අරුමැති ආදරයක් –  51 

0
241

තමාරා අපූර්වා වෙනුවෙන් ඇඳුම් කිහිපයක් මිලදී ගත්තේ ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට සූදානමින් සිටින බව පැවසූ දිනයේමය. එක පිට එක වූ කරදර නිසා පසුගිය දිනවල තමාරාට නිවස ඉදිවන තැනට යාමට හැකියාවක් වූයේ නැත. අමායාගේ නඩුවට ලැබී තිබූ ප්‍රසිද්ධියේ තරමටම යුගාශ්ගේ ජීවිතය අවදානම් බව ඈ දැන සිටියාය. ඔහු නිවසේ සිටි දින කිහිපයේම ඇගේ අවධානය සම්පූර්ණයෙන්ම ඔහු වෙත යොමුව තිබිණ. තමාරා ඒ දිනවල නිවසේ විදුලි සීනුව නාද වෙද්දී පවා බිය වූවාය. රාත්‍රියේවත් සැනසිල්ලේ දෑස් පියා ගන්නට හැකියාවක් නොවූ ඕ එහෙටත් මෙහෙටත් ඇවිද ගියාය. එහෙත් ඔහුව තමාට සුරක්ෂිත කළ හැක්කේ සීමාවක පමණක් සිටයැයි අවසන තමාරා තේරුම් ගත්තාය. මේ ඔහුගේ කැමැත්තය. ඒසා ලාබ ලබන ව්‍යාපාර තිබියදීත් ඔහු නීතීඥ වෘත්තිය තෝරා ගත්තේ ඒ කිසිවක් පිළිබඳව ඇල්මක් නොවූ නිසාය. පුෂ්පානන්ද මෙන් යමක් උපයන්නට මාර්ග ඕනෑ තරම් තිබියදීත් යුගාශ්  නඩුවක් වුවද බාරගත්තේ තෝරා බේරා සාධාරණය ඉටුවිය යුතු තැනකදීය. නීති පීඨයේ සිටින සමයේත් ඔහු ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙකු විය.

තමාරා නන්දනී සමග අපූර්වාගේ නිවසට ගියේ සවසකය. නිවසට උළුවහු දොර ජනෙල් තැබුවේ ඊට දින දෙකකට පෙරය. තමාරලා එන බව කලින්ම පැවසූ නිසා අපූර්වාත් පියසීලිත් ලැවරියා සෑදුවේ, තේ පානයටය.

“කොහොමද දරුවො දැන් අම්මට…..”

තමාරා ඇසුවේ ඈ අත තිබූ ඇඳුම් බෑග් කිහිපය අපූර්වා වෙත ලබා දෙමින්ය.

“හිටියට වඩා ගොඩක් හොඳයි කියල හිතෙනවා මැඩම්…”

“එහෙනම් ඉතින් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්නේ…”

තමාරා එසේ පැවසූයේ ඉදිවෙමින් පවතින නිවස පුරා දෑස් යවමින්ය. කුඩා විසිත්ත කාමරයේ  සේම මුළුතැන්ගෙය, නාන කාමරය වැනි ස්ථානවල  ටයිල් අතුරන්නටත් කාමරවලට සිමෙන්ති දමන්නටත් තීරණය වූයේ අපූර්වාගේ කැමැත්ත පරිදිය. ඒ සඳහා ගෙන ආ ටයිල් ඉදිරිපස කාමරයේ කෙළවරක ගොඩ ගසා තිබිණ. ඉදිකිරීම් අවසන් අදියරෙහි වූ නිවස තුලට තමාරාව කැඳවාගෙන ගිය අපූර්වා එහි අස්සක් මුල්ලක් නෑර පෙන්වූයේ මහත් වූ ආසාවකින්ය. ඒ අතරතුරේදීත් ඕ ඇයට ස්තුතිවන්ත වූ වාර ගණන මතකයේ නොවූ තරම්ය.

“ආච්චි දැනටම කියනවා ගේ ඉස්සරහින් ලස්සන දාස් මල් පාත්තියක් වවනවා කියලා. මල් වවන එළවළු වවන වැඩවලට ආච්චි හරි කැමතියි වැඩම්. ඉස්සර වැඩක් නැති වෙලාවට ආච්චියි අම්මයි දෙන්නම එළවළු හිටෙව්වා”

“ඔව්..මට කිව්වා.  කිසිම කම්මැලිකමක් නෑ නේද..ලස්සන ජීවිතයක් පුතේ ඔයාලට තිබිල තියෙන්නේ.”

