ආදර සැලසුම් – 25

0
3396

” එතකොට ඔයා මැරීඩ් ද ආදිත්‍යය ? “

මෞර්යා ඒ ප්‍රශ්නය ඇසුවේ සිහින් හඬිනි. ඇත්තටම ඇය එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ආදිත්‍ය ගේ වයස අවුරුදු තිස් පහකි. එසේ බලන විට ඔහු මේ වන විට විවාහකයෙකු වීම සාධාරණය.

” ඔව් මෞර්යා. ඒත් ඒක ෆේල්ඩ් මැරේජ් එකක්”

ආදිත්‍ය පිළිතුරු දුන්නේ කම්පාවෙනි. නොසිතූ විරූ ලෙස තමාගේ විවාහය තමාව ඉතා අසරණ භාවයට පත් කර ඇත. නන්නාදුනන ගැහැණු ළමයෙකු ඉදිරියේ මේ විවෘත වන්නේ එකී අසරණ භාවය ය.

පලවන දිනයේ සිටම ආදිත්‍ය තුළ දකින්නට තිබූ කනස්සලු ස්වභාවයට හේතුව ඒ අසාර්ථක වූ විවාහය ය. මේ දින කිහිපයට ආදිත්‍ය යනු ඉතා සෞම්‍ය හිතක් ඇති පුද්ගලයකු ලෙස හඳුනාගෙන සිටි නිසා ඔහුගේ විවාහය අසාර්ථක වීමට හරි හැටි හේතුවක් හඳුනා ගැනීමට මෞර්යාට හැකි වූයේ නැත.

” මැරි කරන්න කලින් මට ෂෙහාරා ගේ මෙහෙමයි කියන්න කිසිම වැරැද්දක් ඇත්තටම තිබුණෙ නැහැ මෞර්යා . එයාට ගෙදර වැඩ එහෙම ලොකුවට බැහැ.ඒ වුණාට අපි කොහොම හරි හැමදේම මැනේජ් කර ගත්තා.  මැරි කරල ටික කාලයක් යනකොට තමයි එයා එයාට ඕන විදිහට ජීවත් වෙන්න පටන් ගත්තේ. සමහර දවස් වලට හවසට ගෙදරින් එළියට ගියාට පස්සේ එයා ආපහු එන්නේ ඊළඟ දවසේ උදේ. අඩුම ගානේ මං කන්නෙ බොන්නෙ කොහොමද කියල වත් හොයලා බලන්න එයාට උවමනාවක් තිබුණෙ නැහැ. ඔයාට මාව හම්බ උන පළවෙනි දවසෙත් උනේ එහෙම දෙයක්. ඔයා මාව ගෙදරට ඇරලවල සෑහෙන වෙලාවක් ගියාටත් පස්සේ තමයි ඊට කලින් දවසේ හවස ගෙදරින් ගිය ෂෙහාරා ගෙදරට ආවේ ” 

” ඔය දෙන්න මැරි කරලා කොච්චර කල්ද ? ” 

” අවුරුද්දක් වෙන්න එනවා ” 

ආදිත්‍ය නොනැවතීම සුසුම් හෙළුවේය. අවුරුද්දක කාලයක් තුළදී පුද්ගලයකුගේ ජීවිතයේ මොනතරම් වෙනස්කම් සිදු විය හැකි දැයි ආදිත්‍ය මෙන්ම මෞර්යා ද කල්පනා කළාය. බැලූ බැල්මට ආදිත්‍ය හට කිසිදු අඩුපාඩුවක් නොමැත. එසේ තිබියදී ඔහුගේ විවාහය පමණක් අසාර්ථක වී ඇත. ආදිත්‍යයට තවදුරටත් කතා කරන්නට ඉඩ හැර මෞර්යා බලා උන්නාය.

” ඒ අවුරුද්දෙනුත් සෑහෙන කාලයක් මං රැවටිලා කියලා මතක් වෙද්දි මට ඉවස ගන්න බෑ මෞර්යා ” 

ආදිත්‍ය ගේ දෑස් දිලිසෙන්නට පටන් ගත්තේය. ඔහු හඬන්නට නියමිත බව මෞර්යා සිතුවාය. 

” ෂෙහාරා මෙච්චර දවසක් කරපු හැමදේම මම ඉවසුවා. ඒත් එයා ඇත්තටම මට චීට් කරේ කොහොමද කියලා දැනගත්තේ එයා ඇක්සිඩන්ට් උනාට පස්සේ. එයා ඔය රෑ තිස්සේ ගිය ගමන් වලදි එයාට හම්බ වුණ රයන් කියල බෝයි කෙනෙක් එක්ක affair එකක් පටන් අරන්. ඔය ඇක්සිඩන්ට් එක වෙලා තිබුණේ එයත් එක්ක ගිහින් එද්දි ” 

ආදිත්‍ය කතාව නවතා තොල්පට තද කර ගත්තේ එකී අඳුරු රාත්‍රිය සිහි වීමෙනි. සියල්ල අවසන් වීම ආරම්භ වූයේ එදිනය. ඒ අතරතුර ආදිත්‍ය මෙතෙක් වේලා පැවසූ යම් යම් කාරණා ගලපා ගැනීමේ උත්සාහයක මෞර්යා නියැලෙමින් උන්නාය.

