නිබ්බුත ගීත – 23

බුරා හැළුණ ගිනි රොටු වල බල පරාක්‍රමය අඩු වී යමින් තිබිණ. ඒ කුඩා දර මඩුව අළු කොට දමන්නට ගින්නකට මහ වෙලාවක් ගත වන්නේ නැත. අවුරුදු විස්සකට ආසන්න කාලයක මතක කන්දක් ඒ විදිහට අළු කොට දමන්නට ගින්නකට වුව පුළුවන් ද? 

අප හිටියේ ලෑලි බංකුව මත ලං ව හිඳ ගෙන ය. අප තිදෙනා ගේ ම තුරුලේ බඩු පොදි තිබිණ. අපේ අල්පේච්ඡ වූ ජීවිතය සංකේවත් කරනා අල්ප වූ යමක් තිබිණ. 

මල්ලී හිටියේ ගැඹුරු කල්පනාවක නිමග්නව ය. අප තිදෙනා ම අපේ ම වූ කල්පනා ලෝක වල සිටියා කියන්නට පුළුවන. ඒවා වෙන වෙන ම කල්පනා ය. මේ කුඩා නිවහන හා බැඳුණු මතක කල්පනා අප තිදෙනාට ම තිබිණ. මේ වෙලාවේ ඒවා අලුත් වෙමින් මතක ගබඩාවේ ඉදිරියට එමින් තිබෙන්නට ඇත. ගෙය ගිනිබත් වූවාට මතක ගිනිබත් කළ නො හැකි බව කියන්නට මට ඕනා විය. නමුත් මගේ උගුර පාදා හඬක් නිකුත් කරන්නට තරම් ශක්තියක් මට වූයේ නැත. 

“කුඩම්මලට කතා කරමුද…”

දීර්ඝ වූ නිහැඬියාවකට පස්සේ අම්මා මුණිවත බින්දා ය.

“එපා එපා ඕන්නෑ”

මල්ලී තදින් කීවේ ය.

“ගිනි තියපු එවුන්ට කතා කරල ගිනි නිවහං කියන්නද…”

නිවී යමින් පැවතිය ද ගින්න ඇති කළ රස්නය හාත්පස වායු ගෝලයෙහි වූයේ ය. නමුත් ඇට මස් ලේ විනිවිද යන කටුක සීතලක් මට දැනිණ. මගේ දත් ඇඳි දෙක කට කට ගා එකට ගැටෙමින් ඇති බව ද දැනුණේ ය. හුස්ම පවා කටු තුඩු වන්ව ශ්වසන මාර්ගය පුරා ඇනුණේ ය. මල්ලිගේ පොත් මිටිය මම වඩාත් තදින් පපුවට තුරුළු කොට ගතිමි.

හිසට සෙවනක් නැතිව ඝණාන්ධකාරයක රැයක් ගත කිරීම කියන්නේ හිත චකිතයෙන් පුරවා ලන අත්දැකීමකි. මේ බිම අපේ ජීවිත තරම් ම පුරුදු වී ද අඳුර ඇති කරන්නා වූ ගැස්ම නවතාලිය හැකි නොවේ. දර මඩුව ඉදි කොට තිබුණේ මහ ගෙදර නො පෙනෙනා තරම් ඝණව වැඩුණු වන රොදකට පිටුපසිනි. ඒ ඉසව්ව කොහොමටත් ඉතා කළුවර ය. අපේ ගෙට යාබදව ගුරු පාරක් දිවෙන බව ඔබ දැනටමත් දනී. එගුරුපාර ද විදුලි පහන් නො දැල්වෙන අඳුරු එකකි. රෑ බෝ වූ පසු එහි මගියෙකු ඇවිද ගියේ ඉතා කලාතුරිනි. සමහර විට අවසාන බස් එකේ ආ කෙනෙකු පමණ ය. එහි අපේ ගෙට ආසන්නව ම ගෙයක් නැති වී ද කතා කර ගත හැකි තරම් එපිටින් ගෙවල් තිබේ. නමුත් ගේ ගිනි ගත්දී ඔවුන් නින්දට ගොස් තිබුණෙන් කිසිවෙකු ඒ බවක් දැන සිටියේ නැත. එනයින් අපට රැය පහන් කරන්නට සිදු වූයේ අප තිදෙනාව පමණක් දරා ගනිමිනි. මේ තරම් නින්දනීය වැඩක් කරන්නට ඇත්තේ අවන්ත ප්‍රමුඛව මහ ගෙදරින්, විශේෂයෙන් නීලිකා නැන්දා හා ආච්චි මමී දැනුවත්ව බව මම සිතමි.  ඒ නිසා ඔවුන් කොහොමටවත් ඒ ගැන දැනුවත් බව හඟවන්නට පහළට එන්නේ නැත. 