තමාරා පැවසූයේ අපූර්වාගේ හිස අතගාමින්ය. ඇය ආදරේ හිතෙනා දියණියකි.

“පුතේ මේ නෝනත්  එක්ක අර විස්තරේ ගැන කිව්වනම් නරකද….”

පියසීලී එසේ ඇසුවේ බන්දේසියක තබාගත්  ලැවරිය පිඟානක් අලුත් ගේ තුලට රැගෙන එමින්ය. අපූර්වා ව්‍යංගාර්ථයෙන් ආච්චීට යමක් පවසන්නට උත්සාහ කලත් එය සඵල වූයේ නැත. ඕ දිගින් දිගටම කියවමින් උන්නාය.

“නෝනා අපේ මේ කෙල්ලට පොඩි කාරණයක් නෝනත් එක්ක කතා කරගන්න තියනවලු. ඒකිගේ අම්මට යමක් කියනවා වගේ දැන් ඉතින් කතා කරන්න ඉන්නේ නෝනා තමයි.”

“ඒ මොකක්ද අපූර්වා ඒ…මමත් එක්ක තනියම කතා කරන්න ඕන දෙයක්ද..නන්දනී එහෙනං පියසීලි නැන්දට තේ හදන්න උදව් වෙන්නකෝ..”

තමාරා එසේ පැවසූයේ තමා පිටුපස සිටගෙන සිටින නන්දනී දෙස බලමින්ය. ඒ අවසරයෙන් ඉස්සර වූ පියසීලි පිටුපසින් ඈ ඇවිද ගියාය.

“ඔයත් කන්නකෝ ඉතින්…”

ලැවරියා එකක් අතට ගත් තමාරා බන්දේසිය අපූර්වා වෙත දිගු කළාය.

“මොකක්ද පුතේ ප්‍රශ්නේ. ආච්චි ලොකු බරක් හිතේ තියාගෙන වගේ ඒ දේ ඔයාට මමත් එක්ක කතා කරන්න කියලා කිව්වේ. අපෙන් මොනව හරි වරදක්වත් උනාද?”

“අනේ එහෙම දෙයක් නෙමෙයි මැඩම්..”

තමාරා අපූර්වාගේ  මුහුණ  දෙස බැලුවේ විමසිල්ලේය. ඇය උන්නේ බිමට යොමු වූ දෑස් ඇතිවය. 

“කියන්න පුතේ ඔයාට මං අම්මා කෙනෙක් වගේනේ. ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන්.”

“මැඩම්…..”

“ඔව්..පුතේ..”

“කෙනෙක් එක්ක මගේ එෆෙයාර් එකක් තියෙනවා. ලොකු කාලයකුත් නැහැ. ඒ උනාට එයා මට හරි ආදරෙයි  මැඩම්. මං ගැන හරියට හොයලා බලනවා. මට කැම්පස් එකට වියදම් කරන්නෙත් එයා තමයි. ඒ විතරක් නෙමෙයි මැඩම් අම්මව සනීප කරගන්න උදව් කරන්නෙත් එයා. ඒ හැමදේටම වඩා මගේ හිතට ලොකු හයියක් වෙනවා. එයා නිසා තමයි මට මේ ජීවිතේ හැම දේම ලැබුණේ. ඇත්තටම කිව්වොත් මට ආපහු ජීවිතේ ලැබුණේ…මට ආයේ හීන දකින්න පුළුවන් උනේ..”

අපූර්වා කියවා ගෙන ගියේ ඉවසිල්ලේය. ඒ දෑස්වල වූ කඳුළක් ඈ ඇදඋන් කියුලට් වර්ගයේ කොට කලිසම මත වැටී බොඳව යනු තමාරා දුටුවාය.  හදවත ගැහෙමින් තිබුණේ ඇගේය. ඕ කලක් තිස්සේම  උන්නේ යම් සැකයක එල්බ ගෙනය. ඒ සැකය සැබෑවක් නොවේවායි පැතුවා විනා, අපූර්වාගේ කතාවට හරිහැටි සවන් දුන් බවක් ඒ මතකයේ වූයේ නැත. 

