අරුමැති ආදරයක් – 50

0
349

“පංචාලි සෑහෙන්න වෙනස් වෙලා බං…”

තීක්ෂණය පැවසූයේ යුගාෂ් සමග කාර්යාලයට වී සිටි සවසකය. යුගාෂ් තම මිතුරා දෙස බැලුවේ යටැසින්ය. දකුණතේ  දෑඟිලි අතර රඳවාගත් පෑන කරකවමින් ඔහු උන්නේ කල්පනාවකය.

“මිනිස්සු වෙනස් වෙන්න ඕනේ තමයි බං. වෙනස් වෙන්න ඕන තැන් වලදී වෙනස් නොවෙනවානම් තමයි ප්‍රශ්නේ. පංචාලි කියන්නේ නරක කෙල්ලෙක් නෙමෙයි බං. එයාට ලැබුණු දේවල්, එයාට තියෙන දේවල් එක්ක ටිකක් අධි මාන්නෙකින් ජීවත් වෙච්ච කෙල්ලෙක්. එයාව පොළොවෙ පය ගහලා ජීවත් වෙන මට්ටමට පත් කරගන්න බැරි කමක් නෑ. පංචාලි කියන්නේ දුකක් නොදැන හැදිච්ච කෙල්ලෙක් බං. එහෙම අය හිතනවා ජීවිතේ හැම දෙයක්ම එයාලට ලැබෙන්න ඕනේ කියලා. අන්න එතන තමයි එයාලට ජීවිතේ වරදින තැන.”

“පංචාලි උඹ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා.”

“ඒක හිතේ ඇතිවන හැඟීමක් බං. හැබැයි ඉතින් තනි හිතකින් ඒ හැඟීමට පණ දෙන්න බෑ. මං හිතන්නේ පංචාලි අන්තිමට හරි ඒ දේ තේරුම් ගන්න ඇති. මට ඕන උනෙත් ඒක එයාට තේරුම් කරලා දෙන්න” 

“ඒකද උඹ පංචාලි ළඟදී  අපූර්වා ගැන කතා කලේ…”

“ඒක අඟවන්න ඕන හින්දා. මගේ හිතේ කෙනෙක් ඉන්නවා කියලා එයාට දැනෙන්න ඕන හින්දා. මං ඒ වෙලාවේ පංචාලිව නෝට් කලා බං. මං දැක්කා ඒ මූණ වෙනස් වෙනවා. ඒ ඇස්වල කඳුළු පිරෙනවා. ඒ වගේම මම දැනගත්තා එයා හරි ඉක්මනට හිත හදාගන්නවා කියලා.”

“ඒ කොහොමද…”

“පංචාලි කියන්නේ එක තැනක හිත හිතා ලතැවෙන කෙල්ලෙක් නෙමෙයි බං. එයාට පුළුවන් සිටුවේෂන් එකේ විදිහට වෙනස් වෙන්න.”

“ඉතින් උඹ  ඒකිගේ ඔච්චර හොඳ දැකපු එකේ ඇයි කැමති උනේ නැත්තේ.”

“ඇයි කැමති උනේ නැත්තේ නේද…ඒකට දෙන්න පැහැදිලි උත්තරයක් නෑ බං. මං ඒ ගැන නොහිත හිටියෙත් නෑ. ඒත් මගේ ජීවිතෙත්  එක්ක මට පංචාලිව ගලපගන්න බැරි උනා බං. ඒකට හේතුව මොකක්ද කියලා මට හිතාගන්නත් බෑ. හැමදාම මට පංචාලි පෙනුනේ මගේ යාළුවෙක් විදිහට විතරයි. ඒත් අපූර්වා  දැකපු පළවෙනි දවසෙම ඒ හැඟීම වෙනස් වුණා බං. මුලින්ම මට එයා ගැන තිබුනේ කුතුහලයක්. ඒ රූපේ  හැමතිස්සෙම මගේ හිතේ වද දෙන්න පටන් ගත්තා. මට එයා ගැන හොයන්න ඕන උනා. එයා ගැන දැනගන්න ඕන උනා. එයාව ලඟින් තියාගන්න ඕන උනා.”

“සංසාර පුරුදු වෙන්න ඇති.”

“සමහර විට. මං හිතන්නේ කෙනෙක් ගැන අපේ හිතේ උපදින ඒ විශේෂ හැඟීම තමයි බං ආදරේ කියලා කියන්නේ. එතනදි මට පැහැදිලිවම පංචාලිවයි අපූර්වයි වෙන් කරලා අඳුර ගන්න පුළුවන් උනා. උඹට ඒ දවස්වල පංචාලිව පෙන්නන්න බෑනේ බං. ඇයි දැන් මේ මගෙන් විස්තර අහන්නේ…”

“ඒ… ඒ දවස්වල නේ..ඒකි වාතයක් වෙවී උඹේ පස්සෙන් එද්දි මට ඒකිව ඇලජික් උනා. හරි හරි අනුන්ගේ ඔපදූප අපිට වැඩක් නෑ. වැඩ තියෙනවනේ….”