කෙසේ වෙතත් ඒ වාගේ වියවුල් සහගත මානසික තත්වයක් යටතේ අපි අඳුරට විවර ව හෝරා ගණනාවක් තරණය කොට යමින් සිටියෙමු. මුලින් ම ඒ විනාශය දුටු පිටස්තරයා, ගුරු පාර දිගේ අළුයම් කාලයෙහි ප්‍රථම බස් රිය අල්ලන්නට ගිය කෙනෙකි. ඔහු යාබද නිවෙස් වලට කතා කොට පණිවිඩය දී තිබිණ. ඒ විදිහට ලැව් ගින්නක් සේ පුවත පතලව ගියේ ය. දොරින් දොරට කතා කොට මිනිස්සු අනෙකාට ආරංචිය දී තිබිණ. ප්‍රථම හිරු කිරණ පොළොව සිප ගන්නට ද පෙර ගිනි ගත් දර මඩුව වට කොට අසල්වැසියෝ ද මහ ගෙදර ඇත්තෝ ද රංචු ගැසී සිටියහ.

“කුස්සියෙ ලිපේ හරි ලිනි අඟුරක් තිබිල තමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නෙ. නැතුව ඉතිං මේ දර මඩුවෙ අහවල් දෙයක් ගින්බත් කරන්න කවුරුවත් ගිනි තියන්නද…”

ආච්චි මමී කල් ඇතුව පශ්චාද් මරණ පරීක්ෂණ නැතිව ම මරණ සහතික නිකුත් කරන්නට වූවා ය. මල්ලී හෝ මා කට හෙළවූයේ නැත. මල්ලී ඒ තරම් දරුණු නිහැඬියාවකට එළඹ සිටින්නට හේතුව මා දැන නොසිටි මුත් ඒ නිහැඬියාව මා බිය පත් කරමින් තිබිණ. 

ගුරු පාරේ රැස්ව වට මේස සාකච්ඡා පවත්වමින් සිටි පිරිස ඈත් මෑත් කරමින් මදුරාපුර නිවසට අයත් මෝටර් රථයක් ඇවිත් නැවතිණ. ලෝචන මදුරාපුර ඉන් බැස ගනු දුටු මා එක වර ගින්දරක රස්නය ද අයිස් කන්දක සිසිල ද අත් වින්දෙමි. යටි පතුල් වලින් ඇරඹුණු කීරි ගැසීමක් සිරුර පුරා විහිද ගියේ ය. ඔහු අප ළඟට ම එන තුරුත් මටවත් මල්ලීටවත් බංකුව මතින් නැගිට ගත හැකි වූයේ නැත. ලෝචන සිය අත් දෙක අප දෙදෙනා ගේ උරහිස් මතින් දමත්දී අප දෙදෙනාට එකවර නැගිටවිණ. ඔහු අපව දෑතින් සිය සිරුරට ලං කොට ගත්තේ ය. මේ ගින්න ඇරඹුණ මොහොතේ සිට ගහක් ගලක් සේ දරා උන් මට වාවා ගත නො හැකි ව ඉකි බිඳී හැඬුණේ ඒ වෙලාවේ ය.

“බී ස්ට්‍රෝං නිබ්බුතා. රාහුල්…හයිය වෙයං. හයිය වෙයං”

ඔහු අපේ සවනට මිමිණුවේ ය. මල්ලී හිස පහත් කර ගෙන හිටියේ හඬන්නට බැරි කමට කියා මම දනිමි. සෙනග පීරා ගෙන සඳනි අප වෙත දිව ආවා ය.

