අරුමැති ආදරයක් – 37

0
4230

අපූර්වාගේ නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් අමායාගේ නඩු වාරයත් යෙදී තිබුණේ එකම දිනයකය. තමාරා නිවසින් පිටව ගියේ පාන්දරමය. නැකත තිබුණේ පෙරවරු හයයි හතළිහටය. 

“තවමත් ඒ දරුවා අම්මා හොස්පිට්ල් නවත්තපු එක ගැන ලොකු පසුතැවීමකින් ඉන්නේ….”

තමාරා පැවසූයේ යුගාෂ්ගේ කාමරයට එබෙමින්ය. ඔහු පෙර දින සූදානම්කර තබාගෙන උන් රුපියල් පනස් දහසක මුදලක් තමාරා අත තැබුවේ එවේලෙහිය.

“සල්ලි ඕනේ නෑ පුතා. මං ළඟ සල්ලි තියෙනවා……”

“නෑ… අම්මා ඕක එයාගේ වියදමට අතේ තියාගන්න කියලා අම්මා දෙන දෙයක් විදිහට දෙන්න..”

තමාරා යුගාෂ්ගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාම බැල්මක් හෙළුවේ ගුරු පැහැ ලියුම් කවරය තම දෑතට නොගෙනය. 

“මම මේ හැම දේකටම ඔයාට උදව් කරන්නේ ඔයා වරදක් නොකරයි කියන විශ්වාසයෙන්..ඒ නිසා පුතා, කල්පනාවෙන් වැඩ කරන්න. අපූර්වා කියන්නෙත් ගෑණු ළමයෙක්. ඒ ළමයා එක ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නෙකට ඇදලා දාන්න එපා. හැමතිස්සේම පුතා ඔයා ඔයාගේ සීමාව අවබෝධ කරගෙන ජීවත් වෙන්න. මං හිතන්නේ නෑ ඔයාට දෙයක්  දෙපාරක් කියන්න ඕන දරුවෙක් කියලා. මට හිතෙන්නෙම ඔයා ඔය කරන බොරුවෙන් අපි කරන මේ වැඩවල වටිනාකම නැතුව යනවා කියලා. අවුරුදු විසි අටක් මං ඔයා ගැන තියපු විශ්වාසය ඔයා එක තත්පරයකින් කඩලා දාලා මාව අපහසුතාවයට පත් කරන්න එපා පුතා…”

තමාරා එසේ පැවසූයේ කෝපයෙන් නොවූවත්  ඒ තමාට සීමාව හඟවන අවවාදාත්මක වදන් පෙළක් බව යුගාෂ්  දැන සිටියේය. එහෙත් මෙවේලේ ඒ ගැන ප්‍රශ්න කරන්නට හෝ අපූර්වා ගැන යමක් පවසන්නට යුගාෂ් ඉක්මන් වූයේ නැත. තමාරා ඔහු අත වූ ලිපි කවරය රැගෙන කාමරයෙන් පිටවූයේ නිහඬවය.

යුගාෂ්  විසින් දුරකථනයෙන් ඇනවුම්  කළ කුලී රියට නැගි අම්මාත්, නන්දනීත්  පිටව යන අයුරු යුගාෂ් බලා සිටියේ සැදැල්ලට වීගෙනය. 

නැකතට තමාරාට  මුල්ගල තබන්නයැයි අපූර්වා පැවසුවත් ඇය එය ප්‍රතික්ෂේප කරමින් අපූර්වා අතින්ම මුල් ගල තැබීමේ කටයුත්ත සිදු කළාය. ලොකු හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් පාන්දරම වැඩි නිසා පිරිත් කීමේ කටයුත්තත් අපූර්වා මුල්ගල තබද්දීම සිදුකලහ. අමුත්තන් ලෙස පැමිණ සිටියේ හේෂානිත් ඇගේ නිවසේ අයත්, ගුණවතී හා ඇගේ සැමියාත් පමණි. සමන්, චින්තන සහ උපාලි පැමිණියේ පෙරදා රාත්‍රියේය. ගෙපල් ඇදීම වැනි වැඩ කටයුතු සිදු කෙරුණේ ඔවුන් අතින්ය.

