දුවෙක් ඉපදුන නිසා බිරිඳව මැරුවා

තාත්තා කෙනෙක්ට දුවෙක් ගැන තියෙන ආදරේ මේ ලෝකේ පිරිසිදුම ආදර කතාවලින් එකක් කියලා අපි කියනවා. ඕනම දුවෙක් තාත්තාව හඳුන්වන්නෙ තමන්ගෙ පළවෙනි පෙම්වතා විදියට.

 හැබැයි අටවැනි හෙන්රි රජතුමාගේ කතාවේදී නම් මේ හැඟීමට කඳුළු සහ ලේවලින් ලියවුණු කණගාටුදායක ඉරණමක් එකතු කරන්න අපිට සිද්ද වෙනවා. එයාට දූවරු දෙන්නෙක් හිටිය. ඒ මේරි සහ එලිසබෙත්. ඒ දෙන්නම පස්සේ එංගලන්තයේ ඉතිහාසය වෙනස් කරලා සිංහාසනය පාලනය කරන්න යෙදුණ ඕනම තාත්තෙක්ට ආඩම්බර වෙන්න පුලුවන් විදියෙ දූවරු දෙන්නෙක්. ඒත් ඒ දූවරු දෙන්නම ඉපදුණේ නින්දාවෙන්, වේදනාවෙන් සහ අන්තිමට මරණයෙන් අවසන් වුණු විවාහ දෙකකින් කියන එක තමයි මේ කතාවෙ තියෙන දුකම කොටස.

හෙන්රි රජතුමාගේ පෞද්ගලික ජීවිතය රාජකීය ඉතිහාසයේ ලියවුණු ලොකුම dramas වලින් එකක්. එයාගේ බිරින්දෑවරු හය දෙනාටම තමන්ගේම කියලා කතාවක් තිබුණා. ඒ හැමෝම නොදැනුවත්වම ඒ කාලේ තිබ්බ ලොකුම ක්‍රීඩාවක කොටස්කාරියෝ වුණා. ඒ ක්‍රීඩාව තමයි සිංහාසනයේ උරුමය, ආදරය සහ බලය කියලා කියන්නේ. හෙන්රි රජුගේ පාලන කාලය එංගලන්තයේ දේශපාලන සහ ආගමික ඉතිහාසය උඩු යටිකුරු කළා. ඒත් එයාගේ නම අපේ හිත්වල රැඳුනේ එයාගේ ජීවිතයට ආපු මේ කාන්තාවන් හය දෙනා නිසයි.

බිසෝවරු හය දෙනෙක්, නීත්‍යානුකූලව හෙන්රිට අයිති බිරින්දෑවරු තුනක් විතරයි

සාමාන්‍යයෙන් කතාබහේදී අපි හෙන්රිගේ බිරින්දෑවරු හය දෙනා ගැන කතා කළාට, නීතියට අනුව ඔහුට හිටියේ බිරින්දෑවරු තුනක් විතරයි. අනිත් විවාහ තුන අවලංගු කළා, ඒ කියන්නේ ඒවා එංගලන්ත පල්ලිය විසින් වලංගු නෑ කියලා ප්‍රකාශ කළා. විවාහයක් අවලංගු කිරීම කියන්නේ දික්කසාදයකට වඩා වෙනස් දෙයක්. ඒකෙන් කියන්නේ මේ විවාහය නීත්‍යානුකූලව කවදාවත් සිදුවුණේ නෑ කියලා. මේ වචන පිටිපස්සේ හැංගිලා තිබුණේ ඒ කාන්තාවන්ගේ හද කම්පා කරවන කතාවක්.

“Divorced, beheaded, died; divorced, beheaded, survived.” කියන කවියෙන් ඒ කතාව කියනවා. 

පළමු බිසව: කැතරින් ඔෆ් ඇරගන්

හෙන්රිගේ පළමු බිරිඳ වුණු කැතරින් එංගලන්තයට ආවේ එයාගේ වැඩිමහල් සහෝදරයා වූ ආතර් කුමාරයාගේ බිරිඳ විදියට. ආතර්ගේ අකල් මරණයෙන් පස්සේ අවුරුදු ගණනක් තනි වුණු කැතරින්ව හෙන්රි රජ වුණාට පස්සේ විවාහ කරගත්තා. කැතරින් උගත්, ගෞරවනීය, ආගමට ලැදි, සහ හරි හිත උණුවෙන බිසවක්. එයාලගේ විවාහය අවුරුදු 24ක් පැවතුණා, ඒක හෙන්රිගේ අනිත් හැම විවාහයකටම වඩා වැඩි කාලයක් පැවතිච්ච විවාහයක්.

කැතරින් හෙන්රිට මේරි කියලා දුවෙක් දුන්නත්, උරුමයට පිරිමි දරුවෙක් ලබාදෙන්න කැතරින්ට පුලුවන් උනේ නෑ. ඒක හෙන්රිට ලොකු දේශපාලන ප්‍රශ්නයක් වුණා. මේ විවාහයට දෙවියන්ගේ කැමැත්තක් නෑ කියලා හිතපු හෙන්රි, පාප් වහන්සේට කියලා මේ විවාහය අවලංගු කරන්න උත්සාහ කළා. ඒත් පාප් වහන්සේ ඒකට අකමැති වුණාම හෙන්රි කතෝලික පල්ලියෙන් වෙන් වෙලා තමන්ව එංගලන්ත පල්ලියේ ප්‍රධානියා විදියට ප්‍රකාශ කරගත්තා.

බලයෙන් නෙරපූ, දුවගෙන් වෙන් කළ කැතරින්, මැරෙනකම්ම තමන්ව හැඳින්වූයේ “බිසව” විදියට. ඇය කිසිම වෙලාවක තමන්ට හිමිවෙන්න ඕන ගෞරවය අත්ඇරගත්තෙ නෑ.

දෙවැනි බිසව: ඈන් බොලීන්

ඈන් බොලීන් වෙනස්ම කෙනෙක්. හරිම බුද්ධිමත්, තියුණු, දේශපාලනික දැනුමක් තිබුණු ඇය හෙන්රිව වශී කළේ ලස්සනෙන් විතරක් නෙවෙයි, එයාට යටත් වෙන්න අකමැති වුණු නිසයි. ඈන්ව තමන්ගෙ කරගන්න නම් ඇයව බිසව කරගන්න සිදු වෙනවා කියන එක හෙන්‍ රි රජතුමා දැනන් උන්නා. ඒක නිසා හෙන්රි රහසින් ඈන්ව විවාහ කරගත්තා. 1533දී ඈන් දුවෙක් බිහි කළා – එලිසබෙත්. හෙන්රි ඒකටත් හිටියෙ අවුලෙන්. පුතෙක්ව ලැබුනෙ නැති හන්දා.

ඈන්ගෙ ගැබ් ගැනීම් කීපයක්ම අසාර්ථක වුණා. හෙන්රිට හිතුණා ඈන්ව තියාගෙන ඉන්න එක තර්ජනයක් කියලා. එයාගේ සතුරන්ගේ කුමන්ත්‍රණ නිසා එයාව ද්‍රෝහිකම, පරදාර සේවනය වගේ බොරු චෝදනා මත අත්අඩංගුවට ගත්තා. ඈන්ව මරණ දඬුවමට ලක් කරන්න දවස් දෙකකට කලින් හෙන්රි එයාලගේ විවාහය අවලංගු කළා. ඈන්ගේ ජීවිතය ඉවර වුණත්, ඇයගේ දුව වුණු එලිසබෙත් එංගලන්තයේ ඉතිහාසයේ හොඳම රැජිනක් වුණ එක නතර කරන්න නම් හෙන්රි රජතුමාගෙ මේ පිස්සු වැඩ වලට පුලුවන් වුණේ නෑ.

තුන්වැනි බිසව: ජේන් සේමෝර්

ඈන්ගේ මරණයෙන් සති දෙකකට පස්සේ හෙන්රි ජේන් සේමෝර්ව විවාහ කරගත්තා. ජේන් හරිම මෘදු, නිහතමානී, සාම්ප්‍රදායික බිසවක්. එයා හෙන්රිට ඕන වුණු දේ දුන්නා – නීත්‍යානුකූල පුතෙක්, හයවැනි එඩ්වඩ්. ඒත් ඒ සතුට වැඩිකල් තිබුණේ නෑ. ජේන් දරු ප්‍රසූතියෙන් දවස් 12කට පස්සේ මිය ගියා. හෙන්රි ඒ ගැන නම් ගොඩක් දුක් වුණාලු. එයා මැරුණාම ජේන්ගේ සොහොන ළඟම භූමදානය කරන්න කිව්වත්ලු දුක වැඩිකමටම.