“මං දැනුයි දැන ගත්තෙ. අනේ නිබූ…ඇයි දෙයියනේ ඔයාටම මෙහෙම වෙන්නෙ…”

ඇය මා වැළඳ ගෙන මා වෙනුවෙන් කඳුළක් සැළුවා ය. පෙර දා රැයේ පටන් ඇඟට පණක් නැතිව වාගේ සිටි මගේ සිරුරට පණ පොදක් උණා එමින් තිබිණ. හැමදාමත් මාත් එක්ක මා වෙනුවෙන් සිටි සඳනි ද ලෝචන ද අපේ අත් අත නොහැර මේ වෙලාවේ ද ළඟින් සිටීම ඒ ශක්තියට හේතුවයි.

අසල් වැසියන්ගෙන් කිරි තේ ද පාන් බනිස් වැනි දෑ ද අඩු නැතිව ලැබිණ. විපතක් වූ විට මිනිස්සු එහෙම ය. නමුත් මා නම් වතුර උගුරක් හෝ බීවේ නැත. 

“මේ අළු උඩින්ම නැගිටින්න නිබ්බුතා. මේව කරන්නෙ බලං ඉන්න බැරි ඊරිසියාකාරයො. උන්ට මේව පල දෙනව. දවසක ගෙවන්න වෙයි පොලියත් එක්කම. දෙයියනේ මැරෙන්න වැටිල බෙහෙත් ගන්න උන්ට ඔයා ළඟට බඩ ගාගෙන එන්න සිද්ද වෙන්න ඕන. බඩගින්නෙ ඉද්දි කන්න බත් ටිකක් දෙන්න බැරි වෙච්ච උං කොහොමද ඔයා ඩොක්ට කෙනෙක් විදිහට ඔළුව උස්සනව බලං ඉන්නෙ…”

සඳනි කාටත් ඇහෙන්නට කියවූවා ය. ආච්චි මමී නො සන්සුන් වූවා ය.

“ඔය ළමය අපිට වදින්නද ඕව කියන්නෙ…”

“කරපු කෙනෙකුට වදින්න ආච්චියෙ. අනේ දෙයියනේ මන්නං කියන්නෙ මේවට සොබා දහම දඬුවම් දෙන්න ඕන. මේව කරපු එවුං නැති බංගස්තාන වෙලා යන්න ඕන”

ඔවුන් දෙදෙනා අතරේ වචන හුවමාරුවක් සිදු වෙත්දී ලෝචන අප සන්තක වූ පොත් ටික ද ඇඳුම් පෙට්ටි දෙක තුන ද ගෙන ගොස් රියෙහි ඩිකිය හැර එහි දැමුවේ ය. මගේ පපුවේ බරක් ද උගුරේ හිර වූ දෙයක් ද තිබිණි ද ඒ කවරක් දැයි මට නිශ්චිත කර ගත හැකි වූයේ නැත.

“අනේ චූටි බබා ඉතිං…ඔය කඩමාළු කාර් එකට දැම්මෙ ඇයි…”

මහිතෙහි ඇනුණ කටුව එය බව වැටහුණේ අම්මා ඒ ප්‍රශ්නය යොමු කළ පසුව ය.

“එහෙනං ඒ මහත්තය උඹලව එහෙ එක්ක යන්න හිතං ඇති”

ආච්චි මමී ඇනුම් පදයක සරින් කීවේ නැගෙන්නට ආ සිනහව අපට පෙනෙන්නට ම හංගමිනි. සඳනි කට ඇද කළා ය. පුළුවන් කමක් තිබුණා නම් ඇය ආච්චි මමී ගේ කම්මුලට පහරක් දෙනු ඇත.

“නන්දනී අම්මෙ. කොහෙ හරි තැනක් තියෙයිනෙ. කොතනකට හරි යන්න වෙයිනෙ. එතකං ඒ ටික කා එකේ තිබුණදෙන්”

පිටත ලෝකය ගැන කිසිදු වගක් නැතිව ලෝචන සන්සුන් සරින් අම්මා ගේ හිත හැදුවේ ය. සමහර මිනිසුන් හිතක් පපුවක් නැති සෙයින් උල් කටු වලින් ඇන හදවත් තුවාල කරත්දී, ඒ තුවාල වල ඔසු ගල්වා සුව පත් කරන්නට වෙර දරනා තවත් සමහර මිනිස්සු සිටිති. ලෝචන අපෙන් ඉවතට ගොස් දුරකතන ඇමතුම් කිහිපයක් ගත්තේ ය. නැවත අප වෙත විත් ලෑලි බංකුවේ අප අතරේ හිඳ ගත්තේ ය. 