“මොනවද කල්පනා කරන්නේ….”

තමාරා  ඇසුවේ  අපූර්වා දුරකථනයත් රැගෙන නොසන්සුන්ව එහෙටත් මෙහෙටත් ඇවිද යද්දීය. 

“අම්මයි තාත්තයි හිටියනම් කියලා හිතුනා මැඩම්. මේ සතුට විඳින්න ඒ දෙන්නා හිටියනම්”

“සිදු වෙච්ච දේවල් වෙනස් කරන්න බැහැනේ පුතේ. අපිට දැන් තියෙන්නේ අනාගතයට මුහුණ දෙන්න. අපි ඒ අනාගතය යහපත් වේවා කියලා පතමු. ගේ හදලා දානයක් දීලා අපි තාත්තට පින් අනුමෝදන් කරමු.”

තමාරා පැවසූයේ යුවතියගේ හිස අතගාමින්ය. 

“ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ විශේෂ කෙනෙක් කතා කරයි කියලා බලාපොරොත්තුවෙන්ද…”

එවර ඕ ඇසුවේ ඈ අත තිබූ ජංගම දුරකතනය දෙස බලමින්ය.

“අනේ නෑ මැඩම්..”

“මට බොරු කියන්න එපා දරුවෝ..”

“අනේ නෑ මැඩම් එහෙම දෙයක් නෙමෙයි..”

“මොනවා කළත් කමක් නෑ පුතේ දෙපාරක් හිතන්න. ගෑනු දරුවෙක්ගේ ජීවිතේ වරදින්න යන්නේ තත්පරයයි. ඒ නිසා ගෑණු දරුවෙක් තීරණ ගන්න ටික කාලයක් ගත්තට කමක් නෑ. තමන්ට නොගැලපෙන මාවතක ඇවිදගෙන ගිහිල්ලා ආපහු හැරෙන්න හිතනවට වඩා මුලදිම ගැලපීම් නොගැලපීම් තේරුම් ගන්න එක වටිනවා. ඔය දරුවා උනත් ජීවිතේ දුක් විඳින්න කැමති නැතුව ඇතිනේ. තරුණ දරුවෙක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම වරදක් කියලා මම කියන්නේ නෑ. ඒත් තීරණ ගැනීමේදී හැඟීම්වලට නෙමෙයි බුද්ධියට ඉඩ දෙන එක වටිනවා.”

“මට තේරෙනවා මැඩම්…”

අපූර්වා එසේ පැවසූයේ දෑස් සඟවා ගෙනය.  සැබැවින්ම ඈ බලා උන්නේ යුගාෂ්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරුය. අද ඔහු විශේෂ නඩු වාරයක් සඳහා සූදානම් වන බව අපූර්වා දනී. ඊයේ රාත්‍රියේත් කතා කරමින් ඔහු සියල්ලටම උපදෙස් ලබා දුන්නේය. තමාරා හා ඔහු ගැන කියන්නට අවැසි උනත් මේ ඊට සුදුසුම වේලාව නොවනබව ඈ විශ්වාස කළාය.

                                     ***************

පැමිණිලිකරුවන්ගේ පාර්ශවය සේම යුගාෂ්  කලින්ම උසාවි භූමියට පැමිණ තිබීම පුෂ්පානන්දගේ විමතියට හේතුවක් වී තිබිණ. ඔහු සැලසුම් කළ ආකාරයට කිසිවක් සිදු වී තිබුණේ නැත. සැබවින්ම අද පැමිණිලි පාර්ශවය උසාවියට නොඒවියැයි පුෂ්පානන්ද සිතා සිටියේය. තමා දෙස තත්පර කිහිපයක් බලා උන් පුෂ්පානන්ද  සේනක අභියසට ගොස් යමක් පවසන අයුරු යුගාෂ්  බලා සිටියේ ඔහුට සුපුරුදු වූ මදහස මුව මත තබාගෙනය. 

