අරුමැති ආදරයක් -40

0
1529

අඩිතාලමේ වැඩකටයුතු නිමා කළ බාසුන්නැහේලා  නික්ම ගියේ සවස හයට පමණය. ජීවිතයට කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහී වූ අපූර්වා අඩිතාලම දැමූ බිම් කොටස දිගේ ඇවිද ගියේ මඳක් ඉහලට එසවුනු සිමෙන්ති බැම්ම  නොපෑගෙන්නට තරම් පරිස්සමටය. කුඩා ආලින්දයකින්, විසිත්ත කාමරයකින්, කාමර තුනකින් හා මුළුතැන් ගෙයකින්, නාන කාමරයකින් යුතු නිවස සිතුවාට වඩා මදක් විසල් වූ එකකි.

 දවස තිස්සේම ඇගේ තනියට රැඳී උන් හේෂානි පිටව ගියේ මින් විනාඩි කිහිපයක ඉහතදීය. චින්තනත්, සමනුත් රාත්‍රියට එන බව පැවසුවේය. උදෑසන අඩිතාලම වඩා පිරිත්නූල්  ඇද්දේ ඔවුන්ය. අහල පහල නිවැසියන්ගෙන් සහ හිතවතුන්ගෙන් අපූර්වාට ලැබුණේ කියා නිම කළ නොහැකි තරම් සහයෝගයකි. මින් විනාඩි කිහිපයකට පෙර දුරකථනයෙන් කතා කළ අසල්වැසියෙකු පැවසූයේ රාත්‍රී කෑමට ඉඳිආප්පත්, හොදිත් රැගෙන එන බවය. 

ජීවිතය මේසා වෙනස් වූයේ ඔහු හමු වූ පසුවයැයි අපූර්වාට සිතුනේ වෙහෙසකර අයුරින් අසල වූ ලෑලි බංකුව මතින් අසුන් ගනිද්දීය. එදා සිට මේ ජීවිතයෙහි වූයේ අරුම පුදුම ඒවාය. අත්තම්මා මිදුලේ ඉදිකල පහන්පැල අසල උන්නේ වැඳගෙනය. පහන් එළියට ඇගේ මුහුණ හොඳින් පෙනේ.

“කාන්ති නැන්දා සනීප වෙලා අපිට අළුත් ගෙදරටම එක් කරගෙන එන්න පුළුවන්වෙයි නේද.”

හේෂානි ඇසුවේ සවසය.

“අනේ ඒ තරම් දුර මං හිතන්න බයයි…”

“අනේ බන්ද බං ඔය  කටේ තියෙන්නෙම ආපස්සට යන අදහස්.” 

හේෂානි පැවසූයේ තරවටුවක සරින්ය. සැබවින්ම මේ ඈ බලාපොරොත්තු නොවූ ඒවාය. සිතට මේ සා බරක් දැනෙන්නේත් එනිසාය. නොලැබීම් පැමිණෙන්නේ ලැබීම් පසුපසයැයි ඕ විශ්වාස කළාය.  

දොළ පාරේ සිට උඩට වතුර ගැනීමට අපහසු නිසා මදක් මහත වූ බටයක් ගෙනවිත්  එයට මෝටරයක් සවි කළේ සමන් මාමාත්, චින්තනත්ය. ඔවුන් දින කිහිපයක්ම ඒ සඳහා වෙහෙස විය.

“පුතේ උඹට  කහට ටිකක් හදන්නද…කැවිලිත් තියෙනවා.”

අත්තම්මා ඇසුවේ පහන් පැළ අසල සිට ආපසු හැරෙද්දීය. අපූර්වා මඳක් උස් හඬින් එපා යැයි පැවසූයේ ඇඟපත සෝදා ගැනීමට අවැසි වූ නිසාය. අපූර්වාත් බාසුන්නැහේලාට අවශ්‍ය කරන උපකරණ ලං කර දෙමින් එහෙ මෙහේ දිව ගියාය. එනිසාම ඇගට දැනෙමින් තිබුනේ වෙහෙසකි.

බලාපොරොත්තු දහසක්, උවමනාවන් දහසක්, හැඟීම් ගොන්නක් යළිත් නීද්‍රාවට පත්ව උන් යටි සිත තුළින් අවදිවෙමින් සිටියහ. එහෙත් අපූර්වා ඊට පණ ලබාදෙන්නට බිය විය. මේ ඕ සොල්දර ගෙදරත්, තාත්තාත්, සමගම වළදැමූ සිහිනයි.