“මං මෙතනම ආයෙ පැලක් හරි හදනව ලෝචන අයියෙ. මේ වත්තෙ ගස් කපල ලීදඬු ටිකක් අරං හිටෝල පැලක් හදනව”

මා කීරි ගස්වමින් මල්ලී උගුර යටින් ආවේගශීලී කතාවක් කීවේ ය. ඒ පෙර දා රාත්‍රියේ පටන් ඔහු ගැඹුරු කල්පනාවක නිමග්න ව හිඳ බැස ගත් තීරණයයි. ලෝචන නොව වහා පිළිතුරු දුන්නේ සඳනි ය.

“අන්න හරි මල්ලි. මාත් පුළුවන් උදව්වක් කරන්නං. මුන්ට පරාද වෙන්න ඕන නෑ එහෙම. මේව ලේසියෙන් අත්ඇරල දාන්නත් හොඳ නෑ. ඔක්කොම ටික තමන්ගෙ පිඟානට බෙදා ගන්නයි හිතං ඇත්තෙ. ඒව කොහෙද…අපි ඉල්ලමු අපිට අයිති කොටස”

“මේ සඳනි. ඔයා තවත් ගිනි අවුලන්නෙ නැතුව ඉන්නවද…”

ලෝචන සඳනි දෙස බලා තදින් කීවේ ය. ඊළඟට මල්ලිගේ උරහිස වටා අත දමමින් අපට පමණක් ඇසෙන සේ හඬ බාල කොට කතා කළේ ය.

“මේ අහපං රාහුල්. සමහර වෙලාවල් තියනව…යුද්දෙකදි වුණත් අඩිය පස්සට ගන්න වෙන. ඒක පරාදයක් නෙවෙයි. සාර්ථක දිණුමකට සූදානම් වීමක්..උඹ අයිතිය ඉල්ලපං. මෙතන පැලක් නෙවෙයි හොඳ ගෙයකුත් හදපං. ඒත් ඒ දැන් නෙවෙයි. අපි අඩියක් පස්සට අරං දිනන්න ලෑස්ති වෙලා එමු. ඉස්සරවෙලා උඹ මේ විභාග දෙක ඉවර කරපං. තව අවුරුදු තුනයි වැඩිම වුණොත් අදින්න තියෙන්නෙ. ඊට පස්සෙ කරන දෙයක් කරමු. එතකං අපි කොතනක හරි ඉඳං ලෑස්ති වෙමු. තේරුණාද…”

ඒ වන තුරු අප සිටිත යුත්තේ කොතනකදැයි මා දැන සිටියේ නැත. ඒ ගැන අහන්නට කෙනෙක් ගැන හිතා ගත හැකි වූයේත් නැත. බලාපොරොත්තු නොවූ වෙලා වල ලෝකය හිස මත කඩා ගෙන වැටෙත්දී අපි එවන් අනපේක්ෂිත අපේක්ෂා භංගත්වයන්ට ලක් වන්නෙමු. බස් නැවතුමක හෝ රැය පහන් කරමින් මල්ලීව ඉස්කෝලේ යැවිය යුතු බව පමණක් මම හිතේ ධාරණය කර ගෙන සිටියෙමි.

සමහරක් වෙලාවට අදහා ගත නො හැකි දේවල් සොබා දහම අපේ ඇස් ඉදිරියේ සිදු කරයි. ලෝචන පාවිච්චි කරන මදුරාපුර මැදුරේ රියට පිටුපසින් නතර වූ අලුත් මෝටර් රථයෙන් බැස ගෙන මධාරා අක්කා අප වෙත දිව එත්දී මා පත් වූයේත් එවන් අදහා ගත නො හැකි තත්වයකට ය. මා පමණකුදු නොව අපට සිදු වූ විපත්තිය නිසා එතැන රැස් වී සිටි සියලු මිනිස් ඇස් ඇය වෙත යොමු වූවාට සැක නැත. සඳනි මගේ යෙහෙළිය බවත් අප දෙදෙනා ඉඳිකටුව හා නූල මෙන් බවත් අප කුඩා කල පටන් ම මුළු ගම ම දැන සිටියේ ය. ඒ නිසා ඇය යමක් කමක් ඇති පවුලක දියණියක වූවාට අපේ ගෙදර ළඟදී ඇය දැකීමේ පුදුමයක් ගම්මුන්ට නැත. ලෝචන මෙහි පැමිණි එක ගැන සමහර විට එක එක්කෙනා රහසිගත තොරතුරු හුවමාරු කර ගන්නට ඇත. මදුරාපුර පුත්‍රයා අපේ මල්ලී සමග පාරේ ක්‍රිකට් ගසනු ඉඳ හිට හෝ දැක ඇති නිසා එයත් කොයි අතට හෝ දමා සිතා ගන්නට ඔවුන්ට බැරි කමක් නැත. නමුත් රැකියාවට යන ගමන් ඉතා මනරම් ලෙස ඇඳුම් කැඩුම් කළ මධාරා අක්කා දෙව් දුවක සේ මේ අළු ව ගිය සෑය වෙත දිව ඒම කිසිවෙකුට ඇදහීමේ හැකියාවක් වූයේ නැත.

