක් කෑවේ ය. එහි වූයේ චීස් හා ගම්මිරිස් සැර මුසු කිරි රසකි.
‘ඒක රහයිනෙ අම්මෙ’
කියමින් ඊලඟට ඔහු බත් වෙනුවට පිඟාන පිරෙන්නට පැස්ටා ම බෙදාගත්තේ ය.
‘චිකන් හොදි දාගන්න චූටි පුතා’
වජිරා කුකුළු මස් දීසිය ඔහු වෙතට ලං කළේ ය.
‘එපා එපා. පොඩි කෑල්ලක් විතරක් දාගන්නං. නැත්තං අරකෙ ටේස්ට් එක දැනෙන එකක් නෑ’
වජිරා යසස්වි ගේ මුහුණ දෙස බලා සිනහවක් පෑවා ය. යසස්වී අතකින් මුව වසා සිනහ වී අනතුරුව කොලරයක් නැති ටී බැනියමේ කර එසවූවා ය.
‘ එහෙනං යසස්වි දුවගෙ කෑම රසයි තමයි හොඳේ. මෙයාගෙං රසයි කියල අහගන්න බෑ ලේසියෙං’
ගිලින්නට ගිය පැස්ටා කැබැල්ලක් පිටි උගුරේ ගොස් අස්විද කැස්සේ ය. වජිරා ඔහු ට වතුර වීදුරුවක් ලං කළා ය. පාඩුවේ කන්නේ නැතිව රසයි කියන්නට ගිය මෝඩකම යයි පසුතැවීමක් ඔහු ට දැනිණි. යසස්වී යන්තම් පොඩි සිනහවකටවත් ඉඩ නොදී සිටියේ මුව පොපියත්දී අසීරුවෙනි.