ආදර සැලසුම් – 28

0
1458

අභිමන් කාලය ගත කළේ නොසන්සුන්වය. අත්‍යවශ්‍ය වැඩ කිහිපයක් පමණක් නිමා කල ඔහු ලැප්ටොප් පරිගණකය වසා දමා වීදුරු දොරෙන් එහා පෙනෙන කාර්යාලය දෙස බලාගෙන කල්පනාවක නියැලී උන්නේය. පාසල් යන කාලයේදී පවා තරුණියක පිළිබඳව මෙවන් විශේෂ හැඟීමක් ඔහුට දැනී තිබුණේ නැත. සම වයස් මිතුරියන් ඕනෑවට වඩා ඇගෑලුම්කම් පෑ අවස්ථාවන් වලදී ද අභිමන් ඒවා පිළිබඳව වැඩි දුර නොසිතන්නට ගියේ නිවසේ තිබූ තත්ත්වය නිසාය. සතියකට දෙතුන් වතාවක්ම නිවස තුළ දකින්නට වූයේ මවගේ සහ පියාගේ ගැටුම්ය. ඒවායින් හෙම්බත්වී සිටි නිසා එකම පන්තියේ මිතුරන්ට පවා පෙම්වතියන් සිටියදී අභිමන් එවැන්නකට පෙළඹීම සඳහා පසුබෑවේය. ආදිත්‍ය ගේ තත්ත්වයද ඊට නොදෙවෙනි වූ බව අභිමන් දැන උන්නේය.

තමා මෙම ආයතනයේ ප්‍රධානියාය. සියලුම සේවකයන් තමාට හා තම සහෝදරයාට සලකන්නේ ඉතා ගෞරවයෙන් ය. ඒ ගෞරවයට හානි විය හැකි කිසිවක් කළ නොහැක. මෞර්යා යනු තවමත් මේ ආයතනයට අලුත් සේවිකාවකි. තමා ඇයව විශේෂ කොට සලකන බව හෝ තමා ඇය කෙරෙහි උනන්දුවක් දක්වන කිසිවෙකු හට හෝ දැනෙන්නට හොඳ නැත. අභිමන් තම සිතුවිලි පාලනය කර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක් දැරුවේය .

” මල්ලි ” 

ආදිත්‍ය අභිමන්ගේ කාර්යාල කාමරයට පැමිණෙන විට අභිමන් උන්නේ පුටු ඇන්දට හිස තබා ගෙන දෑස් පියා ගෙනය. සාමාන්‍යයෙන් කාර්යශූර පුද්ගලයෙකු වූ අභිමන් මෙසේ සිටින්නේ අධික කාර්යබහුලකම නිසා හෝ අධික පීඩනයක සිටින මොහොතකය. සමහර විට පසුගිය දින ගණනාව පුරාවට තමා කාර්යාලයේ නොසිටි නිසා අභිමන් එය සියලු බර දරාගෙන පීඩනයෙන් සිටිනවා විය යුතු යයි ආදිත්‍ය සිතුවේය.

අභිමන් දෑස් හැරියේ ආදිත්‍ය ගේ හඬටය. තම සහෝදරයාගේ පැහැදිලි වෙනසක් දක්නට ඇති බවට සිතුවිල්ලක් ඔහු දුටු විගසම අභිමන් තුළ ඇති විය. ආදිත්‍ය අනවසරයෙන්ම අභිමන් ඉදිරියෙහි ඇති අසුන ඇද අසුන් ගත්තේය.

” ඔයා මොනව හරි දේකට ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ? ” 

ආදිත්‍ය ඇසුවේ අභිමන් දෙස විමසිල්ලෙන් බලන අතරේය. අභිමන් ඔහුගේ දෑස් මඟ හැරියේය.

” ඇයි අයියා ? ” 

අභිමන් පිළිතුරු දුන්නේ අසල වූ ලිපි ගොණුවක් දිග හරින අතරේ ප්‍රශ්නයක් ද අසමිනි.ඒ සන්සුන් වන්නට උත්සාහ දරමිනි.

” නෑ මම ඉස්සෙල්ලත් මෙතනින් යනකොට දැක්කා ඔයා ඔහොම ඉන්නවා. ඔයා සාමාන්‍යයෙන් එහෙම ඉන්නෙ නෑනෙ. ඒකයි මං ඇහුවේ “

ආදිත්‍ය කීවේය. අභිමන් ලිපි ගොණුව එහා මෙහා පෙරළා නැවතත් එය පසෙකින් තැබුවේය. ඉන් පසුව සැප පහසු අසුනෙහි හරි බරි ගැහී වාඩි වුයේය.

