ඔබෙ ආදරෙන් මා දැවේ – 3

0
1879

සමහර ආදර කතා හරියට හෙමින් හෙමින් ශරීරයට විස එකතු කරනවා වගේය.

 ඒ විස ඇස්වලට නොපෙනුණත්, හිත ඇතුළේ ලොකු හානියක් කරන බවත්, තමන්ට සිදු වූයේද එයම බවත් ජාන්විට නොසිතුණා නොවේ. සීමා මායිම් නැති නිදහසකින් පිරුණු, තම ජීවිතය සුන්දර කරනු ඇතැයි සිතූ ආදරය, අවසානයේදී තමන්වම අඳුරු හිරගෙයක සිර කර ඇති බවත්, තමන් තමන්ගේම සිත අස්සේ තනි වී ඇති බවත් ඇය වටහා ගත්තාය. මේ හැමදේටම අවසානයක් ඇති බව ජාන්වි අවසානයේදී තේරුම් ගත්තාය.

“අක්කා ගෙදර ආවා කියලා අම්මා කිව්වේ” කියා නංගි වෙච්ච ආන්‍යා කතා කරේ ජාන්වි ගෙදර ඇවිත් උන් දෙවනි දවසේය. නංගි වෙච්ච ආන්‍යා තමන්ට වඩා බාල වූයේ අවුරුදු දෙකක් වුණත් නංගිත් තමනුත් අතර තිබ්බේ එක්තරා වචනයෙන් විස්තර කරන්නට නොහැකි දුරස්ථ බැඳීමක් බව ජාන්විට අමතක නැත. ඉස්කෝලේ යන කාලෙදි පවා ඈතින් උන් නංගී තමන් විශ්ව විද්‍යාලයේ යෑමෙන් පස්සේ තමන්ගෙන් සහමුලින්ම පාහේ ඈත් වුණ බව ජාන්විට අමතක නැත. කොටින්ම තමන්ගේ විවාහයේදී නංගීව තමන්ගේ දෙවනි මනමාලියක් කරගන්නටවත් නංගී කෙනෙකු ඉන්නවා යැයි අමතක වෙන තරමටම තමන් සහ නංගී අතර තිබුණේ දුරස්ථ බැඳීමකි.

“ඔයා වැරදි පාරේ ගියොත් නංගීත් ඒ පාරේ යාවි යැයි” තමන්ගේ ප්‍රේම සබඳතා කණ වැකුණ වාරයක් පාසේ අම්මා බැණ වැදුනද නංගී තමන් ගිය පාරවල් එකකවත් ගියේ නැත. තමන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයේ ගොස් මලිත් එක්ක යාලු වී, උපාධිය අරගත්තයින් පස්සෙ ලංකාව දන්නා ගායකයෙකුගේ බිරිඳ වී සුන්දර ජීවිතයක් ගත කරන්නට හිතද්දී විශ්ව විද්‍යාලයේ යන්නට සමත් නොවුන නංගි පෞද්ගලික ඩිප්ලෝමාවක් කර අවසානයේ බැංකුවක රැකියාවට ගියාය. බැංකුවේදී හමුවුණ ව්‍යාපාරිකයෙකු හා ප්‍රේමයෙන් බැඳුන නංගී පවුලේ සියල්ලන්ගේම ආශීර්වාදය මැද්දේ විවාහයට යද්දිත් තමා උන්නේ එදාත් නංගීගේ මගුලේ සිංදු කියන මලිත්ගෙන් “ඕනවට වඩා ඇවිත් ඉන්න කෙල්ලො එක්ක උකුලු මුකුලු කරන්න යන්නෙ ඇයි?” කියා කියන්නට ගොස් දොස් අහන්නට වී බව ජාන්විට නංගිගේ කටහඬ දුරකථන ඔස්සේ ඇදී එද්දී මතක් වුණාය.

“ඔව්”කියා කියද්දී තමන්ගේ කටහඬ තවම බිඳී, කඳුලින් බරවී ඇති බව තේරුණද වෙනදා මෙන් “නංගිට මේවා කියන්න හොඳ නෑ. ලැජ්ජයිනෙ” කියා සිතුවිල්ලක් ජාන්විගේ හිත ආක්‍රමණය කරේ නැත.