“අමායා ඔයාට සිද්ධ වෙච්ච හැම දෙයක් ගැනම ඇත්තම කියන්න. මිනිස්සු බය වෙන්න ඕනෙ ඇත්ත හංගන්නයි බොරු කියන්නයි.”

“සර් බයවෙන්න එපා. මං එදා වගේ නිහඩව ඉන්න එකක් නැහැ. මට අපහසුයි,  මට ලැජ්ජයි, මට දුකයි ඒ වුනාට කමක් නැහැ. දයාල් මාව නාඳුනනවා වගේ මේ ඉන්න විදිහ ගැන මට තියෙන්නේ හරි කලකිරීමක්. සර් දන්නවද…ඊයේ එක පාරක් නෙමෙයි හත් අට පාරක්ම අපේ ගේ ඉස්සරහින් වාහනයක් ගියා. සර් එහෙම කතා කරලා අපිට පොලිස් ආරක්ෂාවක් නොදුන්නනම් සමහර විට අද මේ නඩුවට එන්න අපි නැති වෙන්නත් තිබුණා. මගේ ජීවිතේට එහෙම කරන්න හදන මනුස්සයෙකුට මං මොකටද සර් සමාවක් දෙන්නේ. මේ ඉන්නේ ආදරයේ නාමයෙන් මාව රවට්ටපු මිනිහෙක්. සුරංගනා ලෝකෙක මාව අතරමං කරලා එක පාරටම නරකාදියකට ඇදලා දාපු මිනිහෙක්. අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් වැරදි කරපු, කරන මිනිහෙක්.  දන්නේ නෑ සර් පස්සෙ කාලෙක එයාලගේ බල පුළුවන්කාරකම් පාවිච්චි කරලා එයාල නීතියෙනුත් හැංගෙයිද කියලා. මගේ ජීවිතය නැති වුණත් මම දයාල්ට දඬුවමක් දෙන්න උත්සාහ කරනවා සර්. මට නැති වෙච්ච කිසි දෙයක් ආපහු මට ලැබෙන්නේ නෑ. හැබැයි එයා මීට පස්සේ අසරණ ගෑණු ළමයෙක් ළඟට ලං  වෙන්න කලින් දෙපාරක් හිතයි…”

යුගාෂ් අමායාට පක්ෂව හෝ අපක්ෂව කිසිවක් පැවසූයේ නැත. ඒ වෙනුවට ඔහු ප්‍රාර්ථනා කළේ හැම ගැහැණු සිතක්ම මේ අයුරින් ශක්තිමත් වේවා යනුවෙන්ය. 

“උසාවියේත්  මගේත් කාලය නාස්ති කරන  මේ නඩුවට අදත් මට පෙනී සිටීමට සිදුවෙනවා ස්වාමීනි. ඒක මගේ සේවය නිසා. මට පැමිණිලි කාරියගෙන්  ප්‍රශ්න කිරීමට අවසරයි ස්වාමීනි.”

“ඔබට ඒ අවසරය ලැබෙනවා..ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න පුළුවන්.”

පුෂ්පානන්ද යුගාෂ් දෙස බැලුවේ අවඥා සහගත සිනහවක් මුව මත තබාගෙනය. ඉන්පසු පැමිණිලි කූඩුව වෙත ලං වූයේ ජයග්‍රාහී ලීලාවකින්ය.

“පැමිණිලිකාරිනිය. අමායා ජයසුන්දර  ඔබ දැනගෙන හිටියා මේ සේනක මන්ත්‍රීතුමාගේ පුතා කියල. ඔබ ඒ බව හොඳින්ම දැනගෙන නේ මෙම ස්ථානයේ රැකියාවට පැමිණියේ. එහෙම නේද..”

“එහෙමයි ස්වාමීනි”

“එතකොට මේ විත්තිකරු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්න යෝජනා කරද්දී ඇයි ඔබගේත් ඔහුගේත් නොගැලපීම් ගැන නොසිතුවේ. මං කියන්නේ තරාතිරම තත්වය ගැන”

“ඒ නොගැළපීම් ගැන මම මුලින් ඔහුට පැවසුවා ස්වාමීනි. හැබැයි ඔහු දිගින් දිගටම පැවසුවේ ඒ නොගැළපීම් අපේ සම්බන්ධයට ප්‍රශ්නයක් නොවන බව. ඒ නිසාම මං මගේ හිතේ තිබුණු සැකයත් බයත් දෙකම අයින් කරගත්තා.”