හතරවැනි බිසව: ඈන් ඔෆ් ක්ලීව්ස්

ජේන්ගේ මරණයෙන් පස්සේ හෙන්රි ඈන් ඔෆ් ක්ලීව්ස්ව විවාහ කරගන්න තීරණය කළා. ඒ තීරණය ගත්තේ ඈන්ගෙ පින්තූරයක් දැකලා. ඒත් ඇයව ඇත්තටම දැක්කට පස්සේ හෙන්රි පුදුම විදිහට කලකිරිලා “මං එයාට කැමති නෑ” කියලා තියෙනවා. ඒ විවාහය මාස හයකින් අවලංගු වෙනවා. ඈන් හරිම බුද්ධිමත්ව ඒක බාරගත්තා. ඇය රජුගේ “ආදරණීය සහෝදරිය” විදියට කිරුළක් නැතුව වතුපිටි එක්ක සාමකාමී ජීවිතයක් ගත කරන්න පස්සෙ තීරණය කරලා තියෙනවා.

පස්වැනි බිසව: කැතරින් හොවාර්ඩ්

හෙන්රිගේ පස්වැනි බිරිඳ වුණු කැතරින් හොවාර්ඩ් හරිම තරුණ කෙනෙක්. එයාව විවාහ කරගන්නකොට හෙන්රි අවුරුදු 40 ගණන්වල අගභාගයේ හිටියේ. කැතරින්ගේ තරුණකම මාලිගයට අලුත් ජීවයක් දුන්නත්, ඒක වැඩි කල් පැවතුණේ නෑ. එයාගෙ අතීත ප්‍රේම සම්බන්ධතා ගැන කටකතා පැතිරුණාම එයාව ද්‍රෝහිකමක් කළා කියලා චෝදනා කරලා 1542දී හිස ගසා දැම්මා.

හයවැනි බිසව: කැතරින් පාර්

හෙන්රිගේ අන්තිම බිරිඳ වුණු කැතරින් පාර් දක්ෂ ලේඛිකාවක් සහ උගත් කාන්තාවක්. එයා හෙන්රිගේ දරුවන්ට හොඳ සුළු මවක් වුණා. මේරි සහ එලිසබෙත්ට නැවතත් රාජ උරුමයට ඇතුල් වෙන්න පවා එයා උදව් කළා. හෙන්රි මැරුණට පස්සේ කැතරින් එයාගේ සැබෑ ආදරයත් එක්ක විවාහ වුණා. ඒත් ඇයත් දරු ප්‍රසූතියකින් අවුරුද්දකට පස්සේ මිය ගියා.

රජුගේ උරුමය

හෙන්රි කොච්චර දේවල් කරලා, බිරින්දෑවරුන්ව මරලා දාලා ලබාගත්තා දරුවා උනත්, එයාගේ පුතා වුණු එඩ්වඩ් තරුණ වයසේදීම මිය යනවා. අන්තිමට තමන්ට අහිමි වෙයි කියලා හෙන්‍ රි බය වුණු උරුමය ඉදිරියට අරගෙන ගියේ එයා එපා කිව්ව, ඒ නිසාම අම්මලව මරලා දැම්ම එයාගේ දූවරුන් වෙච්ච මේරි සහ එලිසබෙත්ගෙන්. ඒ දෙන්නාම එංගලන්තය වෙනුවෙන් ලොකු දේවල් කළා කියන එකට ඉතිහාසෙ ඕන තරම් සාක්කි තියෙනවා.

හෙන්රි රජුගේ කතාව, ඒකාධිපති පාලකයෙක්ගෙ  කතාවක් විතරක් නෙවෙයි. ඒක අසාර්ථක වෙයි කියලා බයෙන් හිටපු, අනාගතයක් නැතිවෙයි කියලා භීතියෙන් හිටපු මනුස්සයෙක්ගෙ කතාවක්.

ඒත් හෙන්රි රජුගේ මරණයෙන් පස්සේ එංගලන්තයේ දෝංකාර දුන්නේ එයාගේ දූවරුන්ගේ කටහඬවල් සහ නම.

ඒත් ඒ එයා බයවෙච්ච විදියට නම් නෙවෙයි එයාගෙ අනපේක්ෂිත, නොසැලෙන උරුමය විදියට.

Related Articles

Don't Miss


Latest Articles