“නිබ්බු”

කියමින් ඇය මා වැළඳ ගත්තා ය. මම ඇගේ පපුවේ හිස තියාගෙන කඳුළකට ගලා යන්නට ඉඩ හළෙමි.

“මල්ලා කෝල් කරද්දි මං ඔෆිස් යන්න ලෑස්ති වෙලා හිටියෙ. නිශාන් කියපු ගමං එක්කං ආව. ඔයාව දකිනකල් මං පිස්සුවෙන් වගෙයි හිටියෙ නිබ්බුතා. තුවාලයක් එහෙම වුනෙ නෑනෙ”

මම හිස දෙපසට සැළුවෙමි. නමුත් හිත ඕනෑවටත් වඩා තුවාල වී ඇති බව මා ඇයට කියන්නට ගියේ නැත.

“දුක් වෙන්න එපා නිබූ. හැම දේම වෙන්නෙ හොඳට කියල හිතමු. අම්මිල මට ඩවුරි එකට කියල ගත්ත ගේ තියනවනෙ. ඔයාට ඕන තරං කාලයක් ඉන්න මං ඒක දෙනව. මෙන්න කී එක”

ඇය යතුර මවෙත පෑවා ය.

“අක්…කෙ…”

මගේ හඬ බිඳී යලිත් මා ඇගේ උරහිස මතට කඩා වැටිණ..

“ඔයා මගෙ නංගිනෙ ඉතිං…නන්දනී අම්ම යන්න අපේ අම්ම බලං ඉන්නව. මල්ලා නිබ්බුතාලව ගෙදරට එක්ක යන්නකො. මං ඔෆිස් ඉවර වෙලා හවසට එන්නං කෙල්ලෙ”

කියමින් මධාරා අක්කා ඉක්මනින් නික්ම ගියා ය.මහ ගෙදර ඇත්තන්ගේ ඇස් වල කටු ඇනුණ බව රහසක් නොවේ. මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා මට පවා හරි හැටි වැටහුණේ නැත.

අතැර දා යන්නට බැරි යමකට මට වී නම් ඒ තරු පිරි අහස සේ මල්බර වූ තාරුකා මල් යාය පමණකි. පරණ ටින් කැබැල්ලක වැවී තිබූ එක ම එක තාරකා මල් පඳුරක් පමණක් ගෙන මම ලෝචන ගේ රියට නැගුණෙමි. 

“ඒකනෙ..මේ පැල් කොට මොනාටද දැන් උඹලට…”

ආච්චි මමී සැනසිල්ල සඟවා ගෙන කියූ හඬ මට පැහැදිලිව ඇසිණ. මල්ලී ඇය දෙසට දැඩි බැල්මක් හෙළා ගෙන සිටියේ ය. ඔහු ගේ ඇස් වල වූයේ අධිෂ්ඨානයක් කියා සිතමි.

ලෝචන අයියා එක ගුරු පාරක් දිගේ ගොස් වසා දැමුණු ගේට්ටුවක් ඉදිරියේ රිය නතර කළේ ය. විවර වූ ගේට්ටුවෙන් මා මුලින් ම ඇතුළට ගත්තේ තාරුකා මල් ගස වැවුණ ටින් එකයි.  අවුරුදු විස්සකට ආසන්න කාලයක් දිවි ගෙවූ ගෙය ගිනි ගත්දී නොදැනුණ වේදනාවක් මේ වෙලාවේ මගේ පපුව යට කර ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles