“මචං මං පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්. විමලතුංග කියල කෙනෙක් එයි උඹව හම්බ වෙන්න එයාගේ විස්තර ටික අහගනින්.”
“ඔබ දැන් මේ තකහනියෙ කොහෙද දුවන්නේ. පරිස්සම් වෙයං බං.”
“මං උඹට ඇවිත් විස්තරේ කියන්නම්.”
කාර්යාල කාමරයෙන් හදිසියේ පිටවූවාට යුගාශ් වාහනයට වී විනාඩි කිහිපයක් කාලය ගතකලේ හදවතේ මතුව ආ සිතුවිල්ලකට ඉඩදී තමා මේ යන ගමන නිවැරදිම එකක්දැයි සිතමින්ය.
වසර ගණනක් තිස්සේ යුගාශ් අසා තිබුනේ පුෂ්පානන්දගේ කීර්තිය මිස පසුබෑම නොවේ. ඔහු කතා කළ නඩු ඒවාට ලැබුණු තීන්දු සාධාරණ නොවූවත් ඒ අතර ඒ නමට ගරු කළ මිනිසුන් සේම බිය වූ මිනිසුන්ද විය. ගෙවී ගිය දින කිහිපය පුරාම තමා අප්පච්චීට විරුද්ධ වූවාය යන වරදකාරී සිතුවිල්ල ඔහුගේ සිතට වද දෙමින් තිබිණි. අප්පච්චි එහා පස සිටින බව නොදැන තමා මේ නඩුව බාරගත්තා යැයි විශ්වාස කළේ ඔහු හා සිටි කිහිප දෙනෙකු පමණි. යුගාශ්ගේ අප්පච්චි ගැන තිබුණේ වෛරයක් බවත්, අවස්ථාව ආ හැටියේම කොල්ලා අප්පච්චිගෙන් පළි ගත්තා යනුවෙනත් බොහෝ මිනිසුන් පවසා තිබිණ.
අප්පච්චි සමග කෝප ගත්, වෛර කළ, දුක සිතුණු, කලකිරුණු අවස්ථා අනන්ත අප්‍රමාණ බව විශ්වාසය. එහෙත් ඒ කිසිවක්ම යුගාශ්ගේ සිතෙහි සදාකාලික සිතුවිලි වූයේ නැත. අවසන වෛර කරන්නටවත්, දුක්වන්නටවත් ඔහු අප්පච්චී ගැන නොසිතුවේය. අදට අප්පච්චී යනු ඔහුට පිටස්තර චරිතයක් පමණි. හිස් හැඟීමක් පමණි.
“නඩු නිසා සර්ට ප්‍රශ්න ඇතිවුණු වාර අනන්තවත් අපි දැකලා තිබුණා. හැබැයි ඒ කිසිම වෙලාවක සර් මේ තරම් නිහඬ වෙලා ඉන්නව අපි දැකල නෑ. ඇත්තටම මිනිස්සු කියන විදිහට පුෂ්පානන්ද සර් හිතුවද දන්නේ නැහැ තමන්ගේ පුතාට දිනන්න දීලා නිහඬ වෙනවා කියලා…කන්ග්‍රැජුලේෂන්ස් මිස්ටර් යුගාශ්..”
පෙර දිනක උසාවියේදී හමු වූ මිතුරෙකු පැවසූයේ ඒ අයුරින්ය. ඔහු කලක් තිස්සේ අප්පච්චි යටතේ පුහුණුවීම්කල නීතිඥයෙකි.
අප්පච්චී නීතිඥයෙකු පමණක් නොව කලක් නීති පීඨයේ මහාචාර්යවරයෙකුද විය. ඔහු තම දැනුම සඟවා නොගනිමින් ශිෂ්‍යන්ට බෙදා දුන් බව යුගාශ් දනී. අසීමිත තණ්හාවත් ආසාවත් ඔහු මිනිසත්කමින් දුරස් කර තිබුණේ ඛේදවාචකයක් ලෙසින්ය.
