ආදර සැලසුම් – 17

0
257

ආදිත්‍ය හදිසියේම නිවසට පැමිණෙන බව දැනුම් දුන් නිසා අශිකා ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මග බලාගෙන උන්නාය. මිදුලේ වාහනය නතර කෙරූ ආදිත්‍යය ඉන් බැස ආවේ ඇවිද ගන්නට පවා අපහසු අයෙකු පරිද්දෙනි. ඒ තරම් දරුණු පරාජිත හැඟීමකින් ඔහුව වෙලා ගෙන තිබුණු අතර ඔහු තුළින් ඉස්මතු වූ ඒ වෙනස අශිකා දුර තියාම හඳුනා ගත්තාය.  ඒ නිසා ඇය වදනක් හෝ නොදොඩා ආදිත්‍යය හට නිවසට ඇතුළු වීමට ඉඩ දුන්නාය.

නිවසට ඇතුළු වූ ආදිත්‍ය අශිකා සෝෆාවෙන් වාඩි වූ පසු ඇගේ දෙපා මුල වාඩි වූයේය. ඔහු මේ සැරසෙන්නේ කුමක් හෝ දීර්ඝ සහ බරපතළ කතා බහකට බව අශිකා අනුමාන කළේ අත්දැකීමෙනි. ආදිත්‍ය පාසල් යන වයසේදී  පාසලේ සිදුවන සියලුම දෑ පවසන්නේ මේ ආකාරයට තමාගේ දෙපා මුල වාඩි වීගෙනය. ඒ පුරුද්ද ඔහු වැඩිවියට පැමිණි පසුව මෙන්ම විවාහ වී නිවසෙන් පිටවී යනතුරුම තිබුණේය. ඔහුගෙන් මේ මොහොතේ දිස්වන ඉරියව් අනුව මේ කතා බහ එතරම් හොඳ එකක් නොවන බව අශිකා තේරුම් ගත්තාය.

අශිකාගේ දෙපා මුල වාඩිවී සිටි ආදිත්‍ය මොහොතක් ඇයට පිටුපා සිට අනතුරුව ඇය දෙසට හැරී උකුලේ හිස හොවා ගත්තේය. තවත් එක නිමේෂයකින් පසුව ඔහු ඉකි බිඳිනා බව අශිකා වටහා ගත්තේ ඔහුගේ සිරුර ගැස්සෙන නිසාවෙනි. අශිකා ඔහුගේ හිස අතගාමින් ඔහු සිටි ඉරියව්ව වෙනස් කලේ ඔහුගේ මුහුණ පෙනෙන ආකාරයටය.

” ඇයි මගේ පුතේ මේ ? ” 

ආදිත්‍ය කඳුළු පිසදා ගත්තේය.මේ ගමන එන්නට තිබුණේ මීට පෙරය. එසේ නම් බොහෝ දේවල් වෙනස් වෙන්නට ඉඩ තිබුනා මෙන්ම ෂෙහාරා පිළිබඳව තීරණයක් ගන්නට ද තමා මේ තරම් හෝ කල් නොගනු ඇතැයි සිතමින් ආදිත්‍ය දිගු සුසුමක් පිට කළේය.

” ෂෙහාරා මාව රැවැට්ටුවා අම්මා ” 

ආදිත්‍ය ඉකි ගසමින් හැඬුවේය. තම සිත තුළ පුපුරු ගසන වේදනාව රිසි සේ පිට කල හැකි මෙලොව ඇති එකම තැන තම මවගේ දෙපා මුල පමණි. ඒ නිසාම ආදිත්‍ය ඒ අවස්ථාව පැහැර හැරියේ නැත.

අශිකා ඕනෑවට වඩා කලබල නොවූයේ ආදිත්‍ය ගේ ජීවිතය තුළ මෙවන් දෙයක් සිදු වෙමින් පවතින බව කාලයක සිට අනුමාන කරමින් සිටිය බැවිනි.එහෙත් කුඩා දරුවෙකු මෙන් තම දෙපා මුල වැටී හඬා වැටෙන වයස අවුරුදු තිස් පහක් වූ තම වැඩිමහල් පුත්‍රයා දෙස අශිකා බලා සිටියේ වේදනාවෙනි.