“ඒ කොහේ කෙනෙක්ද පුතා…..”

අවසන එසේ අසද්දී තමාරාගේ  දෙතොල්  පවා වෙව්ලමින් තිබිණ. යුගාෂ් අපූර්වා ගැන සොයා බලන බව තමාරා දැන සිටියාය. එහෙත් ඔහුත් ඇයත් අතර වන නොගැලපීම් තෝරා බේරා ගන්නට ඔහු අසමත් වෙතැයි තමාරා කිසි දිනක නොසිතුවාය. 

“එයා ලෝ…යර් කෙනෙක්…මං දන්නවා මැඩම් අපි දෙන්නා අහසයි පොළොවයි වගේ වෙන්න ඇති. ඒත්….”

“පුතා මට එයාගේ නම කියන්නකෝ…..”

තවදුරටත් තම සන්සුන් කම රැක ගැනීමට හැකිවීම පිළිබඳව තමාරාගේ සිතෙහි වූයේ පුදුමයකි. ඒ යුගාශ් නොවේ යැයි තවදුරටත් ඒ සිත පවසමින් තිබිණ. 

අවසන දෙසවන් අසල බෝම්බයක් පිපුරුවා සේ ඇසුණු යුවතියකගේ වදන් තමාරාගේ දෙකකුල් පවා සීතල කරවන්නට විය. මුළු ලොවම එක තැන නතර වූවාවන් හැඟීමකින් ඕ තත්පර කිහිපයක් ගතවනතුරු පීඩා වින්දාය. යුවතියගේ මුහුණ තවමත් බිමට හැරවුන ගමන්ය. ඇගේ දෙවුරහිස් තාලයකට ගැස්සෙමින් තිබිණ.

මේ තමා සිහියෙන් සිටිය යුතු වේලාවක් බව තමරා විශ්වාස කළාය. සිතට සැකයක් ඇතිවූ වේලේම යුගාශ්ගෙන් ප්‍රශ්න නොකර සිටීමේ වරදට ඈ තමාටම දොස් පවරා ගනිමින් උන්නාය. අපූර්වා යනු නරක යුවතියක නොවන බව විශ්වාසය. ඇය ජීවිතය ගැන මනා අවබෝධයක් ඇත්තියක වූවාය.  එහෙත් යුගාශ්  විවාපත් වී ජීවත් විය යුත්තේ මේ සමාජයේමය. මිනිසුන් තම ලේලියගේ වගතුග විමසද්දී  ඒවාට කෙසේ පිළිතුරු දෙන්නේදැයි තමාරා සිතුවාය. පුෂ්පානන්දත් ඇයත් අතර වූ එකඟතාවය යුගාශ්ගේ විවාහයයි. ඔහු තම සිතැඟි වලට එකඟ වූවා සේම ඔහුගේ අදහස්ද විමසිය යුතු වන්නේය. මේ තමාවත්, ඔහුවත් කැමති වන තෝරා ගැනීමක් නොවන බව තමාරාට විශ්වාසය. ප්‍රශ්නය දුප්පත්කම නොවේ. පවුල් පරිසරයෙහි වූ නොගැලපීමයි.

ග්‍රීස්මයක් නොවූවද තමාරාගේ වත දහඩියෙන් පෙඟී තිබිණ. සැබැවින්ම ඇයට අවැසි වී තිබුණේ අපූර්වා අබියසින් නික්ම යන්නටය. යුගාශ් සිය ජීවිතය තුළ ගත් වැරදිම තීරණය අපූර්වායැයි තමාරා විශ්වාස කළාය. ‘අපූර්වත් එක්ක කතා කරලා ඒ දෙන්න අතර තියෙන්නේ කොච්චර දුරදිග ගිය සම්බන්ධයක්ද කියලා දැනගන්න ඕනේ..’ අවසන ඈ නියමම මවකගේ භූමිකාවට පණ පොවමින් උන්නාය. 

“එයා කියන්නේ මගේ කැම්පස් එකේ වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ මැරි කරමු කියලා. එහෙම හදිස්සියක් නෑ මැඩම්. මං එයා එක්ක කතා කර කර ඉන්නවා දැකපු ගමේ කවුරුහරි කෙනෙක් ආච්චිට ඒ බව කියලා. ආච්ච ටිකක් කලබල වෙලා මැඩම් ඉන්නේ. ⁣මට එයාව හමු වෙන්නේ අම්මා බලන්න යද්දි විතරයි මැඩම්. දවස ගානේ හමු නොවුනත් යුගාශ් සර් හැම වෙලාවකම මං ලඟ ඉන්නවා වගේ.”

“ඇයි ඔය ළමයා එහෙම දේකට ඉක්මන් උනේ…”

අපූර්වා දෑස් එසවූයේ තමාරා  එසේ අසද්දීය. ඒ හඬ මදක් දැඩි වූ එකක්යැයි  ඇයට සිතිණ. 

“මැඩම්…..”

“ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති උනහම  ඒවා කෙරෙන්නත් පුළුවන් නොකෙරෙන්නත් පුළුවන් දරුවෝ. ඔයාට තිබුණේ ඔයාගේ තත්වෙට ගැලපෙන සාමාන්‍ය කෙනෙක්ට ආදරේ කරන්න. එතකොට ඒ අය දාලා යන්නෙ නෑ කියලා විශ්වාසයක් තියෙනවනේ. අපිට කතාබහ කරල පිළිවෙලක් කරගන්න තිබුණා”

“අනේ නෑ මැඩම් යුගාෂ් සර් ගැන හීනෙකින්වත් එහෙම හිතන්න බෑ. මොන ප්‍රශ්නේ ආවත් මාව දාලා යනේකක් නෑ මැඩම්..”

“සමබන්ධකම් ගැන කාටද කියන්න පුළුවන් දරුවෝ. කසාද බැඳලා දරුවෝ දෙතුන් දෙනා ඉදිද්දිත් මිනිස්සු දාලා යන්නේ..යම්කිසි විදිහකින් කවද හරි එහෙම දෙයක් වුනොත්.. මම මේ එහෙම අහන්නේ එහෙම දේකට මුහුණ දෙන්න උනොත් ඔය ළමයට හිත හදාගන්න පුළුවන්ද කියලා දැනගන්න”

“මට එතනින් එහාට වෙන්න අහිමිවීමක් නැති වෙයි මැඩම්. පහුගිය කාලෙ මං ජීවත් වුණේ අනාගතයක් නැති කෙනෙක් ගානට. ඇත්තටම මැඩම් මම මැරේජ් එකක් ගැන හීනෙකින්වත් හිතලා තිබුණේ නෑ. කොටින්ම කිව්වොත් ඒ හීන මේ ඇස් මායිමකවත් තිබුණෙ නෑ මැඩම්. යුගාශ් සර් තරම් ආදරය කරන්න දන්න මනුස්සයෙක් මට මේ ජීවිතේ කවදාවත් හම්බවෙලාා නෑ. ඇත්තමයි එයා මගේ තාත්තට වඩා මාව බලා ගන්නවා. අනේ මැඩම් යුගාශ් සර් ගැන විස්තර කරන්න මං දන්න වචන මදි..”

එවේලෙහි යුවතියගේ දෑස්වල වූ කදුළු තමාරා හොඳටම දුටුවාය. 

“ඔයා හරි ගෞරවයකින් ඒ ළමයා ගැන කතා කරන්නේ.”

“අනේ ඔව් මැඩම් ඇත්තටම….”

තමාරාගේ  සිතෙහි කෝපයක් උපන්නේ යුගාශ් ගැනය. තරුණ සිතකට බලාපොරොත්තුවක් දී එය ආපසු හරවා ගැනීම ලෙහෙසි පහසු එකක් වන්නේ නැත. යුගාශ් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුගේ අතින් සිදුව ඇත්තේ වරදකි. සිත පුරා පැතිර ඇත්තේ කෝපයක් වුවත් තමාරා හැකිතාක් සාමාන්‍ය ස්වරූපයෙන් අපූර්වාට මුහුණ දීමට උත්සාහ ගත්තාය. 

“මැඩම්ට දාඩිය දාලා..”