“ළමයි මෙන්න තීක්ෂණ සර් කියනවා අනුන්ගේ ඕපදූප වැඩක් නෑ. වැඩ කරමු කියලා…”

මදක් එහාට වන්නට උන් යුවතියන් දෙදෙනාම හැරී බැලුවේ යුගාශ්ගේ හඬටය. ඉන්පසුව දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තේ සිනහසෙමින්ය. 

“තීක්ෂණ සර් හැමදාම ඔහොමයි සර්..කොහේ හරි තියන ඕපදූපයක් හොයාගෙන ඇවිල්ලා අපිත් එක්ක කියවලා පස්සෙ කියනවා හා හා ළමයි වැඩ පටන් ගන්න අනුන්ගේ දේවල් අපිට වැඩක් නෑ කියලා.”

“අන්න දැක්කද වෙනස…උඹ චීත්තේ කියලා එයාලත් දන්නවා”

“ආ.. වරෙල්ලා කෝ….තීක්ෂණ සර් අචාරු කමුද තීක්ෂණ සර් අයිස් ක්‍රීම් කමුද ..කියලා අහගෙන වරෙල්ලකෝ..”

එසේ පැවසූ තීක්ෂණය තමාගේ මේස දෙසට හැරුනේ සිනහමුසුවය. 

“පංචාලිත් නරකම නෑ ඉතින්….”

යුගාෂ් එසේ පැවසූයේ රහසින් සේය. මිතුරා දෙස රවා බැලූ තරුණයා ආපසු හැරුණේ ඇසෙන නෑසෙන හඬින් පැවසූ කුණුහරුපයක්ද සමගින්ය. 

                                *****************

නිවස ඉදි වෙමින් තිබුනේ සිතුවාටත් වඩා ඉක්මනින්ය. තමාරා විසින් ටයිල් තේරීම සඳහා ඒවා තිබූ වට්ස්ඇප්  පණිවිඩයෙහි වූ සේයාරූ දෙස හොඳින් බලා සිටි ඈ ඒවා යුගාශ් වෙත යොමු කළාය. ඔහු හමු වූ පසුව ඈ කිසිදු තීරණයක් තනිවම නොගත්තාය. ඒ තරමටම ඔහුගේ  අදහස් ඇගේ ජීවිතයට වටිනාකමක් එක් කළේය.

“මං බතල වගයක් තැම්බුවා….”

පියසීලි යුවතිය අසලටපැමිණියේ එසේ පවසමින්ය. උළුවහු ජනෙල් තැබීමට බිත්ති වේළිය යුතුයැයි පැවසූ පෙදරේරුවන් එදින පැමිණ සිටියේ නැත. දැන් අපූර්වා වඩාත් ආසා කරන්නේ උදේ හවස ඉදි වෙමින් පවතින නිවසෙහි සිමෙන්ති සුවඳින් හදවත පුරවා ගන්නටය. 

“ගෙයි පදිංචි වෙන දවසට තාත්තා  වෙනුවෙන් දානෙ වේලක් දෙන්න තිබුනනම් හොඳයි කෙල්ලේ…..”

පියසීලී පැවසූයේ බතල අල කිහිපයකුත් පොලුත් ලුණු මිරිසුත් එක්කල  පිඟාන යුවතිය අත තබමින්ය. ඕ ලුණු මිරිස් හා පොල් තවරාගත් බතල අල කැබැල්ලක් පියසීලිගේ මුවෙහි තැබුවේ සිනහමුසුවය.

“අපිට පුළුවන් විදිහකට එහෙම කරමු ආච්චි…”

“මං කීප දවසක්ම උඹත් එක්ක දෙයක් කතා කරන්න බලාගෙන හිටියේ අපූර්වා.” 

අපූර්වා පියසීලි දෙස බැලුවේ තිගැස්සීගෙනය. දහවලට අහල පහල කිහිප දෙනෙකුම ඇය බලන්නට ඇය හා කතා කරන්නට නිවසට පැමිණෙන බව අපූර්වා දනී. එනිසාම ඕ පසුගිය දිනවල සිතමින් සිටියේත් ආච්චී යුගාෂ් ගැන තමාගෙන් යමක් අසන්නට ප්‍රමාද වන්නේ ඇයිදැයි කියාය. හේෂානි පවසන පරිදි තමා බොහෝ දෙනෙකුගේ ප්‍රධාන මාතෘකාව වී දින කිහිපයකි.

“උඹේ කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවද කෙල්ලෙ.. මේ වයසට ඉතිං ඕවා අරුම පුදුම දේවල් නෙමෙයි. ඒ උනාට තාත්තත් නැති අම්මත් නැති උඹ ගැන ලොකු වගකීමක් මට තියෙනවා. දුප්පත් උනාට කමක් නෑ. කීයක් හරි හරි හම්බ කරගෙන උඹව බලා ගන්න පුළුවන් කොල්ලෙක්නම් එච්චරයි. මට ඔය කාරණා කටයුතු ඒ තරම් තේරෙන්නෙ නෑ බං. නරකද තමාරා  මැඩම්ම ආපු වෙලාවට මැඩම් එක්ක  ඒ ගැන කතා කළා නම්.  ඕවට එහේ මෙහේ දුව පැනලා කවුද කින්ද මන්ද කියලා හොයලා බලන්න මට දැන් හයි හත්තියක් නෑ. මේ වගේ ප්‍රශ්න තියන අපේ පවුල් වලට ලේසියෙන් කෙනෙක් කර ගහන්න කැමති වෙන්නෙත් නෑ.”

පියසීලී පැවසුවේ යුවතියගේ මුහුණ දෙස බලාගෙනය.

“ආච්චි මම ලබන සතියේ ඉඳලා කැම්පස් එකකට යනවා. ඊට පස්සේ අපි ඒවා ගැන බලමු. එහෙම කෙනෙක් මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව තමයි ආච්චි. හැබැයි දැන්මම ඒ ගැන හදිස්සියක් නෑ.”

අපූර්වා කලින් සිතා සිටියා සේම පිළිතුරු දුන්නාය. 

“එහෙම හදිසි නැති උනාට කමක් නෑ. උඹ  ඒ ගැන තමාරා නෝනා එක්ක කතා කරහං දුවේ. තාත්තා හිටිය කාලේ උඹව දවසක්වත් පාරක තොටක තනියෙන් යැව්වේ නෑ. ඒකා හිටියනං හැම තැනකටම, හැමදේකටම උඹේ පස්සෙන් ඒවි. අර අහිංසකීට සිහිය තිබුනනම් උඹ යන්නෙ එන්නේ කොහේද ආශ්‍රය කරන්නේ කවුද කියලා හොයලා බලාවි. නහින දෙහින කාලෙට උඹ මට සුළු පටු වගකීමක් නෙමෙයි පුතේ. හිතේ හයියට මේ දේවල් කලාට මං දැන් ඉන්නේ මාවම පාලනය කරගන්න බැරි වයසක. උදේ හවස පහන තියලා මම ප්‍රාර්ථනා කරන්නෙත් උඹට  හොඳ ඉලංදාරියෙක් හම්බ වෙනකල් මගේ මේ ඇස් දෙක පියවෙන්න එපා කියලා. ගෑණු ළමයෙක්ගේ චරිතෙ කියන්නෙ බිඳිලා යන වීදුරු බඩුවක් වගේ. කොච්චර උවමනාව තිබුණත් ආයි තිබුණු විදිහට පාස්සන්න බෑ. උඹ දැනගන්න ඕනේ කතන්දරයක් නාහ ගමේ ජීවත් වෙන්න. කතන්දරයක් අහ ගත්තොත් ආයේ ලේසි වෙන් නෑ..”

අපූර්වා පියසීලි පසු පසින් පැමිණ ඇයව වැළඳ ගත්තේ අත වූ බතල පිඟාන පසෙක වූ ගඩොල් ගොඩ මත තබමින්ය. තමා ගැන ඇගේ  සිතෙහි කොතරම් බරක් වේදැයි යන්න අපූර්වා හොඳ හැටිම දැන උන්නාය. මේ ඇය නිදහසේ බණක් භාවනාවක් කරගෙන සිටිය යුතු වයසයි. 

“උඹලයි අම්මට නෙමෙයි බං පිස්සු හැදෙන්න ඕනේ මට. මං ජීවත් වෙලා ඉන්න කාලෙදිම මගේ බඩෙන් උපන් දරුවෝ දෙන්නා ගහ මරා ගත්තා. අන්තිමට එකෙක් අකාලෙ තමන්ගේ ජීවිතේ  නැති කරගත්තා. අම්මා කෙනෙක් ජීවත් වෙලා ඉඳිද්දි, තමන්ගේ දරුවෙකුට එහෙම වෙනවා කියලා කියන්නේ ඒක වාව ගන්න බැරි වේදනාවක් බං. එකෙක් නෙමේ බං  අන්තිමට මගේ දරුවෝ දෙන්නම  මට නැති වෙලා  ගියා. මගේ කුසෙන්  නොවැදුවාට මට දුවෙක් හා  සමාන වෙච්ච මේ අහිංසකී පිස්සු වැටෙනවා මට බලන් ඉන්න වුණා. රෝස මලක්  වගේ හදපු උඹ යකඩ ගොඩක් එක්ක  හැප්පෙන හැටි මට බලන් ඉන්න වුණා…මං තාමත් හිතනවා මොකක්ද මං කරපු කරුමෙ කියලා….”

