ඔබෙ ආදරෙන් මා දැවේ – 10

0
775

සමහර විට, රාත්‍රී අන්ධකාරයත් ආදරය වගේ නේදැයි සිතේ. මුලින් එය හරිම ලස්සනට දිස් වේ. අහසේ සෑම තාරකාවක්ම බබලමින්, අපේ හිතේ හීන දහස් ගණනක් මවයි. එහෙත්, කාලයත් සමඟ, ඒ අන්ධකාරයම අපව ගිල ගන්නවා සේ දැනේ. ඒ කළුවර මැද තනි වී සිටිනවා වැනි හැඟීමක් ඇති වේ. අන්ධකාරයෙන් එළියට එන පාරක් නොපෙනෙන තරමට අපි අසරණ වන්නෙමු.

නමුත්, අන්ධකාරය නොමැති නම් අපට කවදාවත් තරු දකින්නට නොලැබෙනු ඇත. ඒ අඳුරු අහස නොමැති නම්, තාරකා වල තිබෙන සුන්දරත්වය අපට කිසිදා දැනෙන්නේ නැත. සමහර විට, මේ වගේ වේදනාකාරී අත්දැකීමක් නොමැති නම්, අපට සැබෑ ආලෝකය සොයාගන්නට නොහැකි වනු ඇත.

 කාමරයේ බැල්කනියෙ සිට කළුවර අහස දෙස බලමින් හිඳිද්දී ජාන්වි වටහාගත්තේ අන්ධකාරයකටම පස්සේ අලුත් හිරු එළියක් පායන බව ඇත්තක් විය හැකි නමුත් සෑම රැයකටම පස්සේ අලුත් දවසක් උදා වනවා සේ, සෑම වේදනාවකින් පසුවත් අලුත් බලාපොරොත්තුවක් පහළ වෙන්නට තරම් තමන් වාසනාවන්ත වේද යන්නය.

ජීවිතය යනු හැමදාම එකම විදියට යන ගමනක් නොවේ. එහි දුකත්, සතුටත්, අන්ධකාරයත්, ආලෝකයත් ඇත. මේ සියල්ල ජීවිතයට එකතු වන්නේ අපට අලුත් පාඩම් උගන්වන්නටය. මේ වේදනාවන් අපව ශක්තිමත් කරයි. අන්ධකාරය ජීවිතයේ අවසානය නොව, නව ආරම්භයක පෙර නිමිත්තක් බව අපට අවබෝධ වේ. අලුත් බලාපොරොත්තු සමඟින්, තාරකා දෙස බලාගෙන, අපට නැවතත් හුස්ම ගත හැකිය. එහෙත් මේ සියල්ල වචන වලින් කියන ලියන තරම් පහසුවෙන් ප්‍රශ්නයක ගිලී ඉන්නා මොහොතක තේරුම්ගන්නට, හිතට පහදා දෙන්නට නොහැකි බව ජාන්වි අත් දැකීමෙන්ම තේරුම්ගනිමින් උන්නාය.

ආන්‍යා කාමරයට ආවේ ඒ මොහොතේය. ඒ අක්කා සොයාගෙනය. අක්කාත් තමාත් අතර මෙතුවක් කාලයකට කිසිම දෙයකට බිඳලන්නට නොහැකි වූ දුරස්ථ බවක් තිබුනද ආන්‍යා තමන් මෙතෙක් ජීවත් වූ මුලු කාලය පුරාවටම අක්කා දෙස හොඳින් බලා සිට බොහෝ දේ තේරුම් ගත්තාය.  

“අක්කා සංගීත කාරයෙක්ව බැන්ද එකේ උඹටත් තිබ්බෙ අක්කගෙ මාර්ගෙන් කවුරුහරි නලුවෙක් හරි කාවහරි දාගන්නනෙ බං” කියා තමන්ගේ යාලුවන් කියද්දීත් ආන්‍යා ඒ දිහාව බැලුවේ වෙනස්ම ආකාරයකිනි.

“එහෙම ජනප්‍රිය අයව බලලා යාලුවෙන්නෙ නෑනෙ බං. යාලුවෙන්න ඕන ආදරෙ කරන මනුස්සයෙක්ට ඒ මනුස්සයගෙ ගතිගුන ඒවා මේවා බලල මිසක් සල්ලි කොච්චර තියෙද කොච්චර ෆේමස් ද කියල බලල නෙවෙයිනෙ”

“ඒ උනාට බං ෆේමස් එකෙක් දාගත්තම ආයෙ පාටිද, අවෝඩ් සෙරමනි ද කීයකට නම් යන්න චාන්ස් හම්බෙනවද? අනික ෆේමස් ලෙවල් එකෙ හැටියට වෙඩින් එකේ ස්පොන්සර්ස්ලත් සෙට් වෙනවනෙ”

“ඔව් දවසකට දෙකකට ඒ වගේ විනෝදෙන් ඉන්න පුලුවන්. ඒ උනාට ඉතින් ඇත්ත ජීවිතේ එහෙම නෙවිනෙ. ලෝකෙට කොච්චර ෆේමස් උනත් ගෙදර ඉන්නෙ මනුස්සයෙක්, තාත්තෙක් නෙ. ඒ මනුස්සය කොච්චර ජනප්‍රියද කියන එක ඒ සම්බන්ධෙට වැඩක් නෑනෙ. අනික ඔය මිනිස්සු ජනප්‍රිය වෙන්න වෙන්න බිසී වෙනවා, ගෙදර වැඩවලට ඉඩකඩ අඩු වෙනවා. කටකතා හැදෙනවා. ඔය හැමදේම දරාගන්න අස්සෙ ලයිෆ් එක කම්ප්ලිකේටඩ් වෙනවා විතරනෙ. මං කැමති නෑ බං කම්ප්ලිකේටඩ් ලයිෆ් එකකට. මට ෆේමස් මනුස්සයෙක් ඕන නෑ. හොඳ කෙනෙක් උන්නා නම් ඇති” කියා අක්කාට සහමුලින්ම වෙනස් විදියක මතයක් ආදරයත් ජිවිතයත් ගැන දරමිනි.

ඒ දවස්වලත් ජාන්වි උන්නෙ මලිත් ගේ ජනප්‍රියත්වය අස්සේ පීනමින් සන්තෝසේන් ඉපිලෙමින් ය. එහෙත් ඒ කාලයේත් ප්‍රශ්න නොතිබුනා නොවේ. ඒත් ජාන්වි උන්නේ “ඒ හැමදේම හරියාවි” කියා හිතමින් ඒ ප්‍රශ්න නැති බවට හිතමින්  වෙනම අමුතු පාරාදීසයක් හිත අස්සේ මවාගෙනය. 

බැල්කනියේ වැටට හේත්තූ වී අන්ධකාර අහස දෙස බලාගෙන දහසක් දේ කල්පනා කරමින් උන් අක්කාව දකිද්දී ආන්‍යාට මේ සියල්ල ආයෙ ආයෙ මතක් වුනාය. තමන් නිසල්ව ගෙදෙට්ට අඳුන්වා දුන් දවසේ අක්කා විසින් කියන්නට යෙදුන “මොකද්ද අනේ මං මෙච්චර ලස්සන කොල්ලෙක් එක්ක යාලුවෙච්ච එක බලලවත් ඔයාට ලස්සන කොල්ලෙක් හොයාගන්න බැරි උනාද? උසත් මදි? සල්ලි කන්නද අප්පා? පොඩ්ඩක්වත් රොමෑන්ටික් නැති පාටයි” වචන ආන්‍යාට අමතක නැත. එහෙත් ආන්‍යා ඒ කිසිවක් එදාවත් මෙදාවත් සිතුවේ නැති බව සත්තය.

“මං හිතුවෙ අක්කා නිදි ඇති කියලා” කාමරයට එන ගමන් නංගී කියද්දී ජාන්වි හැරී කාමරේ දෙස බැලුවේ තිගැස්සී මෙන්‍ ය.

“නින්ද ගියේ නෑ නංගි” කියා කියද්දි ඒ හඬ පැන නැගුනේ තමන් මෙතෙක් කාලයක් පුරාවට දැන ගෙන උන් අක්කාගෙන් නොවන බව ඒ වචන කණ වැකෙද්දීම ආන්‍යාට තේරුණාය. අක්කා ඉන්නේ මේ වෙමින් පවතින සියල්ලෙන්ම විඳවමින් බව ආන්‍යාට තේරුණාය.

“මලිත් අයියා ඇත්තටම මොකද කියන්නෙ අක්කෙ?” කියා නංගී අහද්දී ගැඹුරු හුස්මක් හෙලමින් ජාන්වි කාමරේ දිහාවට සම්පූර්ණයෙන්ම හැරුනේ තමන්ගෙ ශරීරයේ බර බැල්කනියේ වැටට දෙමිනි.

“මලිත්ට මං හිතන්නෙ මාව ඕන නෑ නංගි” කියද්දිත් ජාන්වි උන්නේ අඬන්නට පටන් ගෙනය. අක්කාත් තමාත් අතර කෙතරම් දුරස්ත බවක් තිබුනද තවත් ගැහැනියක ප්‍රේමය සහ ජීවිතය නිසාවෙන් මෙසේ හඬා වැටෙමින් ඉද්දී ඒ නොදැක්කා සේ ඉන්න හැටියක් ආන්‍යාට තිබුනේ නැත. ඈ අක්කාට ළං වෙමින් අක්කාගේ අත මුදුව අල්ලා ගත්තාය.

“ඒ උනාට අක්කට අක්කව ඕන නේද? අපිට අක්කව ඕන නේද?” කියා නංගි අඬද්දි මෙතෙක් කලක් හිත අස්සේ තිබුන සියලු බැමි බිඳ දමන්නට හැර ජාන්වි නංගීගේ උරහිස මත හිස තබාගෙන හඬා වැළපුණාය.

“සමහර වෙලාවට අක්කෙ අපි වටිනවමයි කියල ලං කරගන්න දේවල් වටින්නෙ අපිට විතරයි. අනිත් කෙනාට අපිව වටින්නෙ නෑ. අපිව වටින්නෙ නැති තැනක අපි ඉන්න ඕන නෑ අක්කෙ. මං හිතන්නෙ අක්කා ඒක හිතලා බලලා හොඳ තීරණයක් ගන්න. අයියට ඕන නම් මෙහෙ ඇවිත් කතා බහ කරලා තීරණයක් ගන්න කියන්න” කියා නංගී කියද්දි ජාන්වි කලේ අඬා වැළපෙන එකය.

ආදරය බොහෝ තැන්වල මනුෂ්‍ය හදවත් වලට අරගෙන ආවේ වේදනාවක, සරතැසක හෙවණැලි ය. ඒ හෙවණැලි කෙතරම් දැඩි වූවාද යත්, ආදරය යනු සතුට නොව දුක යැයි බොහෝ දෙනා සිතන්නට වූහ. ආදරය යනු ජීවිතය සරු කරන වැස්සක් යැයි සිතූ බොහෝ හදවත් වලට එය ගෙනාවේ පුපුරා ගිය පොළොවක් බඳු ශෝකයකි. ඒ නිසාම, බොහෝ දෙනා ආදරයෙන් පලා ගියහ, නැත්නම් එය සෙල්ලමක් සේ දුටහ. ඔවුන් සිතුවේ ආදරය විහිළුවකට ගත්තොත්, එය වේදනාවක් නොවන බවය. එහෙත්, ආදරය වේදනාවක් වන්නේ එය අපේක්ෂා සමඟ පැමිණෙන විටය. කිසිදු අපේක්ෂාවක් නොමැති සැබෑ ආදරය නම් හදවත් සුවපත් කරන දිය උල්පතක් වැනිය යැයි කාලයක් තමා සිතාගෙන උන් සියල්ල බොරු බව නැවත නැවත හිතට පසක් කර දෙන ගමන් තුරුණු උන්නේ තුරුණු දිවිය මත්පැන් වීදුරුවක් අස්සේ දියකර හරිමිනි.

“හුදෙකලා අදුරු අහසේ

ඔබ සඳක් සේ උපන්නේ

මේ දිවා රෑ මුලුල්ලේ

ඔබ නොවෙයි මා විදෙව්වේ…”

දමිත් අසංකගේ වචන තිබ්බේ වේගයෙන් වේගයෙන් ඇවිත් කන අස්සේත් හිත අස්සේත් හැපෙමිනි.

“තාම විඳවන්නෙ මං. ඒකි…ඒකි ආතල් එකේ ඇති. මං විඳවනවා. මං විඳනවනවා. ඔව් ඒකනෙ ඕන උනේ. ඒකනෙ ඒකිට ඕන උනේ.

ජාන්වි උඹ දැනගනින්. උම්බ දැනගනින්. මං විඳවනවා. සන්තෝසෙන් ඉඳපන් මැණිකෙ” කියා කියන අතරේත් තුරුණු උන්නේ පියවි සිහිය නොමැති තැනක අතීත මතක අස්සේ සැරිසරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here