⁣තවමත් සොල්දර ගෙදර අහිමිවීමේ දුක ඒ සිතුවිලි වලින් තුරන්ව තිබුනේ නැත. සොල්දර ගෙදර යනු ගෙදරක්ම නොවේ. ඒ පරම්පරාවේ අභිමානයයැයි තාත්තා පවසනු අපූර්වාට ඇසී තිබිණ. නමේ මුලට සොල්දර ගෙදර නන්දසේන, සොල්දර ගෙදර පියසීලි සොල්දර ගෙදර කාන්ති යනුවෙන් හැඳින්වීම නම්බු නාමයක් සේය. ගමේදී අහම්බෙන් හමුවන වැඩිහිටියෙකු උඹ සොල්දර ගෙදර පියසීලිගේ බිණිබිරීදැයි ඇසුවා අපූර්වාට මතකය. 

“අනේ මන්ද බං මට නං මේවා හීනයක් වගේ. උඹට වරදින්නේ නෑ කියලා මගේ හිත හැමදාම කිව්වා. ගේ හදල ඉවර උනාට පස්සේ ඔය නෝනටම කියලා මොකක් හරි රස්සාවක් හොයාගමු. ඔය ත්‍රීවිල් රස්සාව උඹට හරි යන එකක් නෙමෙයි පුතේ.” 

අපූර්වා  පිටුපස හැරුනේ ආච්චීගේ  හඬ ඇසෙද්දීය. ඇය අපහසුවෙන් අඩිය තියමින් එහෙ මෙහේ විසිව තිබූ ගල් අතරින් ඇවිද ආවාය. 

“ආච්චි වැටෙයි බලාගෙන…ඔය නූල් පැටලෙයි.”

අපූර්වාට කෑ ගැසිණි.

ඊයේ රාත්‍රියේ සමන් චින්තන හා තාත්තාගේ මිතුරන් එක්ව ලයිට් කිහිපයක් දැමූ නිසා පරිසරයේ වෙනදා මෙන් අඳුරක් වූයේ නැත. එහෙත් වෙනදා සේ ආච්චීට මිදුලේ ඇවිදීම ලෙහෙසි පහසු වූයේ නැත. 

“මං නොකිය නොකියා හිටියට ඔය ත්‍රීවිල් රස්සාව කෙල්ලෙකුට ගැලපෙන්නෙ නෑ. කවද හරි උඹට  මගුලක් හොයන දවසකත් ඉස්සර වෙන්නේ ඕවා. ත්‍රීවිල් එලවනවා කියලා කිව්වහම කොල්ලෙක්වත් ගණන් නොගන්න කාලෙක කෙල්ලෙකුට තියෙන තැන මොකක්ද. දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අම්මා සනීප වෙලා ආවට පස්සේ මටයි අම්මටයි ඔය ගේ ඇතුලට වෙලා ඉන්න බැරිය. උඹ උදේ ගිහිල්ලා හවස ආවහම ඇතිනේ.”

අත්තම්මා මේ කියවන්නේ තමාගේ සිතෙහි වූ බලාපොරොත්තුයැයි අපූර්වා සිතුවාය. ඇය පණ ලබා දෙන්නට බිය වූයේත් මේ බලාපොරොත්තු වලටය. ත්‍රී වීලර් රස්සාවේ මදිකමක් අදටත් ඇයට නොදැනේ. එවේලෙහි සියලු අවශ්‍යතා සපුරා ගන්නට උදව් වූ වාහනය අපූර්වාට දෙවියෙකු හා සමානය. රැකියාව ගෞරවනීය වන්නේ එහි නියත වන මිනිසුන් මතයයි අපූර්වා විශ්වාස කළාය. එහෙත් බලා සිටිනා අයෙකුට තමාව අවතක්සේරු කරන්නට මේ රැකියාව හොඳටම ඇතිය. ඒ සමාජ නිර්ණායකයන්ය. 

“දැන් නං උඹ ඔය ජොබ් එකෙන් අයින් වෙන්න ඕන තමයි. වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි ලෝයර් මස්සිනා වෙනුවෙන්. කවද හරි දවසක ඒ මනුස්සයට උඹව තමන්ගේ ගර්ල් ප්‍රෙන්ඩ් කියලා හරි වයිෆ්  කියලා හරි ලෝකෙට අඳුන්වල දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. අපේ ජීවිතයට සම්බන්ධ වෙන අය වෙනුවෙන් ඒ අයගේ සතුට වෙනුවෙන් සමහර වෙලාවට අපිට පුංචි පුංචි කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට නොකළොත් තමයි ප්‍රශ්නේ”

හේෂානි පවා වරෙක පැවසූයේ ඒ අයුරින්ය. රැකියාව පිළිබඳව තීරණයක් ගැනීමේ වගකීම යුගාෂ්  තමා වෙත පවරා තිබුණත් ඔහුත් මේ රැකියාව ප්‍රිය නොකරනු ඇතැයි ඈ සිතුවාය. එහෙත් ජීවත් වන්නට යමක් කළ යුතුමය. කිසිවෙකුට අතපාන්නට හැකියාවක් නොවේ.