“මේ සැරේ කෙල්ල මාර විදිහට උත්තර දෙනවා බං..”

තීක්ෂණ පැවසූයේ යුගාෂ්ගේ කනට කරය. යුගාෂ් හිස වැනුවේ ‘ඔව්’ යැයි පවසමින්ය. ඔහු අමායාගෙන් මේ වෙනස බලාපොරොත්තු වූ එකකි. 

“දැන් ඔබ පවසන්නේ මේ පුද්ගලයා ඔබව රවටලා ඔබේ කන්‍යාභාවය අහිමි කරලා රවට්ටලා අතහැර දැමුවා කියලා. ස්වාමීනී යුවතියකට තමාව පරිස්සම් කරගත යුතු ආකාරය ගැන පැහැදිලි කළ දිය යුත්තේ දෙමව්පියෝ විශේෂයෙන්ම ඇගේ මව. ඉතින් මේ පැමිණිලිකාරියට ඒ උපදෙස් මොන විදිහට ලැබුණද කියන්න මම දන්නේ නෑ.මම ඔබෙන් අහන්න කැමතියි ඒ විවාහ පොරොන්දුව අරගෙන දයාල් ඔබේ නිවසට කී වරක් පැමිණියාද කියලා” 

“ගෙදරට නං ආවේ නැහැ…”

“ඒකෙන්ම පැහැදිලි වෙනවනේ ස්වාමීනී මේ පැමිණිලිකාරිය කරන්නේ බොරුවක් කියලා. ඕනෙම ගෑනු ළමයෙක් තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයා තමන්ගේ නිවසට අඳුන්වලා දෙනවා. දෙමව්පියෝ මේ ගෑනු දරුවා ගැන විමසිල්ලෙන් ඉදලම නෑ. එක්කෝ සල්ලිකාර පවුලකට කෙල්ලව දෙන්න පුළුවන් කියලා කපටිකමට නිහඬ වෙලා. එහෙම නේද..”

“අම්මයි තාත්තයි මගේ සම්බන්ධය ගැන දැනගෙන හිටියේ නෑ. මම දයාල්ට දෙපාරක් තුන් පාරක්ම කිව්වා ඇවිල්ල මගේ අම්මවයි තාත්තවයි හමුවෙන්න කියලා. ඒත් ස්වාමීනි ඔහු ඡන්දයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා ඉන් පසුව පැමිණෙන්නම් කියලා තමයි කිව්වේ.”

“ඒක හරියට නවකතාවක් වගේ ස්වාමීනි. අපි කොහොමද දන්නේ? මේ දයාල් සේනකත් එක්ක සම්බන්ධතාවය තිබුණු අතරේ මේ පැමිණිලිකාරියට තවත් කවුරුන් හෝ තරුණයෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුණද කියලා. මොකද ඇයට තිබිලා තියනවා අසීමිත නිදහසක්. කිසි කෙනෙක් කිසි දෙයක් දන්නේ නෑ.  සමහරවිට ඇගේ කන්‍යා භාවය නැති වෙන්න ඇත්තේ එහෙම ඇසුරු කරපු කෙනෙක්ගෙන්  වෙන්න පුළුවන්.” 

“සමාවෙන්න ස්වාමීනි, මගේ උගත්, පරිණත නීතිඥ මහතා මේ ගරු උසාවිය නොමඟ යවන බවයි පේන්නේ.”

එවර යුගාෂ් නැගී සිටියේ තම විරුද්ධතාවය ප්‍රකාශ කරමින්ය.

“මම නෙමෙයි නීතිඥතුමා. ඔබ කාගේ හෝ කීමකට නොමඟ ගියා කියලා  තමයි මට හැඟෙන්නේ.”