” ඉතින් මං හිතුවා මෞර්යා , තවදුරටත් ඒ වගේ මනුස්සයෙක් එක්ක මගේ කාලේ නාස්ති නොකර , තවත් රැවටෙන්නෙ නැතුව ඩිවෝස් වෙන්න ” 

ආදිත්‍ය කෙරෙහි වූ අනුකම්පාව පරදවා මෞර්යා තුළ නැගුනේ පුදුමයකි.

” ඔයාගේ මල්ලිගෙ නම මොකක්ද ? ” 

මෞර්යා ඇසුවේ හදිසියේය. 

” ඇයි ?” 

ආදිත්‍ය අනිත් අතට ඇසූ නමුත් මෞර්යා එසේ අසන්නේ ඇයි දැයි යනුවෙන් සිතා ගැනීමට ඊළඟ මොහොතේදී ඔහුට හැකි විය.

” අභිමන් ” 

මෞර්යා සියලු කරුණු එකිනෙකට ගලපා ගත්තාය.එසේ නම් තමන් මෙතෙක් වේලා අනුමාන කළ දේ නිවැරදිය. මේ තමා ඉදිරිපිට වාඩි වී සිටින්නේ තමා කිසි දිනක නොදුටු තම ආයතනයේ අනෙක් ප්‍රධානියාය.

” මං දන්නව මෞර්යා ඔයා කල්පනා කරන්නේ මොනාද කියලා ” 

ආදිත්‍ය කීවේය.මෞර්යා තවදුරටත් පුදුමයෙන් බලා උන්නාය. ආදිත්‍යය ව මුණගැහුනු පළවන දිනයේ සිට සිදු වූ සියලු සිදුවීම් මෞර්යා තවදුරටත් කල්පනා කළාය. ඔහුව මුණගැහුනේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණු දින උදෑසනය. ඔහු අසනීප වී සිටියේද එදිනය. එම නිසා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට ඔහුට නොහැකි වීමත් , ඉන් පසුව සම්මුඛ පරීක්‍ෂණයෙන් තමාව තෝරාගෙන තිබුණු ආකාරයත් මෞර්යා ගලපා ගත්තාය.

” එතකොට ඔයා දැනගෙන හිටියා මම ඔයාගේ කම්පනි එකේ වැඩ කරනවා කියලා ? “

මෞර්යා ඇසුවාය. එහෙත් ඒ කෝපයකින් නොවේ.

” ඔයාගේ CV එකේ තිබ්බ ෆොටෝ එක දැකලා තමයි මං ඔයාව ගත්තේ ” 

ආදිත්‍ය පිළිතුරු දුන්නේය. මෙය කෙසේ කවදා හෝ ඇයට කිව යුතුය. දැන් එළඹ ඇත්තේ එයට වෙලාවය. එම නිසා කිසිවක් තවදුරටත් සැඟවීමට ආදිත්‍ය හට වුවමනා වූයේ නැත.

” ඉතින් මාව හම්බ උන කොයිම වෙලාවකවත් ඇයි ඔයා මට ඒ ගැන කිව්වේ නැත්තේ ? අඩුම ගානේ office එකේදි වත් ? ” 

” මගේ ඔළුවේ කිසිම නිදහසක් තිබ්බේ නෑ මෞර්යා. මං ඔෆිස් එකේදි කීප සැරයක් ඔයාව දැක්කත් ඒ හැම වෙලාවක්ම ඔයාට කතා කරන්න වෙලාව නෙමෙයි කියලා මට හිතුනා. ඒත් මං ඔයාට නොකියා ඉන්න නම් හිතුවේ නැහැ. ඔයා මාත් එක්ක තරහද ? ” 

අවසන් වචන කිහිපය ආදිත්‍ය ඇසුවේ හඬ බාල කරය.එහි තිබුයේ සමාව අයදින ස්වරයකි

” මට තේරුම් ගන්න පුළුවන් ඔයා හිටපු සිටුවේෂන් එක. ඒත් මං මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ ආදිත්‍යය. අද දවල් මිස්ටර් අභිමන් එයාගේ අයියා ගැන මාත් එක්ක කතා කරපු දේවල් ඔයා දැන් මේ කිව්ව දේවල් එක්ක ටැලි වුන නිසයි මම හිතුවේ ඒ ඔයා කියලා ” 

