“දැන් මොකද්ද ඇත්තටම පුතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ?” කියා රෑ කෑම වෙලාවේදී තාත්තා අහද්දිත් ජාන්වි කලේ කෑම මේසෙට වාඩි වී උන්න නංගි ආන්‍යාත්, කෑම මේසෙ අද්දරට අඩුපාඩු අරගෙන ආ අම්මාත් දිහා මාරුවෙන් මාරුවට බලන එකය. ආන්‍යා ගෙදර ආවේ සති අන්තයේ ඇගේ සැමියා වුණ නිසල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා නගරයෙන් බැහැර ගිය හන්දාය. තාත්තාගේ ප්‍රශ්‍නය එක්කම අම්මාත් නංගිත් තමන්ගේ මුහුණ බැලුවේ තාත්තා ඇසූ ප්‍රශ්නයට උත්තරයක් තමන්ගේ මුහුණේ ලියවී ඇති ආකාරයෙන් මෙන් වීම හිතට මද නොරිස්සුමක් ගෙන ආවද මේ ප්‍රශ්නය වනාහී තමන්ට පිළිතුරු නොදී බැහැර කරන්න බැරි එකක් බව දන්න හන්දාම ජාන්වි තප්පර කිහිපයක මද වෙලාවක් ගත්තාය.
“මට ඇත්තටම හිතාගන්න බෑ තාත්තෙ මං මොකද්ද කරන්න ඕන?” කියා කියද්දිත් කටහඬ දියාරු වී ඇඬුම් මුසු හැඟීමක් එනවා තේරුනද ඒ වළක්වාගන්න විදියක් ගැන කිසිත් අදහසක් ජාන්විට තිබ්බේ නැත.
“හරි කතාවක්නෙ ළමයො ඒක, ඔයා දන්නෙ නැත්තම් කරන්න ඕන දේ අපිද දන්නෙ?” කියා අම්මා වේගයෙන් වේගයෙන් පරිප්පු හැන්දක් තාත්තාගේ පිඟානක බෙදන්න යද්දී ඉන් බිඳක් කෑම මේසය මතට හැලුණ බව දුටු ජාන්වි ඒ හැලුණු පැල්ලම වෙතම දෙනෙත් යොමාගෙන උන්නේ තමන්ට කියන්න දෙයක් ඇත්තටම නැති හන්දාය.
“ඔයා ඉන්නකො මනෝ පොඩ්ඩක් කෑ නොගහා. ඒ දරුවා කිව්ව කතාවෙ වරදක් නෑනෙ. මේ වගේ වෙලාවක ඕනම ගෑනු දරුවෙක්ට කරන්න ඕන මොකද්ද කියලා හිතාගන්න බැරි වෙන එක සාමාන්‍යයි. එහෙම වෙලාවට අපි කරන්න ඕන තව ඒ දරුවගෙ ඔලුවට කරදර දාන එක නෙවෙයි ඒ දරුවට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න විදියක් කියල දෙන එක” කියා තාත්තා කිව්වද අම්මා උන්නේ ලේසියෙන් කටවහගන්න නොවන බව ජාන්වි අත්දැකීමෙන් දනී.
“අපිද මෙයාලගෙ ඔලුවට කරදර දාන්නෙ? මෙයාලනෙ මේ අපි නිවිහැනහිල්ලෙ ඉන්න ඕන කාලෙ කසාද කඩං ගෙදරට ඇවිල්ල අපෙ ඔලුවලට කරදර දාන්නෙ. අනික තාත්තල දූලට තේරෙන්නෙ නෑනෙ මිනිස්සු මගෙන් දූ ගෙදර ඇවිත් ඉන්නෙ ඇයි කියල ඇහුවම මං විඳින වේදනාව හිත අස්සෙන්.
ඇයි අප්පේ කොච්චර නම් කියල දේවල් මේ වයසට අපි දරාගන්නද? අපිත් මිනිස්සු කියලා හිතන්න ඕන නේද මහත්තයා මේ ළමයි. ළමයි හැදුවට වඩා හොඳයි බල්ලෙක් හදාගත්ත නම්” කියා අම්මා කියද්දිත් හිත අස්සේ පිරී තිබ්බ වේදනාව කඳුලු බවට හැරී කම්මුල් දිගේ වැක්කුරුණාය.