“මොනවද පුතේ ඔය හැටි කල්පනා කරන්නේ…”

අපූර්වා යළිත් තිගැස්සුනේ ආච්චී එසේ අසද්දීය. ඒ වනතෙක්ම ඇය තමා අසල සිටි බවක මතකයක් යුවතියට වූයේ නැත. 

“මගේ හිතටත් මෙව්වා බරයි තමයි කෙල්ලේ. එන  විදිහකට ජීවිතයට මුහුණ දෙමු බං. දොළට  යන්න ඕනෙ නෑනේ දැන්.  ඔය බටෙන්ම වතුර පුරවලා ඇඟපත හෝද ගනින්. කඩිය වගේ එහෙට  මෙහෙට දුවලා මහන්සිත් නැතැයි. වේලාසනින් නිදා ගමු.”

                                   ***************

නිශ්ශංක සිය ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද ගියේ නොසන්සුන් අයුරින්ය. ඔහුගේ බිරිඳත් පුතුන් තිදෙනාත් ලොකු  ලේලියත් ඒ දෙස බලා සිටියේ ඒ නොසන්සුන්කමම තම සිත් වලත්  දරාගෙනය. අවසන  සියල්ලෝම බලා උන් ටෝච් එළිය මදක් එහායින් වැනෙන්නට විය. ඒ ටෝච් එලිය සමග පැමිණෙන්නේ ග්‍රාම සේවක මහතා බව විශ්වාසය. 

නිශ්ශංක අඩියක් දෙකක් පෙරට තැබුවේ ඔහු නිවසට පැමිණෙන තුරුවත් ඉවසා සිටින්නට නොහැකි වූ නිසාය.

“ඒ කාරණාව ඇත්තද ග්‍රාම සේවක මහත්තය.

“කාරණාව නම් ඇත්ත. ඒත් ඉතිං අපිට මොකද නේද. කවුද ඔය කාන්තා සමිතියකින්ලු ගේ හදල දෙනවයි කියන්නේ. කාන්ති නිසාලු. ඒ මිනිස්සු ඒ විදිහට උදව් කරන්නේ..ලොකු හාමුදුරුවෝ දවස් කිහිපයකට උඩදි මට කිව්වා”

“එහෙනම් ඒ කාරණාව ඇත්ත. කවුද ග්‍රාමසේකා මහත්තයා අද කාලෙ මේ වගේ අතපය දිග ඇරලා වියදම් කරන්නේ.” 

“මෙහේ නැතිවුණාට පිට පළාත්වල ඔය වගේ වැඩ ඕන තරම් කෙරෙනවා. දැන් ඔය හාමුදුරුවෝ කෙනෙකුත් දුප්පත් අයට පිටරට  ඉන්න අයගේ ආධාර අරගෙන ගෙවල් හදලා දෙනවයි කියන්නේ. කාන්ති පිස්සං  කොටුවෙ නවත්තල.”

එය නිශ්ශංකටත් බිරිඳටත් අලුත් ආරංචියක් විය. නන්දිතා පුටුවෙන් නැගී සිටියේ ඒ හදිසියකින් සේය.

“ග්‍රාම සේවක මහත්තයට කවුද කිව්වා..”

“මේ ගමේ සිද්ධ වෙන දේවල් මම නොදන්නවනම් මං ග්‍රාමසේවක වෙන්න බෑනේ නන්දිතා නෝනා.”

නන්දිතාගේ සිත්හි ඇති වූයේ සතුටකි. එහෙත් ඕ ඊලඟ තත්පරයේ වටපිට බැලුවේ ඒ සතුට කිසිවෙකු දුටුවාදැයි බියකින් සේය. 

“කාලකන්නි ගෑනි…”

එසේ පැවසූයේ නිශ්ශංකය. නන්දිතා කිසිවක් නොකියන්නට ප්‍රවේශම් වූවාය. 

“ග්‍රාම සේවක මහත්තයා හොඳටම දන්නවනේ මං අපේ මෝඩයාට කිව්වා මම දෙන ගානයි ඔය දොළ අයිනේ පර්චස් අටයි අරගෙන මේ වැඩෙන් අයින් වෙන්න කියලා. කොහෙද ඌට ඕන උනේ මමත් එක්ක නඩු කියන්න”

නිශ්ශංක වූයේ ඔහුවම සාධාරනීකරනය කර ගැනීමේ වෑයමක නිරත වෙමින්ය. 