ඔහුට වෛර කරන්නට ඔහු හා කෝප ගන්නට අවස්ථා ඕනෑ තරම් මේ ජීවිතයේ තිබූ බව විශ්වාසය. එහෙත් ඒ සියළු හැඟීම් වෙනුවට තමා කිසිවෙකුටත් නොකියා ඔහුගේ ආදරය, රැකවරණය පැතුවායැයි යුගාෂ්ට සිතේ. පාසලේ තෑගි උත්සවවලදීත් තමා ශිෂ්‍යනායක බැච් පැළඳූ උත්සවවලදීත් වර්ණ ප්‍රධානයන්හිදීත් ඔහු අම්මා සමග උත්සව සභාවේ අසුන්ගෙන උන් බව යුගාශ් දනී. ඒ බොහෝ අවස්ථාවල ඔහු පැමිණියේ කළු කලිසමක් සුදු ශර්ට් එකක් සහ කළු කෝට් එකක් ඇඳගෙනය. ඔහුගේ පෙනුම, තේජවන්ත බව තමාට අභිමානයක් වූ බව විශ්වාසය. එවන් අවස්ථාවල අම්මා සමග පාසලට යන යුගාශ් අප්පච්චි එනතුරු වරින් වර මග බැලුවා මතකය. උඩු සිත කුමක් පැවසුවත් තමාගේ යටි සිත ඔහුගේ සෙනෙහස විදින්නට තමා වෙනුවෙන් යමක් කරනු දකින්නට ප්‍රිය කළායැයි යුගාශ්ට සිතෙන්නේ දැන්ය. තමාගේ යටි සිතෙහි ජීවත්ව ඇත්තේ ඔහුය.
වෛර කරන්නට හේතු තිබියදීත් තමා ඔහුට වෛර නොකළේ අම්මා නිසායැයි යුගාශ් අනන්තවත් සිතුවේය. ඇය කිසිවිටකත් ඔහුට ද්වේශ කරන ආකාරය ඉගැන්වූයේ නැත. සියලු තත්වයන් වටහාගෙන සිටියත් මුල් කාලයේ තමාරා ඔහුට පැවසූයේ ‘අප්පච්චිට පහසුයි පුතේ එයාගේ වැඩ වලට මෙහේ ඉන්නවට වඩා ටවුන් එකේ ඉන්න එක’ යනුවෙන්ය. ඒ කතාව විශ්වාස නොකළත් යුගාශ් සියල්ලන්ටම පැවසූයේ ඒ කතාවය. එහෙත් තමාට යමක් තේරෙන කාලයේදී ‘රණ්ඩු වෙවී ගහ මරාගෙන එක ගෙදරක ඉන්නවට වඩා මෙහෙම වෙන් වෙච්ච එකෙන් එයත් සැනසීමෙන් මමත් සැනසීමෙන් පුතේ’ යැයි ඕ පැවසුවාය.
කුඩා කල සිටම අනාගතයේ කවුරුන් වනවාදැයි අසද්දී තමා නීතිඥවරයකු වනවායැයි පැවසූයේ කුමක් අරමුණු කරගෙනදැයි යුගාශ්ට අදටත් නොතේරේ. තමාගේ යටි සිත අප්පච්චිගේ අඩි පාරේ යන්නට ප්‍රිය කරන්නට ඇතැයි ඔහුට සිතුනේ පසු කාලයකදීය. මුලින්ම තමා ප්‍රිය කළේ අප්පච්චී ඇඳගෙන එන කළු කෝට් එකට වග විශ්වාසය. උසස්පෙළ සඳහා වෘත්තීය අරමුණක් තබාගෙන විෂයයන් තොරා ගැනීමේදී අම්මා දෑස් විසල් කරගෙන බලා සිටියා ඔහුට අද මෙන් මතකය.
වරෙක අප්පච්චී පොළියට දෙනවායැයි පවසමින් ගිනි පොලියායැයි මිතුරෙකු විහිළු කරද්දී තමා ඔහුව බිම දාගෙන පහර දුන් අයුරු තරුණයාට සිහි වූයේත් එවේලෙහිය. පසු කලෙක ඔහුගේ සමහර ක්‍රියා කලාපයන් පිළිබඳව මිතුරන් පවසද්දී ඒවා තමාට ලැජ්ජාවට කාරණයක් වූ බවද විශ්වාසය.
තමාගේ දක්ෂතාවයත්, වෘත්තීමය බලයත් පාවිච්චි කරමින් අප්පච්චී සිදු කළේ යහපත්ම දෑ නොවේ. ඒවා හරි හැටි යුගාශ්ට වැටහුම් වූයේ නීතිඥයෙකු ලෙස දියුරුම් දී සේවයට එක් වූවාට පසුවය.
“තම තමන් කරන දේවල් තම තමන්ටම ගෙනියන්න වෙනවා පුතේ. ඔයාගේ අප්පච්චි කියන්නේ කාටවත් කවදාවත් හදන්න පුළුවන් වුනු මනුස්සයෙක් නෙමෙයි. ඔයාගේ අප්පච්චි මාව දාල ගියපු කාලේ වේදනාවෙන් පිච්චි පිච්චි මම ජීවත් වුණා තමයි. අද එහෙම මනුස්සයෙක් මගේ ළඟ නැති එක ගැන මම ගොඩක් සතුටු වෙනවා පුතේ. එහෙම කියන්නෙ ඔයාගේ හිත හදන්නවත් මගේ හිත හදාගන්නවත් නෙමෙයි. සමහර මිනිස්සු අප්පච්චි ගැන හරි පිළිකුලෙන් කතා කරන්නේ. ඔයාගේ අප්පච්චි මගේ ළඟ හිටියනම් අද මං මේ විඳින සැනසීම මට නැති වෙලා පුතේ.”
මුල් කාලයේ තමා අප්පචිගේ සමහර ක්‍රියා කලාපයන් අම්මා සමග පවසද්දී ඈ සුපුරුදු නිවුණු ස්වරූපයෙන්ම එසේ පැවසුවා යුගාෂ්ට මතකය. ‘අප්පච්චි වගේම දක්ෂයෙක්’ යැයි මිනිසුන් පැවසුවත් ඔහුට එය ලැජ්ජාවක් මිස ආඩම්බරයක් නොවුනේය.
එහෙත් පුෂ්පානන්ද යන තේජවන්ත මිනිසා කඩා වැටෙනු දැකීම තම සිතට වේදනාවක් බව යුගාශ් පළමුවරට තේරුම් ගනිමින් සිටියේය. ඒ තමා දුටු ගරුගාම්භීර නීතිඥයාට තිබූ ඇල්මද, එසේත් නොමැතිනම් අප්පච්චි පිළිබඳව යටි සිතෙහි වූ ආදරයදැයි ඔහු තෝරා බේරා වෙන් කරගන්නට උත්සාහ දැරුවේ නැත. අවසන ඔහු රිය පණ ගන්වා ගත්තේ තම සිතුවිලිවලට අවනත වෙමින්ය.
උසාවි භූමියෙන් මදක් එහාට වන්නට වූ අප්පචිගේ කාර්යාලය අසල රිය නවතන තුරුම තමා මේ යන ගමන ගැන යුගාශ් දෙවරක් සිතුවේ නැත. අවසන ඔහු රථයෙන් බැස කාර්යාලයට ඇතුළු වූයේය. එවේලෙහි කාර්යාල කාමරයෙහි වූ පුහුණුවන නීතිඥයන් කිහිප දෙනෙකු දෑස් විසල් කර බලද්දී ඉදිරියට ඇවිද ආවේ පංචාලිය.
“යුගාශ් ඔයා මේ වෙලාවෙ එයි කියලා මම හිතුවේ නෑ.”
“අප්පච්චි ඔෆිස් රූම් එකේ ඉන්නවද..”
ඔහු ඇසුවේ කිසිවෙකු දෙස උවමනාවෙන් නොබලමින්ය.
“ඔව්..ඒත්..මේ වෙලාවේ ප්‍රශ්නයක්නම් ඇතිකර ගන්න එපා යුගාශ්. ඒක ඔය දෙන්නටම හොඳ මදි.”
“මට අප්පච්ච් හම්බවෙන්න ඕනේ.”
“ඉන්න මම සර්ගෙන් අහලා එන්නම්..”
“නෑ පංචාලි ඔයා ඉන්න මම යන්නම්.”
යුගාශ් පුෂ්පානන්දගේ කාර්යාල කාමරය දෙසට ඇවිද ගියේ සිය කලිසම් සාක්කු වල දෙඅත් රුවාගෙන බිම බලාගෙනය. සමහර බැරෑරුම් අවස්ථාවල පුෂ්පානන්දට වූයේත් ඒ ගමනමය. තමාරාගේ මුහුණෙහි වූ සමහර ලක්ෂණ සේම සුදු පැහැය යුගාෂ්ට පිහිටා තිබුනත් ඔහුගේ උස මහත සේම ගමනද පුෂ්පානන්ද සේමය.
වසා දමා තිබූ දොරට තට්ටු කළ තරුණයාට ඇතුළතින් ඇසුණේ ‘එන්න..’ යැයි පැවසූ මදක් රළු වූ හඬකි.
කාර්යාලයේ සේවකයෙක් මිස යුගාශ්ව අපේක්ෂා නොකළ පුෂ්පානන්දගේ දෑස් විසල් වී ගියේ යුගාශ් කාර්යාල කාමරයට ඇතුළු වෙද්දීමය. ඔහු තත්පර කිහිපයක් යනතුරු ඒ රුව දෙස බලා සිටියේ දෑස් අදහා ගත නොහැකි කමකින් සේය. ඔහුව නොදුටු දින කිහිපයට ඒ වතෙහි ඇතිව තිබුණේ තරුණයා බලාපොරොත්තු නොවූ වෙනස්කමකි. මුලින්ම ඔහු දුටුවේ අප්පච්චී ඇඟ පතින් මදක් වැහැරී සිටි ආකාරයයි. අපිළිවල වී තිබූ කොණ්ඩයත් මදක් ඝනව වැවුනු රැවුලත් බාගයට ගලවාගෙන උන් කළු පැහැ ටයිපටියත් ඒ වතට ගෙන ආවේ වෙනස්ම වූ පෙනුමකි. පංචාලි පවසා තිබුණේ සැබෑවකි. ඔහු මේසා අපිළිවලව දුටු දිනක් යුගාශ්ගේ මතකයේ නොවේ.
“යුගාශ්…..”
තත්පර කිහිපයක් තරුණයා දෙස බලා උන් ඔහු නැගී සිටියේ හදිසියකින් සේය.
“ඇයි යුගාශ්…”
මේ ඔහු තම කාර්යාල කාමරයට පැමිණි දෙවන වතාවය. ඒ පළමු වතාවේ මිතුරන් පිරිසක් සමග උසාවි භූමියට පැමිණ යද්දී ඔහු තමා හමුවට පැමිණි අයුරු පුෂ්පානන්දට සිහි වූයේත් ඒ හදිසියේමය.
“ඉඳගන්න යුගාශ්.”
පියවි සිහියට පැමිණියා සේ ඔහු සිය දකුණත දිගු කළේ තරුණයාට අසුන් පනවමින්ය. ඒ හා සමගම ඔහු හදිසියේ යමක් සිහිවූවා සේ මේසය මත වූ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක නමක් සදහන්ව තිබූ ෆයිල් කවරයක් ලාච්චුවක් තුළට දැමුවේය.
“මං ආවේ අප්පච්ට ටිකක් කතා කරලා යන්න.”
යුගාශ් පැවසූයේ මේසය මත කොළ විසිර යනවාට බරට තබා තිබූ වීදුරු බෝලය දෙස බලමින්ය. ඊට මදක් එහාට වන්නට වූයේ දෑස් වසා තිබූ නීතියේ දෙවඟනගේ පිළිරුවකි. අම්මා පැවසූ අයුරින්ම ඔහුගේ කාර්යාල කාමරය අපිළිවලය. ඇඟිල්ලක් ගසන්නට ඉඩක් නැති තරමටම නඩුවලට අදාල ෆයිල් කවර ලියකියවිලිය. ඔහු ඒවා පිළිවෙලක් නොකරන්නේ මන්දැයි යුගාශ් සිතුවේ පුදුමයෙන්ය.
“යුගාශ්…මොකක්ද කාරණය…”
ඒ හඬ වෙනදා තරම් දැඩි එකක් වූයේ නැත.
“අප්පච්චි මට කියන්න ඕන උනේ මම අමායගේ නඩුව බාරගත්තේ අප්පච්චිගෙන් පළිගන්න ඕන නිසා නෙමෙයි. එදාවත් අදවත් හෙටවත් මට අප්පච්චිගෙන් පලිගන්න තරහා වෙන්න වුවමනාවක් නෑ. අප්පච්චි ගැන මගේ හිතේ දැන් තියෙන්නේ හිස් හැඟීමක් විතරයි. අවුරුදු ගානක්ම මගේ ළඟ ඉඳපු නැති අප්පච්චි ගැන විශේෂ හැඟීමක් මේ වෙලාවෙ මට ඇතිකර ගන්න උවමනාවකුත් නෑ. අප්පච්චිගේ හිත උනත් දන්නව ඇති මෙතැනදී කවුද හරි කවුද වැරදි කියලා. අප්පච්චි කරන්නේ අප්පච්චිගේ රස්සාව. මම කරන්නෙත් මගේ රස්සාව. හැබැයි මම හැම වෙලාවකම උපරිමයෙන් උත්සාහ කරනවා මගේ රස්සාවට සාධාරණයක් කරන්න. ඊට එහා ගිය කිසිම දෙයක් නෑ අප්පච්චි. කොටින්ම කිව්වොත් අප්පචිත් එක්ක තරහ ගන්න, පළිගන්න, අප්පච්චිව වට්ටන්න, අප්පච්චිගේ නමට හානියක් කරන්න වුවමනාවක් මට නෑ. එහෙම සිතුවිල්ලක ඉන්න එපා කියන්නයි මට ඕන වුණේ. අප්පච්චි කියන්නේ දැන් මගේ ජීවිතේට හිටියත් එකයි නැතත් එකයි කියන විදිහේ චරිතයක්. හිත රිදුනනම් සමාවෙන්න. සමහර විට මේ නඩුවේ එහා පැත්තෙ ඉන්නේ අප්පච්චි කියලා මුලින්ම දැනගෙන හිටියනම් මං මේක බාර නොගන්න තිබුණා. අසරණ වෙච්ච අම්මා කෙනෙකුට දීපු පොරොන්දුවක් ආපහු ඇදලා ගන්න මට බෑ. මගෙන් වරදක් උනානම් සොරි අප්පච්චි”
ඔහු එසේ පැවසූයේ කටපාඩම් කරගෙන ආ පරිද්දෙන්ය. අවසන් වදන් කිහිපය පවසද්දී යුගාශ් නැගී සිටියේය. පුෂ්පානන්ද ඉදිරියේ ඔහුට දැනෙන්නට වූයේ පුදුමාකාර අපහසුතාවයකි. දැන් ඔහුට වන්නේ මෙතනින් මිදී පලායාමේ උවමනාවකි.
එහෙත් ඔහුට ආපසු හැරී අඩියක් පෙරට තබන්නට අවස්ථාවක් වූයේ නැත.
“උඹ දක්ෂයෙක් කියලා ඔප්පු කරලා ඉවරයි පුතා. ඒ ගැන සතුටක් මිසක් මේ වෙලාවේ මගේ හිතේ කිසිම වැරදි හැඟීමක් නෑ.”
පුෂ්පානන්දගේ ඒ රළු හඬ යුගාෂ්ට ඇසුණේ සිහිනයකින් සේය.
ආපසු හැරී අප්පච්චී දෙස බැලූ තරුණයා කාර්යාල කාමරයෙන් පිට වූයේ අඩියට දෙකටය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)