“අනේ මනෝ මේ ඔයා හිතන්නෙ මේ ළමයි කැමැත්තෙන් මෙහෙම ප්‍රශ්න දාගන්නව කියලද? අනික මොක උනත් අපේ දරුවා මේ. උන් මේ තරුණ කාලෙ ඕන තරම් මෝඩ තීරණ ගන්නවා. අපිම කොච්චර නම් මෝඩ වැඩ කරාද ඔය තරුණ වයසෙදි. ඒක ඒ වයසෙ හැටි. අනික් උන්ගෙ කටවල් වහලා තියන්න අපි අපේ දරුවො හදලා නෑනෙ.
මේවා මේ ඔහොම කලබල වෙලා ගන්න පුලුවන් තීරණ නෙවිනෙ. හොඳට හිතලා මතලා ගන්න ඕන තීරණ”
“හොඳට හිතලා තීරණ ගන්න තිබ්බෙ දැන් නෙවෙයි මීට කලින්. ඒ කාලෙ අපි කියන ඒව ඇහුවෙ නෑනෙ. තාත්තලා දූලා ඕන දෙයක් කරගන්න. පිට මිනිස්සු ආයෙ එක එක ඒව ඇහුවොත් මං කියන්නම්කො ඔය දෙන්න ඇවිල්ල උත්තර දෙයි කියලා” කියාගෙන මනෝරමා ගස්සාගෙන කුස්සිය දිහාවට යද්දී ධර්මවර්ධන මහත්තයා ගැඹුරු හුස්මක් අරගන්න ගමන් තමන්ට එහා පැත්තෙන් වාඩි වෙලා උන්න ජාන්වීගේ අතට මුදුව තට්ටු කලේ “ඕව ගණන් ගන්න එපා කියන්නට මෙන් ය”
“අම්මගෙ හැටි දන්නවනෙ. ඒ ගෑනි කියන කතාවෙත් ඇත්තක් තියෙනවා පුතේ.මොක උනත් ගෑනු දරුවෙක්ගෙ කසාදෙක ප්‍රශ්නායක් උනාම අම්මා කෙනෙක්ගෙ හිතට ඒක ලොකු බරක් විත්තිය ඔයාට උනත් තේරේවි ඔයා කවදහරි අම්මා කෙනෙක් උනාම. දැන් හැබැයි මේ වෙලාවෙ අපි බලන්න ඕන ඒ මුකුත් නෙවෙයිනෙ. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේකට කරන්න පුලුවන් කියලා.
දැන් මලිත් මොකද කියන්නෙ මේක ගැන?” කියා තාත්තා අහද්දිත් ජාන්විට මතක් උනේ තමන් දහවලේ කතා කරද්දිත් මලිත් කියන්නට යෙදුණ දේය.
ජාන්වි දහවලේ මලිත්ට කෝල් කරේ තමන් ගෙදර උන්නු කාලය ඇත්තටම දීර්ඝ බව හිත කියන්නට ගත් නිසාවෙන් ය.ඒ කෝල් එක ගනිද්දිත් මලිත් උන්නේ කා සමගින් හෝ කතා කර කර සිනාවෙන බව පසුබිමෙන් ඇසුන ශබ්ධ වලින් තේරුම්ගන්න ජාන්විට පුලුවන් වුණාය. මලිත් එහා පැත්තේන් “හෙලෝ” කියා කීවද ජාන්වි තප්පර ගාණක් නිහඬව අසාගෙන උන්නේ එහා පැත්තෙ සිට සිනාවෙන කතාවෙන හඬවල් අස්සේ හුරුපුරුදු හඬක් හොයාගන්න තමන්ට පුලුවන් වේද කියා බලන්නටය.
“කොහෙද ඉන්නේ?” කියා ජාන්විගේ කටහඬ දුරකතනය ඔස්සේ එලියට එද්දිත් මලිත් උන්නේ මීට ටික වෙලාවකට කලින් අසන්නට උන විහිලු කතාවකට සිනාවෙමින් අත තිබ්බ සිගරට්ටුව ඔසවා එහා පැත්තේ උන් කෙනෙක්ට තමන් ඉක්මනින් එන බවට සලකුණක් දෙන එකය. රැඳී උන්න කාමරයෙන් එලියට ආ මලිත් ආයෙම වරක් සිගරට්ටුවෙන් පෆ් එකක් අරගෙන ජාන්වි ඇමතුවේය.
“මං ඉන්නෙ මේ මගේ වැඩකට එලියට ඇවිල්ලා?”