අපූර්වාට සිහි වූයේ ඈ එදවස නිතර පැවසූ වදන්ය. ඒ අම්මාගේ කොණ්ඩය පීරන ගමන්ය. එසේ නොවේනම් ඇයට කෑම කවනා ගමන්ය. ඇගේ කියවිල්ල හිතට වදයක් වූ විටකදී පවා අපූර්වා නිහඬව දරා ගත්තේ කතාකිරීමෙන් ඒ සිතෙහිවන බරත් දුකත් මදකට හෝ සමනය වන නිසාය. 

දිගු සුසුමක් හෙලූ  ඕ පියසීලිගේ කොපුලක් සිප ගත්තේ දයාබරවය. දැන් සියල්ලකටම ඇයට සිටින්නේ ආච්චී පමණි. 

“මං කවදාවත් මට වරදක් කරගන්නේ නෑ ආච්චි. එයා කවදාවත් මට වරදක් කරයි කියලා මං හිතන්නෙත් නෑ. එයා තමයි මට ගොඩක් දේවල් වලට උදව් කරන්නේ. ඉගෙන ගන්න, අම්මව සනීප කරගන්න..එයා මෙහෙ ඇවිල්ලා ආච්චිත් එක්ක  කතා කරයි. ඒත් මම හිතුවේ ගේ හැදුවට පස්සෙම එක්කරගෙන එන්න. ආච්චි බයවෙන්න එපා. හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න. මං දන්නවා මට තැනක වැරදුනොත් මට ඉන්නේ ආච්චි විතරයි කියලා. ඒ නිසා මං මං ගැන හරියට හිතනවා. මං හරියට පරිස්සම් වෙනවා. මං ගැන හිතලා කල්පනා කරන්න එපා. හැමතිස්සේම හිතන්න අපේ ප්‍රශ්නෙ ටිකෙන් ටික විසඳෙනවා කියලා. නැති වෙච්ච හැම දෙයක්ම අපිට ආපහු ලැබුනේ  නැති උනත් ජීවත් වෙන්න ඕන කරන හිතේ සතුට හරි අපිට ලැබෙයි ආච්චි.”

“උඹට වරදින්නේ නෑ මයෙ පුතේ…ගෑණු දරුවෙක්ගේ  ජීවිතේ වටිනාකම රැඳිලා තියෙන්නේ චරිතේ කියන එක ඔලුවෙ තියාගෙන ජීවත් වෙයං මයේ පුතේ. අපි කෝකටත් තමාරා නෝනා එක්ක මේ ගැන කතා කරමු. අම්මා  වගේ ඒ නෝනා පහුගිය කාලේ උඹ ගැන හරියට වද උනා. මං දන්නවා මේ වගේ වෙලාවකට දුවෙක්ට අම්මා කෙනෙක් ලොකු ශක්තියක්.”

“අපි හෙමින් කතා කරමු. මගේ ආච්චි මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ. මට තව ලොකු කාලයක් මගේ ආච්චි ළඟට වෙලා ඉන්න ඕනේ. කවද හරි මගේ ආච්චි නිදහසේ පැත්තක ඉඳගෙන ඉඳිද්දී මේ අත් දෙකෙන් මට ඔයාට සලකන්න ඕනේ. මං තනි වුනේ නැත්තේ ඔයා නිසා…අපි ආයෙ සතුටින් ජීවත් වෙනකල් ඔයා ඇස් දෙක පියාගන්න හිතන්නවත් එපා. හිතේ නිදහසෙන් සැනසීමෙන් ඉන්න ආච්චි. මං මගේ ආච්චි නිසාම පරිස්සම් වෙනවා…”

යුවතිය පැවසූයේ යළිත් වරක් ඒ වියපත් කොපුළක් සිපගෙනය. ඇගේ දෙතොලට දැනුනේ කඳුළුවල ලුණු රසකි. ඕ පියසීලීව තදින් වැළඳ ගත්තේ ඉකි බිඳිමින්මය. විශ්වාසය. ඈ තමාව කුසයේ නොදැරුවා පමණි. එවන් මිනිසුන් ආත්ම ගණනාවක්ම තමාගේම වී හමුවිය යුතුය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here