“අක්කට කොහොමද අක්කේ?” කියා නංගි අහද්දී මෙච්චර වෙලා අපාසුවෙන් හිත අස්සේ හිරකරගෙන උන් ඒ කඳුල කම්මුල් කපාගෙන ඇදී යනවා ජාන්විට තේරුණාය.

“මට කොහොමද දැනෙන්නෙ කියලා කියන්න මටවත් තේරෙන්නෙ නෑ නංගි” කියා අක්කා කවරදාකවත් නැතුව කියද්දී අක්කාගේ වේදනාව කොච්චරද කියා තේරුම්ගන්න ආන්‍යාට අමාරු වුණේ නැත. 

“මං කරන්නෙ මොනවද, කරන්න ඕන මොනවද මේ කිසිම දෙයක් මට හිතාගන්න බෑ. හැමදාම මම නිකන් එකම රවුමක කැරකි කැරකි ඉන්නවා විතරයි නේද කියල මම මේ කල්පනා කරේ නංගි”

“ඒ රවුමෙ කැරකි කැරකි ඉන්න ඕනද තවදුරටත් කියන එක අක්කට ඇත්තටම ඩිසයිඩ් කරන්න පුලුවන් නේද?” කියා නංගී අහද්දී ඇය මේ කියන්නේ කුමක් ගැනද කියන එක ජාන්විට මුලින් හිතාගන්න අපහසු උනේ නැත.

“ඒ කිව්වේ?”

“අක්කා ඒ රවුමෙ කැරකි කැරකි ඉන්නෙ සන්තෝසෙකින් නෙවෙයි තමන්ගෙම හිත රවට්ටගන්න කියන එක අක්කා වගේම අපි හැමෝම දන්නවනෙ අක්කේ. එහෙම එකේ ඔයා හිතනවද ඕකෙ කෙළවරක් තියේවි කියලා. ඔයා තව ඕක වටේම කැරකි කැරකි ඉන්නවා කියන්නෙ තව කල් යද්දි අක්කේ අක්කට ජීවිතේ එපා වෙන තරමට ඕක කරකැවිල්ලක් වෙයි නේද?

“අක්කට දැන්වත් හිතෙන්නෙ නැද්ද ඔය කරකැවෙන එකෙන් දැන්වත් අක්කා ගැලවෙන්න උවමනයි කියලා?”

නංගිගේ වචන ඇවිත් ජාන්විගේ හිතේ හැප්පුණේ මුලු හිතම දෙදරවමිනි. “ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ” යයි තමන් හිතූ නංගීම අද තමන්ට ජීවිතේ ගැන කියාදෙමින් උන්නේ මහත් වූ පාඩමක් බව නොහිතා ඉන්න ජාන්විට පුලුවන් උනේ නැත.කවදාවත් මෙච්චර විවෘතව තමන් සමග කතා බස් කර නැති නංගී අද මෙසේ කතාකරන්නට වීමා ගැන ජාන්වි ඇත්තටම පුදුම වුනාය.

“මට වෙලාවකට හිතාගන්න බෑ නංගි මමයි මලිතුයි අතරෙ තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද කියලා. ඊටත් වඩා මට හිතාගන්න බෑ නංගි මට පල දීලා තියෙන්නෙ මං කාට දුන්න වේදනාවක්ද කියලා” කියා අක්කා හඬා වැටෙද්දී එහා පසින් ඒ සියල්ලටම සවන් දීගෙන උන් ආන්‍යා කලේ ගැඹුරු සුසුම් හෙලන එකය. 

ආදරය වනාහී ගැහැනුන්ට වගේම පිරිමින්ටත් පොදු දෙයක් ය. ඒ නිසා, ආදරය නිසා දුක් විඳින්නේ ගැහැනු විතරක් ය කීම ඇත්තටම බොරුවකි. ආදරය නිසා පිරිමින් ද ගැහනු තරමටම ඒ වේදනාවේ ගිලී යති. සමහරවිට ගැහැනුන්ට වඩා තදින් ඒ වේදනාව දරාගෙන ඉන්න පිරිමින් අප අතරම ඉන්නා බව අප නොදන්නවා විය හැක. ඒත් සමාජයේ තියෙන, “පිරිමි ශක්තිමත් වෙන්න ඕනේ”, “පිරිමි අඬන්න හොඳ නෑ” වැනි අදහස් නිසා, ඔවුන් තමන්ගේ වේදනාව පිටට නොපෙන්වා හිතේ හිරකරගෙන දුක් විඳින්න පුළුවන් බව අප ඇතැම් විට අමතක කර තිබේ. 