” මගෙ හිත ටිකක් කලබලයි අයියා ” 

” ඇයි ? ” 

” අනේ මන්දා.ඒක මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නැහැ ” 

අභිමන් කීවේ ඇත්තටමය . හිත නොසන්සුන් වී තිබෙන්නේ මෞර්යා නිසාද එසේත් නැත්නම් ආදිත්‍ය පත් වී සිටින තත්ත්වය නිසා දැයි හරි හැටි තෝරාගත නොහැක. එහෙත් වෙනදා තිබූ හිතේ සැනසීම බොහෝ දුරට අඩු වී ඇත. 

” මගේ ප්‍රශ්න නිසාද ? ” 

ආදිත්‍යය ඒ ප්‍රශ්නය ඇසුවේ තරමක් බරටය. තමා විවාහ වී නිවසින් පිටව යන තුරුම අභිමන් සෑම මොහොතක්ම ගත කළේ තමා සමඟය. තම පියා නිවසින් පිටව ගිය පසු නිවසේ බොහෝ දෑ තීරණය කිරීමට මෙන්ම ආයතනයේ තීරණ ගැනීමට පවා අභිමන් මුල්තැන දුන්නේ තමාටය. විවාහයෙන් පසුව තමාව නිවසේ වගකීම් වලින් බොහෝ දුරට නිදහස් කළත් තමා ඒ විවාහයෙන් පීඩාවට පත් වී  වෙන් වීමට සූදානම් වීම දරා ගත නොහැකි තත්ත්වයක සමහර විට ඔහු සිටිනවා විය හැකි යැයි ආදිත්‍යය සිතුවේය.

” එහෙම දෙයක් නෑ අයියා ” 

” ෂෙහාරාගේයි මගේයි ප්‍රශ්න නිසා ඔයා අවුලෙන් ඉන්න එපා. මොකද එහෙම උනොත් අම්මත් අවුල් යයි ” 

ආදිත්‍ය කීවේ දුර දිග සිතාය. අශිකා සෑම මොහොතකම ඕනෑම දෙයක් කෙරෙහි අතිශයින් වද වන තැනැත්තියකි. තමා දික්කසාද වීමට ගත් තීරණය ට එකඟත්වය පළ කළද ඇය සිටින්නේ තම ජීවිතය අවුල් වී යාම පිළිබඳව වේදනාවෙන් බව ආදිත්‍යය දනී. 

” අම්ම නං කොහොමත් අවුලෙන් තමයි අයියා ඉන්නේ නොපෙන්නුවට. හැබැයි ඒක ඔයා ඔය කරදරෙන් ගැලවුනාම හරියයි “

ආදිත්‍ය මොහොතක් කල්පනා කළේය. මෙවන් ඉරණමක් තමාට අත් වේ යැයි තමා සිහිනෙකින් වත් සිතුවේ නැත. එහෙත් එය සිදු වූයේ තමාගේ වරදින් නොවේ. 

” මං ඔයාටත් කියන්නෙ මල්ලි ඔයා දවසක කසාද බඳින කොට සිය දහස් වාරයක් හිතන්න.මං උනත් ෂෙහාරාට කැමති වෙන්න ඉක්මන් උනා වැඩියි කියලයි මට හිතෙන්නේ.මටත් තිබුණා තව ටිකක් හිතලා බලන්න. ඒත් ඉතිං බඳින කෙනා මොන වගේ කෙනෙක්ද කියලා අපිට හරියටම බලාගන්න වෙන්න බැන්දට පස්සේ තමයි. අපි කොච්චර හරියට හිටියත් වැඩක් නැහැ අපි බඳින කෙනා එහෙම නැත්නම්. මොකද බඳින්න කලින් ඉන්න කෙනා නෙමෙයි නේ බැන්දට පස්සේ ඉන්නේ ” 

ආදිත්‍ය කීවේ ශෝකයෙනි. 

” ඒ උනාට අයිය මට හිතෙන්නේ ඔයා ෂෙහාරාව ඩිවෝස් කරන්න ඩිසයිඩ් කලාට පස්සෙ සතුටින් ඉන්නවා කියලා.මට ඔයාගේ මූනෙන් මොකක්දෝ එළියක් පේනවා ” 

අභිමන් හදවතට දැනුනු දේ ප්‍රකාශ කළේය. ඇත්තටම ආදිත්‍යය යනු තමාටත් වඩා අහිංසක පුද්ගලයෙකි.සතුට යනු ඔහුට උරුම විය යුතු දෙයකි. තම පියා නිවසින් පිට මං වූ පසුව ගෘහ මූලිකයා ගේ බර කරට ගෙන සියල්ල සොයා බලා ඉටු කළ තම එකම සහෝදරයාට සැනසීම හිමි විය යුතුය.