“ගෙයක් ගෑනියෙක් ඉන්නවා කියලා අමතකයි වගේ නේද?” කියා ජාන්වි අහද්දි මලිත් ආයෙ වතාවක් පෆ් එකක් ගත්තේය.
“නෑ මට නම් ඒක හොඳටම මතකයි. ඔයානෙ ජාන්වි ගියේ නේද ගෙවල් දොරවල් එහෙම ඔක්කොම ඒව දමලා ගහලා. එහෙම ගිහිල්ල මගෙන් අහන්න එපා මට අමතකද කියලා ගෙවල් දොරවල් ගැන. මට මතකයි”
“කොහෙද දැන් ඔයා ඉන්නේ?”
“මං දැන් කිව්වේ මං වැඩකට එලියට ඇවිත් ඉන්නෙ කියලා”
“වැඩකට ඇවිත් කියලා නම් තේරෙන්නෙ නෑ එහා පැත්තෙන් ඇහෙන හිනාවෙන සද්ද එක්ක. අරකිගෙ ගෙදරද ඉන්නේ?” කියා ජාන්වි අහන්නේ මේධාංගනා ගැන බව උනත් මලිත් ඒකට ඔව් කීවේවත් නෑ කීවේවත් නැත.
“තමුසෙටත් ලැජ්ජ නෑ ඕයි. මිනිහා මැරිච්ච නාකි ගෑනු එක්ක සෙට් වෙලා සින්දු ප්‍රමෝට් කරගන්නවට වඩා හොඳ නැද්ද හිඟා කෑව නම්?” කියා ජාන්වි බාගෙට අඬමින් මෙන් අහද්දිත් මලිත් ඒ වචන එච්චර ලොකුවට භාරගත්තේ නැත.
“මං ඉන්න ෆීල්ඩ් එකේ මිනිස්සු එක්ක තියෙන කනෙක්ශන්ස් මාර ඉම්පෝටන්ට් කියලා ඔයා දන්නවනෙ නේද? මිනිස්සු එක්ක සෙට් වෙන්නෙ නැතුව අපිට උඩට යන්න බෑ. අනික මං හිඟා කෑව නම් ඔයා මාත් එක්ක සෙට් වෙනවද?” කියා අහද්දිත් ඒ වචන වල තිබ්බේ සහමුලින්ම සමච්චල් සහගත බවක් බව තේරුම්ගන්න ජාන්විට අපහසු උනේ නැත.
“ඇයි මලිත් ඔයාට මං ගැන කිසි ගානක් නැත්තේ? මං දැන් මෙහෙ ඇවිත් දවස් කීයක්ද? ඔයා නිකමට මට කතා කරාද?”
“ඇයි කතා කරලා ආයෙ එන්න කියන්නද?”
“ඔව්! ඇයි ඔයාට ආයෙ මාව ගෙන්න ගන්න ඕන නැද්ද?”
“ජාන්වි, මේ ගියේ තමුන්ම නම් එන පාරත් තමුන් දන්නවා ඇතිනේ. මට මේ පිස්සු නෑ ඉන්න බෑ කියලා දාලා ගිය ගෑනුන්ගේ පස්සේ එන්න.”
තමන් ආදරය කියා නතර වී හිඳින්නේ දැවෙන චිතකයක් අස්සේ බව ජාන්වි තේරුම් ගත්තේ මලිත්ගේ ඒ වචන අස්සේය. තමන්ගේ ජීවිතයම යැයි තමන් සැලකූ ඒ ආදරය, දැන් තමන්වම ගිල ගන්නට හදන ගින්නක් වී තිබුණි. ඒ ගින්න නිවා දැමීමට හෝ එයින් මිදීමට මගක් ඇයට පෙනුනේ නැත. මලිත්ගේ වචනතිබුනේ ජාන්විගේ සිතේ තිබූ සියලු බලාපොරොත්තු අළු බවට පත් කර දමාය. ඒ මොහොතේ ජාන්විට තේරුම් ගියේ, මේ තමන් හඹා ගිය ආදරය නොව, තමන්වම විනාශ කරන මිරිඟුවක් බවය. තමන්ගේ ඇස්වලින් කඳුළු ගලා හැලුණේ ජීවිතයේ අත්විඳි මේ කටුක යථාර්ථයට මුහුණ දීමට නොහැකිවය.
තමන් හිරවී ඉන්නේ මෙහෙම සම්බන්ධයක බව දැන දැන තාත්තාගේ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ කුමක්ද කියා හිතාගන්න ඉතින් ජාන්විට පුලුවන් උනේ නැත.