” අභිමන් මොනාද කිව්වේ? ” 

අභිමන් සහ තමා අතර දහවල් කෑම වේලාවේදී සිදුවූ සංවාදය මෞර්යා කෙටියෙන් පැහැදිලි කළාය. සාමාන්‍යයෙන් අභිමන් යනු කෙනෙකු සමග පහසුවෙන් විවෘත වන ආකාරයේ පුද්ගලයකු නොවේ. අනෙක් අතට මෞර්යා යනු ආයතනයේ සේවිකාවකි. ඇය සමග පෞද්ගලික තොරතුරු බෙදා ගන්නට ඔහු මට විශේෂ හේතුවක් තියෙනවා විය හැක.

” දැන් ඉතින් මට ඔයාට නිකන්ම ආදිත්‍යය කියලා කතා කරන්න බැහැනේ “

මෞර්යා කීවේ මවා ගත් කෝපයකිනි. ආදිත්‍ය හට සිනහ පහළ වූයේ ඇගේ ඒ මවාගත් නෝක්කාඩු ස්වරූපය දැකය.

” අනේ එහෙම ඕනේ නෑ මෞර්යා. ඔයාට ඕන නම් ඔෆිස් එකේදී ඔය අපේ මල්ලිට කියනවා වගේ මිස්ටර් කෑල්ල දාලා කතා කරන්න. මට ඔයාව හම්බ උනේ ඔයා ඉන්ටර්විව් එකට යන්නත් කලින්නේ “

ආදිත්‍ය සිනාසෙන්නට වෙර දරන්නේය. එහෙත් ඒ සිනහව ව්‍යාජය. ඔහු හදවතේ දරා හිඳින අසීමිත වූ වේදනාව ඔහුගේ මුහුණෙන් මනාව පිළිබිඹු වේ.

” හරි දැන් ඒ කතා අමතක කරන්න. ඔයා ඇත්තටම ඩිවෝස් වෙනවා කියලා තීරණය කරලා ඉවරද එතකොට ? ” 

” ඔව් මෞර්යා ” 

” එතකොට ? ” 

” එතකොට ඉතිං මුකුත් නැහැ “

දෙදෙනා අතර කෙටි නිහඬියාවක් පැවතුණේ විනාඩි කිහිපයකටය. ජීවිතයේ හමුවීම් සිදුවන ආකාරය පුදුමාකාරය. ආදිත්‍ය විවාහකයෙකු බව වත් , ඔහු තම ආයතනයේ ප්‍රධානියා බවවත් තමා මොහොතකට වත් බලාපොරොත්තු වූයේ නැත. දෛවය විසින් හමුවීම් සහ ජීවිතයේ සිදුවීම් පෙළ පෙළගස්වා ඇති ආකාරය ඉතා අනපේක්ෂිතය. ආදිත්‍ය හමුවී තවමත් ගත වී ඇත්තේ දින කිහිපයකි. ඒ දින කිහිපය ඇතුළත තමා ආදිත්‍යව තේරුම් ගත්තේ ඉතා යහපත් ගතිගුණ ඇත්තෙකු ලෙසය. අභිමන් සමග සසඳා බලන විට ඇත්තටම ඔවුන් දෙදෙනාම මානුෂීය ගුණ ඇත්තන්ය. එහෙව් ගුණ ඇති ආදිත්‍යය විවාහ ජීවිතය තුළ වරද්දා ගත්තේ කොතනකදැයි මෞර්යා කල්පනා කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය. 

” ෂෙහාරා ඔයාට එහෙම කරන්න හේතුව මොකක්ද ? ” 

මෞර්යා ඇසුවේ ඇත්තටම නොදන්නාකමටය.ඒ මෙවැනි සංකීර්ණ ගැටලුවක් කෙනෙකු තමා හා සාකච්ඡා කරන්නේ ප්‍රථම වතාවට නිසාය 

” අපි කොච්චර හොඳට හිටියත් මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙනවා මෞර්යා. මගේ අම්මයි තාත්තයි ගෙවපු ජීවිතේ දැකලම මට ඕන වුනේ කවද හරි මැරි කරාට පස්සේ හොඳට ජීවත් වෙන්න. මට තාමත් හිතාගන්න බැහැ ෂෙහාරා ගේ හිත වෙනස් වුණේ කොතනකදි ද කියලා. තමන් එක්ක එක වහලක් යට ජීවත් වෙන මනුස්සයෙක්ව එහෙම රවට්ටන්න පුළුවන්ද මෞර්යා ? ” 

” ඒ කියන්නේ ඔයා ෂෙහාරාට සමාව දෙන්නේ නෑ නේද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here