” මොකද උනේ ආදිත්‍යය ? ” 

පෙර දින රැයේ සිට සිදු වූ සියල්ල ආදිත්‍යය පැහැදිලි කලේය. අශිකා සාවධානව ඔහුට සවන් දුන්නාය. ෂෙහාරා යනු දේවක විසින් ආදිත්‍ය හට තෝරා දුන් බිරිඳය. ඔහුද මේ සඳහා වග කිව යුතු නමුත් සම්පූර්ණ වැරැද්ද ෂෙහාරා සතුය. විවාහක බිරිඳක් ජීවත් විය යුතු පිළිවෙලක් තිබේ. ජීවිතය විඳීමට අයිතියක් ඇති නමුත් එය කළ යුතු සීමාවක්ද තිබේ. පවුල් ජීවිතය තුළ කුමන අඩුපාඩු තිබුණත් පැහැදිලි වෙන්වීමකින් තොරව අනෙකා රැවටීම හෝ වරදේ බැඳීම කළ යුතු නොවේ.

” ඔයාගේ තීරණය මොකක්ද පුතේ ? ” 

අවසානයේදී අශිකා ඇසුවාය. තමා මෙහි පැමිණියේ තීරණයක් රැගෙනය. එය පවුල් ජීවිතයකදී දැඩි තීරණයක් වුවත් තව දුරටත් රැවටිය නොහැක. 

” මං ඩිවෝස් වෙනවා අම්මා. මට වෙන කරන්න දෙයක් නෑ. කාලයක් තිස්සේ මං ඉවස ගෙන බලා ගෙන හිටියා. ඒත් මේ තරං දෙයක් මට ඉවසන්න බෑ අම්මා ” 

ආදිත්‍යය කඳුළු පිස දා ගත්තේය. හිතේ තිබුණු කණස්සල්ල දැන් බොහෝ දුරට පහව ගොස් ඇත. එහෙත් සියල්ලටම මුහුණ දිය යුතු කාලය ආරම්භ වන්නේ ඉදිරියටය.

” ඔයාගේ ජීවිතේට හරි යන කෙනා ඔයාට හොයා ගන්න නොදී අපි ඒකට මැදිහත් වෙච්ච එකයි පුතේ ලොකුම වැරද්ද. පවුල් පසුබිම උගත්කම කොච්චර හොඳට තිබුණත් සමහර තීරණ වලදි අපි හිත ඉස්සර කර ගත්තම වරදිනවා පුතේ. ෂෙහාරාට වෙලා තියෙන්නෙත් ඒක. කොටින්ම කියනවනම් ඔයාගේ තාත්තට උනෙත් ඒක ” 

අශිකා සුසුමක් පිට කළාය.ඒ , අතීතය නැවත නැවත සිද්ධ වෙමින් පවතින බව දැනුනු නිසාය.  තමා ආදරය කළ පුද්ගලයාව විවාහ කර ගැනීමට ඉඩ නොතබා තම පියා විසින් ඔහුගේ මිතුරෙකුගේ එකම පුත්‍රයා වූ දේවකට තමාව විවාහ කර දුන් ඒ අතීතය අශිකා සිහි කලේ දෑසට කඳුළු නැගීම වළක්වා ගන්නා අතරේය. තමා ආදරය කල ඔහුව තමාට නොගැලපුණේ වත් පොහොසත් කම් වලින් පමණි.එහෙත් ආදරය ,ගෞරවය සහ රැකවරණය අතින් ඔහු ඉතා පොහොසත් වූ අතර ඔහුට ආදරය කළ වසර ගණනාව තුළම ඔහු වචනයකින් හෝ තමාගේ සිත රිදවූයේ නැත. දේවක හා විවාහ වීමට පෙර තමා දේවකව මුණගැසුණේද දින දෙක තුනක් පමණි. එයින් ඔහු කවරාකාරයේ පුද්ගලයකු දැයි දැන ගැනීමට පවා තමාට නොහැකි බව පවසද්දීත් තම පියා විසින් විවාහයට සියල්ල සූදානම් කළේය. පසුකාලීනව මතු වූ ගැටුම් වලදීත් , දේවක නිවස හැර යන අවස්ථාවේදීත් තමාට දික්කසාදයක් පිළිබඳව තීරණයක් ගත නොහැකි වූයේ දෙපුත්‍රයන් නිසාය. එහෙත් ආදිත්‍යයට එවන් බාධාවක් නොමැති නිසා ඔහු තවමත් ප්‍රමාද නැත.

ආදිත්‍ය හට ප්‍රේම සම්බන්ධයක් නොතිබුනත් ඔහු දේවකගේ කීමට එකඟ වූයේ තමාගේ සහ ඔහුගේ ගැටුම් මැද ජීවත්වීම ඉතා පීඩාකාරී වූ නිසා බව අශිකාට රහසක් නොවේ. එහෙත් මේ මොහොතේ ආදිත්‍ය පත්ව සිටින්නේ තමා පත් වූවා හා සමානම පීඩාකාරී තත්ත්වයකටය. 

” තාත්තා මොනා කියයිද අම්මා? ” 

අශිකා ගේ නිහඬ බව හමුවේ ආදිත්‍ය ඇසුවේය.දේවක සමග ඉතා සමීප සම්බන්ධතාවයක් නැතත් ආදිත්‍යය ඔහුට ඉතාම ගෞරව කරන්නේය. දික්කසාදය පිළිබඳව තීරණයේ දී ආදිත්‍ය පියවරක් පසුපසට තබනවා නම් තබන්නේ දේවක නිසාම පමණක් බව අශිකා සිතුවාය.

” තාත්තා මොනවා කිව්වත් ඔයාට ඔහොම ජීවිතයක් ඕන නැහැ නේ පුතේ. අපි ජීවත් වෙන්න ඕන අපිට දැනෙන තැන.අපිට ජීවත් වෙන්න පුලුවන් තැන. අනිත් එක කාටවත් අයිතියක් නෑ පුතේ අපිව රවට්ටන්න. විශේෂයෙන්ම කසාදයක් ඇතුලේ. එක වහලක් යට ජීවත් වෙන්න බැරි නම් තම තමන්ට අයිති පාරවල් හොයා ගෙන යන්න ඕන. හැබැයි , ඒක කරන්න ඕන හරි විදියට මිසක් තමන් එක්ක ජීවිතේ බෙදා ගන්න මනුස්සයව රවට්ටලා නෙමෙයි ” 

” එහෙනම් ඇයි අම්මා අම්මට අයිති පාරක් හොයා ගෙන ගියේ නැත්තේ ? ” 

ආදිත්‍යය ඇසුවේය. එය පිළිතුරු දෙන්නට පහසු ප්‍රශ්නයකි.

” මං ඕන්නම් තව අවුරුදු කීපයක් ජීවත් වෙයි පුතේ. ඒ ටිකත් ඔයාලා දෙන්න එක්කම ජීවත් වෙනවා ඇරෙන්න මට වෙන පාරවල් ඕන නෑ ” 

අශිකා කීවේ මුහුණට මදහසක් නගා ගනිමිනි. තමා දිවි හිමියෙන් ආදරය කළේ එකම පුද්ගලයකුටය.දේවක සමග ඇති වූයේ නෛතික බැඳීමක් වුවත් පසු කාලීනව අශිකා ඔහු හා ආදරයෙන් බැඳුනාය. එහෙත් ප්‍රථම ප්‍රේමය යනු ජීවිත කාලයටම අමතක නොවෙන හදවතේ එක්තරා කොණක පැලපදියම් වී තිබෙන ප්‍රේමයකි. දේවකට ඒ තැන ගැනීමට නොහැකි වුවත් අශිකා විවාහයෙන් පසුව වචනයකින් හෝ ඔහුට වරදක් කලේ නැත.විවාහ වී මසක් ඇතුලත ගැබ් ගැනීම පිළිබඳව අශිකා තුළ යම් වරදකාරී හැඟීමක් තිබුනද ඇය එය සිත තුළම තබා ගත්තා මිස කිසිවෙකු හා බෙදා ගන්නට ගියේ නැත. මේ මොහොතේ පවා ඇය සිතමින් උන්නේ ආදිත්‍යය යනු තම ප්‍රථම ප්‍රේමයේ ඉතිරි වූ එකම මතක සටහන කියාය.

” ෂෙහාරා රිකවර් උනාට පස්සේ මම ලෝයර් එක්ක කතා කරලා ඩිවෝස් එකට වැඩ ලෑස්ති කරනවා අම්මා. මේක තව දුර ගෙනියන්න මට ඕනේ නැහැ. ඊට පස්සේ ෂෙහාරා කැමති දෙයක් එයා කරගත්තාවේ.එයාට ඕන නම් මං මාසෙට ගානකුත් දෙනවා ” 

අශිකා සිතිවිල්ලේම ආදිත්‍ය ගේ හිස අත ගෑවාය. තමාට වැදගත් වන්නේ තම දරුවන්ගේ සතුටය. ආදිත්‍යගේ තීරණය පිළිබඳව දේවක මොනවා පැවසුවත් , ඔහු ඒ පිළිබඳව කුමන අදහසක් දැරුවත් පලක් නැත. 

” මං කරන්න යන්නේ වැරදි දෙයක් ද අම්මා ? “

ආදිත්‍ය නැවත ඇසුවේය. සමහර විට ඔහු ගත් තීරණය පිළිබඳව ඔහු දෙගිඩියාවකින් පසුවනවා ඇත.

” නෑ පුතේ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here