” උඹට පිස්සු ” 

ආදිත්‍ය ආයාසයෙන් සිනාසුනේය. පෙර දින සවස් යාමයේ දී තම සිතේ තිබූ බොහෝ දෑ මෞර්යාට කියා නිදහස් කර ගැනීමෙන් පසුව සිතට දැනුනේ අප්‍රමාණ සැනසීමකි.එය මේ මොහොතේ පවා දැනෙන්නේය. ජීවිතය අලුතින් පටන් ගත යුතුය යන බලාපොරොත්තුව ආදිත්‍යයට නැවත දැනෙන අතරතුර ෂෙහාරා කළ වංචාවද සිහි වන්නේය. එවිට පෙර දැනුනු සැනසීමද පලා යන්නේය.

” අයියගේ මූඩ් එක හරි ඉක්මනට එහෙ මෙහෙ යනවා ” 

ආදිත්‍ය ගේ ඉරියව් නිරීක්‍ෂණය කළ අභිමන් කීවේය. ඒ නිසාම ආදිත්‍යය නැවත සිනාසුනේය.

” දැන් මගේ මූණ බල බල ඉන්න එකද ඔයාට තියෙන වැඩේ ? ” 

” එහෙම නෙමෙයි ඉතින්.මට පේන දේ කිව්වේ ” 

ආදිත්‍ය මොහොතකට නිහඬ වූයේය. තමා රිද වූ විවාහයෙන් නිදහස් වූ පසුව කෙටි විවේකයක් ගත යුතුය. අනතුරුව නැවත ජීවිතයට අලුතෙන් එළඹිය යුතුය.

” ඩිවෝස් එකෙන් පස්සේ අම්මවත් එක්ක ගෙන අපි කොහේ හරි යමු මල්ලි. ඇත්තටම මට පොඩි රෙස්ට් එකක් ඕනේ ” 

” කොහේ හරි කිව්වේ ? ” 

”  shopping කරන්න බැංකොක් වත් ? අඩු ගානේ සතියකට හරි ? ” 

අභිමන් කල්පනා කරන්නට පටන් ගත්තේය. ආදිත්‍යගේ අදහස හොඳ නමුත් සතියක් කාර්යාලයට පැමිණ නොසිටිය නොහැක. ඒ මෞර්යා නිසා බවට සිතුවිල්ලක් හදිසියේම අභිමන් තුළ පැන නැගුණේය.

” අපිට බැරිද අයියා වීකෙන්ඩ් එකක් අල්ලලා ස්ටාෆ් ට්‍රිප් එකක් යන්න ? ” 

අභිමන් යෝජනා කළේ දෙපැත්තම සමබර වන ආකාරයටය. නමුත් ආදිත්‍යය ද ඒ පිළිබඳව ද සිතුවේය. 

” හොඳ අයිඩියා එකක් හැබැයි. අම්ම උනත් ස්ටාෆ් එක අඳුර ගන්න ආස වෙයි.තාත්තා මෙහෙ ඉන්න කාලෙ වත් එයාව මෙහෙට එක්ක ගෙන ආවේ නැහැනේ වැඩිය ” 

අභිමන් මේසය මත වූ කුඩා කැලැන්ඩරය අතට ගෙන පෙරළා බැලුවේය. මේ අවස්ථාව කල් දැමිය යුතු නැත. 

” ඉතිං අපි ඒ වැඩේට ලබන මාසේ එන ලෝන්ග් වීකෙන්ඩ් එක අල්ලමුකෝ අයියා ? ” 

අභිමන් කැලැන්ඩරයේ වූ දින තුනක නිවාඩුව ආදිත්‍ය හට පෙන්වූයේය. 

” යකෝ , තාම ඩිවෝස් එක ෆයිල් කරලාවත් නෑ හරියට. දැන් කිව්වේ ඒක ඉවර උනාම යං කියලා නේද ? ” 

ආදිත්‍යය සිනාසුනේය. ඒ සැහැල්ලුවෙනි. විවාහ වූ පසු අම්මා වත් මල්ලි වත් යම් තරමකට මග හැරුණු බව ඔහු සිතුවේය. තමා ෂෙහාරා සමග මහ ගෙදරට ගොඩ වැදුණේ ඉතා අල්ප වශයෙනි. අශිකා පමණක් නිතර තම නිවසට ආව ගියද සියල්ලෝම එකතු වී ආහාර වේලක් හෝ රසවිඳි මතකයක් ආදිත්‍යයට මෙන්ම අභිමන් හටද තිබුණේ නැත.

” එහෙනම් අපි මේක නෙක්ස්ට් මන්ත් දාගමුද අයියා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here