“ස්වාමීනි…මගේ ප්‍රශ්න කිරීම මෙතකින් අවසන්. ඇත්තටම මට ප්‍රශ්න කරන්න තරම් දෙයක් නැහැ. මොකද මේ පැමිණිලිකාරිය පවසන විදිහට ඇයට තමන්ගේ අතින් කිසිම කරදරයක් සිද්ධ වුණේ නැහැ කියලා මගේ සේවා දායකයා සපථ වෙනවා. ඔහු මේ පැමිණිලිකාරියට අනුකම්පා කරලා යම් යම් අවස්ථාවල මුදලින් සහ තෑගි බෝගවලින් උදව් කරලා තියෙනවා. ඔහු පවසන ආකාරයට මේ තරුණියට විතරක් නෙමෙයි තමන්ගේ කාර්යාලයේ සේවය කරන අනිත් අය ගැනත් ඔහු හිතන්නේ ඒ විදිහටම තමයි. මම යළිත් වතාවක් පවසනවා ස්වාමීනි තනිකරම මේක කාගේ හෝ උපාය මාර්ගයක්. මම කැමතියි මගේ ගරු නීතිඥයවරයාට  මතක් කරන්න මගේ මේ සේවා දායකයාට විරුද්ධව යම්කිසි සාක්ෂි තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට. එසේ නොවුනහොත් ස්වාමීනි මේ නඩුව මෙතනින්ම නිශ්ප්‍රභා කරලා දාන ලෙස මම ඉල්ලා සිටිනවා. ඇත්තටම කිව්වොත් මගේ මේ සේවා දායකයාගේ පාර්ශවයෙන් මේ ළමයට වචනෙකින්වත් හානියක් වෙන්නේ නැහැ. මෙච්චර අපහාසයක් කරල තියෙද්දිත් සේනක මන්ත්‍රීතුමා මට පැවසුවේ මේ ගෑණු දරුවට වචනෙකින්වත්  හානියක් සිදු නොවිය යුතු බවයි. ඔහු පවසන්නේත් මේ ගෑනු දරුවා යම්කිසි පාර්ශ්වයක ඉත්තෙක් වී ඇති බව. හොඳයි ස්වාමිනි දයාල් සේනක කියල මේ තරුණයා සමග ඇගේ සම්බන්ධතාවයක් තිබුණාම කියල කියමු. ඒක සාමාන්‍ය දෙයක්. මට පවසන්නට ඇත්තේ එපමණයි ස්වාමීනි.”

යුගාෂ් නැගී සිටියේ පුෂ්පානන්ද අසුන් ගනිද්දීය. 

“ස්වාමීනී මට අවසරයි විත්තියේ පාර්ශවයෙන් ප්‍රශ්න කරන්න.”

“ඔව් ඔබට ඒ අවස්ථාව දැන් ලැබෙනවා.”

“දයාල් සේනක. ඔබ ඇයට යම්කිසි අවස්ථාවක පොරොන්දු වෙනවා ඇයව විවාහ කර ගන්නා බවට…”

“නෑ ..මං කොයිම වෙලාවකවත් ස්වාමීනි එහෙම පොරොන්දුවක් දීලා නෑ.”

“එතකොට ඔබ ඇයට ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න ඇරයුම් කරනවා.”

“එහෙමත් නෑ ස්වාමීනි. ගෙදර අඩුපාඩු කියද්දි මම ඇයට අනුකම්පා කළා. මුදලින් වගේම තෑගි බෝග වලින් උදව් කළා. ඒක මම මගේ කාර්යාලයේ වැඩ කරන සේවකයන් වෙනුවෙන් විතරක් නෙමෙයි මගේ පාක්ෂිකයන් වෙනුවෙනුත් කරන දෙයක්. ඇය සමහරවිට ඒක වරදවා වටහා ගන්න ඇති.”

“එතකොට ඔබ 2024 මැයි 14 වෙනිදා ඇයව ඔබගේ වාහනයේ නග්ගගෙන තේ පානය සඳහා හොටෙල් රීච් වෙත කැඳවාගෙන යනවා.”