නිශ්ශංක මහත්තයා වගේ තමයි මමත් කීප පාරක  කිව්වා කළුගල් එක්ක ඔළුව ගහගන්න ලෑස්ති වෙන්න එපා කියලා. කොහෙද ඉතින්.

ග්‍රාම සේවක මහත්තයා ගියේ නැද්ද අපූර්වලාගේ ගේ  හදන තැනට.ග්‍රාම සේවක මහත්තයට විශේෂයෙන් කතා කරන්න එපැයි.”

එසේ ඇසුවේ නිමේෂ්ය.

“ඔය පියසීලි, නැන්දා එහෙම දැන් වැඩිය මට මුහුණ දීලා කතා කරන්නේ නෑ. ඒ උනාට ගිහිල්ල එන්න ඕනේ”

“ගිහිල්ල එන්න.. ගිහිල්ලා එන්න..අපේ සොල්දර ගෙදරටත් වඩා ලොකු ගෙයක් ගහනවද දන්නේ නැහැනේ.”

“මං හිතන්නේ නෑ…..ඔය සමිති සමාගම් වලින් හදල දෙන්නේ කාමරයයි, කුස්සියයි, සාලෙයි වගේ පොඩි ගෙවල්නෙ. මතක නැද්ද සුනාමි කාලෙ හදපු ගෙවල්. ගිනි පෙට්ටි වගේ”

“ඔය කෙල්ල ඉන්නව නේද ඒකිත් අපේ ලොකු තාත්තා වගේම තමයි හරි ආඩම්බරයි.”

“ග්‍රාම සේවක මහත්තයාට කියන්න මේ අපේ ලොකු පුතා දැකල තියෙනවනේ දවසක් මිනිහෙක්ගෙ කාර් එකක නැගලා යනවා.”

“අපූර්වා….”

ඔව් ඇස් පනාපිටම. කවුද දන්නෙ මොකාගේ මොකාගේ කාර් වල නැගලා  යනවද කියලා. ඔහොම රස්සාවල් කරපු අයත් අපේ ගම් රටවල හිටියනෙ ග්‍රාම සේවකමහත්තයෝ. බලමුකෝ…..

එවර නිශ්ශංක පැවසූයේ අඳුරට හිනැහෙමින්ය. නන්දිතා විසින් රැගෙන ආ තේ කෝප්පය තම දෑත් වලින් අල්ලා ගත් ග්‍රාම නිලධාරිතුමා  නිශ්ශංක දෙස බලා සිටියේ පුදුමයෙන්ය. ගමේ සියල්ලෝම පවසන්නේ අපූර්වා යනු අන් අයට ආදර්ශයක් විය යුතු දියණියක බවය. තමාගේ දියණියට නැති තැනක් පන්සලේත්, දහම් පාසලේත්, සමාජයේත් අපූර්වාට වන බව විශ්වාසය. එනිසාම මෙම කතාවේ සුල මුල දැනගැනීමට ග්‍රාම සේවකට වූයේ අන් කිසිවෙකුට නොවූ තරමේ උනන්දුවකි.

නන්දසේන මිය යන්නට මාස කිහිපයකට පෙර හන්දියේදී තමාගේ  කමිස කොළරයෙන් ඇද පහරදුන් ආකාරය ඔහුට හොඳටම මතකය. හොඳටම බීමත්ව උන් නන්දසේනගෙන් බේරෙන්නට තමා ගිලිහුණු සරමවත් සකසා නොගෙන යට ඇඳුම පිටින්ම දිවගිය ආකාරය සිහිව ඇඟ කිළි පොලා යන්නට විය. රාජ්‍ය සේවකයෙකුට පහර දීමේ වරදට පොලිසියට යන්නට තැත්කල ඔහුව වලකා ලූයේ නිශ්ශංකය. ඒ නීතිමය තත්වයන් පහදා දුන්නාට පසුවය. 

අදටත් ඒ ගැන නිශ්ශංක ඇරෙන්නට කිසිවෙකු නොදනී. තුවාලවල ඉදිමුම බසිනතුරු ඔහු නතරව උන්නේ නන්දිතාගේ හිතවතෙකුගේ නිවසේය. තම නිවැසියන්ට දන්වන ලද්දේ නිශ්ශංක සමග හදිසියේ මාතර ප්‍රදේශයේ වැඩ කටුයුත්තකට යාමට සිදු වූ බවය. 

( යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here