තුරුණු උන්නේ එවන් වචනයෙන් කියා හෝ කඳුලක දිය කර හැර යවන්නට නොහැකි අන්දමේ ආදරණීය වේදනාවක ගිලී ගොසින් ය. රාජකාරි අවසන්ව බෝඩිමට ගොසින් හෝ යන අතරමග බාර් එකකට ගොඩ වී කණ පැලෙන්නට බොන එක තුරුණු මනහාර කුලරත්න පුරුද්දක් කරගෙන තිබුනේද ඒ ආදරයේ වේදනාව හන්දාමය.

“ඉස්කෝලේ යන කාලේ කෑල්ලක් උඹට චීට් කරා කියලා අවුරුදු ගාණක් ගෑනු එක්ක තියෙන තරහට මෙහෙම බිබී ජීවිතේ විනාස කරගන්න උඹට පිස්සුද?” කියා හොඳම යාලුවා වෙච්ච මධුර අහද්දීත් තුරුණු කරේ සමච්චල් සහගත හිනාවක් එක්ක “උඹලට ඒක ඉස්කෝලෙ යන කාලෙ ලව් එකක් උනාට මට ඒක එහෙම නෑ” කියා කියන ගමන් තවත් වීදුරුවක් වක්කරගන්න එකය.

“ඇති බං දැන් බිව්වා” කියා මධුර වීදුරුව තුරුණු අතෙන් උදුර ගන්න හැදුවද “චහ්” කියා අමනාපය පෙන්වා මධුරගේ අත ගසා දමා අඩක් පිර වූ වීදුරුව පරිස්සම් කරගන්න තුරුණුට පුළුවන් වුණේය.

“දාලා ගිය කෙල්ලෙක් ගැන හිත හිත අවුරුදු ගාණක් බිබී, අනික් හැම කෙල්ලෙක්ම අරකි වගේමයි කියලා හිත හිත උන්න කාලෙ වෙන උඹට කැමැත්තෙන් ඉඳපු කෙල්ලෙක්ට කැමැත්ත දුන්න නම් උඹ අද සෙට්ල් වෙලා මචං” කියා මධුර කිව්වද තුරුණු උන්නේ ඒ කිසිවක් කණට ගන්නට හිතාගෙන නොවේ.

තුරුණු උන්නේ ඒ වචන සියල්ල හොඳට අහගෙන නමුත් විරුද්ධත්වය පාමින් වෙන් උනත් ඇත්තටම ඔහුට ඕන වුණේ ඒ වේදනාවෙන් මිදෙන්නටය. මත් වන බීම වීදුරු සිය දහස් ගණනක් මත්තේ, මේ අවුරුදු ගාණ පුරාවටම තමන් උත්සහ කරේ ඒ වේදනාව දිය කර හරින්නට නමුදු අවසානයේ උනේ තමන් මත් වෙන එක පමණක් බව තුරුණුට නොරහසකි. ඒ බිඳුණු ආදරය, ඒ රැවටීම තුරුණුව කොතරම් නම් තදින් වෙලා තිබුණා ද කිව්වොත්, තුරුණු උන්නේ ගැලවීමේ මගක් සොයාගන්නට නොහැකිවය.

“ගෑනුන්ට ආදරේ කියන්නෙ සෙල්ලමක් බං. අතේ ඉන්න ඉත්තට වඩා හොඳ ඉත්තෙක් වෙන තැනක දැක්කම උන් ඒ අතේ ඉන්න ඉත්තව අත ඇරලා අලුත් එකා පස්සෙ යනවා. අපේ හිත් එක්ක සෙල්ලම් කරලා, අපිව පිස්සු වට්ටලා, උන් සතුටු වෙනවා.

උඹ දන්නවා මං එහෙම බොන්න ඉඳපු එකෙක් නෙවි.

කවුද මාව මෙතනට අරගෙන ආවේ? ඒකි බං… ඒකි. කවදහරි මගේ බීම නවත්තනවා නම් ඒක නවත්තන්න පුලුවන් කාටද? ඒකිටම විතරයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here