“කවුද කියන්නේ? ඒක අමූලික බොරුවක්. ඉඳලා හිටලා මම ඔෆිස් එකේ වැඩ කරන කෙනෙකුට ලිප්ට් එකක් දීලා තියෙනවා. හැබැයි එහෙම තනියම කිසිම ගෑනු ළමයෙක් තේ බොන්න එක්කරගෙන ගිහිල්ලා නැහැ. කිහිප දෙනෙක් එක්ව යනවා මිසක්”

“මෙන්න මේ බිල්පත ඔබට මතකද කියල බලන්න.” 

දයාල් සේනක නීතිඥ යුගාෂ් අත වූ බිල් පත දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. හා සමගම ඔහු තම පියා දෙසත්  නීතිඥ පුෂ්පානන්ද දෙසත් බැලුවේය. 

“ඇයි ඔබ කලබල වෙලා. ඔබේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් තමයි ඔබ මේ බිල්පත ගෙවලා තියෙන්නේ. චොක්ලට් කේක් කෑලි දෙකක් සහ අයිස් කොෆී දෙකක් සඳහා එහෙම නේද..ස්වාමීනී මම මේ බිල්පත ඔබ වෙත ඉදිරිපත් කරනවා පරික්ෂා කරන ලෙසට.”

“සමහර වෙලාවට මම මගේ ක්‍රෙඩිට් කාඩ් එක මගේ ඩ්‍රයිවර්ට දෙනවා. මේ සමහරවිට එහෙම වෙලාවක පාවිච්චි කරපු එකක් වෙන්න ඇති.”

“ඊට දවස් දෙකකට පස්සේ ඔබ මේ පැමිණිලි කාරණියට ජංගම දුරකථනයක් තෑගි කරනවා.”

“මට දවස මතක නෑ. සමහරවිට මම එහෙම දෙයක් අරගෙන දෙන්න ඇති. මොකද මගේ කාර්යාලයේ වැඩ කරද්දී ජංගම දුරකථනයක් කියලා කියන්නේ අත්‍යවශ්‍ය මෙවලමක්. මට මතකයි මේ පැමිණිලි කාරණියට තිබුණේ වට්ස්ඇප් සහ  වෙනත්  සමාජ මාධ්‍ය ක්‍රියාකළ නොහැකි කුඩා ජංගම දුරකථනයක්.” 

“හොඳයි..එතකොට ඔබට මතකද කියලා බලන්න ඔබ මුලින්ම ඇයට යැවූ කෙටි පණිවිඩය. ඒ කෙටි පණිවිඩයේ සඳහන් වෙනවා ‘අපි දෙන්නට දැන් ඕනෙම වෙලාවක වීඩියෝ  ඇමතුම් ලබාගන්න පුළුවන් කියලා’ ඔබ ඒ කෙටි පණිවිඩය නිමා කරන්නේ ‘මම ඔබට ආදරෙයි’ කියලා. මේ ඔබේ ජංගම දුරකතන අංකය. රාත්‍රී එකොළහයි හතලිස් හතට ඔබේ ජංගම දුරකතනය වෙන අයෙක් පාවිච්චි කරනවා වෙන්න බැහැනේ.”

“මේ මනුස්සයා මේ මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ මේ හැමදේම බොරු..මම එහෙම කාටවත් වට්සැප් පණිවිඩ යවලා නෑ..”

එවර දයාල් කෑ ගැසුවේ මදක් උස් හඬින්ය. පුෂ්පානන්ද නැගී  සිටියේ එනිසාය.

“මම විරුද්ධයි ස්වාමීනි. මොහු මගේ සේවා දායකයාගෙන් ප්‍රශ්න කරන්නේ තර්ජනාත්මක ස්වරූපයෙන්…”

“ගරු උසාවියට මං මේ සාක්ෂි ඉදිරිපත් කරනවා පමණයි. මගේ උගත්, පරිණත නීතිඥ මහතා සාක්ෂි වලට තර්ජන කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.”

“තව දුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැමිණිල්ලේ නීතිඥවරයාට අවසර හිමි වෙනවා”

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here