“න්..නෑ..මේ..ඇතුල රස්නෙයිනෙ අපූර්වා ඒකයි. කොහොම වුණත් ඔයා මේ සම්බන්ධකම්වලින් ටික දවසකට ඈත්වෙලා ඉගෙනීමේ වැඩ කටයුතු ටික කරගන්න බලන්න. අනිත් එක සම්බන්ධතාවල ගැලපීම් නොගැලපීම් තෝර බේර ගන්න ඔයාලා  තවම පුංචි වැඩියි අපූර්වා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතරක් සිදුවන බැඳීමක් නෙමෙයි. නෑදෑ පාර්ශව දෙකක් එකට එකතු වෙන තැනක්. කීමට කියන්නේ හතර වරිගෙ නෑදෑයෝ එකතු වෙනවා කියලා. ඔය කියන කෙනාගේ දෙමව්පියෝ මොන විදිහේ තීරණයක් ගනීද කියන්න බැහැනේ අපූර්වා. ඒ නිසා මුලින්ම ඔයා ඔයාගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න.”

“ඇත්තටම මැඩම් දවසක මට එහෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙයිය. මං කියන්නේ කිසිම දෙයක් නැති කෙල්ලෙක්. ඇත්තටම මට තියෙන්නේ හරි අඩු වටිනාකමක්. යුගාශ් සර් මට කියලා තියෙනවා පොඩි කාලෙම එයාගේ තාත්තා එයාව දාලා ගියා කියලා. එයාගේ අම්මා හරිම හොඳ හරිම නිවුණු ගතිගුණ තියෙන කෙනෙක් කියලත් කියලා තියෙනවා. සමහරවිට අම්මා එයාව තේරුම් ගනියි කියලත් කියලා තියෙනවා. ඒ මොනව උනත් එයාගේ හිතේ මට තියෙන තැන නැති වෙන්නෙ නෑ කියලත් කියලා තියෙනවා මැඩම්…මං ඒ වචන ගොඩක් විශ්වාස කරනවා. හැබැයි කාගෙවත් අකමැත්තෙන් මට එයාගේ වෙන්න බෑ. එහෙම වෙලා තවත් ආත්මෙකට පවු ගෙනියන්න මට බෑ මැඩම්..ජීවිත කාලයම හරි මට යුගාශ් සර් වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්..”

තමාරාට සුසුමක් හෙළුනේ ඉබේටමය.  

“අපි බලමු ඔයාට තව මැරේජ් එකකට යන්න කල් තියෙනව. ගෑණු දරුවෝ හදිසි වෙන්න ඕන නෑ. බොහොම කල්පනාවෙන් තමයි තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්න ඕනේ. කොහොම වුණත් ඔයා ඒ ළමයා එක්ක වැඩිපුර එහේ මෙහෙ යන්න තියාගන්න එපා. ඔයාගේ සීමාව අවබෝධ කරගෙන ඇසුරු කරන්න.”

“ඔව්  මැඩම් මට තේරෙනවා….අම්මා හොඳින් හිටියනම් එයාත් මට ඔය ටිකම කියයි”

“යම් තැනක නවතින්න උනොත් ආපහු හැරෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඔයා වටිනාකමක් තියෙන දරුවෙක්. එක තැනකින් ප්‍රතික්ෂේප උනත් තව තැනක ඔයා වෙනුවෙන් ඉඩක් තියෙයි අපූර්වා..අපිත් යන්න ඕන පරක්කු උනා.”

“මැඩම්ට ගෙනියන්නත් ආච්චි වෙනම ලැවරිය පාර්සලයක් හැදුවා.” 

යුවතිය නැගී සිටිමින් පැවසූයේ සිනහමුසුවය. කඳුළු අතරින් සිනහසෙද්දී ඕ සැබවින්ම අපූර්ව යුවතියක වූවාය.

“එපා අපූර්වා. මේ දවස් දවස්වල මගේ ටිකක් ශුගර් වැඩි වෙලා. අද ඇත්තටම මේ ලැවරිය  එකක් ඇවිත් හිතේ තියෙන ආසාවට.”

තමාරා අපූර්වාගේ නිවසින් සමුගත්තේ තවත් විනාඩි කිහිපයකට පසුවය. ඒ විනාඩි කිහිපයක් ඇය එහි  රැඳී සිටියේ අන් කවරදාකවත් නොවූ තරමේ නොසන්සුන් බවක් දරමින්ය. දිගින් දිගටම සිත කෝප ගත්තේ යුගාශ් සමඟය. තමාරාන් තම නිවසට පැමිණියාට පසුව පැය කිහිපයක් තිස්සේ තද කරගෙන උන්  හුස්මක් මුදා හැරියා සේ සැනසුමක් ලැබුවාය. 

( හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here